පෘතුගාලය සහ එංගලන්ත ලිවපූල් පාපන්දු සමාජයේ ඉදිරි පෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩිඔගෝ ජෝටා (Diogo Jota) සහ ඔහුගේ සොහොයුරා රිය අනතුරකින් මිය යාමේ පුවතින් පාපන්දු ලෝකය වැලපෙනවා.
ජෝටා ඔහුගේ 25 හැවිරිදි සොයුරු ඇන්ඩෲ සිල්වා සමග ලැම්බෝගිනි මෝටර් රථයකින් බ්‍රහස්පතින්දා (3) ස්පාඤ්ඤයේ සමෝරා නගරයේ ගමන් කරමින් සිටියදී රථයේ ටයරයක් පුපුරා යාමෙනුයි මේ බිහිසුණු අනතුර සිදුව තිබෙන්නේ. ජෝටා මෙන්ම සිල්වා ද වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු වන අතර ඔහු පෘතුගාල පාපන්දුවේ දෙවැනි ස්තර කණ්ඩායමක් වන Penafiel සමග ක්‍රීඩා කරමින් සිටියා.

සමෝරා නුවරින් බටහිරට වන්නට තිබෙන මහා මාර්ගයේ හුදෙකලා කොටසකදී වාහනයේ ටයරයක් පුපුරා යාමෙන් පසුව මාර්ගයෙන් ඉවතට විසිවූ වාහනය ගිනිගෙන තිබෙන අතර ගින්න අසල තිබෙන වතුයායටද පැතිර යද්දී ගිනි නිවන භටයින් කැඳවා තිබෙනවා.
ජෝටා ඔහුගේ ළමා වියේ ආදරය වන Rute Cardoso සමග විවාහ වුනේ මීට සති දෙකකට පෙර. ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටින අතර බාලම දරුවා ඉපදුනේ පසුගිය වසරේ.

මෑතකදී පෙණහල්ලේ හටගත් ආබාධයකින් පසුව ගුවනින් නොයන ලෙසට දී තිබූ වෛද්‍ය උපදෙස් අනුව පාරුවෙන් එංගලන්තයේ ලිවපූල් නගරයට යාම පිණිස ජෝටා ස්පාඤ්ඤයේ සැන්ටැන්ඩ වරාය නගරය බලා මෝටර් රියෙන් යමින් සිටියදී මේ අනතුර සිදුව තිබෙනවා.
ඩිඔගෝ හෝසේ ටිශේරා ඩා සිල්වා (Diogo Jose Teixeira da Silva) ජෝටාගේ සම්පූර්ණ නම වී තිබුණා. මේ අනුව නියම වාසගම ‘සිල්වා’ වන ඔහු 1996 වසරේ දෙසැම්බර් 4 වැනිදා උපත ලැබුවේ පෘතුගාලයේ පෝටෝ නගරයේ. යොවුන් පාපන්දු ඇකඩමියේ සිටි ඩිඔගෝ හා සිල්වා යන අනෙක් ක්‍රීඩකයන්ගෙන් වෙන්කොට හඳුනා ගැනීමටයි ඔහු ‘ජෝටා’ යන නම භාවිතා කිරීම තෝරා ගෙන තිබුනේ.
ජෝටා ඔහුගේ තරුණ ක්‍රීඩා දිවිය Gondoma ක්‍රීඩා සමාජය සමග එක්වෙමින් ආරම්භ කළේ වයස අවුරුදු නවයේදී. වසර අටකට ආසන්න කාලයක් එම කණ්ඩායම සමග ගත කිරීමෙන් පසුව ඔහු 2013 වසරේදී Pacos de Ferreira පාපන්දු සමාජයට එක්වුනා. එම කණ්ඩායමේ පහළ සිට ඉහළට නැග ආ ජෝටා අවසානයේ ජ්‍යෙෂ්ඨ මංගල තරගයට ක්‍රීඩා කළේ 2014 වසරේ.
එම ක්‍රීඩා සමාජය 41 වතාවක් නියෝජනය කළ ඔහු 2016 වසරේදී ස්පාඤ්ඤ පාපන්දු දැවන්තයින් වන ඇට්ලටිකෝ මෙඩ්රිඩ් (Atletico Madrid) කණ්ඩායම සමග එක්වීමට පෙර ජ්‍යෙෂ්ඨ තරග ගෝල් 14ක් වාර්තා කළා. කෙසේ වෙතත්, ඇට්ලටිකෝ කණ්ඩායම වෙනුවෙන් එකම තරගයක් හෝ ක්‍රීඩා නොකළ ජෝටා ඊළඟ තරග වාර දෙක ගතකළේ පෝටෝ පාපන්දු සමාජය (FC Porto) සහ වුල්වහැම්ප්ටන් වොන්ඩරර්ස් - වුල්ව්ස් (Wolverhampton Wanderers – Wolves) යන කණ්ඩායම්වලට තාවකාලිකව ලබා දුන් ක්‍රීඩකයෙකු ලෙස.
වුල්ව්ස් කණ්ඩායම සමග එංගලන්තයේ ක්‍රීඩා කළ 2017-18 තරග වාරය ජෝටාගේ ක්‍රීඩා දිවියේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වුනා. එහිදී ඔහු වුල්ව්ස් ට ප්‍රිමිය ලීගයට උසස් වීම සඳහා උපකාර කළේ තරග 44කදී ගෝල් 17ක් ලබා ගනිමින්. ඉන්පසුව වුල්ව්ස් ක්‍රීඩා සමාජය ජෝටාව ඇට්ලටිකෝ ක්‍රීඩා සමාජයෙන් ඉවත් කරගෙන ඔවුන්ගේ කණ්ඩායමට බඳවා ගත්තේ ප්‍රිමිය ලීගයට ඔවුන්ගේ නැවත ප්‍රවිශ්ටයට පෙර.
වුල්ව්ස් කණ්ඩායම සමග ප්‍රිමිය ලීගයේ ක්‍රීඩා කළ තරග වාර දෙකේදී සුවිශේෂ දස්කම් ප්‍රදර්ශනය කිරීමෙන් පසුව ජෝටාව ලිවපූල් ක්‍රීඩා සමාජය විසින් 2020 වසරේ සැප්තැම්බරයේ බඳවා ගනු ලැබුවේ පවුම් මිලියන 45ක ගිවිසුමකින්. 2021-22 තරග වාරයේ විශිෂ්ට දස්කම් පෑ ඔහු තරග 55කට ක්‍රීඩා කරමින් ගෝල් 21ක් ලබා ගත් අතර ලිවපූල් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ සමස්ත තරග 182දී ගෝල් 65ක් ලබා ගැනීමට ජෝටා සමත් වුණා. පසුගිය මාසයේදී ප්‍රිමිය ලීග් ශූරතාව (Premier League) දිනා ගත් ඔහු ඊට පෙර, ලිවපූල් කණ්ඩායම සමග ගෙවූ පස් වසරක කාලය තුළ එෆ්.ඒ.කුසලානය (FA Cup) හා Carabao කුසලාන දෙකක් හිමිකර ගත්තා.
ජාත්‍යන්තර පාපන්දු තරග බිමේදී ජෝටා පෘතුගාල ජාතික කණ්ඩායම ඇතුළුව එරට විවිධ වයස් ඛාණ්ඩවල කණ්ඩායම් නියෝජනය කළා.
පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ඔහු තරග 49කට ක්‍රීඩා කරමින් ගෝල් 14ක් ලබා ගත්තේ ජාතික කණ්ඩායමට 2019 හා 2025 වසරවලදී UEFA Nations League ශූරතා දෙකක් දිනා ගැනීමට සහාය වෙමින්.
ජෝටා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කළ අය අතර පසුගිය මාසයේ යුරෝපීය නේෂන්ස් ලීග් පෘතුගාල ජයග්‍රහණයේදී ඔහු සමග ක්‍රීඩා කළ ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ, පෘතුගාලයේ ජනාධිපති හා අගමැති, එංගලන්ත අගමැති, ජගත් පාපන්දු සම්මේලනය හා යුරෝපීය පාපන්දු සම්මේලනයේ සභාපතිවරු සහ එංගලන්ත පාපන්දු සංගමයේ වසර 2006 සිට 2024 දක්වා සභාපතිව සිට පසුගිය වසරේ සිට එහි අනුශාසක ලෙස කටයුතු කරන විලියම් කුමාරයා ද සිටිනවා.
ඩිඔගෝ ජෝටාගේ අවසන් කටයුතු හෙට (සෙනසුරාදා) පෘතුගාලයේ පෝටෝ නගරයේදී සිදුකිරීමට නියමිතයි.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






