අමෙරිකාවේ ඕලෑන්ඩෝ, ෆ්ලොරිඩා සහ ෆිලඩෙල්ෆියා යන නගරවල ඊයේ පාපන්දු සමාජ ලෝක කුසලාන (Club World Cup) අර්ධ අවසන් පූර්ව තරග ආරම්භ වීමට පෙර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) රිය අනතුරෙන් මිය ගිය පෘතුගාල හා ලිවපූල් ක්‍රීඩක ඩිඔගෝ ජෝටා සහ ඔහුගේ සොහොයුරා වූ ඇන්ඩෲ සිල්වා ට ගෞරව පුද කළා.
28 හැවිරිදි ජෝටා සහ 25 හැවිරිදි සිල්වා පාපන්දු ලෝකය හඬවමින් මිය ගියේ බ්‍රහස්පතින්දා මැදියම් රැයේ ස්පාඤ්ඤයේ සමෝරා පෙදෙසේදී දෙදෙනා ගමන් කරමින් සිටි ලැම්බෝගිනි රථය ටයරයක් පිපිරී මාර්ගයෙන් ඉවතට විසිව ගිනිගැනීමෙන්.

ඕලෑන්ඩෝ නගරයේ Camping World Cup ක්‍රීඩාංගණයේ පැවති අල්-හිලාල් සහ ෆ්ලුමිනේසී කණ්ඩායම් අතර තරගයේ ක්‍රීඩකයන් පිටිය මැද කවයකට සැදී සිටියදී වීඩියෝ පුවරුව පෘතුගීසි පාපන්දු ක්‍රීඩකයන්ගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කළා. නිහඬතාවකින් ගෞරව දැක්වීමේ අවස්ථාවකට නරඹන්නන් සහභාගි වුනා.
ෆිලඩෙල්‌ෆියා නගරයේ Lincoln Financial Field ක්‍රීඩාංගණයේ පල්මේරස් කණ්ඩායම චෙල්සී පිල මුණගැසුනු තරගයේ, මිය ගිය සොහොයුරන්ගේ කළු සුදු ඡායාරූපයක් ප්‍රදර්ශනය වෙද්දී සෙනඟ මොහොතකට නිශ්ශබ්දව සිටි අතර දෙපිලේ ම ක්‍රීඩකයන් ඔවුන්ගේ කමිස අත්වල කළු පටි පැළඳ සිටියා.

ජෝටාගේ මිතුරෙකු හා පෘතුගාල ජාතික කණ්ඩායමේ සගයකු වන චෙල්සී පිලේ පෙඩ්රෝ නෙටෝ කුරුසය ලකුණු කරමින් පිටියට පිවිසියේ ඩිඔගෝ ජෝටා සහ ඇන්ඩෲ සිල්වාගේ පළමු නම් සඳහන් ජර්සියක් කර තබාගෙන. නිහඬතාවක් පැවැත්වූ මොහොතේ නෙටෝ තවත් ක්‍රීඩකයෙකුගේ ද සහාය ඇතිව එම ජර්සිය ඔසවා ගෙන සිටියා.
විම්බල්ඩන් ගෞරවය
මේ අතර, මේ දිනවල තරග පැවැත්වෙන විම්බල්ඩන් ටෙනිස් පිටිය ද ඩිඔගෝ ජෝටා ට ගරු බුහුමන් දක්වා සිටියේ ඔවුන්ගේ දැඩි ඇඳුම් නීතිය මොහොතකට වෙනස් කරමින්.

විම්බ්ල්ඩන් ටෙනිස් තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්පූර්ණයෙන්ම සුදු පැහැති ඇඳුම් පැළඳීම අනිවාර්ය නීතියක්. එහෙත් ඩෝටාගේ මේ ඛේදජනක මරණය වෙනුවෙන් එම නීතිය ලිහිල් කළ මේ තරගාවලිය පවත්වන සමස්ත එංගලන්ත සමාජය (All England Club) පෘතුගාලයේ ෆ්‍රැන්සිස්කෝ කබ්රාල් ට කළු පටියක් පැළඳ ක්‍රීඩා කිරීමට අවසර ලබා දුන්නා.
ඒ අනුව ඔහු ඊයේ පැවති යුගල තරගයට ක්‍රීඩා කළේ ඔහුගේ සුදු කමිස අතේ කළු පටියක් ප්‍රදර්ශනය කරමින්.
ජෝටා රිය අනතුරකින් මිය යාමේ දුක්මුසු පුවත ඇසෙන විට තමා විම්බල්ඩන් බලා රිය පදවමින් සිටි බව පැවසූ කබ්රාල්, ජෝටා ඉතාම ප්‍රියජනක, නිහතමානී හා ප්‍රතිමාමය ක්‍රීඩකයෙකු බව කියා සිටියා.
ඩිඔගෝ ජෝටා
ප්‍රබල ලිවපූල් ක්‍රීඩා ලෝලියකු වන බ්‍රිතාන්‍ය යුගල ටෙනිස් ක්‍රීඩක නීල් ස්කප්ස්කී ද ඔහුගේ බ්‍රහස්පතින්දා තරගය වෙනුවෙන් කළු අත්පටියක් ගෙනැවිත් තිබුන ද එය පැළඳ සිටියේ නැහැ. තරගාවලියේ ඉදිරි දිනවල තමා එය පැළඳ ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙන බව ඔහු පැවසුවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






