අයුක්ති සහගත ලෙස සිරගත කොට ඇති ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරගනු පිණිස ලොව ප්‍රධානතම ලේඛක සංවිධානයක් විසින් අන්තර් ජාතික ව්‍යාපාරයක් දියත් කර තිබේ.
ශක්තික සත්කුමාර සිරගත කොට ඇත්තේ ප්‍රකාශනයේ නිදහස සාමකාමී ලෙස අභ්‍යාස කිරීමේ වරදට බව පෙන්වා දෙන ලන්ඩනයේ පදනම් වූ ජාත්‍යන්තර පෙන් සංවිධානය (International PEN), ඔහු කොන්දේසි විරහිතව වහා නිදහස් කරන ලෙස සිය ජාත්‍යන්තර ආයාචනය මගින් ඉල්ලා සිටියි.
ලේඛක සත්කුමාර අයුක්ති සහගත ලෙස අත් අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම ජාත්‍යන්තර පෙන් සංවිධානයේ අවධානයට ගෙන එමින් ඒ පිළිබඳ මූලික සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලද්දේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානය විසිනි.
2017 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනතේ (අයි.සී.සී.පී.ආර්. පනත) 3 (1) වගන්තිය හා දණ්ඩ නීති සංග්‍රහයේ 291B වගන්තිය යටතේ ආගමික ද්වේශය ඇවිස්සීම හා ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය කඩකිරීමේ චෝදනා සත්කුමාරට එරෙහිව එල්ල කර තිබේ.
අප්‍රේල් මාසයේ 1 වැනිදා පොල්ගහවෙල පොලිසිය මගින් ඔහු අත් අඩංගුවට ගන්නා ලද්දේ, ෆේස්බුක් ජාලයේ ඔහු විසින් 'අර්ධ' මැයෙන් පළ කළ කෙටි ප්‍රබන්ධයකින් බෞද්ධාගමට අපහාසයක් සිදු කළේය යන පදනම මත බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ අඟුළුගහ ජිනානන්ද භික්ෂුව විසින් අයි.සී.සී.පී.ආර්. පනත යටතේ සත්කුමාර අත් අඩංගුවට ගන්නා මෙන් ඉකුත් පෙබරවාරි මාසයේදී පොලිස්පතිවරයාගෙන් කරන ලද විවෘත ඉල්ලීමකට පසුව ය.
සිය ගෝලීය ආයාචනය මගින් ජාත්‍යන්තර පෙන් සංවිධානය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ,
* සම්මානිත ලේඛක ශක්තික සත්කුමාර කොන්දේසි විරහිතව වහාම නිදහස් කරන ලෙසත්,
* සත්කුමාරට එරෙහිව නගා ඇති පදනම් විරහිත විමර්ශනය නවතා දමන ලෙසත්,
* ජාත්‍යන්තර ප්‍රමිතීන්ටත්, ශ්‍රී ලංකාවේ පාර්ශවකරුවකු වන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය ප්‍රකාරවත් ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසත් ය.
ලොව පුරා විසිරී ජීවත්වන ලේඛකයන් අතර සාහිත්‍යමය හා බුද්ධිමය සහයෝගීතාව වර්ධනය කරනු පිණිස සියවසකට පෙර පිහිටුවන ලද ජාත්‍යන්තර පෙන් සංවිධානය, මේ වනවිට 100කට වැඩි රටවල් ප්‍රමාණයක ක්‍රියාත්මක වන මධ්‍යස්ථාන ජාලයකින් සැදුම් ලද්දකි.
ශක්තික සත්කුමාරට එරෙහිව පොල්ගහවෙල මහේස්ත්‍රාත් උසාවියේ පවරා ඇති නඩුවේ මීළඟ නඩු වාරය 2019 ජූනි 25 වැනිදාට නියමිතව තිබේ. ඔහු පිළිබඳ විමර්ශන නිමා කොට ඉහත සඳහන් නීතිමය වගන්ති යටතේ ඔහු වරදකරුවකු බවට තීන්දු කරන ලදහොත් වසර දහයක් දක්වා වූ සිර දඬුවමකට ඔහු යටත් කිරීමට හැකියාව තිබේ.
(jdslanka.org/s)
සබැඳි පුවත්
අයහපත් සමාජයක ‘යහපත් නීති’ හෙවත් ශක්තිකගේ ඉරණම- මංජුල වෙඩිවර්ධන
ශක්තිකට, ෆාතිමාට වලංගු මුත් අස්ගිරි භික්ෂුවට වලංගු නැති 'ICCPR' පනත?
සත්කුමාර (කෙටි)කතා වස්තුව'' -රෝහිත භාෂණ අබේවර්ධන
අත්‍යවශ්‍ය කෙටි සටහනක්..: ජුනි 17 සවස 3.00 ට කොටුවට එන්න
කිසි කතාවක් නැත්තෙ ඇයි? - කෙටි කතාවක් ලිව්ව වරදට මිනිහෙක් හිරේ!