විදේශිකයන් 26 දෙනෙකුට මරු කැඳවමින් අප්‍රේල් 22 වැනි දින සිදුවූ පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව හා පාකිස්තානය අතර දේශපාලන අවිනිශ්චිතභාවය වැඩිවී තිබෙනවා.
ත්‍රස්තවාදීන්ගේ දුෂ්ට ප්‍රහාරය හමුවේ ඉන්දියා රජය පාකිස්තානය හුදෙකලා කිරීම පිණිස සැලකියු යුතු පියවර කිහිපයක් ගෙන තිබෙනවා. මේ අලුත් තීරණ පැමිණෙන්නේ දේශපාලන ආකල්පයෙන් පමණක් නොව ක්‍රීඩාව පැත්තෙන් ද වන අතර පාකිස්තානය සමග තිබෙන සියලු සබඳතා කපා දැමීමයි මෙහි අරමුණ වී තිබෙන්නේ.
‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ වාර්තාවකට අනුව ළඟ එන ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලිය කල්දැමීමට ඉඩ තිබෙනවා.
“ආසියානු කුසලාන තරගාවලිය සැප්තැම්බර් මාසයේදී මධ්‍යස්ථ ඉසව්වක ක්‍රීඩා කිරීමට නියමිතයි. තරගාවලිය පැවැත්වෙන ස්ථානය පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නැතත් ඉන්දියාව හා පාකිස්තානය අතර ක්‍රිකට් ක්‍රීඩාවක් මේ අවස්ථාවේ පරමාදර්ශී දෙයක් නොවන බව පැවසෙනවා” යනුවෙන් එම පුවත්පත වාර්තා කරනවා.

ඉන්දියාව ළඟ එන ඔවුන්ගේ බංග්ලාදේශ සීමිත ඔ්වර ක්‍රිකට් තරග සංචාරය ද මඟහැරීමට ඉඩ තිබෙන බව එම වාර්තාව සඳහන් කරනවා. මේ තත්ත්වය උද්ගතව තිබෙන්නේ විශ්‍රාම ගිය බංග්ලාදේශ යුද හමුදා නිලධාරියෙකු වන මේජර් ජනරාල් A.L.M. Fazlur Rahman ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්තවල අත්කර ගැනීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහස් පළ කරමින් විශාල මතභේදයක් ඇවිස්සීමෙන් පසුව.
“මේ සංචාරය තරග කැලැන්ඩරයේ කොටසක්. නමුත් කිසිම දෙයක් ගැන අවසාන තීරණයක් තවම නැහැ. වර්තමාන තත්ත්වය හේතුවෙන් ඉන්දියා කණ්ඩායම ජාත්‍යන්තර එක්දින හා විස්සයි20 තරග සඳහා බංග්ලාදේශයේ සංචාරය නොකිරීමට තිබෙන අවස්ථාව වැඩියි” එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා.

ළඟ එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග දිනයන් හා ස්ථාන පිළිබඳව අවසන් තීරණයකට පැමිණ නැහැ. තරගාවලිය පැවැත්වීම සඳහා කොළපැහැ එළිය ලැබුනොත්, එය ක්‍රීඩා කෙරෙනු ඇත්තේ හයිබ්‍රිඩ් මොඩලයක් යටතේ.
මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකයන් ඉන්දියාව වන බැවින්, පාකිස්තානය ඔවුන්ගේ තරග ශ්‍රී ලංකාවේ හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



