මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්‍ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.

 

fathimaසම්පූර්ණ නම  : මොහොමඩ් ඉස්මයිල් ෆාතිමා මස්තූරා

වයස : අවුරුදු හැටයි.

අධ්‍යාපන සුදුසුකම් : උසස් පෙළ විද්‍යා  අංශය.

රැකියාව : සමාජ සේවය  

විවාහක අවිවාහකභාවය :  විවාහකයි, දරුවෝ පස් දෙනයි

පවුලේ දේශපාලනයට සම්බන්ධතාව :  පවුලේ කව්රුත් දේශපාලනයට සම්බන්ධ නෑ.  

නියෝජනය කරන ප්‍රදේශය : කටුගස්තොට-ගාල්ලේවත්ත කොට්ඨාශය.

 

ඔබ තේරී පත්වෙන්නේ මැතිවරණයෙන් ද ?


ඔව් මම ඡන්දේ ඉල්ලලා දිනලා තමයි තේරී පත්වෙන්නේ. 2018 පෙබරවාරි 10 වැනිදා තිබුණු මැතිවරණයෙන්. මම ඉපදුනේ ගාල්ලේ. පස්සේ තමයි නුවර කටුගස්තොට ආවේ. මම තමයි මහනුවර මහ නගර සභාවේ ප්‍රථම සහ එකම කාන්තා මන්ත්‍රීවරිය.
 
 
තීරණ ගැනීමේ අයිතිය කාන්තාවන්ට ලැබීම සම්බන්ධයෙන් ඔබගේ අදහස ?
 
 
තීරණ ගැනීම සම්බන්ධයෙන් ගත්තම මම හිතන්නේ කාන්තාවන් තමයි හරි තීරණ ගන්නේ. තමන්ට වගේම සමාජයටත් යහපතක් වෙන තීරණ ගන්නේ කාන්තාවන්. ඒ නිසා මම හිතනවා කාන්තාවන්ට තීරණ ගැනීමට ලබාදෙන අවස්ථාව අනිවාර්යයෙන්ම ලබාදිය යුතුයි.
 
 
ඒ සඳහා මොනවගේ වැඩ කොටසක්ද කරලා තියෙන්නේ ?
 

WhatsApp Image 2022 10 10 at 15.58.06මම වැඩ කරලා තියෙන්නේ මගේ ගම් වැසියන්ට. මම මොනවාහරි ඒ අයගේ අවශ්‍යතාවයක් දැක්කොත් හරි මගෙන් ඉල්ලුවොත් හරි මගේ උපරිමය කරලා තමයි පස්ස බලන්නේ. ඔවුන් ඉල්ලන ඉල්ලීම සාධාරණයි නම්’ මට ඒක ඉටුකරන්න හැකියාවක් තියනවනම් කොයි විදිහකින් හරි මම ඒක කරලා දෙනවාමයි. ඒක පාසල් කාලයේ ඉඳන්මට ලැබුණු ආභාශයක්. මගේ අම්මා සමාජ සේවිකාවක්. මම මුස්ලිම් කාන්තාවක් වුනාට මම සිංහලෙන් තමයි ඉගනගත්තේ. මිනිස්සු ලියුමක් ලියාගන්න පවා එන්නේ මම හොයාගෙන. එතනදි මම උදේ ද රෑ ද කියලා බලන්නේ නැතිව ඒක කරලා දෙනවා. මටජාති භේදයක් ආගම් භේදයක් නෑ. මේක සිංහල ගමක්. මම ඡන්දේ ඉල්ලන්න ආවම සීයට අසූවක් විතර මාත් එක්ක හිටියේ සිංහල ජනතාව. විපක්ෂයේ හිටපු අය පවා මාත් එක්ක වැඩකරලා මාව දිනෙව්වේ මගෙන් වැඩක් කරන්න පුළුවන් කියලා විශ්වාස කරලා. මේ ගමේ ඉගනගත්ත අය අඩුයි. සමිති සමාගම් පවා තිබුණේ නෑ. මම 90 අවුරුද්දේ මේ ගමට ඇවිල්ලා පුබුදු කියලා කාන්තා සමිතියක් පටන්ගත්තා. අදටත් ඒ සමිතිය තියනවා. ඒ සමිතියෙන් සෑහෙන්න වැඩ කොටසක් කලා. මම ඉන්න ඉඩමත් කුඹුරක්. ඒකෙන් පාරක් හැදුවා, වීදි ලාම්පු සවිකෙරුවා. ගමට පිටින් ආපු කෙනෙක් වෙලත් මේ දේවල් කෙරුවා කියලා තමයි ගමේ මිනිස්සු මට ආදරේ.
 
 
කාන්තාවන් දේශපාලනයට පැමිණීම ඔබ දකින්නෙ කොහොමද?
 

කාන්තාවන් දේශපාලනයට එනවට මම කැමතියි. මොකද කාන්තාවන් කියන්නේ කුස්සියේ ගෙදර අඩුපාඩු බලන කෙනා. එහෙම කෙනාට අරපිරිමැස්මෙන් වැඩ කරගන්න පුළුවන්. එතකොට අපේ කොට්ඨාශයක වුනත් අඩුපාඩු බලලා වැඩකරගන්න කාන්තාවන්ට පුළුවන්. අපේ නගර සභාවේ ඉන්න කාන්තාවන් අතරේ අපි ගම්වල අඩුපාඩු බලලා ඒවා ඉටුකරන්න තරඟයට වැඩ කරනවා. ලැබෙන ප්‍රතිපාදන වලට උපරිම සාධාරණයක් කරනවා. අපි වාසි ලබාගන්නෙත් නෑ. ඡන්දේ ඉල්ලුවට පස්සේ ආයෙත් ඡන්දෙයක් ගැන ඔලුවේ තියාගෙන වැඩ කරන්නෙත් නෑ. අපි ඉන්නේ ජේතවනාරාමය පන්සල පාරේ. මම මුස්ලිම් කාන්තාවක් වුනත් පත්වුණාට පස්සේ මුලින්ම කලේ ලක්ෂ හත හමාරක ප්‍රතිපාදන අරගෙන පන්සල පාර කොන්ක්‍රීට් කරලා හදපු එක. ඉස්සර පඩි හැටක් හැත්තෑවක් මිනිස්සු අමාරුවෙන් නැගපු එක දැන් පන්සලටම වාහන ගන්නත් පුළුවන්. ලක්ෂ තිස් පහක මුදලක් මම වැයකරලා තියනවා පන්සලේ අඩුපාඩු හදාගන්න.
 

ඔබ නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය. ඔබේ පක්ෂය ඇතුලේ කාන්තාවන්ට තියෙන්නේ මොනවගේ පිළිගැනීමක් ද?
 
 
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි සියයට විසිපහේ කාන්තා කෝටාව සම්බන්ධයෙන් යෝජනා කලේ. ඒක හොඳ යෝජනාවක් නිසා මම එතුමාට ඒ සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙන්න කැමතියි. මගේ අදහසනම් ඒ කෝටාවේ ප්‍රමාණය තවත් වැඩිකරන්න පුළුවන්නම් තවත් හොඳයි.
 
 
පක්ෂය ඇතුලේ ඔබට තියෙන්නේ මොන වගේ පිළිගැනීමක් ද?
 

පක්ෂයෙන් මට කිසි අසාධාරණයක් වෙලා නෑ. මම කියන දේවල් පක්ෂය පිළිගන්නවා වගේම ඉටුකරනවා. පක්ෂය කියන දේවල් මමත් කරනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නෑ.
 

ආසන සංවිධායකවරයා නාම යෝජනා දෙද්දි ගැටළු ඇතිවෙනවා  හිතවතුන්ට පමණක් දෙනවා කියලා මැසිවිලි තිබෙනවා. ඔබට එහෙම ගැටළුවක් උනේ නැද්ද?
 

නෑ ඇත්තටම මම හීනෙකින් වත් හිතුවේ නෑ ඡන්දෙකට එන්න. මම ඉන්නේ බහු ආසනයක. පාතදුම්බර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය  අනිත් පැත්තෙන් මහනුවර නගර සභාව.ඒ නිසා ආසනේට දෙන්නෙක් ඉදිරිපත් කරන්න වෙනවා. එක් අපේක්ෂකයෙක් සිංහල නම් අනිත් කෙනා මුස්ලිම් විදිහට. මොකද මුස්ලිම් අයත් ඉන්න නිසා. එතනදි මහනුවර නියෝජ්‍ය නගරාධිපතිතුමා යෝජනා කරලා තියනවා මගේ නම හොඳට සමාජ සේවා කටයුතු කරන කෙනෙක් ඉන්නවා කියලා. ඒ යෝජනාව අරගෙන මාව මුණගැහෙන්න ආවම මම මුලින්ම කැමතිවුනේ නෑ. මොකද ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් කියලා හිතුන නිසා. ඒත් මගේ මහත්තයයි, අම්මයි මේ යෝජනාවට කැමතිවුණා. ඒ අය තමයි මාව දිරිමත්කලේ ඔයා කොහොමත් සමාජ සේවා කටයුතු කරන නිසා මේක කරන්න පුළුවන් කියලා. මගේ මහත්තයාම තමයි ආපු අයට මගේ නමයි ලිපිනයයි ලියලා දුන්නෙත්.
 

ඉස්ලාම් ආගම තුළ කාන්තාවන්ට දැඩි නීති රීති තිබෙනවනේ. හිස ආවරණය කිරීම, පල්ලිවලට යන්න බැරි එක, සාමාන්‍ය සමාජයේ ගැවසෙන්න බැරි එක, ඒ වගේ නීති රීති කොහොමද ඔබේ සමාජ සේවා කටයුතු වලට බලපෑවේ ?
 
 
 
ඒ ගොල්ලන් අගය කරනවා මම කරන සමාජ සේවා කටයුතු. මොකද මම කරන්නේ හරි කියලා හිතෙන දේ. ඒ නිසා ඒ පනවලා තියන නීති රීති ඉක්මවලා මම වැඩකරන්නෙත් නෑ. අනිත් එක පොදු සමාජය හිතන තරම් අපේ ආගමේ නීති රීති දැඩි නැහැ. ඒ නිසාම මම කරන වැඩ ඔවුන් අගය කරනවා. මම ආවට පස්සේ තමයි ගොඩක් දේවල් ඔවුන්ට දැනගන්න ලැබුණේ කියලා කියනවා.
 
 
දේශපාලනයෙ නිරතවන කාන්තාවක් ලඟ තිබිය යුතු මූලික සුදුසුකම් මොනවද ?
 

මම හිතන විදිහට මුලින්ම මනුස්සකම තියෙන්න ඕන. ඊට අමතරව ඉවසීම සහ අවංකකම. මාත් එක්ක වැඩකරන කාන්තාවන් දහදෙනා ලඟ ඒ දේවල් තිබෙනවා. ලැබෙන ප්‍රතිපාදනවලින් උපරිම සංවර්ධනයක් කරනවා. වැඩවලට කැපවෙනවා. රජයේ රැකියා කරන කිහිපදෙනෙක් ඉන්නවා  ඔවුන් ඒවාත් කළමණාකරණය කරගෙන වැඩ කරනවා. ප්‍රතිපාදන මදිවුනොත් එක්කෙනෙක්ට තව කෙනෙක්ගෙන් ඊළඟ අවුරුද්දේ දෙන්නම් කියන පදනමට ණයට අරගෙන පවා සංවර්ධන කටයුතු කරනවා.
 

පොදුවේ අදහසක් තිබෙනවා පිරිමි මන්ත්‍රීවරුන් තමන්ට ලැබෙන ප්‍රතිපාදන මුදල් අවභාවිතා කරනවා කියලා. ඔබ හිතනවද කාන්තා මන්ත්‍රීවරියන් එම මුදල් අවභාවිතාව හෝ පුද්ගලික සුඛවිහරණයට භාවිතා කරන්නේ නෑ කියලා ?
 
 
WhatsApp Image 2022 10 10 at 15.58.05 1මෙහෙමයි ඒ ප්‍රතිපාදන මුදල් අවභාවිතා කරන්න අවස්ථාවක් නෑ. මොකද ඒ මුදල් එන්නේ අපේ අතට නෙවෙයි. මුලින්ම අපිට ලැබුනේ ලක්ෂ විස්සක ප්‍රතිපාදන. දැන් ලක්ෂතිහක් ලැබෙනවා. එතනදි වෙන්නේ අපි කරන යෝජනාවලට නගර සභාවෙන් තමයි අවශ්‍ය සැලසුම්  ඇස්තමේන්තු සහ ප්‍රතිපාදන මුදල් වැයකිරීම් සේරම කරන්නේ. මම හිතන්නේ නෑ මන්ත්‍රීවරු හෝ මන්ත්‍රීවරියන් ඒ මුදල් ගසා කනවා කියලා. මට පවා චෝදනා කලා උද්‍යානය හදද්දි සල්ලි ගසා කෑවා කියලා. ඒත් අපිට අතට නොලැබෙන සල්ලි අපි ගසාකන්නේ කොහොමද ?
 

ඔබ සඳහන් කරපු විදිහට මහනුවර ප්‍රථම සහ එකම මුස්ලිම් මන්ත්‍රීවරිය වෙන්නේ ඔබයි. එතනින් පස්සේ තවත් මුස්ලිම් කාන්තාවන් හෝ තරුණියන් දේශපාලනයට එන්න උනන්දුවෙන් ඉන්නවද? 
 
 
අකුරණ ප්‍රාදේශිය සභාවේ එහෙම මුස්ලිම් මන්ත්‍රීවරියන් ඉන්නවා. ඒත් මහනුවර නගර සභාවට පත්වෙන්නේ ප්‍රථම වතාවට. මොකද මහනුවර නගරාධිපතිතුමන්ට දළදා මාලිගාවේ දියවඩන නිළමේතුමන් පත්කරද්දි ඡන්දය දෙන්න පවා සිද්ධවෙන නිසා ඒ තනතුරට මුස්ලිම් කෙනෙක් පත්වෙන්නේ නෑ. එහෙම තැනකදි ඉතිහාසයේ පළවෙනි වතාවට ඡන්දේ ඉල්ලලා මුස්ලිම් කාන්තාවක් මන්ත්‍රීවරියක් විදිහට පත්වීම විශේෂ දෙයක්. නගරාධිපතිතුමා පවා කිව්වේ ඔබතුමිය ඉතිහාසගතවන කෙනෙක් කියලා. මාත් එක්ක වැඩකරද්දි අනිත් මුස්ලිම් කාන්තාවන්ටත් දේශපාලනයට එන්න ආසාවක් ඇතිවෙන්න ඇති. නමුත් මට කව්රුවත් තාම එහෙම කියලා නෑ. ඒත් මම කැමතියි එහෙම එනවනම්. අඩුම ගානේ මගේ දරුවෝ හරි. මම සූදානම් ඔවුන්ට උදව් කරන්න.
 
 
ඔබ කව්රුහරිපුහුණුකරලා තියෙනවද ඉදිරියට දේශපාලනයට එන්න ?
 

මම දැනටත් ගමේ කටයුතු කරද්දි සිංහල කාන්තාවන් තුන්දෙනෙක් සහ මුස්ලිම් කාන්තාවක් හඳුනගෙන ඉන්නවා ඉදිරියට දේශපාලන කටයුතු වලට මැදිහත්වෙන්න පුළුවන්. මම හැමතිස්සෙම ඔවුන්ට කියන්නේ මගෙන් පස්සේ වගේම මාත් එක්ක ඉදිරියට වැඩ කරන්න. මට දැන් අවුරුදු හැටක් නිසා සමහරවිට මගේ වයස පදනම් කරගෙන ඊළඟ පාර නාම යෝජනා නොදෙන්න පුළුවන්. මම ඒකට සීයට සීයක් එකඟයි.
 
 
එතනදි මට වඩා තරුණ සහ දැනුම තියෙන මටත් වඩා හොඳට කතා කරන්න පුළුවන් කෙනෙක්ට අවස්ථාව දෙන්න මම සූදානම්. මොකද අපි අද විශ්වාසය තියාගන්න ඕන තරුණ දේශපාලනයක් පිළිබඳව.
 
 
ඒ වගේම මැදිහත්වීම් සිදුකරනවා මම, උදාහරණයක් විදිහට පහුගිය කාලේ අඩු ආදායම් ණයක් ලබාගෙන විදේශගත වෙන්න සූදානම් වුණු කාන්තාවක් මගේ ලඟට ආවා. බලද්දි එයාගේ සැමියා රජයේ අනුමත කොන්ත්‍රාත්කරුවෙක්. ඒත් දැන් වැඩ නැති නිසා නෝනා රට යවන්න හදනවා. මම ඒක වළක්වලා නගර සභාවේ අනිත් මන්ත්‍රීවරුන් සහ වරියන් එක්ක කතාකරලා ඔවුන්ගේ කොන්ත්‍රාත් අර පුද්ගලයාට දෙන්න කිව්වා. පස්සේ ඔහු හොඳට වැඩකරලා ඉදිරියට ආවා බිරිඳ රට යවන එක ඒකෙන් වැළකුණා. පස්සේ ඒකට මට බොරු චෝදනාවක් කරලා අනෙක් කොන්ත්‍රාත්කරුවෝ පත්තරේටත් ලියලා තිබ්බා.
 

ඔබ හිතනවද දේශපාලන කටයුතු කරන්න සමාජ සේවා අත්දැකීම් විතරක් ප්‍රමාණවත් කියලා ?
 

WhatsApp Image 2022 10 10 at 15.58.05මම දේශපාලන කටයුතු වලදි ඉවසීමෙන් කටයුතු කරන්න ඉගනගත්තේ සමාජ සේවා වැඩකරලා තමයි. පීඩිත පන්තියේ ජනතාව එක්ක වැඩකරද්දි අපිත් පීඩිත පන්තියේ මිනිස්සු විදිහට අවශ්‍යතා ඇති තැන් හරියට අඳුනගෙන කටයුතු කරන්න ඉගනගත්තේ සමාජ සේවා කටයුතු වලින් තමයි. ඒ නිසා තමයි මම කිව්වේ සමජා සේවා කටයුතුවලින් දේශපාලනයට ආවා කියලා. අද වෙද්දි ඒ සම්බන්ධයෙන් අවබෝධයක් තියන නිසා ග්‍රාම නිලධාරිතුමා පවා සමහර දේවල් අහන්නේ මගෙන්. පොලිසියෙන් පත්වෙලා ඉන්න කෙනා වුණත් සමහර මිනිස්සු සම්බන්ධයෙන් විස්තර අහගෙන එන්නේ මගෙන්. දේශපාලනය ඉගනගන්න කැමතියි. ඒත් ඒවායේ තියන උපක්‍රම පාවිච්චි කරන්න කැමැත්තක් නෑ.අපි ඒ සියලුම දේ ඉගනගන්නවා නොදන්න දේවල් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් අහගන්නවා. ඒවා අනුව අවස්ථා තේරුම් අරගෙන ඒවාට මුහුණ දෙනවා. මම දැනටත්විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් කරනවා. මම දැනටත් ගියපු වැඩසටහන්වලින්ගොඩක් දැනුවත් වෙලා තියනවා. රාජ්‍ය නොවන සංවිධාන වුණාට පාසලෙන් ලබපුදැනුමට වඩා දැනුමක් ඔවුන් අපිට ලබාදුන්නා. ඒ නිසා තමයි මම කියන්නේ තරුණළමයි, විශ්වවිද්‍යාල දරුවන් මේවට එන්න ඕන. අරගලයේදී වුණත් ඒක පේන්න තිබ්බා.
 

ඔබගේ ඉදිරි දේශපාලන අපේක්ෂාව මොකක්ද  ?
 

නගර සභාවට නැවත ඉල්ලන්න අවස්ථාව ලැබුණොත් ඉල්ලනවා. පළාත් සභාව වුනත් බැරිකමක් නෑ. ඒත් මම හිතන්නේ දැන් තරුණ පරපුරට අවස්ථාව දෙන්න ඕන. මොකද තාක්ෂණය දැනුම හැමදේම අතින් ඔවුන් අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා. අවස්ථාව ලැබෙන විදිහ අනුව මුහුණ දෙනවා.

 
 

Mawbima 

 

සැබැඳි ලිපි
 
 
 
 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්