The Leader News
BREAKING
Top Ad
Opinion

බලාපොරොත්තු ඇති කළ කතාවක් : ''නිදහස් දින ජනපති ප්‍රතිඥා අනිවාර්යෙන් ක්‍රියාත්මක කළ යුතුයි'' -දේශපාලන විචාරක කුසල් පෙරේරා

T

The Leader Desk

February 5, 2020 • 6:28 AM

 බලාපොරොත්තු ඇති කළ කතාවක් : ''නිදහස් දින ජනපති ප්‍රතිඥා අනිවාර්යෙන් ක්‍රියාත්මක කළ යුතුයි'' -දේශපාලන විචාරක කුසල් පෙරේරා 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපට මතක කාලයේ නිදහස් දින ජාතික සැමරුම් උත්සවයකදී රාජ්‍ය නායකයෙකු හෝ නායිකාවක් හෝ ඉතා සරළව හා නිරවුල්ව අනාගතය ගැන මෙතරම් බලාපොරොත්තු ඇති කළ කතාවක් කරලා නැහැ. මේ විනාඩි 19 ක කතාව මම අන්තර්ජාලයේ දෙවරක්ම ඇසුවා. ඒ කතාවෙහි විරුද්ධ වන්නට හැකි කිසිවක් මට හොයා ගන්න බැරි වුනා.
  • ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කරනු ලැබූ මේ රටේ රාජ්‍ය නායකයා ලෙස සියලු දෙනාගේ අනාගතය වෙනුවෙන් තමන් වගකිව යුතුයි කියලා කිව්වේ වගකීමක් ඇතිව.
  • ජනාධිපති ගෝඨාභය එහෙම කියුවට, ඇතැම් සිංහල බෞද්ධ අන්තවාදීන් මෙන් මේ රට සිංහල-බෞද්ධ රාජ්‍යයක් යැයි එයා කිව්වේ නැහැ.
  • තමන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට සියල්ලන්ගේ ජීවනෝපාය දියුණු කරන බවත් ආර්ථිකය දියුණු නොකර නිදහසක් තියෙන්නේ නැති බවත් කිව්වා.
අකුරු ප්‍රමාණය (Font Size):

රාජ්‍ය නායකයෙකු නිදහස් දින ජාතික උත්සවයේදී ජාතිය හා ජාත්‍යන්තර ප්‍රජාව අමතා වගකීමකින් තොරව කතා කරන්නේ නැහැ. වගකීමකින් තාරව වචන පාවිච්චි කරන්නේ නැහැ. ඒ අනුව තමයි ජනාධිපති ගෝඨාභය කිව්වේ එයාගේ වගකීම ඡන්දය දුන්නු ජනතාවට පමණක් වැඩ කිරීම නෙවෙයි කියලා. ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කරනු ලැබූ මේ රටේ රාජ්‍ය නායකයා ලෙස සියලු දෙනාගේ අනාගතය වෙනුවෙන් තමන් වගකිව යුතුයි කියලා කිව්වේ වගකීමක් ඇතිව.

මේ රට ඒකීය රාජ්‍යයක් කීම ගැන මට පොඩි අවුලක් තියෙනවා. ඒකත් අපි මෙහෙම යන ගමන් කතා කරමු. ජනාධිපති ගෝඨාභය එහෙම කියුවට, ඇතැම් සිංහල බෞද්ධ අන්තවාදීන් මෙන් මේ රට සිංහල-බෞද්ධ රාජ්‍යයක් යැයි එයා කිව්වේ නැහැ. එයා කිව්වේ, බුදු දහමින් දීර්ග කාලයක් පෝෂණය වූ රටක් හැටියට මේ රටේ සියලු ආගමිකයින්ට, සියලු වාර්ගිකයින්ට සමානයින් ලෙස එකට සිටිය හැකි සංස්කෘතියක් අපට තියෙනවා කියලයි. 

ඒ ඉතිහාසය තවත් විස්තර කරමින් ඔහු කිව්වේ, එදා සංඝයා වහන්සේ හැමවිටම රාජ්‍ය නායකයාට අනුශාසනා කෙරුවේ ධාර්මික රාජ්‍ය පාලනයක් සඳහා කියලා. ඔහු අද නිදහස් දින පෙනී සිටියේ එවැනි ධාර්මික රාජ්‍ය පාලනයක් වෙනුවෙන්. ඒ නිසා ඔහුගේ රාජ්‍ය පාලනය යටතේ කිසිදු අන්තවාදයකට ඉඩ දෙන්නේ නැහැ කියලත් සහතික උනා. අන්තවාදයක් එක්ක නිදහසක් තියෙන්නේ නැහැ කියන එක ජනාධිපති දුන්නු පණිවිඩයයි.

Kusal 05.text1
තමන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට සියල්ලන්ගේ ජීවනෝපාය දියුණු කරන බවත් ආර්ථිකය දියුණු නොකර නිදහසක් තියෙන්නේ නැති බවත් කිව්වා. ජාති, ආගම්, ස්ත්‍රී-පුරුෂ වැනි කිසිදු භේදයකින් තොරව තමන්ගේ කටයුතු කිරීමේ නිදහස හා අයිතිය සහතික කරන බවටත් ප්‍රතිඥා දුන්නා. පුද්ගලික හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කිසිදු ආකාරයකින් සීමා කරන්නට ඉඩ නොතියන බවටත් සහතික උනා. 

හෘදය සාක්ෂියට එකගව අදහස් දැරීමේ පමණක් නෙවෙයි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් පූර්ණ ලෙස ආරක්ෂා කරන බවට සහතික උනා. මාධ්‍ය නිදහස ගැනත් ඒ වගේම සහතික උනා. තමන්ගේ රාජ්‍ය පාලනය තුල මාධ්‍යයට කිසිම බලපෑමක් කිරීමට ඉඩ නොතියන බවත් කිව්වා. රාජ්‍ය පාලනයේ යම් අඩුවක් පෙනුනොත් ඒ ගැන විවෘතව කතා කරන්නත් කිව්වා. ව්‍යවස්ථාධායකය, අධිකරණය හා විධායකය අතර හොඳ තුලනයක් පවත්වා ගත යුතු බවත් ඒවා තමන්ගේ රාජ්‍ය පාලනයට බාධාවක් නොවිය යතු බවත් ඔහු කිව්වා.

දැන් අපිටත් වගකීමක් තියෙනවා:

ඒවා ක්‍රියාත්මක කිරීමට, ඒ වෙනුවෙන් පෙනී සිටින්න දැන් අපිටත් වගකීමක් තියෙනවා. ඒ නිසා මෙදා නිදහස් දින උත්සවයේ ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමේ අඩුව ඉදිරියේදී දෙමළෙන්ද ගයා සම්පූර්ණ කිරීමට පියවර ගන්නැයි අපි ඉල්ලා සිටිය යුතුයි. වෙනත් රටවල සම්ප්‍රදායන් අපි බදා ගන්න අවශ්‍ය නැහැ. 

මොනවටද ලෝකෙන් උතුම් රටේ අපි අනෙක් අයව අනුකරණය කරන්නේ? ජනාධිපති කිව්වේ සියල්ලන් සමානයි කියලා. බෞද්ධ හැදියාවක් තියෙන රටේ සියල්ලන්ට සමාන අයිතිවාසිකම් තියෙනවා කිව්වා. ඒ නිසා සමානයින් අතර බෙදීමකට ඉඩ නොතියා, අපේ යහපත සඳහා අපට උචිත සම්ප්‍රදායක් හදා ගන්න වෙනත් රටවල් කොපි කරන්න අවශ්‍ය නැහැ. එනිසා දෙමළෙන්ද ජාතික ගීය ගැයීමේ අයිතිය සම්මතයක් ලෙස සහතික කරමු. දෙමළෙන් කිව්වත් කියන්නේ “එක මවකගෙ දරු කැල බැවිනා, යමු යමු වී නොපමා, ප්‍රේම වඩා සැම භේද දුරැලලා......” කියලනෙ. ඒ අය ඒක දෙමළෙන් කියන එක කොයි තරම් හොඳද?  

මෛත්‍රීපාල ජනාධිපති යටතේ අන්තවාදය තහනම් වෙලා තියෙන්නේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව පමණයි. මුස්ලිම් අන්තවාදී සංවිධාන දෙකක් එයා තහනම් කෙරුවා. නමුත් කිසිදු අන්තවාදයකට ඉඩ නොදෙන්න, දුන්න පොරොන්දුව සම්පූර්ණ කරන්න ගෝඨාභය ජනාධිපතිටත් හයියක් අවශ්‍යයයි. සිංහල අන්තවාදී සංවිධාන දෙක තුන තහනම් කරන්න කියලා අපි කියන්න ඕනේත් ඒ නිසයි. මොන අන්තවාදයක් එක්කවත් නිදහසක් නැති නිසා.

අදහස් ප්‍රකාශ කිරීමේ සම්පූර්ණ අයිතිය තහවුරු කරන්න ජනාධිපති ප්‍රතිඥා දුන්නට පස්සේ, ඒක ඒ විදියට ක්‍රියාත්මක විය යුතුයි. මේක සිංහල බෞද්ධ රාජ්‍යයක් කියලා ජනාධිපතිත් නොකිව්වට පස්සේ, ඒක කලින් කිව්ව මංගල සමරවීරට විරුද්ධව පැමිණිලි බාර ගන්න පොලීසියට අයිතියක් නැහැ කියලා කියන්න අපට දැන් වගකීමක් තියෙනවා. ජනාධිපති පොරොන්දු වුන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන්න අපි ජනාධිපතිට හවුල් වෙන්න ඕනේ එහෙමයි. Kusal text 02.05 1

මාධ්‍ය නිදහස පූර්ණ වශයෙන් සහතික කරන්න ජනාධිපති ප්‍රතිඥා දුන්නට පස්සේ, මාධ්‍ය ආයතන වලට පොලීසියෙන් කඩා පැන මාධ්‍ය ආයතන සෝදිසි කිරීම, මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීම තවදුරටත් සිදු නොවිය යුතුයි. එනිසා දැන් සිදුවිය යුත්තේ පසුගිය දවස්වල වගේ චෝදනා අටවගෙන මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීම, මාධ්‍ය ආයතන පරීක්ෂා කිරීම වහා නවත්වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජනාධිපතිගේ ප්‍රතිඥාව අනුව ප්‍රසිද්ධ ප්‍රකාශයකින් අදාල සියලු ආයතන වලට දැනුම් දීමයි. 

දැන් සිදුවිය යුත්තේ මාධ්‍යවේදීන්ට පහර දුන්නු අයට විරුද්ධව වහාම පියවර ගැනීමයි. දැන් කවුරුත් එකතු වෙන්න ඕනෙ. පොරොන්දු උන ඒ මාධ්‍ය නිදහස අර්ථවත් කර ගන්නයි.  

කෙටියෙන්ම කියනවා නම් මීට මාස 16 ට ඉස්සර, දින ගණන් කොළඹ කොටුවේ, ගාලුමුවදොර පිටියේ “Not Ranil – But Democracy” කියලා බෝඞ් අල්ලන් හිටිය ප්‍රජාතන්ත්‍රවාදීන් හැමෝටම දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂම “Democracy” වෙනුවෙන් වගකීම් පවරලා තියෙන්නේ. එයා දීපු ප්‍රතිඥා සියල්ල වෙනුවෙන් දැන් කොළඹ බෝඞ් අල්ලන් ඉන්න වරම් තියෙනවා. ඉතිං හමුවෙමු “ශැංග්‍රිලා” ඉදිරිපිට ගාලුමුවදොර පිටියේදී. නිදහස් දින ජනාධිපති ප්‍රතිඥා වෙනුවෙන්.

කුසල් පෙරේරා
නිදහසට පසු දින
2020 පෙබරවාරි 05 වන දින

සබැඳි පුවත් :

''ජනපතිගේ කතාව විශිෂ්ඨයි'' - හිටපු ඇමති මංගල කියයි

සාමුහික අනාගතයක් වෙනුවෙන් තීන්දුවක් ගනිමු! - කුසල් පෙරේරා ගේ 'නිදහස් දින' සටහන

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...