ඒ අරගලය මාස ගණනක් දිගහැරිලා එතනින් එහාට කොතැනකට යන්නේද යන ගැටලුව එක්ක එසේම පැවතිච්ච වෙලාවක ඒක රනිල් හයිජැක් කරනවා පොහොට්ටුව එක්කම එකතුවෙලා.

ඊට පස්සේ ඒක එයා IMF එක්ක ගැටගහල වෙනත් මාවතක කෙටි කාලයක් ගමන්කරනවා. නමුත් අරගලයේ දේශපාලන අභිලාෂයක් නොනවත්වා සමාජය තුල ගමන්කරන අතරවාරයේ ඊට සෑහෙන පමණ වේදිකාවක් ජාතික ජන බලවේගය (මාලිමාව) නිර්මාණය කරනවා. එහි ප්‍රතිපලයක් හැටියට එය සුවිශ්ෂ ලෙස බලයට එනවා. අනුර ජනාධිපති වෙනවා. පාර්ලිමේන්තු ආසන 159ක් එනවා. ඒක ඉතාම සුවිශේෂ තත්වයක්.
එම සුවිශේෂ තත්වය යටතේ බලයට එන මාලිමාව සුවිශේෂ සීමාකම් ප්‍රමාණයක්ද පෙන්වමින් සිටිනවා. ඉන් ප්‍රධාන සිමාකමක් අපි දැක්කේ දළදා ප්‍රදර්ශනය එක්ක. ඒ ආගමික ක්‍රියාව එක්ක සෑහෙන ලකුණු ප්‍රමාණයක් ඔවුන් අභ්‍යන්තරව රැස්කරන කොටම විශාල සීමාකම් ප්‍රමාණයක්ද ඔවුන් බාහිරට පෙන්නුවා. අනික් ඒවාට වඩා ඒක තරමක් දැනෙන සුළු එකක් උනා. විශේෂයෙන් පුරෝකථනය, පුර්ව සූදානම, පරිකල්පනය වගේම කළමනාකරණය වගේ දේවල් වලදී මේක දකින්න පුළුවන් උනා.

මිනිස්සු හිතන්න ගත්ත මීට වඩා ලොකු දෙයක් උනොත් මොකක් වෙයිද කියල. ඒ අනියත අවිනිශ්චිත බව දේශපාලනය ඇතුලේ ලොකු ඇත්තක්.
ඒ නිසා මාලිමාව එක්ක ඉන්න යම් පිරිසක් ඉන් ඉවත් වෙලා එයාල මුලින් හිටිය පොහොට්ටුව පැත්තට යන්න තියන ඉඩකඩ වැඩියි. මේ පළාත් පාලන මැතිවරණෙන් ඒක යම් තරමක් පෙන්න පුළුවන්. අනික් කාටවත් ඒ චාන්ස් එක එන්නේ නැහැ.
නමුත් මෙවර මැතිවරණය පවා මාලිමාව දිනනවා. ඒ කියන්නේ තවමත් ඒ සියලු සීමාවන් සහිතව මිනිස්සු එතැන රැඳී ඉන්නවා. හැබැයි හැමදාටම නෙවෙයි.

මුලින් අරගලය සහ පසුව මාලිමාව විසින් ජීවය දුන්න දේශපාලන වටිනාකම් සහ හර පද්ධතිය වෙනුවෙන් පෙනී සිටින දැවැන්ත ජනතා ව්‍යාපාරයක් (mass movement) ඉස්මතුව නැති නිසා තමයි මිනිස්සු තවමත් එහෙම ඉන්නේ.
අනුර කියන එක ඇත්ත. එන්න ඉන්න කෙනෙක් අපිට වඩා හොඳ වෙන්න!
මාලිමාවට වඩා දියුණු දේශපාලන ව්‍යපාරයක් අනාගතය සඳහා අවශ්‍ය වෙමින් තියනවා. දියණුයි කියන්නේ හැම පැත්තෙන්ම දියුණු....
නමුත් ඊළඟ දේශපාලන අදියර ආරම්භවෙන්නේ මාලිමාවට එරෙහිව නොව එයට සමාන්තරව වෙන්නත් පුළුවන්.
(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



