theleaderlk 01

මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්‍ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.

 

TH

 

1. දේශපාලනය පිළිබඳ අදහස ඇතිවුණේ කොහොමද?


සර්වෝදය කියන්නේ සමාජසේවා ආයතනයේ මම ප්‍රාදේශිය කළමණාකාරිණියක් විදිහට කටයුතු කළේ. මට ගොඩක් ගම්වලට යන්න වුණා. කඳවුරු ගොඩක් කළා. එතනදි මට ආසාවක් ඇතිවුණා දේශපාලනයට යන්න ඕන කියලා. ඒත් දුව ලැබුණට පස්සේ ටිකක් ඒ කටයුතුවළින් බැහැරවෙලා හිටියා. ඒත් ගමේ සමාජ සේවා කටයුතු දිගටම කලා. මට දේශපාලනයට එන්න කොහොමටවත් බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ඒත් 2017 මැතිවරණයේ සීයට විසිපහේ කෝටාවත් එක්ක මට ආරාධනාවක් ලැබුණා දේශපාලනයට එන්න කියලා. මම මුලින් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළා. ඒත් පස්සේ මට හිතුණා මගේ ඉතිහාසයත් එක්ක මට මොනවාහරි දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා එකඟ වුණා.

 

මම 2017 පළාත් පාලන මැතිවරණයට ඡන්දේ ඉල්ලුවා. මැතිවරණය තිබ්බේ 2018 පෙබරවාරි මාසයේ. මට ගමේ ඡන්ද පෙට්ටියෙන් අඩුවුණේ ඡන්ද හතරයි. ඒ කියන්නේ ඒ දවස්වල තිබුණු රැල්ලටල මෙහෙම කියනවට සමාවෙන්න. අර කතාවට කියනවා වගේ මහින්ද මහත්තයට තිබුණු ජනප්‍රියතාව එක්කල ඒ පැත්තෙන් සුදුසුකම් තියන හරි නැති හරි ඕනම කෙනෙක් දිනන ප්‍රවණතාවයක් තිබුණේ.



2. ඔබ නිරත වෙන දේශපාලනය අනුව දේශපාලනය කරද්දි වඩා වැදගත්වෙන්නේ නායකත්වය කේන්ද්‍රකරගත් දේශපාලනය ද නැත්නම් ප්‍රතිපත්ති මත පදනම් වෙච්ච දේශපාලනය ද?


මම වඩාත් කැමති නායකත්වයට වඩා ප්‍රතිපත්තිගරුක දේශපාලනයට. ඒත් මම නායකත්වයටත් ගරු කරනවා. ඒත් නායකත්වය වැරදි ක්‍රියාමාර්ගය ඉන්නවානම් අපිට ප්‍රතිපත්තිය තමයි වැදගත්.


3. ඔබේ පක්ෂයේ ප්‍රතිපත්ති පළාත් පාලන දේශපාලනය තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන් ද?


මම කියන්නේ නෑ සීයට සීයක්ම එහෙම කරන්න පුළුවන් කියලා. මොකද ප්‍රතිපත්ති වුනත් රටතුළ පවතින තත්වය අනුව වෙනස් වෙනව. සමහර වෙලාවට අවස්ථානුකූලව ඒ ප්‍රතිපත්තිවලින් පවා බැහැර වෙන්න වෙනවා. මගේ අදහස නම් අපි මහජනයාගේ ඡන්දෙන් පත්වෙලා යන අය නිසා හැමවෙලේම මහජනයාගේ කෝණයෙන් බලන්න ඕන. ප්‍රතිපත්තිවලට හිරවෙලා හිටියොත් අපිට මහජනතාවට වැඩක් කරන්න බැරිවෙනවා. අද වෙද්දි ඇත්තටම ඒක තමයි වෙලා තියෙන්නේ. අපි ගොඩක් වටපිටාව පරිසරය එක්ක සාමාන්‍ය මිනිස්සු එක්ක ගැටෙන පළාත් පාලන මන්ත්‍රීවරියෝ නිසා මහජනතාවගේ දුක්ගැනවිලි අපිට අහන්න ලැබෙනවා. ඒ නිසා අපිට තීන්දු තීරණ ගනිද්දි විනය ක්‍රියාමාර්ග ගැන පවා නොහිතා මහජනතාවගේ පැත්තෙන් හිතන්න වෙනවා.


4.නීති සම්පාදනය,ආර්ථික,සමාජ සුබ සාධනය, සංස්කෘතික වගේ කාරණාවලදි දේශපාලනඥයෝ ජනතාව ගැන හිතලා වැඩ කරනවා ද?

 

අපිට තියන දැක්ම අනුව මට නම් හිතන්නේ මෙච්චර කාලයක් තීන්දු තිරණ ගන්න තැන්වල කාන්තාවන් අඩුයි. පක්ෂ නායකතුමා එක්කත් අපි මේ ගැන කතාකලා. එතුමන් පොරොන්දු වෙලා ඉන්නේ අපිට අවස්ථාව දෙනවා කියලා. ඒත් බොහෝ තැන්වලදි තීන්දු තීරණ ගන්නේ දේශපාලනඥයන්ට අවශ්‍ය විදිහටයි. මහජන ඡන්දයකින් ගියාට ගොඩක් වෙලාවට දේශපාලනඥයින් තීන්දු තීරණ ගන්නේ තමන්ට වාසිවෙන විදිහට.

 

මෑත කාලීන උදාහරණයක් විදිහට සීනි වංචාව ගත්තොත් අන්තිමට ඒ ගොල්ලෝ තීරණ අරගෙන බදු සංශෝධනය කරලා මිළ වෙනස්වුනත් අන්තිමට ජනතාවට ඒකේ වාසිය දෙන්නේ නෑ. ගොඩාක් දේශපාලනඥයෝ ගන්නේ තමන්ට වාසිවෙන තීරණ. මහජනතාව ගැන හිතන සුළුතරයක් ඉන්නවා ගමේ. රට ගොඩ ගන්නනම් මේ ක්‍රමය වෙනස්වෙන්නම ඕනෙ මේ තියෙන තත්ත්වයෙන් ගොඩගන්නම්.


5.ප්‍රාදේශිය සභාව තුළින් වැඩකරගන්න එන මිනිස්සුන්ටල විශේෂයෙන්ම හාරිස්පත්තුව වගේ දුෂ්කර සහ අඩු ආදායම්ලාභීන් ඉන්න ප්‍රදේශයක ඔබ හිතනවද ඔබේ ප්‍රාදේශිය සභාවේ ඔබ ඇතුළුව මහජන නියෝජිතයන් ඒ ජනතාවට ප්‍රාදේශිය සභා ක්‍රමය පටන්ගත්ත දවසේ ඉඳන් සාධාරණයක් කරලා තියනව ද?


ප්‍රාදේශිය සභා පටන්ගත්ත තැනට වඩා මේ සැරේ මැතිවරණයෙදී කොට්ටාශ ක්‍රමය ආවාට පස්සේ යම්කිසි ප්‍රගතියක් තියනවා. කොට්ටාශ ක්‍රමය තුළ එක් මන්ත්‍රීවරයෙක් එක් කොට්ටාශයකට වගකිවයුතුවෙනවා. ග්‍රාමසේවා වසම් හතරක් පහක් අයිතිවෙනවා. විශේෂයෙන්ම කොට්ඨාශ ක්‍රමය නිසා කොට්ඨාශයට වගකියන පිරිසක් ඉන්න නිසා ඔවුන් ඇප කැපවෙලා මිනිස්සු ගැන හොයලා බලනවා. බහුතරයක් ගතමන්ගේ ගමේ ජනතාව කියන හැගීමෙන් කටයුතු කරනවා.විශේෂයෙන්ම හාරිස්පත්තුව තුළ ඒ තත්වය තියනවා කියලා මට හැඟෙනවා


6.ඔබ මැතිවරණයට ඉදිරිපත්වෙලා පරාජයට පත්වෙලා, කාන්තාවන්ට සියයට විසිපහේ නියෝජනය ලැබෙන නිසා ප්‍රාදේශිය සභාවට පත්වුණා. ගමේ කෝටා ක්‍රමය තුළ කාන්තාව නියෝජනය කොපමණ ද?


කාන්තා නියෝජනය 25% මුළු ලංකාවේම පළාත් පාලන ආයතන 346ක් තිබෙනවාග මුළු සභිකයන් සංඛ්‍යාව 8719ක් එයින් කාන්තා මන්ත්‍රීවරියන් 2043ක් ඉන්නවා. ඒ නිසා පළාත් පාලන ආයතනවල කාන්තා කෝඨාව 24.5%  ක්.


7.කාන්තාවන් දේශපාලනයට ප්‍රවිශ්ඨවීම සම්බන්ධයෙන් ඔබේ පුද්ගලික අදහස මොකක්ද?

 

ඇත්තටම අපේ රට ලෝකයේ ප්‍රථම අගමැතිණිය බිහිකරපු රට. ඒත් අද වෙද්දි පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.8%ක් පමණයි. ඒක ඇත්තටම කණගාටුවට කරුණක්. මම හිතනවා කාන්තාවන් දේශපාලනයට ආවොත් රට සාර්ථකයි. උදාහරණයක් විදිහට රුවන්ඩාව වගේ රටක් ගත්තොත් කාන්තා නියෝජනය   65% ක් වගේ. නේපාලය වගේ රටවල් සාර්ථක වෙලා තියෙන්නේ,ෆින්ලන්තය වගේ රටක් අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට ගිහින් තියෙන්නේ කාන්තාවක් පාලනය කරන නිසා. ගෙදරක් ගත්තත් කාන්තාවන් පාලනය කරනවනම් වඩා හොඳයි. විශේෂයෙන්ම මේ තියන ආර්ථික ප්‍රශ්න එක්ක රජයේ සේවකයෙක් ගත්තෙතාත් මීට අවුරුද්දකට කලින් ලැබුණු වැටුප තමයි තාමත් ලැබෙන්නේ. ඒත් කාන්තාව ඒක හරියට කළමණාකරනය කරනවනම් දරුවන්ටවත් නොදැනෙන්න ඒ වැටුපෙන්ම උද්ධමනය ඉහළ යද්දි පවා පවුල් පානය කරනවා. ඒ නිසා රටකත් තීන්දු තිරණ ගන්න පාර්ලිමේන්තුව වගේ තැන්වලත් කාන්තාවන් ඉන්නවනම් රටට මේ වගේ ඛේදවාචකයක් නොවේවි කියලා හිතෙනවා.


කාන්තාවන් තුළ දක්ෂ කළමණාකාරිණියක් ඉන්නවා. තමන්ගේ දරුවන් බලාගෙන සැමියගේ යුතුකම් ඉටුකරගෙන රැකියාවත් කරගෙන සමාජ කටයුතුත් කරගෙන බොහොම සමබරව කටයුතු කරන්න කාන්තාවන්ට පුළුවන්. මම හිතන්නේ රටත් ඒ වගේ කළමණාකරණය කරන්න නම් කාන්තාවන් තින්දු තීරණ ගන්න තැන්වලට එන්න ඕන.


8.ඔබට පවුල් පසුබිමෙන් දේශපාලන දැනුමක් නැතිව, සර්වෝදය වගේ ආයතනයක රැකියාවකුත් කරන ගමන්,සමිති සමාගම්වල නිළතල දරලා ඔබ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. එතකොට ඔබට කාන්තාවක් විදිහට මුහුණදෙන්න සිදුවෙච්ච දුෂ්කරතා සහ අපහසුතා මොනවද?


කාන්තාවක් විදිහට මට තිබුණු ලොකුම අභියෝගය තමයි ඡන්ද කැම්පේන් එක කරගෙන යාම. මොකද මට ඒක අලුත් අත්දැකීමක්. විශේෂයෙන්ම විරුද්ධ පැත්තෙන් ඉන්නේ පිරිමි අපේක්ෂකයෙක් නම් ඔහුට රෑ දවල් වෙනසක් නැතිව ප්‍රචාරණ කටයුතු පවා කරන්න පුළුවන්. ඒත් අපිට එහෙම නෙවෙයි. පවුල් පසුබිම එහෙමත් රැකගෙන, දරුවන්ගේ වගකීමුත් ඉෂ්ඨ කරගෙන යන්න. නමුත් ඔවුන්ට එහෙම නෑ. කියනවා වගේ බත් පැකට් එකට බෝතලයට පිරිමි අපේක්ෂකයන් පස්සේ ගියා කට්ටිය. ඒ වගේම කාන්තා අපේක්ෂිකාවකට පොඩ්ඩක් එහෙ මෙහෙවුනත් මඩ පෝස්ටරයක් ගහන්න අනිකුත් පක්ෂවල අය බලාගෙන හිටියා. නිර්නාමික දුරකතන ඇමතුම් ආවා. නිර්නාමික ලියුම් ආවා. ඒ හැම දෙයින්ම ගැලවිලා  ආර්ථික වශයෙන් ලොකු හැකියාවකුත් නැතිව කටයුතු කිරීම අපහසු වුණා. ඒත් මම ජනතාව සමග ලෙන්ගතුව කටයුතු කරපු නිසා මම දහම් පාසල් ගුරුවරියක් විදිහටත් කටයුතු කරන නිසා ගොඩක් දෙනෙක්ගේ සහය මට ලැබුණා. නාමයෝජනා සම්බන්ධයෙන් බලපෑමක් තිබුණේ නෑ මොකද මට ආරාධනාවක් මත ආපු නිසා. මට සැමියාගෙන් සහ දරුවන්ගෙන් සෑහෙන්න සහයක් ලැබුණා. ඒ දේවල් මගේ කැම්පේන් එකට ගොඩක් වැදගත් වුණා.


9.නාමයෝජනා ලබාගැනීමේදී කාන්තාවන්ට තරඟයට මුහුණදෙන්න වෙනවද? යම්කිසි බලපෑම් එහෙම ඇතිවෙනව ද?

 

අනිවාර්යයෙන්ම බලපෑම් තියනවා. ආසන සංවිධායක තමයි පක්ෂයට යෝජනා කරන්නේ අපේක්ෂකයන් ව. පළාත් පාලන මට්ටමේදී සම්මුඛ පරීක්ෂණය සඳහා යොමු කරන්නේත් ආසන සංවිධායක තමයි. ආසන සංවිධායකගෙන්, පක්ෂ නායකත්වයෙන් වගේම ගම්වලින් සමිති සමාගම්වලින් බලපෑම් තියනවා. සමහරවිට සුදුසුකම් තියන කාන්තාවන් නාම යෝජනා ඉල්ලුවත් නොලැබී තිබෙනවා. කාන්තාවක් විදිහටග 25% අවස්ථාව ලැබුණට පළාත් පාලන ආයතනවල තාමත් ඉන්නවා වචනයක් කතා කරපු නැති මන්ත්‍රීවරියන්. ආසන සංවිධායකවරුන්ගේ කැමැත්ත මත නාමයෝජනා දෙනවා වෙනුවට රටට වැඩක් කරන්න පුළුවන් පිරිසකට අවස්ථාව දෙනවනම් අපේ රටට මෙහෙම.


10.පොදුවේ ගත්තම ඔබ හිතනවද දේශපාලන පක්ෂ ඇතුලේ කාන්තාවන්ට නිසි තැන ලැබෙනවා කියලා?


මම පක්ෂ දෙකක් නියෝජනය කලා. මුලින්ම එ.ජා.ප ය දැන් ස.ජ.බ ය. මුලින්ම හිටපු පක්ෂය තුළ කාන්තාවන්ට විශාල තැනක් තිබුණේ නෑ. ඒත් ස.ජ.බ ය තුළ නායකතුමා කාන්තාවන්ට විශාල තැනක් දෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය නොවන සංවිධාන මගින් කරන කාන්තා සවිබලගැන්වීමේ වැඩසටහන් වලට පවා අපිව යොමුකරලා කොතරම් වැඩ තිබුණත් එතුමත් එනවා අපිව දිරිගන්වලා යන්න. අපේ නායකතුමා අපිට පොරොන්දුවෙලා ඉන්නේ පක්ෂයේ තීන්දු ගන්න තැන්වලට කාන්තා නියෝජිතයින් පත්කරනවා කියලා.

 

බොහෝ පක්ෂවල කාන්තාවන්ට නිසි තැන ලැබෙන්නේ නෑ වැඩමුළුවලට ගියාම අපිට අහන්න ලැබෙනවා ගොඩක් කාන්තාවන් කියනවා තමන්ට නිසි තැන ලැබෙන්නේ නෑ කියලා. විශේෂයෙන්ම අපේ රටේ මානව හිමිකම් ප්‍රඥප්තිය සීඩෝ සම්මුතිය ක්‍රියාත්මක වෙලා කාන්තාවන්ට එරෙහිව සිදුවෙන සියලුම ආකාරයේ වෙනස්කොට සැලකීම් වලක්වන්න. නමුත් කියන්න කණගාටුයි මෙහෙම දෙයක් තියනවා කියලා ගොඩක් පක්ෂවල බලධාරීන් දන්නේ නෑ. එහෙම දැනගෙන හිටියනම් ගොඩක් කාන්තාවන්ට අසාධාරණයක් වෙන්නේ නෑ.

 

11. ඔබ හිතනවද අපේ රටේ කාන්තාවන් දන්නවා කියලා ඔවුන්ට මෙච්චර බලයක් තියනවා කියලා. ඔබේ ප්‍රදේශයේ කාන්තාවන් ඒ ගැන දැනුවත් කරනවද?


ගොඩක් කාන්තාවන්ගේ නොදැනුවත් කම තමයි ගැටළුව. මානව හිමිකම් ප්‍රඥප්තියක් තියනවා කියලාවත්. ළමා හිමිකම් ප්‍රඥප්තියක් තියනවා කියලා කාන්තාවන් දැනුවත් නෑ. මම මට හැකි පමණින් කාන්තාවන් ඒ ගැන දැනුවත් කරනවා. වතු ක්ෂේත්‍රයේ වැඩකරන කාන්තාවන් පවා මගේ කොට්ඨාශයේ ඉන්නවා.

 

මම ඔවුන්ට කියනවා මේ රටේ ආර්ථිකයේ වැඩි බරක් දරන්නේ කාන්තා අපි. විදේශ රැකියාවෙන්, ඇඟළුම් වලින් කාන්තාව වැඩි බරක් දරනවා. මෙච්චර බලයක් තියන අපි මුළුගැන්විලා ඉන්න ඕන නෑ. ආන්ඩුක්‍රම ව්‍යාවස්ථාව අනුව අපිට තියන සමතැන අපි ලබාගන්න ඕන කියන මතයේ මම ඉන්නවා. මුලින් ප්‍රාදේශිය සභාතුල කාන්තා හා ළමා කමිටු තිබුණේ නෑ. මුලින් ප්‍රාදේශිය සභාවල සභාපතිවරු, මන්ත්‍රීවරු මේකට කැමතිවුණේ නෑ. නමුත් මේ ආයතනය මැදිහත්වෙලා තමයි මුලින්ම කමිටු පිහිටවන්න ලැබුණේ. මේ කමිටුවටවත් රැස්වෙන්න ඉඩක් නෑ. අරගල කරන්න වෙලා තියෙනවා පුරුෂාධිපත්‍යට එරෙහිව පළාත් පාලන ආයතන තුළ පවා.


ජනතාව වෙනුවෙන් දේශපාලනයේ නියුතුවිය යුතුයි කියලා දේශපාලනයට ප්‍රවිශ්ට වූ ඔබේ ඉදිරි දැක්ම මොකක්ද?


මේ රටේ ඉන්න ගොඩක් දුරට කාන්තාවන්ට ප්‍රශ්න තිබෙනවා. ගෙදර ගොඩක් ප්‍රශ්නවලදි කාන්තාව ඒවා ඇදගෙන යනවා. කාන්තාව සවිබලගැන්වීම, ළමයින්ගේ අයිතිවාසිකම් සුරැකීම, ළමයින් සවිබලගැන්වීම තමයි මගේ දැක්ම.


Mawbima 
 
 
මින්පෙර පළවූ ලිපි:
 





pe2024 2

worky sin

නවතම පුවත්