මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්‍ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.

 

sriyaසම්පූර්ණ නම - වන්නකුවත්ත වඩුගේ ශ්‍රියාණි හේමලතා ප්‍රනාන්දු

වයස - අවුරුදු 65

අධ්‍යාපන සුදුසුකම් - ශාස්ත්‍රවේදී  උපාධිය සම්පූර්ණ කරලා තියනවා

උපාධියක්. පශ්චාත් උපාධියත් සම්පූර්ණ කරලා තියනවා.

ඔබේ වෘත්තිය - ගුරුවෘත්තියේ හිටියා, පස්සේ ගුරු උපදේශක සහ විදුහල්පතිදෙවැනි ශ්‍රේණියේ කටයුතු කරලා පසුව විශ්‍රාම ගත්තා.

දේශපාලන පවුල් පසුබිම - මගේ සොහොයුරා දේශපාලනයේ ක්‍රියාකාරී චරිතයක්

නියෝජනය කරන කොට්ටාශය -.මොරටුව මහනගර සභාවේ ඉඳිබැද්ද කොට්ටාශය. ස.ජ.බ



දේශපාලනයට අවතීර්ණ වෙන්නේ මොන අවුරුද්දෙදි ද?


2018 දි. දැන් නියෝජනය කරන්නේ සමගි ජන බලවේගය. කලින් නියෝජනය කලේ එක්සත් ජාතික පක්ෂය. එයින් තමයි මන්ත්‍රීධූරය ලැබුනෙත්.

ඔබ ස.ජ.බ ය සමග එකතුවෙන්න හේතුව වුනේ?

ඒ කාලේ ලොකු ආන්දෝලනයක් ගියානේ. අපි ගමේ වැඩකරද්දි එ.ජා.ප නායකයාට විරුද්ධව විශාල මතවාදයක් හැදුණා. ජනතාවගේ කැමැත්ත තිබුණේ ස.ජ.බ යේ නායකතුමාට. ඒ නිසා අපි මිනිස්සුන්ගේ පැත්ත සාධාරණයි කියලා හිතලා ඒ අනුව අපේ අත්දැකීම් අනුව ස.ජ.බයට යන්න තීරණය කලා.

 

ඔබ හැරෙන්නේ ජනතාවගේ කැමැත්ත නිසා විතරයි ද? නැතුව පක්ෂයේ දේශපාලන ප්‍රතිපත්ති අනුව නෙවෙයි ද?

ජනතාව අතරේ මතයක් ඇතිවුණා එ.ජා.ප  ඇතුලේ පිරිසිදු ප්‍රතිපත්ති නෑ කියලා. හරි ප්‍රතිපත්ති තියෙන්නේ ස.ජ.බ ය ඇතුලේ කියලා. ඒ අනුව තමයි අපිත් ඒ එක්ක එකතුවෙන්න හේතුවුනේ.

 

ඔබ එ.ජා.ප ය එක්ක එකතුවෙන්නේ මොන කාලෙ ද?


මම උසස්පෙළ ඉවර කරලා එ.ජා.ප එක්ක කටයුතු කලා. ආයෙත් විශ්‍රාම ගියාට පස්සේ 2017 දි එ.ජා.ප එක්ක නැවත එකතුවුණා. මම මැතිවරණයට ඉදිරිපත්වුණේ ලයිස්තුවෙන්. කාන්තා නියෝජනයේ කෝටාවෙන්, ඉඳිබැද්ද කොට්ටාශයෙන් මන්ත්‍රීවරියක් වෙන්න අවස්ථාව ලැබුණා.


ඔබේ දේශපාලනය කේන්ද්‍රගත වෙන්නේ පක්ෂ නායකයාගේ ප්‍රතිපත්ති අනුව ද නැත්නම් පක්ෂයේ ප්‍රතිපත්ති අනුව ද?

මම හිතන්නේ එහෙම දෙකක් නෑ නේද?

 

ඒත් ජනාධිපතිවරණයකදි වගේ පක්ෂයේ නායකයාට වෙනම ප්‍රතිපත්ති තියෙන්න පුළුවන් නේ ද?


මම දන්න විදිහට නම් ස.ජ.බ නායකයාට ජනාධිපතිවරණයෙන් දිනන්න බැරිවුණත්, එතුමාගේ ප්‍රතිපත්තිවලට තැන ලැබුනේ නැතත් අද එදා අපි ගත්ත තීරණය ගැන සතුටුයි.


ඔබ දේශපාලනය තෝරාගත්ත එක ගැන සතුටුයි ද?


ඔව්. මම හැමදාම අගයකලේ යහපත් දේශපාලනය. ජරාජීර්ණ දේශපාලනය මම ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවෙන් තමයි මම ඉදිරිපත්වුණේ. මම විදුහල්පතිවරියක් ලෙස ළමයි එක්ක කටයුතු කරද්දි ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් එක ක්‍රමයකින් යහපත් දෙයින් තමයි කටයුතු කලේ. මම දේශපාලනයට ආවෙත් එහෙම හිතාගෙන. ඒත් අද නම් එහෙම යහපතක් පේන්නේ නෑ. මේ වැරදි ක්‍රමය නිසා තමයි එහෙම වෙන්නේ.


ඔබට අනුව සමාජ සේවය සහ දේශපාලනය දෙකක් ද?

 

ඔව් මට අනුව දෙකක්. සමාජයේ ගැටළුවක් තියන තැනකදි ගෙදර ඉඳන් වුනත් සමාජ සේවය සමාජයේ ඕන කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන්. හැබැයි දේශපාලනයේදී ප්‍රතිපත්තියක් තියනවා. හැබැයි එතනදි ආයතනයේ ප්‍රතිපත්ති අනුව වැඩකරන්න වෙනවා. ආයතනය නිවැරදි කරන්න වගේම සියලුම මහජනතාවට භේදයකින් තොරව වැඩකරන්න පුළුවන්. අපේ සේවය උපරිමයෙන් වෙනවනම් ඒක තමයි වෙන්න ඕන.

 

ඔබ ගුරුවරියක් විදිහට ඔබට තිබුණා සමාජ සහ පරිපාලන අත්දැකීම් යම්තාක් දුරට. ඒ අත්දැකීම් ඔබේ දේශපාලනයට සහයක් වුනා ද?


ඇත්තටම ඔව්. අපි ප්‍රශ්න විසඳන විදිහක් තිබුණා. දේශපාලනයට ආවමත් මම ප්‍රශ්න දැක්කේ ඒ ප්‍රශ්න ඇතුලට මමම ගිහින්. ඒ අනුව තමයි ප්‍රශ්නයේ ප්‍රමුඛතාවය හඳුනගත්තේ. පහුගිය ආන්ඩු කාලයේ ගම්පෙරලිය වැඩසටහන ක්‍රියාත්මක වෙද්දි පවා ප්‍රශ්නයේ වැඩිම තැනට තමයි අපි උත්තර දුන්නේ. රුපියල් ලක්ෂ දෙකේ ආධාර ක්‍රමයක් ගියා නිවාසවල වහළ සකස් කරන්න. එතනදි මම ගොඩක්ම ආර්ථික අමාරුකම් තියන, ඇත්තටම අවශ්‍යතාව තියන තැන්වලට උපකාර කරන්න පුළුවන් වුණා. පක්ෂ භේදයකින් තොරව අවස්ථා දෙන්න පුළුවන් වුණා. ලැබුණු ආධාර හැම එකක්ම කොරෝනා කාලේ පවා පක්ෂ භේදයකින් තොරව ලබාදුන්නා. මට ඒකට විවිධ චෝදනා පවා ආවා. අපි දැනගන්න ඕන ප්‍රශ්න හදාගන්නේ නැතිව ඉන්න. මට අත්දැකීම් ඇති නිසා පහසුවක් වුනා. විශේෂයෙන්ම මම සාධාරණයි කියලා හිතපු නිසා මිනිස්සු විශ්වාස කරනවා. විරුද්ධ පක්ෂවල අය පවා මාව විවේචනය කරන්නේ නෑ. මිනිස්සුන්ගේ ප්‍රශ්න දේශපාලන කෝණයෙන් බලනවනම් වැරදියි. දේශපාලනය මැතිවරණයෙන් පස්සේ කර තියාගෙන ඉන්නේ නැතිව සියළුම අයට උදව් කරන්න ඕන කියලා තේරුම්ගන්න ඕන. මොරටුව නගරාධිපතිගේ තියන ලොකුම දුර්වලකමත් පාක්ෂිකයන්ට විතරක් උදව් කරන එකයි.

 

කාන්තා කෝටාව ගැන කතා කරද්දි අදාල කාන්තාවන් තෝරාගන්නේ බොහෝවිට අදාල පක්ෂයේ ආසන සංවිධායකගේ මැදිහත්වීමෙන්. එතනදි ඔබට හිතෙනවද සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා කියලා?


ඒක තීරණය වෙන්නේ තෝරාගන්න පදනම අනුවයි. මම දැකලා තියනවා ගොඩක් වෙලාවට උදව් කරපු අයට අවස්ථාව ලබාදෙන අවස්ථා තියනවා, උගත් අය තෝරාගන්න ඕන කියලත් හිතපු අවස්ථා තියනවා. ඒ හරහා තමයි මට අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා විවිධ කෝණවලින් බලලා තියනවා.


කාන්තාවක් දේශපාලනයට ප්‍රවිශ්ඨවීමේදී පවුල් දේශපාලනයත් බලපානවා. මැතිවරණ ජයග්‍රහණය වගේම, පවුල් පසුබිමෙන් දේශපාලනයට එනවා. ඔබට අනුව වඩා පහසු විදිහ මොකක්ද?


ඔය ප්‍රශ්නයේදී අපි දැක්කේ පවුල් පරිසරයෙන් එද්දි එන එක පහසුයි කියලා. මොකද ඔවුන් ඒ වෙද්දිත් පදනම හදාගෙන තියෙන්නේ. තනියම ඡන්දයක් දිනලා එන කෙනාට සම්පූර්ණයෙන්ම පරිසරය හදාගන්න වෙනවා. ජනතාවත් අදාල කෙනාගේ හැමදේම බලනවා. මේ සේරම සම්පූර්ණ කරගෙන ආවේ නැත්නම් දිනන්න අමාරුයි.


දේශපාලනයට එන කාන්තාවකට තිබියයුතු මූලික ගුණාංග මොනවද?


අවංක වෙන්න ඕන. තමන් තීරණයක් ගත්තනම් ඒක මත ඉන්න ඕන. ඒ වගේම තීරණ ගනිද්දි බුද්ධිමත් වෙන්න ඕන. මහජනතාවට ගැලපෙන, තමන්ව විනාශ නොවෙන උචිත තීරණ ගන්න ඕන. තමන්ගේ ප්‍රතිමූර්තිය බිඳගත්තොත් ඒකම ඇති තමන්ව විනාශ කරගන්න. හොර බොරු වංචා නැතිවෙන්න ඕන. කාන්තාක් දිහා සමාජය විවිධ කෝණවලින් බලනවා.


ලංකාවේ බොහෝවිට කාන්තාව සැලකෙන්නේ දෙවනි පුරවැසියෝ විදිහට. සමාජය විසින් කාන්තාවන්ට රීති මාලාවක් තියනවා. කාන්තාව තමයි මේවා කරගහගෙන යන්න ඕන. ඔබට මේ අලුතෙන් දේශපාලනයට එන කාන්තාවන් ගැන පොදු සමාජයේ තියන ආකල්ප ගැන ඔබ මොකද හිතන්නේ?

 

පොදු සමාජයේ නම් හොඳ ආකල්පයක් නෑ. ඒත් මම කාන්තාවන්ට කියන්නේ මොන අපහාස, නින්දා, විවේචන ආවත් ඉන්ද්‍රඛීලයක් වගේ ඉන්න ඕන. පිරිමි වටකරගෙන සභාවල කාන්තාවන්ට කතා කරන්න දුන්නේ නැති වුනත් තමන් ශක්තිමත් වෙන්න ඕන. නැත්නම් ගමනක් නෑ අපිට.

 

ඔබට දැනිලා තියනවද කාන්තාවක් විදිහට දේශපාලනයට ප්‍රවිශ්ඨ වෙද්දි වෙනත් වෘත්තීන්ට සාපේක්ෂව අභියෝගවලට මුහුණ දෙන්න වෙනව ද?


විභාග පාස් කරලා වෘත්තීන්වලට එන ගෞරවය දේශපාලනයට එද්දි නම් නෑ. ගෞරවයක් අනිත් අයගේ හිතේ තිබ්බත් උත්සහ කරන්නේ මානසිකව වට්ටලා අපිව නිහඬ කරන්න. දේශපාලනය ඇතුලේ සෑහෙන්න පරිස්සම් වෙන්න ඕන. විශේෂයෙන්ම අපි කතාකරන දේවල්ම පාවිච්චි කරලා අපිට ගහනවා.


දේශපාලනය කියන විෂය ගැන අධ්‍යාපනයක් තියෙන්න ඕන ද?

 

අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මිනිස්සු දේශපාලනය ගැන හිතාගෙන ඉන්න විදිහ වගේම මහජන නියෝජිතයෝ හිතාගෙන ඉන්න විදිහ වැරදියි. ඔවුන් හිතන්නේ තමන්ට සියලුම බලය තියනවා කියලා. දේශපාලනය කියන එක ගැන හොඳ දැනුමක් තිබ්බොත් හරි අවබෝධයක් එනවා ඉවසන්න ඕන තැන් ගැන. මන්ත්‍රීධූර ගන්න කාන්තාවන්ට වගේම හැමෝටම පුහුණුවක් ලබාදෙන්න ඕන. මොකද ඒවගේ පුහුණු පිරිමි අය සෑහෙන්න මගහරිනවා. පිරිමි අය ආපු අළුතම තිබ්බ පුහුණුවීම්වලට මුලින් ආවත් පස්සේ මගහැරියා. ඔවුන්ට පුහුණුවක් නැති නිසා තමයි මෙච්චරම අවුල. නැත්නම් කාන්තාවන්ට විරුද්ධවෙන්න කිසිම හේතුවක් නෑනේ. මොකද දැනුමක් තිබ්බනම් ඔවුන් දන්නවා කාන්තාවන්ටත් සම අයිතිය තියනවා කියලා.

 

ඇත්තටම මේ මහජන නියෝජිතයන් විදිහට පත්වෙලා ඉන්න අය සමාජයේ විවිධ තරාතිරම්වල ජනතාව නියෝජනය කරන්න තරම් සුදුසුකම් තියන අය ද?


ඇත්තටම එක එක්කෙනා තරාදිවලට දාලා බැලුවොත් එක්කෙනෙක්ටවත් සුදුසුකමක් නෑ. සමහරුන්ට අත්සන ගහගන්නවත් බෑ.


ඔබේ පක්ෂයෙන් පවා පත්වෙලා ඉන්නේ එහෙම අයනම්, ඔබට වගකීමක් නැද්ද ඔබේ පක්ෂයට යෝජනා කරන්න සුදුසුකම් තියන අය පත්කරන්න කියලා ඉල්ලන්න?


අපිට පක්ෂයට යෝජනා කරන්න පුළුවන්. ඒත් දැනට ව්‍යූහය හැදිලා තියෙන්නේ ජනප්‍රියම පුද්ගලයා ගන්න. එයා කව්රු වුනත් කමක් නෑ ඡන්ද එකතු කරගන්න පුළුවන් රැල්ලට යන අය ගන්නවා අනිත් දේවල් ගැන හිතන්නේවත් නැතිව.

 

WhatsApp Image 2022 11 13 at 17.05.18


ඒකට වගකියන්න ඕන ඡන්දදායකයන් ද, නැත්නම් පක්ෂය තුලින් ඉදිරිපත්වෙන පුද්ගලයා ද?

 

මිට කලින් පවා මේ ප්‍රශ්නය මගෙන් අහලා තියනවා. මම කියන්නේ මුලින්ම වගකියන්න ඕන ඡන්දදායකයා. මොකද අර පුද්ගලයා බලය ඉල්ලන්නේ මොකටද කියලා ඡන්දදායකයා දන්නවා. ඒත් රැවටිලා ඡන්දේ දෙනවා. ඒ නිසා ඡන්දදායකයන්ට නිවැරදි දේ දකින්න පුළුවන්.පාසල් අධ්‍යාපනය තුලින් පවා නිවැරදි දේශපාලන දැක්මක් දෙනවනම් ඉතාම වැදගත්. එතකොට කව්රු ඉල්ලුවත් ඡන්දදායකයා තීරණයක් ගන්න හොඳට දන්නවා. එතකොට පක්ෂයටත් සිද්ධවෙනවා හොඳම කෙනා ඉදිරිපත් කරන්න. මැතිවරණ කාර්යාලවලට පවා පුලුවන් ස්වාධීනව නීති රීති පනවන්න අදාල විදිහට මැතිවරණය කරන්න. එතකොට රටේම මැතිවරණය දියත් කරන්නේ එක විදිහකට. එතකොට මිනිස්සුන්ව රවට්ටන්න බෑ. ලංකාවේ විභාගයක් පාස් කරන්නේ නැතිව ඉස්සරහට යන්න පුළුවන්ද. දේශපාලනයේදිත් මේ වගේ වෙන්න ඕන. අනිත් කොතනදි සුදුසුකම් බැලුවත් දේශපාලනයේදී ඒ කිසිම දෙයක් බලන්නේ නෑ. එතනදි මැතිවරණ කොමිසමටත් වගකීමක් තියනවා. නැත්නම් රටම තවත් අඳුරට යාවි.

 

තීරණ ගැනීමේ අයිතිය කාන්තාවන්ට ලැබීම සහ ලබාගැනීම සම්බන්ධයෙන් ඔබ මොකද හිතන්නේ?

 

ඒක ඉතා හොඳ දෙයක්. මේ කෝටා ක්‍රමය පාර්ලිමේන්තුව දක්වා යන්න ඕන. තීන්දු තීරණ ගැනීමේදී පිරිමින්ට වඩා කාන්තාව අව්‍යාජයි. කාන්තාවන්ට දැනෙනවා වැරැද්ද වැරැද්ද විදිහට. කාන්තාවට සියට විසිපහ නෙවෙයි, කාන්තාවන් සීයට පනස් දෙකට සීයට පනහක කෝටාවක් දුන්නත් පාඩුවක් නෑ.කුස්සිය උයන කාන්තාව නෙවෙයිනේ දේශපාලනයට යන්නේ, උගත් බුද්ධිමත් කාන්තාවයි දේශපාලනයට යන්නේ. රටේ අනාගතය යහපත් වෙන්නනම් දැක්මක් තියන කාන්තාවන් කොටසකට අවස්ථාව දෙන්න ඕන. හැබැයි ඉතින් කටවිතරක් තිබිලා මදි, උගත්කම බුද්ධිමත්කම තියෙන්න ඕන. නැත්නම් කාගෙවත් පස්සෙන් ගිහින් අවස්ථාව ගන්න අයටනම් ඉඩදීලා බෑ.

 

ලංකාවේ මැතිවරණ ක්‍රම පිළීබඳව ඔබේ අදහස සහ මේ ක්‍රමය ඇතුලේ කාන්තාවන්ට සහයක් ලැබෙනව ද?

 

මේ ක්‍රමය ඇතුලේ තාමත් පළාත් පාලන ආයතන ඇතුලේ විතරයි තාමත් කාන්තා කෝටාව තියෙන්නේ. පළාත් සභාව, පාර්ලිමේන්තුවේ තාම නෑ. ඒ නිසා කාන්තාවන්ට මැතිවරණවලදි කාන්තාවන්ට කෝටාවක් ඇතුලේ අවස්ථාව දෙන්න ඕන. අන්න ඒ වගේ තැනකදි බාහිර ආයතන මගින් කාන්තාවන් ශක්තිමත් කරන්න ඕන. මොකද පිරිමි පාර්ශවය ඉස්සරහට යන්නේ වෙනත් ක්‍රමවලින්. නැත්නම් පිරිමි කණ්ඩායම කාන්තාවගේ ගමන අඩපණ කරන්න විවිධ දේවල් කරනවා, මිනිස්සු පවා ඒවාට අහුවෙනවා. එක්කෝ කාන්තාවන් බාහිර කණ්ඩායමක් විසින් රැකගන්න ඕන, නැත්නම් කාන්තාව ඒවාට මුහුණදෙන්න පුළුවන් විදිහට ශක්තිමත් වෙන්න ඕන.

 

ඔබේ ප්‍රදේශයේ කාන්තාවන්ගේ, දරුවන්ගේ ආරක්ෂාව,අධ්‍යපනය,සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල පොදු ගැටළු හඳුනාගෙන තියනව ද?


මම නියෝජනය කරන ප්‍රදේශයේ විශාල වශයෙන් තියෙන්නේ වඩු කර්මාන්තය සම්බන්ධ ගැටළු. වඩු කර්මාන්තයේ ක්‍රියාවලිය පුරාම පුරුෂයන් වගේම කාන්තාවන් ඉන්නවා. ඔවුන්ට ආර්ථික ප්‍රශ්න තියනවා, විශේෂයෙන්ම ඉඳිබැද්ද වගේ වඩු කර්මාන්තය ඉතා විශාල වශයෙන් තියන තැන්වලට ඒ ප්‍රශ්න බලපානවා. රටේ ආන්ඩුව ගත්ත තීරණ නිසා ඒ මිනිස්සු ඉතාම අසරණ වෙලා ඉන්නේ. මගේ ගම තුල තියන ප්‍රධාන ගැටළුව ඒක.


මේ වෙනුවෙන් ඔබට දෙන්න පුළුවන් විසඳුම මොකක් ද ?


මම නම් කිව්වේ වේදනාවට වැඩිකමට ආයෙත් පාරක් මේ ආන්ඩුවම පත්කරගන්න කියලා. ඒත් මිනිස්සුන්ට මේ දේශපාලන ප්‍රතිපත්තිවල ප්‍රශ්නය තේරෙන්න ඕන. මිනිස්සු දැන් කුලී වැඩ කරන මට්ටමට වැටිලා. මේ වෙලාවේ රස්සා හොයාගෙන එන අය ඉන්නවා, ඒත් දෙන්න රස්සා නෑ.

 

ඉදිරියේදී එන්න නියමිත මැතිවරණ වසර කීපයක්. ඔබ ඉදිරි මැතිවරණයට තරඟ කරනවද? ඔබේ ඊළඟ දේශපාලන අරමුණ මොකක් ද?


මට ඊළඟ මැතිවරණයට අනිවාර්යයෙන් තරඟ කරන්න සිද්ධවෙනවා.


එතනදි ඔබට මොනවාහරි අභියෝගවලට මුහුණදෙන්න වෙයි ද?


මගේ පක්ෂයේ කලින් පැරදුණු කෙනාට දිනාගන්න බැරිවුණු ඡන්ද දිනාගන්න මට සිද්ධවෙනවා. ඒ වෙනුවෙන් මිනිස්සු දැනුවත් කරන්න වෙනවා. විශේෂයෙන්ම මන්ත්‍රීවරු වැඩකරද්දි ජනතාව වෙනුවෙන් මුදල් ගසාකෑම් සිද්ධවෙනවා. ඒවා වළක්වන්න කටයුතු කරන්න ඕන, තව කෙනෙක්ට අසාධාරණයක් නොවෙන්න වැඩකරන්න අපි මැදිහත්වෙන්න ඕන. නගර සභාව ඇතුලේ පොඩිම දේ කරන්න පවා අල්ලස් දෙන්න වෙනවා. විගණනයක් සිදුවන අවස්ථාවේ පවා නගර සභාවේ හැම අංශයක්ම ගැටළුවලට ලක්වුණා. නගරාධිපති පවා ඒවා ගණන් ගන්නේ නෑ, ඒවා සාමාන්‍යකරණය කරනවා මිසක් වැරදි හදාගන්න අවශ්‍යතාවක් නෑ. තවත් දුර්වලතාවක් තමයි ආයතන ප්‍රධානින් ඉන්නේ නමට විතරයි. මේ වගේ දේවල් සමාජගත කරලා තමයි මම නම් මේ තනතුරෙන් යන්නේ. එහෙම නැතිව බොරුවට බඩුමළු බෙදලා වැඩක් නෑ. නිවැරදි ක්‍රමවේදයක් තමයි අනුගමනය කරන්න ඕන.

 

පොදු සමාජයේ තියන අදහසක් තමයි මහ එවුන් හොරකම් කරනවනම් අපි පොඩ්ඩක් හොරකම් කලාට පස්සේ මොකද කියලා. මේක දේශපාලනයේ වගේම රාජ්‍ය සේවයෙත් පොදු දෙයක් වෙලා. මේ හැමතැනකම තියෙන්නේ අල්ලස, දූෂණය, කොමිස් තමයි. ඕන කෙනෙක් හිතන්න පුළුවන් ලොකු තැන් කෝටි ගණන් ගන්නවනම් අපි පොඩි ගාණක් ගත්තට කමක් නෑ කියලා හිතන්නේ නැද්ද? අපි අවුරුදු හැත්තෑවක් තිස්සේ දේශපාලනයේ දකින්නේ මේ වගේ දේවල් තමයි. ජනතාව තමයි මේ දේවල් මෙච්චර කාලයක් තිස්සේ පුරුදු කරලා තියෙන්නේ. ඒක දැන් විශාල පිළිලයක් වෙලා, ජනතාවට එක වේලක් කාලා ජීවත්වෙන්න වෙන තැනට ආර්ථිකය කඩා වැටිලා තියෙන්නේ ඒකත් එක්කයි. දැන් ඔබ කියන විදිහට ඔබේ ප්‍රදේශයේ ජනතාවට සිදුවෙලා තියෙන්නෙත් ඒක. අන්න එහෙම බලද්දි පොඩි තැන්වල ඉන්න මන්ත්‍රීවරුත් කරන්නේ අර මහ අය කරන දේ නෙවෙයිද?


ඇත්තටම ඒක තමයි. එතනදි දේශපාලන ප්‍රතිපත්තියක් ඇති කරගෙන පක්ෂයේ නායකයාගේ ප්‍රතිපත්තිය යහපත් එකක් කරගෙන කණ්ඩායම එක විදිහට කලේ නැත්නම් ඒක කරන්න අමාරුයි.


දැන් මහින්ද රාජපක්ෂ බලයේ හිටිද්දිත් ඕක කිව්වා. ඊට පස්සේ බලයට ආපු අය කිව්වෙත් ඕකම තමයි. ඒත් ලංකාවේ දේශපාලනය මෙච්චර කඩාගෙන වැටිලා, තවදුරටත් මේ විදිහට යන්න පුළුවන්ද?


දේශපාලනයට එන බොහෝ දෙනෙක් එන්නේ එතනින් හම්බකරන්න බලාගෙන. මොරටුව කියන්නේ පොඩි නගර සභාවක් වුනත් එතනත් එහෙමයි. හැබැයි ක්‍රමවේදය වෙනස් කළොත් ඒක වළක්වන්න පුළුවන්. මම කලින් යෝජනා කලේ නාම යෝජනා දෙන තැනදිම, මැතිවරණ කාර්යාලෙදිම මේක පිරිසිදු කළොත්, පක්ෂයෙන් පිරිසිදු අය තෝරගත්තොත්, මැතිවරණ කාර්යාලයෙන් යායුතු ක්‍රමවේදය නියම කළොත්, බඩු පාර්සල්, සල්ලි දුන්න ගමන් නාම යෝජනා කැන්සල් වෙන ක්‍රමයක් හැදුවොත් මේක වළක්වන්න පුළුවන්. වෘත්තියවේදීන් රැකියාව කරද්දිම, දේශපාලයට සම්බන්ධ කරගත්තොත් ඔවුන්ට පඩියක් තියන නිසා හොරකම් කරන්නේ නැතිව දේශපාලනය කරාවි. සාමාන්‍ය ජනතාව සහ මහජන නියෝජිතයෝ බැලුවම ඔවුන්ට තියන වරප්‍රසාද බැලුවම ඒවා වළක්වන්න ඕන. රටේ තියන වාතාවරණය බලලා, මේ යෝජනාව සමාජගත කළොත් කරන්න පුළුවන්. මට මතක නෑ එක රටක පාර්ලිමේන්තුවේ ඇමතිවරු, මන්ත්‍රීවරු ජීවත්වෙන්නේ නිවාස සංකීර්ණයක. ඇමරිකාවේ ජනාධිපතිවුනත් තනතුරෙන් ගියාම සාමාන්‍ය කෙනෙක්. ඒත් අපේ රටේ තමයි වෙනස්.


මේ වගේ ප්‍රශ්න තියන කාලෙක තමයි පහුගිය කාලේ ජනතා නැගී සිටීමක් සිදුවුණේ. තමන් පත්කරපු ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වුණු දේවල් සිදුනොවුණු නිසා මහා විශාල අරගලයක් මගින් විධායක ජනාධිපතිවරයා පුටුවෙන් ඉවත්කරන්න හැකියාව ලැබුණා. විශාල බලයක් තිබුණු ජනාධිපතිවරයෙක් ගෙදර යවන්න පුළුවන් ජනතාවක් අපේ රටේ ඉන්නවා. මේ ඔබ මා බලාපොරොත්තුවෙන සුපිරි ක්‍රමවේදයක් මේ තට්ටු මාරු ක්‍රමයට යන පක්ෂ දෙකකට ඇතිකරන්න පුළුවන් ද?


ජනාධිපතිවරයෙක් එළවන්න ජනතාවට පුළුවන්නම් ඔය පොඩි දේ කරන්න ජනතාවට බැරි ද?


ඒත් ජනතාව එහෙම විශ්වාස කරනවද? ඔබ හිතනව ද එහෙම?


මම හිතන්නේ ජනතාව විශ්වාස කරනවා ඔවුන්ට අළුත් දෙයක් කරන්න පුළුවන් කියලා. මම හිතනවා එතනදි කළාටත් වඩා ඡන්දෙකදි තවත් එහා දෙයක් කරයි කියලා. මම හිතන්නේ නෑ ජනතාව තවදුරටත් මෝඩයි කියලා. ජනතාව එක්ක අපි ඉන්න නිසා මිනිස්සුන්ගේ වචන අපිට ඇහෙනවා. මේ අපේ පාක්ෂීකයන්ගේ වචන නෙවෙයි. හැම තැනකින්ම ඇහෙන්නේ ඡන්දයක් දෙන්න අපි කරලා පෙන්නන්නම් කියලා. අපි පාර කපලා දුන්නොත් මේ රට දූෂණයෙන් තොර රටක් හදන්න පුළුවන් වෙයි. ජනතාව හරිම සංවේදියි, පක්ෂ භේදයකින් තොරව ජනතාව නැගිටපු විදිහ දැක්කම හරි සන්තෝසයි. අපි පවා අපේ දරුවන් එක්ක ගියා ඒ අවස්ථාවට. මිනිස්සු හොඳටම බැටකනවා. බුද්ධිමතුන් මේ වෙලාවේ පෙළගැහිලා වඩා හොඳ ක්‍රමවේදයක් හදලා දෙන්න ඕන. ඒක පක්ෂයක් විසින් කළොත් ඒ පක්ෂයට වඩා වාසි සහගත වෙයි.


මම අහපු දේවල් වලට එහා වෙනත් දෙයක් ඔබට කියන්න තියනව ද?

 

මගේ දේශපාලන දර්ශනය අනුව දේශපාලනයේදී අධ්‍යාපනය ඉතාම වැදගත්. සමහර වැඩමුළුවලදි සමහර අය කියනවා අධ්‍යාපනය වැදගත්කමක් නෑ කියලා. හොයලා බැලුවම ඔවුන්ට ඕන බලය විතරයි, අනිත් දේවල් හිස්. අධ්‍යාපනය ඉතාම වැදගත් වෙන්නේ ඒ තුලින් කෙනෙක්ගේ මනස හික්මවනවා. අධ්‍යාපනයේ එක එක මට්ටම් එක්ක තව තව දේ දකින්න අවස්ථාව ලැබෙනවා. වෘත්තීය මට්ටමට ආවම මනස තර්කානුකූලව හිතන්න පුරුදු වෙනවා. එහෙම බලද්දි දේශපාලනඥයාට එවැනි දැනුමක් ලැබුනොත් ඔහු හෝ ඇයත් ඒ විදිහට හිතන්න පුරුදු වෙනවා. ජාතික ප්‍රතිපත්තියක් අපිට තියෙන්න ඕන. එක ආන්ඩුවක් කරන දේ අනිත් ආන්ඩුව නතර කරනවා, මහජනතාවගේ සල්ලි නාස්ති කරනවා. මේ ක්‍රමය සම්පූර්ණයෙන් නතර කරන්න ඕන. මේ කරන හැම දෙයක් ඇතුලෙම විනිවිදභාවයක් තියෙන්න ඕන. එක එක ව්‍යාපෘති කරද්දි, ප්‍රසම්පාදන සහ ඇගයීම් කමිටු ක්‍රියාත්මකවුනත් ඒ ඇතුලේ නිවැරදි මිනිස්සු ඉන්න ඕන. ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නේ එතකොටයි. ඒ වගේම ඇමතිධූර, මන්ත්‍රීධූර ගන්න අයට අධ්‍යාපනය අනිවාර්ය කරන්න ඕන.

 

විරුද්ධ පක්ෂයේ විවේචන ආන්ඩුව ඉවසන්නේ නෑ. ආන්ඩුවට පුළුවන් නම් ඒවා ඉවසිල්ලෙන් අහගෙන ඉඳලා කටයුතු කරනවානම් මීට වඩා හොඳට කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තරුණ පිරිස දේශපාලනයට එන්න ඕන. ඒ වගේම තරුණ සහ පරිණත සංකලනයක් වෙන්න ඕන. කාන්තා නියෝජනය වර්ධනය වෙන්න ඕන. දූෂණය, අවනීතය වගේ රටට වින කරන දේවල් ඉවත්වෙන්න ඕන. උගත්, බුද්ධිමත් පරිපාලනයට මුල් තැන දීලා දේශපාලනඥයන් දෙවැනි තැන ගන්න ඕන. මහජන නියෝජිතයන්ට සංකල්පයක් තියනවනම් ඉදිරිපත් කරන්න පුළුවන්.

 

Mawbima 

සැබැඳි ලිපි
 
 
 
 
 
 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්