පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරීමට රාජපක්ෂ පවුල තීරණය කළ බවත් ඒ අනුව අගෝස්තු 11 දා පැවැත්වෙන එම පක්ෂයේ සමුළුවේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහුව නම් කිරීමට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ කටයුතු කරනු ඇති බවත් රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතකු 'ද ලීඩර්' වෙත පැවසිය.


ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානුවෙක්ද, නැද්ද යන කාරණය පිළිබඳව සංවාදය පසුගිය සතියේ ප්‍රධාන මාර්තෘකාවක් විය. මේ වෙද්දී ‌ගෝඨාභය රාජපක්ෂ කියා ඇත්තේ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාල "පුරවැසිභාවය අත්හැරීමේ සහතිකය" තමාට ලැබී ඇති බවයි.

2003 ජනවාරි 31 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ශ්‍රි ලංකාව අතහැර ඇමරිකානුවෙක් බවට පත්විය. ඒ ඇමෙරිකන් පුරවැසිභාවය ලබාගෙන, ශ්‍රි ලාංකික පුරවැසිභාවය අත්හරිමිනි. 

ශ්‍රි ලංකාවේ පුරවැසිභාවය ඔහු යළි ලබා ගත්තේ හෙවත් ඇමෙරිකානු-ලංකා ද්විත්ව පුරවැසිභාවය ලබා ගත්තේ 2005 දී සිය සහෝදරයා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තනතුර ලබාගැනීම සඳහාය. ද්විත්ව පුරවැසිභාවය ලබාගත හැක්කේ ශ්‍රි ලංකා රජයේ විශේෂ අවසරයකින් පමණක් වන අතර ජනාධිපති ලෙස මහින්ද රාජපක්ෂ ඒ සඳහා අනුමැතිය ලබාදී තිබිණ.

Gotabaya 2019.08.05පසුගිය සතියේ සමාජ මාධ්‍යවල ගෝඨාභයට ලැබුණු පුරවැසිභාවය අත්හැරීමේ සහතිකය යැයි  ලිපි කිහිපයක්  හුවමාරු විය.

සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාලව මාධ්‍ය විසින් දෙවැනි වර ප්‍රසිද්ධියට පත් කර ඇති 'පුරවැසිභාවය අත්හැරීමේ සහතිකය' සත්‍ය සහතිකය බව ඔහු පවසයි.

මීට පෙරද ගෝඨාභය රාජපක්ෂට ලැබුණු පුරවැසිභාවය අත්හැරීමේ සහතිකය යැයි සඳහන් කරමින් ලියැවිල්ලක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණු අතර එය ව්‍යාජ එකක් බව මාධ්‍ය වාර්තා කර තිබුණි. දෙවැනි ලියැවිල්ල මාධ්‍යවලින් ප්‍රසිද්ධ කර තිබුණේ ඉන් පසුවය.

දෙරණ සභාපති හා ගෝඨාභය රාජපක්ෂගේ සමීපතකයෙකු වන දිලිත් ජයවීරගේ ෆේස් බුක් පිටුවේ පවා ඒ සහතිකයේ ඡායාරූප පළවි තිබුණි.

Fake latter. 08.05jpgඑම දෙවැනි සහතිකයට අනුව 2019 මැයි 03 වැනිදා ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය අත්හැරීමේ ඉල්ලීම ඇමරිකානු රජය පිළිගත් බව සඳහන් වෙයි. ඇමරිකානු තානාපති කාර්යාගේ නිලධාරී පිලිප් වී වැන්හෝන් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ඉවත් කර ගැනීම බාර ගනිමින් ඔහුගේ දිවුරුම බාරගෙන තිබෙන බවද එම වාර්තාවල සඳහන් වේ.

පවුලෙන් ලැබුන සහතිකය :

ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතුය යන මතය 2016  සිටම ඉදිරිපත් වූ මතයකි. 2017 වර්ෂයේ සිට 'වියත් මඟ' හා 'එළිය' සංවිධානවලින් ‌ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා විමට බලාපොරොත්තු වන බව වක්‍රාකාරව කියා තිබුණි. 

ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොලැබෙන බව එකල සිටම ඔහු නිශ්චිතව දැන සිටි කරුණකි. ඔහු ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට අදාල ලියකියවිලි බාරදී තිබුණේ ඔහුට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන බව රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර පැවති සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පවුලේ සාමාජිකයන් කැමැත්ත ලබාදීමෙන් පසුවය. 

පවුලෙන් ඒ සහතිකය ලැබෙන තෙක්, ඔහු කිසිසේත්ම ඇමෙරිකාව අත්හරින්නට සිතා තිබුණේවත් නැත. 

ඔහු ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට අදාල ලියකියවිලි බාරදී ශ්‍රී ලංකා විදෙස් ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට අයදුම් කර තිබුනේ ද 2019 මැයි මස 07 වෙනිදා දහවල්ය. එදිනම සවස 3.00 වනවිට ශ්‍රී ලංකා විදෙස් ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට විෂයබාර අමාත්‍ය වජිර අබේවර්ධන කටයුතු කර තිබිණ. 


මහින්දගේ හා බැසිල්ගේ කනින් රිංගා ගහපු ගේමක් !

Dinash and GLනාමල්ට අභියෝගයක් නොවන මහින්දගේ තේරීම...

කෙසේවුවද සියලු බාහිර හා අභ්‍යන්තර අභියෝග බිඳදමමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට සිදුවීම දක්වා වූ මෙතෙක් ගමන් මග සම්බන්ධයෙන් කෙටි විග්‍රහයක් කළ රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතකු පැවසුයේ එහි මුලික ගෞරවය හිමිවිය යුත්තේ ප්‍රචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන දිලිත් ජයවීරට බවයි.

තම අනන්‍යතාවය හෙළිනොකරන ලෙස ඉල්ලා සිටිමින් 'ද ලීඩර්' වෙත අදහස් දැක්වූ ඔහු පැවසු ආකාරයට, 2025 වසරේදී තම පුත් නාමල් රාජපක්ෂ රටේ නායකත්වයට ගෙනඒමට සැලසුම්කර සිටින මහින්ද-ශිරන්ති රාජපක්ෂ යුවල ඊට බාධාවක් නොවන  ලෙස ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුව සිට ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාය.

එසේම, පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ බලාපොරොත්තුව සිට ඇත්තේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මහාචාර්ය ජී.එල්. පිරිස් ඉදිරිපත් කර මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ ප්‍රචාරක මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමටයි.

එහෙත් දේශපාලනික වශයෙන් ප්‍රවීනයින් වන ඔවුන් දෙදෙනාම නන්නත්තාර කරමින් ගෝඨාභය රාජපක්ෂ කරලියට ගෙන ආවේ ශ්‍රී ලාංකීය ප්‍රචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන දිලිත් ජයවීර බව පැවසු රාජපක්ෂ පවුලේ හිතවතා, ඒ කෙසේදැයි පියවරෙන් පියවර මෙසේ විස්තර කළේය.


කොහොම හිටපු ගෝඨා ද ?

2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂට අත්වූ පරාජයෙන් පසු මාස ගණනාවක් යනතෙක් බියෙන් සැකෙන් යුතුව නිහඬව සිටි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයින් සමග සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට උත්සහයක් දැරිය. ඒ ඔහුට එරෙහිව ඇති නඩු හබ වලින් සහනයක් ලබා ගැනීම සඳහාය. 

අමාත්‍ය සාගල රත්නායක හා ඔහුගේ සොයුරු කාවන් රත්නායක සමග රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිට පැවති සමීප මිත්‍රත්වය මත අගමැති රනිල් වික්‍රමසිංහ සමග සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට සමත්වූ ගෝඨාභය රාජපක්ෂ, අනතුරුව සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීරගේ සහයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද වරින්වර රහසේ හමුවෙමින් පැරණි මිතුරුකම් යළි තහවුරු කර ගැනීමට සමත්විය. 

එසේ ආණ්ඩුවේ ප්‍රබලයින් දෙදෙනා සමගම ගනුදෙනුවල අතරමැදියා ලෙස කටයුතු කලේ එදත් අදත් ගෝඨාභය රාජපක්ෂට ට 'ගෝඨා' කියා මුල් නමින් ඇමතීමට තරම් සමීප මිත්‍රත්වයක් ඇති දිලිත් ජයවිරයි. 

අගමැතිවරයා සමග ගනුදෙනුවේදී ඔහු ඔහුගේ සමීපතම හිතවතියක වන අගමැතිවරයාගේ ඥාති දියණියක වන ඉෂිනි වික්‍රමසිංහගේ සහයත්  ජනාධිපතිවරයා සමග ගනුදෙනුවේදී තමාගේ ව්‍යාපාරික සහකාරියවන අමාත්‍ය සරත් අමුණුගමගේ දියණිය වන වරුනි අමුණුගමගේ ද සහය ලබාගෙන තිබිණ. 

 ප්‍රකට 'Triad' දැන්වීම් සමාගමේ ආරම්භ කලේ දිලිත්, වරුනි හා ඉෂිනි යන තිදෙනා විසිනි.

යහපාලන ආණ්ඩුව බලයට පැමිණි මුල් මාස කිහිපයේදී ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වූ නීතිමය ක්‍රියාමාර්ග හමුවේ කිසිඳු දේශපාලන කටයුත්තකට මැදිහත් නොවන්නැයි දිලිත් ජයවීර විසින් ගෝඨාභය රාජපක්ෂට දිගින් දිගටම උපදෙස් දී තිබු අතර ඒ අනුව ඔහු නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය.


බැසිල් රටින් පැනගිය මොහොතක නායකත්වය :

Gota viyath magaකෙසේවුවද බැසිල් රාජපක්ෂ පවා රටින් බැහැරව සිටි එම වකවානුවේ දී නන්නත්තාරව සිටි රාජපක්ෂ කඳවුරේ විද්වතුන් හා විශ්‍රාමික හමුදා නිලධාරීන් වරින්වර ගෝඨාභය හමුවෙමින් දුක්ගැනවිලි ඉදිරිපත් කළ අතර ඔවුන් වෙනුවෙන් පෙනිසිටීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් ඔහුව දිරිමත් කලේ ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු විද්වත් පිරිසකි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂගේ මුලිකත්වයෙන් රට පුරා සම්මන්ත්‍රණ මාලාවක් ඇරඹෙද්දී ඔහුට හොඳ දේශපාලන ඉල්ලුමක් තිබෙන බව සිය ව්‍යාපාරික ඥානයෙන් අවබෝධකර ගත් දිලිත් ජයවීර, ගෝඨාභයව දිරිමත් කරමින් ඔහුට ඇති එකම ආරක්ෂාව එසේ ජනතාව අතරට යාම බව පෙන්වා දී තිබිණ. රටේ ජනාධිපතිවීමේ හැකියාවක් ඇතැයි ගෝඨාභය තුල විශ්වාසයක් ඇති කලේද ජයවිරයි.

ගෝඨාභය දේශපාලනයට එක්වීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ තුල එතරම් කැමැත්තක් නොතිබුන අතර ඇයව කැමති කරවා ගැනීමටද මැදිහත්ව ඇත්තේ ද ජයවිරයි.

මහින්ද රාජපක්ෂගේ ආරාධනයෙන් බැසිල් රාජපක්ෂ යළි මෙරටට එන්නේ, මෙසේ අනාතව සිටි රාජපක්ෂ කඳවුරේ සිවිල් ක්‍රියාකාරිකයින් ගොනුකරමින් ගෝඨාභය රටපුරා සම්මන්ත්‍රණ පවත්වමින් සිටියදීය.


ගෝඨා ජනගත කිරීමේ මෙහෙයුම :

ගෝඨාභයට දුන් බලාපොරොත්තු වචනයට සිමා නොකළ දිලිත් ජයවීර, තම ව්‍යාපාරික සම්බන්ධතා යොදා ගනිමින් ගෝඨාභය වඩ වඩාත් ජනගත කිරීම සඳහා පුළුල් ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කල අතර තමාගේ 'Triad' 
ආයතනයේ සේවයකරන දක්ෂ තරුණ නිර්මාණකරුවකු වන මිලින්ද රාජපක්ෂ, ගෝඨාභයගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කිරීමට ද කටයුතු කළේය.

ගෝඨාභය වෙනුවෙන් පළමු අදියරේදී සමාජ මාධ්‍යවල ක්‍රියාකාරී තරුණ තරුණියන් සිය ගණනක් ගොනුකරමින්, Idea Hell ව්‍යාපෘතිය ආරම්භ කළ දිලිත් ජයවීර, මේවනවිට ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක ප්‍රබලතම සමාජ මාධ්‍ය ජාලයක් ගොඩනගා තිබේ.

අනතුරුව ඔහු ගෝඨාභය වෙනුවෙන් ම වූ පුවත්පත් ජාලයක් ආරම්භ කලේ ඔහු සභාපතිත්ව දරන 'දෙරණ' විද්‍යුත් මාධ්‍ය ජාලයට අතිරේකවය. මේවනවිට සිංහල හා ඉංග්‍රීසි ජාතික පුවත් පත් දෙකක් ආරම්භකර ඇති ජයවීර ඉදිරි සති කිහිපය තුලදී දෙමල මාධ්‍ය පුවත්පතක් ද ආරම්භ කිරීමට යයි.

රාජපක්ෂ පවුලෙන් කෙනෙහිලි !

දිලිත් ජයවීර විසින් ගෝඨාභය ඉස්මතු කිරීමට දරන උත්සාහය මහින්ද රාජපක්ෂගේ හා බැසිල් රාජපක්ෂගේ දෝෂ දර්ශනයට ලක්වු වාර අනන්තය. එහෙත් ඉතාමත් සුක්ෂම අන්දමින් මහින්දගේ හා බැසිල්ගේ හිතවතුන් ද ඔහුගේ මාධ්‍ය කණ්ඩායමට එක්කර ගනිමින් රාජපක්ෂ කඳවුර තුල ගෝඨාභය කෙරෙහි තිබු සැකය ටිකෙන් ටික තුනීකර ගැනීමට දිලිත් සමත් විය. 

පසුගිය වසරේ ඔක්තෝම්බර් 26 දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත්කර මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිව්රුම් දෙන තෙක් රාජපක්ෂ පවුලේ කිසිවකු ඒ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කර නොතිබුන අතර දිලිත් ජයවීර ද සිටියේ විදෙස්ගතවය. 

වහාම ලංකාවට පැමිණි දිලිත් ජයවීර තම මාධ්‍ය ජලය හරහා මෛත්‍රී-මහින්ද ආණ්ඩුවේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු ලෙස ගෝඨාභය ඉස්මතු කිරීමට කටයුතු කළේය.

මහින්ද රාජපක්ෂ එම අවස්ථාවේ අගමැති ධුරය බාරගැනීමට කැමතිවී තිබුනේ, තමන්ගේ දරුවන්ට එරෙහිව ක්‍රියාත්මකවූ නීතිමය ක්‍රියාමාර්ගවලින් බේරීම සඳහාත් ගෝඨාභය රාජපක්ෂ ඉදිරියට එම යටපත් කිරීම සඳහාත් බව 
දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්විය.

මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ දිගින් දිගටම මහ මැතිවරණයක් ලබාගැනීම වෙනුවෙන් සටනක් ගෙනගියේ ජනාධිපතිවරණයක් කැඳවුවහොත් ගෝඨාභය ඉදිරිපත් කිරීමට සිදුවෙතැයි පැවති බිය නිසාය. 

බැසිල්ට එරෙහිව නලින් කැඳවීම :

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට එරෙහිව බැසිල් කඳවුරෙන් බරපතල ප්‍රහාරයක් එල්ලවෙද්දී දිලිත් ජයවීර සිය සරසවි ගුරුවරයකු වන ජාතික චින්තනයේ ප්‍රධානි ආචාර්ය නලින් ද සිල්වාට සිය මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් දෙමින් ඔහුව යලි දේශපලන කරලියට කැඳවා ගෙන එනු ලැබිය. 

අනතුරු නලින් ද සිල්වා, බැසිල් රාජපක්ෂට හා ජී.එල්. පීරිස්ට හතරවටේ පහර දෙමින්, ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට මහින්දගේ හෝ බැසිල්ගේ අනුමැතියක් අවශ්‍ය නොවන බව අවධාරණය කරමින් ප්‍රකාශ නිකුත් කළේය.

පසුගියදා පැවති ජාතික සමථා බලය රැස්වීමේ දී ද ඔහු ප්‍රකාශ කෙළේ මහා සංඝයා වහන්සේ හා ගිහි බහුතරයක් මේ වන විටත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ලෙස තෝරා ගෙන ඇති බව ය.

''පොහොට්ටුව මෙහි දී කළ යුත්තේ ඒ තෝරා ගැනීම අනුමත කිරීම හෝ නොකිරීම හෝ පමණකි. රාජපක්‍ෂලාට කළ හැකි එකම කාර්යය ද එය ය.'' ඔහු එහිදී කියා සිටියේය.

වීඩියෝ 

 පාස්කු ඉරිදා බෝම්බයෙන් ගොඩගිය ගෝඨා !

මෙසේ රාජපක්ෂ කඳවුර තුල ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් සිතල යුද්දයක් පැවතියදී පසුගිය අප්‍රේල් 21 සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් ගෝඨාබය යලි දේශපාලන ක්ෂේත්‍රය තුල ඉස්මතුවිය. ඒ රටේ මුලිකම අර්බුදය අනාරක්ෂාව බවත් ඊට විසඳුම ගෝඨා බවත් දිලිත් සිය මාධ්‍ය හරහා දියත්කල මතවාදය හරහාය. 

ගෝලීය ත්‍රස්තවාදී දර්ශයකට අනුව (Global Terrorism Index)  ලෝකයේ සෑම රටක්ම පාහේ ප්‍රහාරයක් එල්ලවීමේ යම් අවදානම් මට්ටමක තිබෙන බව හා  සෑම රටක්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්වීමේ අවදානමක සිටින බව ජාත්‍යන්තර ජාත්‍යන්තර මාධ්‍ය පවා පෙන්වා දෙද්දී, දිලිත් ජයවීර සිය මාධ්‍ය ජාලය හරහා අවධාරය කර සිටියේ රට තුල බියෙන් සැකයකින් තොරව ජීවත්වීමට උතුරේ යුද්දය නිමා කළ ගෝඨාභය වැනි අයකු එඩිතර අයකු රටේ නායකත්වයට පත්විය යුතු බවයි.

ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටින විශ්‍රාමික හමුදා නිලධාරීන් යලි සක්‍රිය වෙමින් රටපුරා සම්මන්ත්‍රණ පවත්වමින් ආසන මට්ටමින් සංවිධාන කටයුතු ආරම්භ කළේ ඉන් අනතුරුවය.

PHOTO 2019 08 04 21 24 09 ගෝඨා හමුදා බලඇණිය සමග පෙරට...

රාජපක්ෂ පුතුන්ගේ අසහනයටත් උත්තරයක් !

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයින් අතර යම් යම් ගැටුම් පැවතියද මහින්ද රාජපක්ෂගේ පුතුන්ගේ මුලිකම අවධානය යොමුව තිබුනේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ රුපියල් බිලියන ගණනක ප්‍රචාරක කටයුතු තමන්වෙත ලබාගැනීම කෙරෙහිය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වුවහොත් සියලු ප්‍රචාරක කටයුතු දිලිත් ජයවීරගේ 'Triad ' දැන්වීම් සමාගමට හිමිවනු ඇතැයි බියට පත්ව සිටි යෝෂිත හා රෝහිත රාජපක්ෂ පුතුන්ගේ බිය පහකල දිලිත් ජයවීර, තමා විසින් මැතිවරණයට අදාල ප්‍රචාරක නිර්මාණ නොමිලේම සිදුකර දීමටත්, එම දැන්වීම් උපලේඛනගත කිරීම (Scheduling) ඔවුන් වෙත ලබාදිමටත් එකඟවී ඇත.


මෙවර සටන : කීලි Vs දිලිත් ද ?

Kili vs Dilithදිලිත් ජයවීර සිය සමීපතම මිතුරාවන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කිරීම වෙනුවෙන් සියල්ල කැපකර ඉදිරිපත්ව සිටිය දී, 'සිරස' මාධ්‍ය ජාලයේ අධිපති කීලි මහරජා, සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කිරීමේ මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර තිබීම කැපී පෙනෙන කාරණයකි.

ඡන්දදායකයින්ට මෙවර සිදුව ඇත්තේ මෙම මාධ්‍ය ජාල දෙකෙහි ගැටුම මෙඝා ටෙලියක් බලන ආකාරයෙන් බලා සිටීමටය. 


(සංස්කාරක සටහන - මෙම ලිපිය මගින් කිසියම් පුද්ගලයකුට හෝ කිසියම් පාර්ශවයකට අගතියක් සිදුව තිබේනම් ඒ සම්බන්ධයෙන් පිළිතුරුදීමට ඇති අයිතිය අපි සහතික කර සිටිමු)

සබැඳි පුවත් :
අපේක්ෂකයා වෙන අයෙක්: ගෝඨා නම් කරන්නේ උණුසුම තියාගන්න!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්