සක්විති රාජ්‍යත්වය පහළ වනවිට රටේ සම්පත් ධන ධාන්‍ය පහළ වෙන බව අපි බෞද්ධ සාහිත්‍යයේ  දැක්වෙන තොරතුරුවලින් දැන සිටිමු.


එම කාරණය යළිත් සිහිපත් කරවමින් කැළණිය මහනායක උන්නාන්සේ විසින් නාග ලෝකයේ සිට ධාතුන්වහන්සේලා වැඩම කළ බව කියමින් මහජනතාව විශේෂයෙන් කැළණිය වඳින්නට එන මහළු අම්මණ්ඩිලා මෝඩයින්ට අන්දවා ඡන්දය ලබා ගැනීමේ  වැඩ පිළිවෙලක් දැන් ආරම්භ කර තිබේ. 

ප්ලාස්ටික් බෝතලයකට දමා ගත් ඉරටුවක් වැනි මනිඅක්ඛික නා රජු..

ඒ අනුව උදාර නැමැත්තෙක් විසින් කැළණිය ගඟට බැස එහි ගිලී ධාතුන්වහන්සේලා මනිඅක්ඛික නා රජුගෙන් ලබා ගෙන ආ බවත්, දැනට ඒවා මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා කැලණිය පන්සලේ තබා ඇති බවටත් වාර්තා වෙයි. 
තවද ප්ලාස්ටික් බෝතලයකට දමා ගත් ඉරටුවක් වැනි නයෙක් මනිඅක්ඛික නා රජු යැයි පෙන්වයි. සත්ව හිංසාව ගැන උගන්වන බුදුදහම පවා මොවුන් විසින් විනාශ කරන ආකාරය අතිශයින් කණගාටුදායකය. 

අනෙක් අතට මේ දිනවල මධ්‍යම කඳුකරයට විශේෂයෙන් ශ්‍රීපාද අඩවියට පතිත වන අධික වැස්ස නිසා කැළණිය ගගෙහි ජල මට්ටම ඉහළ ගොස් තිබේ. එම ජලය සමග සර්පයින් පහළට ගසාගෙන ඒම සාමාන්‍ය සිද්ධියකි. සර්පයින් හත්අට දෙනෙක්ම ආවා යැයි උදාර නැමැත්තා කියන්නේ හරියට නාග ලෝකයම කැලණියට ආවා වැනි හැගිමකිනි. 

ලංකාවේ ඉතිහාසය දෙස බලන විට මහා වංශයට අනුව මේ රට පාලනය කළ ගෝත්‍ර තුනක් ගැන සඳහන් වේ. ඔවුන් නම් යක්ෂ, නාග හා දේව යි.

සැබවින්ම අපි එම නම්වලින් වර්තමානයේ හඳුන්වන ආකාරයට නොව මේ නමින් පෙනී සිටියේ මනුෂ්‍යයන් මිස යකුන්, නයි හෝ දෙවියන් නොවේ.

නාග යනු කව්ද?.. 

යක්ෂ යනු යකඩ හඳුනාගෙන ඒවායින් විවිධ උපකරණ නිපදවීමට කටයුතු කළ ජන කොටසකි. සුප්‍රකට රාවණ රජු පැවැතෙන්නේ එම ගෝත්‍රයෙනි. නාගයින් යනු මුහුදු ආශ්‍රිත ප්‍ර‌දේශවල ජීවත් වෙමින් නාවික කටයුතු පිලිබඳ ඉහළ දැනුමක් තිබු නැව් නිපදවූ ජන කොටසකි. 

එසේ නොමැතිව පෙනය පුම්බාගත් නාගයින් නොවේ. ඇතැම් විට ඔවුන්ගේ ගෝත්‍රික චිහ්නය Icon නාගයින් වන්නට ඇති වුවත්, ඒ සම්බන්ධ කිසිදු තොරතුරක් මෙතෙක් හමුවී නැත. මනිඅක්ඛික නා රජු යනු නාගයෙක් යැයි වරදවා වටහා ගත යුතු නැත. එනමින් හැඳින්වෙන්නේ මේ රටේ ජීවත් වූ ප්‍රදේශාධිපතියෙකි. නාග යන වචනය යොදා ගනිමින් මේ රට පාලනය කළ රජවරු විශාල පිරිසක් සිටියහ.

චෝරනාග, මහානාග, ඉලනාග, මහල්ලක නාග, ඛුඩ්ඩනාග  වැනි රජවරු ගණනාවක් ගැන අපිට මහාවංශය වැනි වංශ කතා කියවන විට හමුවේ.


දෙරණ රූපවාහිනිය සහ කැළණියේ පන්සලේ ලොකු හාමුදුරුවෝ..


එසේ තිබියදී නාග ලෝකයෙන් ගෙනා ධාතුන්වහන්සේලා (කැලණිය පන්සලේ හාමුදුරුවෝ මේවා කිසි විටෙක සර්වඥ ධාතු යැයි පවසා නැත) උදාර නැමැත්තාට දුන් බවට නටන නාටකය කුමක්දැයි පැහැදිලි වන්නේ ගෝඨාභය ඇතුළු රාජපක්ෂ  පවුළේ නාලිකාව වන දෙරණ රූපවාහිනිය පමණක් මෙම නාටකය රඟ දැක්වීම සඳහා කටයුතු කිරීම තුළිනි. 

දෙරණ රූපවාහිනියට වොයිස් කට් දෙන කැළණියේ පන්සලේ ලොකු හාමුදුරුවෝ කියන්නේ අනාගතයේ පහළ වෙන බලසම්පන්න නායකයෙක් නිසා මෙවැනි සම්පතක් නාග ලෝකයේ සිට පැමිණි බවයි.

නාග ලෝකය තියෙන්නේ කොහේදැයි කිසිවෙක් මෙතෙක් සොයාගෙන නැත. නාගයින් ජීවත් වන්නේ හුඹස්වල නිසා නාග ලෝකය තිබෙන්නේ මහපොලව යට යැයි ජන විශ්වාසයක් පවති . නමුත් මෙතෙක් එවැන්නක් සනාථ වී නැත. 

අනික් කාරණය නම් නාගයින් ඇදහීම සිරිතක් වශයෙන් ශ්‍රී ලංකාවට  පැමිණියේ හින්දු ආගමික බලපෑම් නිසාය. ඉන්දියාවේ “අහිවාතක රෝගය”  ලෙස හඳුන්වන මැලේරියාව වැළඳෙන්නේ සර්පයින් විසින් වැසි කාලයට පිට කරන විෂ දුම නිසා යැයි ඉන්දියානුවන් විශ්වාස කරන බැවින් එම රෝගය අහිවාතක රෝගය නම් විය. 

“අහි” යනු සර්පයාට කියන නමකි. ‘අහිගුන්ඨික” යන මිනිසුන් එම නමින් හැඳින්වෙන්නේ ඔවුන් නයින් නටවන පිරිසක් වන බැවිනි. 


එදා ඉඳන්ම රටේ මිනිසුන් ගොනාට ඇන්දවූ හැටි..


කෙසේ වුවද, තමන්ට නැති දේවත්වයක්, සමාජ ගෞරවයක් ලබා ගැනීම සඳහා රාජපක්ෂලා එදා ඉඳන්ම මේ රටේ මිනිසුන් ගොනාට ඇන්ද වූයේය. 

ඔබට මතක ඇති නම් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් සිටියදී විශේෂයෙන්ම රණවිරු මහ සෑය හදද්දී රටේ විවිධ  ප්‍රදේශවලින් මහා මැණික් ඉල්ලම් මතුවන බව ප්‍රසිද්ධියට පත් කළේය. ඇතැම් තැන්වල මැණික් ඉල්ලම් මතුවන බවට එවකට රාජපක්ෂ පාලනය යටතේ පැවැති රූපවාහිනි නාලිකා වල බ්‍රේකින්ග් නිව්ස් පවා ගැහුවේය. 

එපමණක් නොව ලුනුගම්වෙහෙර එක්තරා බොරලු ඉඩමක් විකුනා ගැනීමට අවශ්‍යව තිබු අතර ඉන් විශාල වශයෙන් මැණික් මතුවන බවට ප්‍රචාරය කර එම ඉඩම අති දැවැන්ත මුදලකට අලෙවි කළේය. නමුත් එම ඉඩමෙන් හමුවූ මැණිකක් තබා අනිකක් වත් නැති වු අතර, එම ඉඩම් මිල දි ගත්තවුන් හිඟන්නන් බවට පත්වූහ. 

එමෙන්ම මහින්ද රාජපක්ෂ යනු සක්විති රජෙක් බවට පත් කිරීමට ඇතැම් හාංදුරුවරු ද විශාල උත්සාහයක් දැරූහ.


කැළණිය පන්සලේ ඔක්කොම ධාතු තිබූ තැන..


2020 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මුව විට තබා කැළණියට ධාතුන් වහන්සේලා වඩින්නේ ඒ අව් අස්සේය. අනික් අතට කැලණිය පන්සල කොහොමටත් ධාතුන්වහන්සේලාට ප්‍රසිද්ධය. 

දිවංගත බණ්ඩාරනායක ශ්‍රීමතාණන් පාලනය කළ සමයේ දිනක් එතුමන්ට නිල චාරිකාවක් විදේශ ගතවීමට අවශ්‍ය විය. ඔහු කටුනායකින් ගුවන් යානයට නගින්නට පෙර තමන්ට සමුදීමට පැමිණි සියලු දෙනාට ආචාර කළේය. බණ්ඩාරනායක ඝාතනයේ ප්‍රමුඛ චරිතයක් වන විමලා විජේවර්ධන ද එතැන සිටියේය.

බණ්ඩාරනායක මහතා සියලු දෙනාට සාමාන්‍ය විදියට වැඳ ආචාර කළ අතර විමලා විජේවර්ධන ලඟට අවුත් හිස පහත් කර ආචාර කළේය.

“අන් අයට සාමාන්‍ය වශයෙන් ආචාර කර විමලා විජේවර්ධනට හිස පහත් කර ආචාර කළේ ඇයි”  දැයි සෙසු අය බණ්ඩාරනායක මහතාගෙන් විමසූහ.

බණ්ඩාරනායක මහතා යනු මුඛරි කටක් සහිත දේශපාලනඥයෙකි. ඔහු එක්වරම කියා සිටියේ “මම එහෙම කළේ හේතුවක් ඇතිව” බවයි.

එම හේතුව කුමක්දැයි අනෙක් අය විමසූහ

 “ඇයි.. තමුන්නාන්සේලා දන්නැද්ද..  කැළණිය පන්සලේ ධාතුන්වහන්සේලා ඔක්කොම තියෙන්නේ මෙතැන තමයි “ කියා හෙතෙම විමලා විජේවර්ධන දෙස බැලීය. විමලා විජේවර්ධන යනු රූමත් කැබිනට් ඇමැතිවරියකි.  විමලා විජේවර්ධන හා කැලනිය පන්සලේ එවකට මහානායක ව සිටි මාපිටිගම බුද්ධරක්ඛිත අතර තිබු ලිංගික සම්බන්ධතා එකළ දේශපාලකයින්ට රහසක් නොවීය. එකළ පටන්ම කැළණිය මෙවැනි හදිසි ධාතු වැඩැම්මවිම්වලට චිර ප්‍රසිද්ධය.


බුද්ධරක්ඛිත සහ සංඝරක්ඛිත.. 

අනෙක් අතට දැන් ඉන්න කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ද එදා සිටි මාපිටිගම බුද්ධ රක්ඛිතට වඩා දෙවැනි නැත. දායක සභාවේ ප්‍රධාන දායකයා වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම දායක සභාවෙන් මින් මාස කිහිපයකට පෙර ඉවත් වුයේ වත්මන් නායක හාංදුරුවන්ට එල්ල වී ඇති මුදල් අවභාවිත කිරීම් සම්බන්ධව චෝදනා නිසාය. ඒ සම්බන්ධව විමර්ශන අවසන් වන තෙක් රනිල් වික්‍රමසිංහ මහතා දායක සභාවෙන් ඉවත් විය. එහෙත් හාමුදුරුවන්ට අගතියක් වේයැයි සිතු රනිල් ඒ බව කිසිවෙකුට හෝ කීවේ නැත. 

නමුත් සංඝරක්ඛිත වත්මන් නායක  හාමුදුරුවෝ තමන්ට එල්ල වු චෝදනා වසා ගනිමින්  රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කරමින් ප්‍රකාශයක් නිකුත් කළේය.

එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා ඒ ගැන වචනයක් හෝ කතා නොකෙළේ හාමුදුරුවන්ගේ චරිතයට හානියක් වේ යැයි සිතූ හෙයිනි. 

වත්මන් නායක හාමුදුරුවන්ගේ ක්‍රියාකළාපය ගැන දන්නා අය බොහෝය. ඔහු තරම් දුශ්ෂීලයෙක් තවත් නැත. එහෙව් පුද්ගලයෙක් විහාරස්ථානාධිපති ධුරයේ සිටිය දි ධාතුන්වහන්සේලා අලුතින් වඩිනවා නොව තියෙන ඒවාත් අතුරුදන්වීම වැළැක්විය නොහැකිය.

නිකම්ම නිකම් පියසේනලා ‌වෙන දියසෙනලා..

එමනිසා මෙම මනිඅක්ඛික ධාතු නාටකය අවසන් වන්නේ ගෝඨා යනු දියසේන කුමාරයාට සමාන කරමිනි. මහින්ද දුටුගැමුණුට ඇන්දවුවා සේම ගෝඨාභය රාජපක්ෂ මහතා දියසේනට අන්දවනු ලැබ තිබේ. මේ දියසේනලා මැතිවරණ ප්‍රතිපල එනවිට නිකම් නිකම් පියසේනලා වීම වැළැක්විය නොහැකිය. 

අනෙක් අතට රාජපක්ෂලා වටා සිටින සියලු දෙනාම දෙවියන් සමග ගනුදෙනු කරන අය වේ. වියත්මගේ එදා සිටි චන්නලා, නලින් සිල්වලා, නාථ දෙවියන්ගේ නියෝජිතයින්ය. 

දැන් මණිඅක්ඛික නාගරාජයාද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට එක්ව සිටී. දැන් වියත්මග අරක් ගෙන සිටින්නේ නාථ දෙවියන්ගෙන් වරම් ලත් චන්නලා, නලින් ලා නොව බොරු දත පෙන්වා සිනාසෙන බන්දු සමරසිංහලා, සුදු වෙන්නට ක්‍රීම් ග්‍රීසියෙන් ආනයනය කර ගා කැරපොතු සුදකින් දිදුළන ඕෂධීලා ය. දැන් ඒක වියත් මගක් නොව සැබවින්ම විපත් මගකි. 


මණිඅක්ඛික ධාතු 18 දාට අතුරුදහන් වනු ඇත..

රජුන් බිහිවන විට ආශ්චර්යයන් සිදුවේ. හෙට අනිද්දා සුදු ඇතා ද පහළ වනු ඇත. දුටුගැමුනුගේ කුන්තායුධය හා සපුමල් කුමරුගේ මගුල් කඩුව කෝට්ටේ හාමුදුරවරු දෙදෙනෙක් මරා දමා ලබා ගත් හෙයින් මගුල් කඩුව හා කුන්තායුධය ගැන ගැටලුවක් නැත. කෙතරම් ආශ්චර්යක්ද..? 

මතක තබා ගන්න-  කැලණියට මණිඅක්ඛික නා රජු අතින්  වඩම්මවන ලද ධාතු මේ මස 18 දායින් පසුව අතුරුදන් වනු ඇත. 

අනෙක් කාරණය නම් 1900 ගණන්වල දී පවා මුදල් හා ධනය බලය සම්බන්ධයෙන් මේ රටේ හාංදුරුවරු මැරීගෙන කටයුතු කළ ආකාරය ගැන මහා ගත්කරු පියදාස සිරිසේනයන් පවා නිර්භයව සිය සාහිත්‍ය කෘතිවලින් ඉදිරිපත් කළේය. 

එහෙත් වර්තමානයේ සංඝ සංස්ථාවේ පවතින දූෂණ හොරමැරකම් ලියන්නට විවේචනය කරන්නට කොන්දක් ඇති අයෙක් නැත. නැවතත් පියදාස සිරිසේන කෙනෙක් මේ රටේ පහළ විය යුතුය. 

මේ රටට අවශ්‍ය දියසේනලා නොව පියදාස සිරිසේන ලා වැනි නිර්භය විචාරකයින්ය. ඔහු විසින් විමල තිස්ස හාමුදුරවුන්ගේ මුදල් පෙට්ටිය, අද්භුත ආගන්තුකයා වැනි පොත් ලියමින් මේ රටේ හාංදුරුවරු බුදුදහමට  මුවාවෙන් සිදු කරන මහා වංචාවල් හෙළිදරව් කළේය. 


(ලංකා ඊ නිව්ස් - සල්පිටියේ ධම්මදස්සි හිමි)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්