මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්‍ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.

 

 

oklසම්පූර්ණ නම - රේණුකා නියංගොඩ

වයස අවුරුදු - 45 යි

අධ්‍යාපන සුදුසුකම් - අ.පො.ස උසස් පෙළ, කලා විෂය මාලා

වෘත්තිය -- පේෂකර්ම දෙපාර්තමේන්තුවේ ගුරු උපදේශිකාවක්

දේශපාලන පවුල් පසුබිම -- දේශපාලන පවුල් පසුබිමක්  නැත.

විවාහක අවිවාහක බව  - විවාහකයි

නියෝජනය කරන කොට්ඨාසය  මහනුවර දිස්ත්‍රික්කය තුම්පනේ ප්‍රාදේශීය සභාව ගලගෙදර ආසනය

ජාතික හෙළ උරුම මන්ත්‍රීනි

 


ඔබේ දේශපාලන ආගමනය සිදුවූයේ කෙලෙසද?


මම ගලගෙදර ආසන සංවිධායකගේ කාර්යාල සහයිකාවක් විදිහට වැඩකලා. ඇමතිතුමාගේ ලේකම්වරයා තමයි මාව 2018 මැතිවරණයේ කාන්තා කෝඨාවෙන්. දේශපාලනය ප්‍රවිශ්ට වීමට යෝජනා කළේ.  පොඩි චකිතයක් තිබුණා.පස්සේ අභියෝගයක් විදිහට බාරගෙන මම ඒ යෝජනාවට කැමතිවුණා.


මැතිවරණයට ඉදිරිපත් නොවී කාන්තා කාන්තා කෝටාවෙන් දේශපාලනයට එන්න හැකිවීම ඔබට පහසුවක් වුනාද?  


ඔව්', ඇත්තටම කිව්වොත් ඒ මැතිවරණයේදී ජාතික හෙළ උරුමයත් සංධානගත වෙලා හිටපු නිසා ගලගෙදර ආසනයට වෙනත් කවුරුවත් දාන්න කෙනෙක් හිටියේ නෑ. නායකත්වය සහ පක්ෂය එක්ක තිබුණු ගනුදෙනු තියන වෙන කෙනෙක් හිටියේ නෑ. කාර්යාල සහායිකාව විදිහට කටයුතු කළාට පස්සේ දේශපාලන නියෝජනයක් විදිහට පත්වුණා.


ඒ වෙද්දි ඔබට දේශපාලනය පිළිබඳ මොනවගේ කැමැත්තක් ද තිබුණේ?


දේශපාලනය ගැනනම් එච්චර කැමැත්තක් තිබුණේ නෑ, රටේ තියන වාතාවරණය එක්ක මටත් පොදුවේ තිබ්බේ අකමැත්තක්. නමුත් මම අපේ පක්ෂයට, පක්ෂේ ප්‍රතිපත්තිවලට කැමතිවුණා. ඒකත් එක්ක ආපු හැඟීමෙන් දේශපාලනයට ප්‍රවිශ්ට වුණා.


ඇයි ඔබ ලංකාවේ සමස්ත දේශපාලන ක්‍රමවේදය ගැන අකමැත්තෙන් හිටියේ?

 

මෙහෙමයි, ඒක මට හිතෙන්නේ ඉහළ තැන ඉඳන් පහළ තැන දක්වා නියම ගලා ඒමක් සිදුවෙන්නේ නෑ. පවුල්පසුබිම්, සම්බන්ධකම් එක්ක යන දේශපාලනයක් තමයි තියෙන්නේ. ඒකට මම කැමති නෑ. දේශපාලනයට එන්න කලින් මම සමාජ ක්‍රියාකාරිණියක් වශයෙන් කටයුතු කරද්දිත් දැකපු දෙයක් තමයි දේශපාලනයේ බිම්මට්ටමේ මිනිස්සුන්ට ඒ අවස්ථාව ගලාගෙන එන්නේ නෑ කියන එක. මිනිස්සු අතරට සංවර්ධනය එන්නේ නෑ, දේශපාලන නායකත්වය දැන හැඳුනුම්කම් මත යනවා මිසක් සාමාන්‍ය මිනිස්සුන් අතරට එන්නේ නෑ.

 

ඒකෙන් ඔබ අදහස් කරන්නේ දේශපාලනයට පවුල් හැඳුනුම්කම්වලින් ආවට ඒ අය තමන්ගේ බලය වර්ධනය කරගන්නවා මිසක් මහජනතාවට වැඩ කරන්නේ නෑ කියන එකද?


ඇත්තටම එහෙම නෙවෙයි මම කියන්නේ. අර කට්ටිය මගහැරෙනවාටත් වඩා මගහරිනවා කියන එක. ගමේ නායකයෙක් ඉන්නවනේ ඡන්ද එකතු කරගන්න. නමුත් ඒ කට්ටියටත් බොරු පොරොන්දු දීලා රැල්ලක් පෙන්නලා, මනකල්පිත ලෝකවල තනිකරලා මිනිස්සුන්ගේ ඡන්ද ටික අරගෙන යනවා. අන්තිමට පසුවිපරමක් නෑ.


ඔබ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැනද?


ඒ විතරක් නෙවෙයි පළාත් සභා මන්ත්‍රීවරු ගැන වුනත් එච්චර තමයි. මම පළාත් සභා මන්ත්‍රීවරු පවා ඇසුරු කරලා තියනවා ඒක ඔවුන්ටත් අදාලයි.


ජනතාව මුලාකරනවා කියන එකද  ඔබ අදහස් කරන්නෙ?


මුලා කිරීමක්ම තමයි එක පැත්තකින්. අනිත් එක මිනිස්සුන්ගේ අවශ්‍යතා තේරුම් නොගැනීම. අඩුම ප්‍රමුඛතාවය ගැනවත් හිතන්නේ නෑ. මම සංවර්ධන කටයුත්තක් කරද්දි ගම් දහයේ අවශ්‍යතාවල ප්‍රමුඛතාවය බලලා තමයි වැඩ කරන්නේ. නමුත් නායකයා හිතවත්කමට, දැන ඇඳුනුම්කමට, ලාබ ප්‍රයෝනවලට තමයි වැඩ වෙන්නේ. මම අත්දැකීමෙන් දැක්ක දේ ඒක.


ලංකාවේ මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඔබ යෝජනා කරන්නේ මොනවගේ දෙයක්ද?

 

මුලින්ම අපිත් දේශපාලනයට ඇවිත් දැන් ඉගනගන්නවා. දේශපාලනයට තෝරාගනිද්දි විෂයක් විදිහට දේශපාලනය හදාරපු හෝ විෂයක් විදිහට ඉගනගත්ත අය තෝරගන්නවනම් වඩා හොඳයි. පක්ෂයක් ගත්තමත් ඇමතිධූර, මන්ත්‍රීධූරවලට කලින් දේශපාලනය ගැන දැනුම පුරුදු පුහුණුවීම් තියෙන්න ඕන. ඒත් වෙන්නේ පවුල් සම්බන්ධකම් වලින් අවස්ථාව අරගෙන රැල්ලක් හදාගෙන ඡන්දේ දිනන එක. ඒ නිසා මම අර ක්‍රමයට කැමතියි. අධ්‍යාපනයකින් තේරගන්න පසුබිමක් හදන එක.

 

මේ ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන මොන මට්ටමෙන්ද?


මම කැමතියි මේක පාසල් අධ්‍යාපනයෙන් පටන් අරගෙන, විශ්වවිද්‍යාල දක්වාම විෂයක් විදිහට ගිහින් දැනුමත් එක්ක එන එක.


ඔබට දේශපාලන දැනුම ලැබෙන්නේ කොහොමද?


මුලින්ම ප්‍රාදේශිය සභාවෙන් ප්‍රායෝගික දැනුම ලැබුණා. පස්සේ පළාත් පාලන සංසදය හරහා සිදුකරපු රාජ්‍ය නොවන සංවිධානවල වැඩසටහන්වලින් තමයි වැඩිදුර දැනුම ලැබුණේ.මගේ පක්ෂය තුළ ඒක සිදුවෙනවා. ඒක ගැන මට සතුටුයි. කෝවිඩ් කාලයේ නම් යම් විදිහකින් අඩපණ වෙලා තිබුණා. නමුත් පක්ෂය තුළ අධ්‍යාපන වටපිටාවක් තියනවා. ඒ සඳහා විශේෂඥවරු කැඳවලා අපිව සම්බන්ධ කරනවා.මෑතකදි ෆැපරල් එකත් එක්ක සම්බන්ධවෙලා වැඩසටහන් කලා. අපිට ක්‍රියාකාරීව ඉන්න අවස්ථාව සහ දැනුමෙන් සන්නද්ධවෙන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒ දැනුම ආසනය සහ ගම්මට්ටමේ මිනිස්සු එක්ක බෙදාගන්න පුළුවන්.


ඔබ එක පක්ෂයක් නියෝජනය කරන කෙනෙක්. නමුත් පළාත ගත්තම විවිධ පක්ෂවලට සම්බන්ධ අය ඉන්නවා. ඔබ කටයුතු කරන ප්‍රදේශයේ ජනතාවත් ඒ පක්ෂවලට බෙදිලා කටයුතු කරනවා ඇති. එතකොට ඔබ ඔවුන් වෙනුවෙන් මෙහෙවරක් කරන්නේත් පක්ෂ අනුව බෙදාගෙනද?


ඇත්තටම එහෙම නෑ. මම මගේ පක්ෂය නමින් පාරක්වත් හදලා නෑ. පාරක් හදනවනම් මම එතනදි බලන්නේ එතන ගැටළුව මොකක්ද, මිනිස්සු කී දෙනෙක් පාවිච්චි කරනවද, සුදුසුද හදන්න වගේ දේවල්. මොකද මේ ප්‍රශ්න අපිට ගම්වලින් එනවා. පාරක් එහෙම හදන්න ගියාම මිනිස්සු කියනවා ඔතන අය අර පක්ෂේ මේ පක්ෂයේ කියලා. ඒත් මම පක්ෂය ගැන හිතන්නේ නැතිව පොදුවේ කාර්යය කරනවා. මොකද මේක අපි හැමෝම යන පාරවල්. මම ගොඩක් විහාරස්ථානවලට වැඩ කරනවා,


ජාතික හෙළ උරුමය කියද්දිම ජාති වශයෙන් බෙදීමක් පෙන්නුම් කරනවා. නමුත් අපි ගමක ගත්තම දෙමළ,මුස්ලිම්, බර්ගර් අය ඉන්න පුළුවන්. එතකොට ඔබේ පක්ෂයේ මේ ඉරක් ගහලා වෙන්කරලා තියන එක ඔබ ගම්වල වැඩකරද්දි බලපෑමක් වෙන්නේ නැද්ද?


කොහෙත්ම නෑ. මම ඒක ඒ විදිහට දකින්නේ නෑ. අපේ පක්ෂයේ නම එහෙම තිබ්බට අපි සමාජ ගත කරන දේ අනුව තමයි බෙදීමක් වෙනවනම් වෙන්නේ.


දේශපාලනයට ප්‍රවිශ්ඨ වුණාම කාන්තාවක් විදිහට මුහුණදෙන්න සිදුවුණ අපහසුතා සහ අභියෝග මොනවද?

 

ප්‍රාදේශිය සභාවේ කතාකරන්න ගියත් බලය තිබෙන්නේ මොන පක්ෂයට වුනත් කාන්තාවන්ට වැඩකරන්න අපහසුවක් තිබුණා. එතනදි එක එක නායකයෝ හැසිරුණ විදිහ අනුව සංවර්ධනයට ලැබුණු මුදල් පවා අහිමිවුණා. දේශපාලනඥයන් නිලධාරිත් එක්ක එකතුවෙලා අපේ අවස්ථා අහිමිකරනවා. මට අත්දැකීම් නොතිබීමත් එක්ක අවුරුද්දක් දෙකක් යනකල් අපහසුතා තිබ්බා. පසුව අත්දැකීම් එක්ක ඒවා නිවැරදි කරගත්තා. අපි කතාකරන්න ගියත් වාඩිවෙන්න කියලා කෑගහනවා, ගෝෂා කරනවා.

 

කාන්තාවන් ඉලක්ක කරගෙන විතරද ?


ඔව්. ඒක එක රැල්ලක් විදිහට තිබුණා. නමුත් දැන් ඒ රැල්ල අතුගෑවිලා ගිහින්. මුලින් අපිත් සන්නද්ධ නොවීම නිසා අපිව පිඩනයට ලක්වුණා.


එහෙම වෙද්දි මේක දාලා යන්න හිතුනද?


නෑ. අත්දැකීමක් අභියෝගයක් විදිහට බාරගෙන මුහුණ දුන්නා.


ඔබ රැකියාවන් කිහිපයක් කලානේ. එතකොට එතනදි මුහුණදෙන්නවුණු අභියෝග සහ දේශපාලනයට ආවම පැමිණි අභියෝගවලට මුහුණදුන්නේ දෙවිදිහකටනේ, ඒක ඔබට දැනුනේ මොන විදිහටද?


කලින් ක්ෂේත්‍රවල හිටිද්දි සමකාලීන අය එක්ක වෙනමම ලෝකයක්. ලොකූ ප්‍රශ්නයක් දැනුනේ නෑ. ඒත් දේශපාලනය එක්ක බලද්දි මුළු විශ්වයම පේන පැතිකඩක් තියනවා. කාන්තාවක් විදිහට හොඳ සමාජ වටපිටාවක් හදන්න උදව් කරන්න පුළුවන්නම් ඒක ජාතික වගකීමක්. ඒ හැඟීම මතුල තියනවා.


කාන්තාවක් දේශපාලනයට එද්දි මොන විදිහක සන්නද්ධවීමක් වෙන්න ඕනද?

 

මූලිකවම විනය කියන එක. මගේ අත්දැකීමෙන් දන්නවා, ප්‍රතිවිරුද්ධ අය මුලින්ම අපි ප්‍රාදේශිය සභාවට පත්වෙද්දි කැත නාමයන් ගාවලා විනාශ කරන්න හදනවා. නමුත් අපේ ප්‍රතිරූපය හදාගන්න අපිටම මහන්සි වෙන්න වෙනවා. විනයට අමතරව, ප්‍රාදේශිය සභා පනත එක්ක දැනුම කියන එක පුදුම වටිනාකමක් තියනවා. සභාව තුල අපි කතාකරන්න ඕන විදිහ, නීති රීති ගැන දැනගන්න ඕන.

 

ඔබ හිතන්නේ නැද්ද සමාජයේ ආකල්පමය වෙනසක් අවශ්‍යයි කියලා?

 

ඔව් ඒ වගේ වෙනසක් අවශ්‍යයි. ගෙදර අම්මා කේන්ද්‍ර වෙනවා වගේ සමාජයේ කාන්තාව කේන්ද්‍රකරගත් වැඩපිළිවෙලක්, කාන්තාවගේ දායකත්වය එක්ක ඇතිවෙනවා නම් හොඳයි.

 

ඇත්තටම මෙතනදි අපි ගොඩනගාගන්න ප්‍රතිරූපය එක්ක පිරිමි පාර්ශවය විතරක් නෙවෙයි කාන්තාවන් පවා මඩගහන්න ගන්නවා. ඒ නිසා පොදුවේ ආකල්පමය වෙනසක් අවශ්‍යවෙන්නේ සමස්ත සමාජයටම. කාන්තාවන් කාන්තාවන්ටම මඩගහන එක ගැන මම කණගාටුවෙනවා. පොදුවේ කාන්තාවන් පවා මේ ආකල්පමය වෙනසට භාජනය වෙන්න ඕන.

 

පක්ෂයක් ඇතුලේ ඔබ කියන විදිහට විනය, ප්‍රතිපත්ති වගේ දේවල් තියෙන්න ඕන. මේ හැමදේම ඇතුලේ කාන්තාවන් දේශපාලනයට එන එක ගැන ඔබ මුහුණදීපු අත්දැකීම් එක්ක ධනාත්මක ආකල්පයක් තියනවද?


අපි ඉගනගන්න කරුණු එක්ක අපි දේශපාලනයේ හෙට නැතිවුනත් දෙවනි පෙළක් ගෙන්න පුළුවන්නම් ඒක තමයි රටට වෙන්න ඕන. අපේ ඉලක්ක ජයගන්නවා වගේම තවත් කෙනෙක් යොමුකරගන්න පුළුවන්නම් තවත් හොඳ අවස්ථාවක්.


ඔබ දේශපාලනයට එන්නේ කාන්තා කෝඨාවෙන්. ඊට කලින් ඔබ සමාජ ක්‍රියාකාරිනියක්. දේශපාලනයට ආවට පස්සේ දේශපාලනඥවරියක් වීම ගැන මොනවගේ අදහසක්ද තියෙන්නේ?


ඒ ගැන මට නිහතමානී ආඩම්බරයක් තියනවා. තමන්ගේ ධනය, මහන්සිය වැයකරගෙන දේශපාලනය කරන අය නෑ. ඒ නිසා මම හිතුවා දේශපාලනයට ආවම සමාජ ක්‍රියාකාරිනියකටත් වඩා දේවල් කරන්න පුළුවන් අවස්ථාවක් මට ලැබිලා තියන නිසා වඩා හොඳ දේවල් කරන්න පුළුවන් කියලා හිතුනා. ඒ ගැන සෑහෙන්න සතුටුයි.


ඔබේ පක්ෂය තුල කාන්තාවන්ට තියන තැන මොකක්ද?


කාන්තාවකට විනය ඇතුලු සියලු දේ අපේ පක්ෂය ඇතුලේ හොඳ තැනක් කාන්තාවන්ට තියනවා. මුල්ම වතාවට පක්ෂයේ රැස්වීමකට සහභාගිවුනාම ස්වාමීන්වහන්සේ නමක් කියපු කතාවක් තාම මට මතකයි. උන් වහන්සේ කිව්වා දවස් පහකට වැඩසටහනකට යනවනම් සාරි පහක් අඳින්න, පිරිසිදුව ඉන්න, තමන්ගේ පෞර්ශය පෙන්වන විදිහට ඉන්න. අපි කාන්තාවන් විදිහට ඒ කියපු කතාව තාමත් ඔලුවේ තියනවා. පක්ෂය තුල විනය කියන එක වෙන පක්ෂවලටත් වඩා තියනවා. රටේ සංස්කෘතියක් එක්කම මට හිතෙනවා මට ගැලපෙන පක්ෂය හමුවුණා කියලා.


ප්‍රාදේශිය සභාව ඇතුලේ වැඩකරද්දි ඔබට දැනිලා තියනවද කාන්තාව කොතරම් සවිමත් වෙලා තියනවද තමන් පිළිබඳව, නීතිය ගැන, ආරක්ෂණය ගැන?

 

අපි සමාජගතව කටුයුතු කලාට ගම්වල කාන්තාවන්ට ඒ දැනුම නැහැ. තමන් ඉගනගත්තා රටාව එක්ක තමන්ට හිමිවුණු දේවල් පමණයි ඔවුන්ට තියෙන්නේ. මම කැමතියි ඉදිරියටවත් කාන්තාවන් දැනුවත් කරන වැඩසටහන් පවත්වන්න. විශේෂයෙන්ම ගමේ ඉන්න රාජ්‍ය නිලධාරීන් පස්දෙනා හරහාවත් හරි දැනුමක් යන්නේ නෑ. ඒ ගැන කළකිරීමක් තියනවා. මම කැමතියි මිනිස්සු එක්ක මගේ දැනුම බෙදාගන්න.

 

කාන්තාව කියන්නේ අමුතුවෙන් සවිබලගන්වන්න ඕන නෑ. නමුත් කාන්තාව අවධිකරන එකයි කරන්න ඕන. ග්‍රාමියව ඉන්න ගෙදරට හිරවුණු කාන්තාව වෙනුවට ආර්ථිකයට දායක්තවයක් දෙන නිදහස් කාන්තාවන් තමයි ගොඩනංවන්න ඕන. ඒක දැනටත් කරනවා, ඉදිරියටත් කරනවා.

 

ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරියකගේ කාර්යභාරය මොකක්ද?


මම කලින් කියපු කාරණා ටික අනුවම ඒ දේවල් සාමජගත කරන්නේ කොහොමද, සංවර්ධනයට දායක කරගන්නේ කොහොමද, සෞඛ්‍ය සේවා විශේෂයෙන්ම කාන්තා සහ ළමා සායන වගේ දේවල් ක්‍රියාත්මක කරන්නේ කොහොමද, ප්‍රජාතන්තවාදය ආරක්ෂා කරන්න කාන්තාවන්ගේ දායකත්වය ලබාගන්නේ කොහොමද කියන එක. නාස්තිය අවම කරගෙන, කළමණාකරණය කරගෙන සභාව තුල සහ ඉන් එළියේ කටයුතු කරන එක. මේ සමාජගත කිරීම තමයි අපේ කාර්යභාරය.


ඔබ මහජන නියෝජිතවරියක්. කාන්තාවක් විදිහට රාජ්‍ය සේවයේ නිරතවෙන අය ඔබට මොනවගේ සහයක්ද දෙන්නේ?


2017 පත්වෙද්දි තිබුණේ වෙනම ආන්ඩුවක්. එතනදි අපිට උඩින් හිටපු නායකයන් අපිට වැඩකරන්න අවස්ථාව දුන්නේ නෑ. මම ඉන්නේ කුඩා පක්ෂයක. ඒක නිසාම සන්ධානගතවෙලා ඉන්න ප්‍රධාන පක්ෂවල නායකයෝ වැඩකරන්න අවස්ථාව දුන්නේ නෑ. එතකොට නිලධාරීන් පවා කටයුතු කලේ ඒ විදිහටම තමයි. ඒකත් එක්කම ගම්වල කරන්න තිබුණු වැඩපවා ආපස්සට ගියා. විශේෂයෙන්ම ගලගෙදර කසල අංගනයට කෝටි දෙකක පමණ මුදල් වෙන්වුණා, ඒත් මට ඒ ව්‍යාපෘතිය කරන්නවත් ඉඩ ලැබුනේ නෑ. අදටත් ඒ ව්‍යාපෘතිය අතරමග. ඒ ගැන හරිම කණගාටුවක් දැනෙනවා. අපේ පක්ෂ නායකයා ඉතාම හොඳ උපදේශන කණ්ඩායමක් එක්ක ඇවිත් විමර්ශනය කරලා යෝජනා කරපු ව්‍යාපෘතිය නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා ඇදි ඇදී යනවා. නිලධාරීන් හැසිරෙන්නේත් ආන්ඩුවට ඕන විදිහට තමයි.


බහුතර බලයක් තියන අයට විතරයි යම්කිසි සහයක් ලැබෙන්නේ?


ඒක දේශපාලනයේ වගේම සභාව තුලත් තියන නරක පූර්වාදර්ශයක්. පාර්ලිමේන්තුව ගත්තත් බහුතරය සහ රටට වෙලා තියන විනාශය බලද්දි බිම් මට්ටමේ ප්‍රාදේශිය සභාව කටයුතු කරන්නෙත් ඒ විදිහට වීම කණගාටුවක්. ඒත් දැන් යම්කිසි වෙනසක් තියනවා. ඒකට මිනිස්සුන්ගේ අරගලය යම් බලපෑමක් කලා. ඒක දේශපාලනඥයින්ට හොඳ පාඩමක් වුණා.


ඡන්දදායකයන් පිළිබඳ ඔබේ අදහස මොකක්ද ?

 

මම දකින විදිහටම ඡන්දදායකයා හැමවිටම දේශපාලනඥයා බලාපොරොත්තුවෙන්නේ මොනවාහරි ප්‍රතිලාභයක්. ඡන්දදායකයාගේ ආකල්ප වෙනස් නොවුනොත් තේරුමක් නෑ.

 

තීරණ ගැනීමේ අයිතිය කාන්තාවන්ට ලබාගැනීම සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?


කාන්තාවන්ට තීරණ ගැනීමේ අයිතිය ලැබීම සාර්ථකයි කියලා හිතනවා. විශේෂයෙන්ම මැතිණිය කියන චරිතය මතක් කරද්දි අපේ ඔළුවට එන දෙයක් තියනවා. තීන්දු තීරණ ගන්න තැනට කාන්තාවක් පත්විය යුතුයි කියන තැන මම ඉන්නවා.


ඔබ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරියක් විදිහට ඔබේ ප්‍රදේශය තුල හෝ ඉන් පිටත කාන්තාවන්ගේ සහ ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ අරගෙන තියන පියවර මොනවද?


සභාව තුල ඔය කියන බලය නිසා කාන්තා සහ ළමා කමිටුව පවා පිහිටවගන්න අපහසු වෙලා තියනවා. ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, පොලීසිය සම්බන්ධ කරගෙන මේ කමිටු පිහිටුවන විදිහ ගැන අවබෝධයක් තියනවා. ඒත් සභාව තුළ ඒක පිහිටුවාගන්න බැරිවීම ගැන අපේ හිතේ ගැටළුවක් තියනවා.


ඔබේ දේශපාලන අනාගත බලාපොරොත්තුව සහ දැක්ම මොකක්ද?


මම කැමතියි දේශපාලනයට. 2017 ප්‍රවිශ්ඨයට වඩා ඉහළ තැනක මම ඉන්නවා ලබාගත්ත දැනුම සහ අත්දැකීම් එක්ක. මම කැමතියි ඉදිරියටත් පළාත් පාලන ආයතනයට තරඟ කරලා ඉදිරියට යන්න. පාර්ලිමේන්තු හෝ පළාත් සභාවට යන්න හීන දකිනවට වඩා අඩුම තරමේ සභාව තුල සභාපතිනියක් විදිහටවත් ඉදිරියට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

Mawbima 
 
 
සැබැඳි ලිපි
 
 
 
 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්