මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්‍ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.

 

SH සම්පූර්ණ නම - සිත්ති මසීනා බාකර්

වයස - අවුරුදු   හැට එකයි 61

අධ්‍යාපන සුදුසුකම් - උසස් පෙළ වාණිජ අංශය . වෘත්තීය ගණකාධිකරණ පාඨමාලාවේ පළමු  අදියර

ඔබේ වෘත්තිය - පුද්ගලික අංශයේ විධායක ගණකාධිකාරිණියක් විදිහට සේවය කිරීම අවුරුදු 20

විවාහක අවිවාහක බව - විවාහකයි

දේශපාලන පවුල්  පසුබිම - මගේ පවුල දේශපාලනයට සම්බන්ධ එකක්. මගේ සහෝදරිය කොට්ඨාශ සංවිධායිකාවක් විදිහට කටයුතු කළා. ඒ වගේම ඇගේ සැමියා දේශපාලනයට සම්බන්ධයි.

නියෝජනය  කරන  ප්‍රදේශය - මොරටුව නගර සභාව  එගොඩඋයන දකුණ කොට්ඨාශය. එක්සත් ජාතික පක්ෂය

 

ඔබ මන්ත්‍රීවරියක් විදිහට පත්වෙන්නේ මොන අවුරුද්දේ ද?


2018 වර්ෂයේ පළාත් පාලන මැතිවරණයෙන්. කාන්තා කෝටාවෙන් තමයි පත්වෙන්නේ.
 

පුද්ගලික අංශයේ සේවය කරපු ඔබ දේශපාලනයට එන්න හිතුවේ ඇයි?
 

මට හිතුනා කාලයක් යද්දි අපි රැකියාව කරලා නිකන් ඉඳලා හරියන්නේ නෑ කියලා. කාන්තාවන් ඉදිරියට අරගෙන යන්නනම් අපිටත් යන්න වෙනවා කියලා. ඒ නිසා මට දේශපාලනයට එන්න හිතුනා.
 

කාන්තාවන් දේශපාලනයට ඒම ගැන කතාකරද්දි ආසන සංවිධායකවරුන්ගේ තේරීම් ගැන ඔබ මොකද හිතන්නෙ ?
 

මම හිතන්නේ සංවිධායකවරුන් බුද්ධිමත්ව තීරණයක් ගත්තා. මොකද කොට්ඨාශය තුළ, ආසනය තුළ කාන්තාවන්ගේ ක්‍රියාකාරිත්වය අනුව තමයි තීරණය ගත්තේ.
 

ඔබ හිතනවද ඒ ගත්ත තීරණ සීයට සීයක්ම හරි කියලා?
 

මම හිතන්නේ නෑ සීයට සීයක්ම හරි කියලා. ඒත් 2018 කාන්තා කෝටාව ආවට පස්සේ යම්තාක් දුරට සාධාරණව තේරීමක් කලා.
 

ඊළඟ මැතිවරණයට එද්දි ඔබේ අරමුණ මොකක්ද?
 

ඊළඟ පළාත් පාලන මැතිවරණයට තරඟ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊට පස්සේ පළාත් සභා මැතිවරණයටත් ඉදිරිපත්වෙන්න බලාගෙන ඉන්නවා.
 

ඒ වෙනුවෙන් ඔබේ සූදානම කොහොමද ?
 

මම මගේ කොට්ඨාශය තුළ මගේ පැවැත්ම තහවුරු වෙන්න ඕන. මුලින්ම මම මගේ කොට්ඨාශයේ ජනතාව ගැන තේරුම් අරගෙන මගේ සැලැස්ම සකස්කරගත්තා. එතනදි කාන්තාවන්ගේ සිතුම් පැතුම් තේරුම් අරගෙන, ඔවුන්ගේ ආකල්ප වෙනස් කරන්න මැදිහත් වෙන්න මම කටයුතු කලා. ඡන්දයේ වටිනාකම ඔවුන්ට පැහැදිලි කරලා දුන්නා, අවශ්‍යතාව අනුව සුබ සාධන කටයුතු වල නිරත වෙනවා. වැඩිහරියක්ම කාන්තාවන්ගේ හැකියාවන් වර්ධනය කරගෙන ඉදිරියට එන්න අවශ්‍ය ආකල්ප වෙනස් කරන්න මම මැදිහත් වෙනවා. ඒකෙන් සමාජයට ලොකු සේවයක් කරන්න පුළුවන් කියලා මම හිතනවා.


ඔබ ඉන්න ප්‍රදේශය අනුව ඇතැම්විට ඇති නැති පරතරය වැඩි වෙන්න පුළුවන්. මේ වගේ වෙනස්කම් සමතුලනය කරන්න ඔබ මෙනවද කරන්නේ? ඒ වගේම මත්ද්‍රව්‍ය, අපරාධ වගේ සමාජ ප්‍රශ්න තියෙන්නත් පුළුවන්. මොරටුව ආසන්න ප්‍රදේශවල මේ වගේ සිදුවීම් වෙනවා අහන්න ලැබුණා. ඔබට සැලසුමක් තියනවද මේ වගේ දේවල් පාලනය කරන්න?
 

දැනට සැලැසුමක් නෑ. ඒත් මම බලාපොරොත්තු වෙනවා එහෙම දෙයක් කරන්න. මොකද මගේ කොට්ඨාශයේ පවා ඒ වගේ ගැටළු තියනවා. ඒ වගේ සිදුවීම් වලට සම්බන්ධ කණ්ඩායම් හඳුනාගෙන ඔවුන්ට වෙනස්කමක් නොකර සමාජයට අවශ්‍ය කොටසක් විදිහට හඳුනාගෙන කටයුතු කරනවා. ඒ නිසාම ඔවුන් මගෙත් එක්ක කටයුතු කරන්නේ සුහදවයි. මම මගේ දේශපාලන වැඩකටයුතුවලදි මත්පැන් ලබාදෙන්නේ නෑ. ඔවුන් මේවට යොමුවෙලා තියෙන්නෙත් ආර්ථික ප්‍රශ්න නිසා. ස්ථාවර ආර්ථිකයක් තියනම් ඔවුන් මේ වගේ ඇබ්බැහිවීම්වලට යොමුවෙන්නේ නෑ.
 

ඔබ දේශපාලනයට එද්දි පොදු සුබ සාධන කටයුතු වල නිරතවෙලා ඉන්න ඇති. ඒත් සුබසාධනය සහ දේශපාලනය කියන්නේ විෂයන් දෙකක්. එතකොට ඔබ දේශපාලනයට එද්දි ඔබට ඒ ගැන අවබෝධයක් තිබුණද? නැත්නම් ආවට පස්සෙද ඉගනගත්තේ?
 

දේශපාලනයට එන්න කලින් යම්කිසි අවබෝධයක් තිබුණා. ඒත් මන්ත්‍රීවරියක් වුනාට පස්සේ තමයි විධිමත්ව ඒ ගැන ඉගනගත්තේ. ව්‍යවස්ථාව ගැන, කොහොමද යෝජනාවක් ඉදිරිපත් කරන්නේ, මේ වගේ දේවල් ඉගනගන්නවා. ඒ වගේම ඉදිරියට මම විශ්වවිද්‍යාලයේ දේශපාලනය සහ ආන්ඩුකරණය ගැන පාඨමාලාව ආරම්භ කරනවා. කොහොමවුනත් දැනුම කියන දේ දේශපාලනයට ඉතාම වැදගත්.
 

ඔබගේ ප්‍රාදේශිය සීමාව ඇතුලේ කාන්තාවන් කී දෙනෙක් මහජන නියෝජිතයන් විදිහට කටයුතු කරනවද?
 

මන්ත්‍රීවරියන් දොළොස් දෙනෙක් ඉන්නවා නගර සභාව ඇතුලේ.
 

මේ කාන්තාවන් ඇතුලේ සාමූහික බවක් තියනවද පක්ෂ භේදයකින් තොරව?
 

පොදු දේකදි අපි එකට එකතු වෙනවා. විශේෂයෙන්ම මෑතකදි කාන්තා කමිටුව පිහිටුවද්දි ඒ යෝජනාව හැමෝම එකතුවුණා.
 

කාන්තා කමිටු පිහිටුවීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද?
 

කාන්තාවට අදාල සුබ සාධන, සෞඛ්‍ය, ජීවනෝපාය සංවර්ධන වගේ කාන්තාවන්ට සම්බන්ධ ක්ෂේත්‍ර ගැන කතා කරන්න යෝජනා ක්‍රියාත්මක කරන්න තමයි මේ කමිටු පිහිටුවන්නේ.
 

ඔබ මන්ත්‍රීවරියන් වෙන්නේ ඡන්දයකට ඉදිරිපත්වීමෙන් තොරව. එයින් ඔබට ලැබුණු බලයෙන් ඔබ කටයුතු කරමින් ඉන්නවා. කාන්තාවකට බලය කියන එක නිසිලෙස කළමණාකරණය කරන්න පුළුවන්ද?
 
 
බොහෝ දුරට. ගෙදරින් පටන්ගත්තොත් කාන්තාව ගෙදර තියන සීමිත සම්පත් කළමණාකරණය කරගන්න පුරුදු වෙනවා. ඒ නිසා කාන්තාවන්ට එවැනි තත්වයකදි පාලනය කරන්න පුළුවන්. උපරිම හෝ අවම බලයක් යටතේ කාන්තාව කටයුතු කරන්න හැකියාව තියනවා. පිරිමියා ගෙදරදි තීන්දු තීරණ ගනිද්දි වුණත් කාන්තාවගෙන් අහනවා. ඒක පිට සමාජයට නොකිව්වට. බංගලාදේශය දිහා බැලුවොත් අපිටත් වඩා ඉහළින් ඉන්න රටක් පාලනය කරන්නේ කාන්තාවක්. එහෙම එකේ මිලියන විසි දෙකක් පාලනය කරන්න කාන්තාවන්ට බැරි කමක් නෑ. කාන්තාවන් සම්බන්ධ ප්‍රඥප්තියෙන් සහ බීජිං සමුළුවෙන් කාන්තාවන්ගේ නියෝජනය වර්ධනය කරන්න කියලා යෝජනා කරලා තියනවා.
 
 
ලංකාවේ ඉතිහාසයේ, රාජ්‍ය පාලනය, ව්‍යවස්ථානුකූල පාලනය තෙක්  ලංකාවේ කාන්තාවන් දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ පවුල් පසුබිමෙන්. දේශපාලන පක්ෂ මට්ටමින් ගත්තත් කාන්තා නියෝජනය ඉතාම අඩුයි පවුල් දේශපාලනය තුළින්  කාන්තාවට දේශපාලනයට එන්න පහසුද, පවතින ව්‍යවස්තාව තුළින්  මැතිවරණ ජයග්‍රහනය කරලා දේශපාලන ප්‍රවිශ්ටවීමද පහසු?
 

පවුල් පසුබිමේ දේශපාලනය තියන කාන්තාවන්ට එක්තරා විදිහකට පහසුයි. ඒත් ඉදිරියට එන කාන්තාවන් දේශපාලන දැනුමෙන් සන්නද්ධවෙලා ඉන්නේ. දේශපාලන පක්ෂ එවැනි කාන්තාවන්ට අවස්ථාව දෙන්න ඕන. මොකද ඔවුන් විවිධ ආයතන මගින් දැනුමෙන් සන්නද්ධකරලා ඉන්නේ. කොහොමද මැතිවරණ ප්‍රචාරණය කරන්නේ, කොහොමද මාධ්‍යයට මුහුණ දෙන්නේ වගේ. මම යෝජනා කරන්න කැමතියි, මින් ඉදිරියට පළාත් සභා, පාර්ලිමේන්තු පවා දැනුම පදනම් කරගෙන නියෝජිතයන් තෝරනවනම් තවත් මේ රට යහපත් වේවි. අපේ නායකතුමා තමයි දෙදහස් ගාණක් හිටපු කාන්තා සභිකයන් ප්‍රමාණය හාරදහසක් කරන්න මැදිහත් වෙන්නේ. ඒ වගේ තීන්දු තීරණ ගනිද්දි කල්පනා කරන්න වෙනවා.
 

මැතිවරණ නීති කාන්තාවන්ට බලපාන ආකාරය ගැන ඔබ දැනුවත්ද ?
 
 
පවතින ක්‍රමයේදී කාන්තාවන්ගේ නියෝජනය සීයට විස්ස වගේම කේවල ක්‍රමයේදී සීයට පනහක් අවස්ථාව ලැබෙනවනම් එතනත් වෙනසක් කරන්න පුළුවන්. ජනගහණය සීයට පනස් දෙකක් සහ ඡන්ද දායකයන්ගෙන් සීයට පනස් හයක් ඉන්න කාන්තාවන්ගේ නියෝජනය අවශ්‍යයි. ඒ අනුව මැතිවරණ නිතිය වෙනස් වෙන්න ඕන.
 
 
ඔබ හිතනවද ලංකාවේ පවතින ක්‍රමය කාන්තාවන්ට දේශපාලනයට එන්න බාධාවක් කියලා?
 

ඔව්. කාන්තාවන්ට අවස්ථාව තියෙන්නේ මැතිවරණයට එන්න සීයට දහයයි. පුරුෂයන්ට තියන අවස්ථාව වැඩියි. ඒක වෙනස් වෙන්න ඕන.
 

ඔබේ දේශපාලන අත්දැකීම් වසර විස්සකට ආසන්නයි කියලා කියලා ඔබ කිව්වා. ඔබ දේශපාලන ප්‍රචණ්ඩත්වය, මර්දනය, අක්‍රමිකතා දැකලා ඇති. මැතිවරණයකදි පිරිමි දේශපාලනය කරන විදිහත්" කාන්තාව කරන විදිහත් වෙනස්. විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවක් විදිහට මේක දකින්නේ කොහොමද?
 

මට මේ ගැන හොඳ අත්දැකීම් තියනවා. පිරිමි පාර්ශවයේ හැසිරීම් මම අවබෝධ කරගත්තා. මම හිතුවා මට කරදරයක් නොවී කොහොමද මේ ක්‍රමය ඇතුලේ ඉන්නේ. මොරටුව ආසනයේ වැඩිම මුස්ලිම් ප්‍රමාණයක් ඉන්නේ මම ඉන්න කොට්ඨාශයේ. එක එක ජන කණ්ඩායම්වල ස්වභාවය තේරුම් අරගෙන කටයුතු කරන්න වෙනවා. මුස්ලිම් කාන්තාවක් නිසා පිරිමි අය එක්ක කටයුතු කරන්න වෙන්නෙත් සීමාවක් ඇතිව. කාන්තාවන් එළියට එන්නෙත් අඩුවෙන්. මම කාන්තාවන් රැස් කරලා රැස්වීම් පැවැත්වූවා. එහෙම ටික ටික කාන්තාවන් හරහා ගෙදර ඉන්න පිරිමියාට පණිවිඩය යැව්වා. ඒ උපක්‍රමය නිසා මට බලපෑම් ආවේ අඩුවෙන්. විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් පවා බාධාවක් නැතිව මම ඡන්දේ කරගෙන ගියා. අදටත් වැඩ කරගෙන යනවා. මම අනිත් කාන්තාවන්ට කියන්නේ හැංගිලා ඉන්නේ නැතිව මේ අවස්ථාව ගන්න කියලා. දැන් ඒ කාන්තාවන්ගෙත් ලොකු වෙනසක් තියනවා. ඉදිරියට මගේ දේශපාලනය සාමකාමී එකක්. මට පල්ලිය ඇතුලට යන්න බෑ. පූජකවරුන් එක්ක පවා දුරකතනයෙන් කතා කරලා කටයුතු කරගෙන යනවා.
 

ගොඩක් වෙලාවට මිනිස්සු හිතනවා දේශපානය තුළ  සුබ සාධන කටයුතු කරන්න ඕන කියලා. ඒක අපේ රටේ මිනිස්සු හුරුවෙලා තියන විදිහ. මේ ගැන ඔබ හිතන්නේ මොකක්ද?
 
 
අපි මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕන. ඒ කියන හැමදේම දේශපාලනඥයන්ට කරන්න බැ. ඒ දැනුම, ආකල්පය මිනිස්සුන්ට දෙන්න ඕන. උදාහරණයක් විදිහට මට ඇහුනා අද රූපවාහිනියෙන් සමෘද්ධි සහනාධාරය බෙදාදීම ගැන. නිකන් දුන්නා කියලා ආකල්පය වෙනස් වෙන්නේ නෑ. ඒකට මහන්සි වෙන්න වෙනවා.
 
 
ආකල්පමය වෙනසක් ගැන කතාකරද්දි පහුගියදා සිදුවුණු අරගලය තුළින් සමාජයට විශාල බලපෑමක් ඇතිවුනා.  අරගලයට පෙර සහ පසු කාලය බැලුවම ඔබට මොකක්ද හිතෙන්නේ ?
 

වෙනසක් දකින්න තියනවා. අරගලයට මොරටුවත් විශාල හේතුවක් වුණා. මොරටුව නගර සභාවේ ක්‍රියාකලාපයත් ගෝල්ෆේස් ගැටුමට හේතුවක් වුණා. සිදුවීමෙන් පස්සේ ලොකු පසුබෑමක් තියනවා. දැන් තීන්දු තිරණ ගන්න අනිත් අයගෙන් අහන මට්ටමට පත්වෙලා ඉන්නේ. නගරාධිපතිවරයා දැන් තීන්දු තීරණ ගනිද්දි සෑහෙන්න හිතනවා සාකච්ඡා කරනවා.
 

ස්ත්‍රියක් විදිහට නගර සභාවේ කටයුතු කරද්දි මොනවගේ අත්දැකීමක්ද තියෙන්නේ?
 
 
මුල් කාලේ අපිට අවස්ථාව ලැබුනේ නෑ. පිරිමින්ට තමයි කතා කරන්න කාලය පවා වැඩිපුර ලැබුණේ. ඒත් අපි පස්සේ වැඩමුළුවලට ගිහින් දැනුමෙන් සන්නද්ධ වෙද්දි, අපේ කතා හරබර වෙද්දි අපිට දෙන කාල වේලාව පවා වැඩිවුණා. කාන්තාවන් දැන් නිකන් කතාකරන්නේ නෑ, කරුනු සහිතව තමයි කතා කරන්නේත්. ලොකු වෙනසක් තියනවා ඒනිසා. මට වුනත් දැන් ඉල්ලන කාලය විපක්ෂ නායකවරයා ලබා දෙනවා.
 
 
ඔබ අතුළු කාන්තා මන්ත්‍රීවරියන් දැනුමෙන් සන්නද්ධ වෙනවා, විවිධ පාඨමාලා වැඩසටහන් හරහා ඉදිරියට එනවා. එතකොට පිරිමි මන්ත්‍රීවරුන්ට එවැනි අවස්ථා ලැබෙනවද?
 
 
පිරිමි අයට දැන් ඒ වගේ දැනුමක් ලැබෙන අවස්ථා අඩුයි. කාන්තාවන්ට ලැබෙන අවස්ථාව දැන් වැඩියි. මොකද රාජ්‍ය නොවන ආයතන කාන්තාවන්ගේ දැනුම වර්ධනය කරන්න සෑහෙන්න මහන්සිවෙනවා.
 
දැන් ලංකාවේ දේශපාලනයේ කසිප්පුකාරයෝ, මැරබලය ඇති උදවිය දේශපාලන බලයේ ඉන්නවා. පළාත් පාලන ආයතනවල බලයේ ඉන්න වැඩිපුර පිරිමි උදවිය මේ කණ්ඩායම් වල. ඒත් කාන්තාවන්ට අදාල කෝටාවෙන් එන පිරිසට අධ්‍යාපනය ලබන්න තියන අවස්ථාව වැඩියි. ඒත් පිරිමි මන්ත්‍රීවරුන් ප්‍රාදේශිය දේශපාලනඥයන්ගේ මැදිහත්වීමෙන් දේශපාලනයට එනවා.
 
 
අන්න එවැනි අයත් දේශපාලනය ගැන දැනුමක් ලබාගන්න ඕනද ?
 

අනිවාර්යයෙන්ම. ඒක තමයි මම කිව්වේ දේශපාලනයට ප්‍රවිශ්ට වෙන්නනම් දේශපාලන පීඨයක් හරහා තමයි එන්න ඕන. පක්ෂ භේදයකින් තොරව දැනුම ලබාදෙන්න ඕන.
 

ඔබට ලැබුණු අභියෝග මොනවා ද?
 

ප්‍රධාන වශයෙන් පිරිමි එක්ක දේශපාලනය කරන්නේ කොහොමද කියලා. ඔවුන් එක්ක නොගැටී උපක්‍රමශීලීව කටයුතු කරන එක අභියෝගයක්. මුදල් වැය කරන්න අපිට නෑ. ඒ නිසා සමාජ ජාල භාවිතයෙන් අපිට මේ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන්. කාන්තාවන් ඇවිත් ඉන්නේ දේශපාලනයේ වෙනසක් කරන්න. ඒ නිසා අපිට ඒ මට්ටමට වැටෙන්න බෑ. අපි කළමණාකරණයක් සහිතව තමයි අපේ ගමන යන්න ඕන.
 

අහපු ප්‍රශ්නවලට අමතරව ඔබට මොනවාහරි අදහසක් තිබෙනවද ?
 
 
කාන්තාවන්ගේ දැනුවත්භාවය වැඩිවෙන්න ඕන. තීන්දු තීරණ ගන්න තැන්වලට කාන්තාවන් වැඩිපුර ඇතුලත්වෙන්න ඕන. කාන්තා නියෝජනය හරහා වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. සුදුසු තැන්වලට සුදුසු අය පත්කරන්න ඕන. කොට්ඨාශ ක්‍රමයේදී කාන්තා නියෝජනය සීයට විස්ස දක්වා වැඩිකරන්න ඕන.
 
 
ඔබ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කෙනෙක්. ඇයි ඔබ ඒ පක්ෂය තෝරගන්නේ?
 

එ.ජා.ප ය දිගු ඉතිහාසයක් තියන, වැදගත් නායකයන් ඉන්න සහ විශාල සංවර්ධන ව්‍යාපෘති කරපු පක්ෂයක්. පක්ෂයේ ප්‍රතිපත්තිවලට මම කැමති නිසා පක්ෂයට එකතුවුණා.
 

ඔබේ පක්ෂය ඇතුලේ කාන්තාවන්ට තියන තැන මොකක්ද?
 

ඉතිහාසයේ හොඳ කාන්තා නියෝජනයක් තිබුණා. දැන් සාපේක්ෂව ටිකක් අඩුයි.
 

පක්ෂයේ ප්‍රතිපත්ති තුළ කාන්තාවට තියන තැන මොකක්ද? ඒ ගැන ඔබ සෑහීමකට පත්වෙනවද ?
 

දැනට සෑහීමකට පත්වෙන්න අමාරුයි. ඒත් ඉදිරියට වෙනස් වෙයි කියලා හිතනවා.
 

පක්ෂයේ නායකයා හෝ අධිකාරිත්වය කාන්තාවන්ට අදාල යෝජනා කරන්න ඉඩකඩ දෙනවද?
 

ඔව් දැනටත් ඒ ඉඩකඩ තියනවා.

 

 

Mawbima 

 

සැබැඳි ලිපි
 
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්