අපේ රටේ තිබුන ආර්ථික අර්බුදයෙන් ගැලවීමේ මුළු කාලය ඇතුලේ සොබාදහම අපිත් එක්ක හිටියා. පහුගිය 2023-2024 අවුරුදු දෙකේම අපිට හොඳ වැස්සක් ලැබුනා. ඒ නිසා අපේ විදුලි අවශ්‍යතාවයෙන් සැලකිය යුතු පංගුවක් ජල විදුලියෙන් තමයි විදුලි ජනනය කළේ. ඒ නිසා ගල් අඟුරු, නැප්තා සහ ඩීසල් වෙනුවෙන් අපි වැය කරන ලොකු විදේශ විනිමයක් රටට ඉතුරු වුනා. අපේ සංචිත වැඩිකරගන්න ඒක සෑහෙන උදව් වුනා. ඒ නිසාම තමයි විදුලිබල අඩු කරගන්නත් අපිට පුළුවන් වුනේ.

ගල් අඟුරු, ඩීසල් අපිට රටින් ගේන්නම වෙනවා. අනෙක් අතට ඒ බලාගාර නැතුව අපේ විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න අමාරුයි. ඒත් සූර්ය ශක්තිය සහ සුළං බලය අරන් අපිට ලොකු ප්‍රමාණයක විදුලියක් හදාගන්න පුළුවන්. ඒත් විදුලිබල මණ්ඩලයේ ඉහළ පුටුවල ඉංජිනේරුවන්‍ට පුනර්ජනනීය බලශක්තිය වහ කදුරු වගේ. ලෝකයේ අනෙක් රටවල් වේගයෙන් හරිත බලශක්ති ප්‍රභවයන්‍ට යන අතරේ, කොමිස් වලට ගිජුවෙලා මළ පෙරේතකමින් ගල් අඟුරු, ඩීසල් වලින්ම මේක දුවන්නයි මේ තක්කඩි කල්පනා කරන්නේ.

පහුගිය විදුලි බිඳ වැටීම එක්ක පද්ධතිය පාලනය කරන්න යොදාගත්‍තේ ජල විදුලිය. ඒ වෙනුවෙන් බලාගාර ආශ්‍රිත ජලාශවල සැලකිය යුතු ජල ප්‍රමාණයක් වැය කරා. කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මාර්තු මාසේ අග වෙනකන් වැසි රහිත කාළගුණයක් පුරෝකථනය කරලා තියෙන පසුබිමක ඊළඟ යල කන්නය වෙනුවෙන් ජලාශ වල ප්‍රමාණවත් තරම් ජලය රඳවාගැනීමේ ජාතික වගකීමක් තියෙනවා. කොහොමත් පෙබරවාරි මාසේ ඉඳලා මැයි වෙනකන් වැස්ස අඩුයි. අනෙක් අතට නිරිතදිග මෝසම හරියට සක්‍රීය නොවුනොත් අපි අලි අමාරුවක වැටෙනවා. අපි කොහොමත් දේශගුණික විපර්යාස නිසා බැටකන රටක්.

විදුලිබල මණ්ඩලයේ ඇතැම් තක්කඩි ඉංජිනේරුවෝ පුළුවන් තරම් ජල විදුලිය පාවිච්චි කරන්න උත්සාහ ගන්නෙම මේ පායන කාලය එනකොටමයි. එතකොට කෙටි කාලයකින් ජලාශවල ධාරිතාවය අඩුවෙනවා. මේ වතුරෙන් ප්‍රයෝජනයක් ගන්න මේ වෙලාවේ ගොවියා සූදානම් නෑ. ඒ නිසා විශාල කඳක් කෘෂිකාර්මික ප්‍රයෝජනයක් නැතුව මුහුදට ගලා යනවා.

ඔය කාලය බලලම හැමදාමත් අඩව්වක් අල්ලන්න මේ ඉංජිනේරු මාෆියාව බලන් ඉන්නේ. වැරදීමකින් හරි නොරොච්චෝලේ බිඳ වැටුනොත් ඊළඟට විකල්පය ජලය. එතනින් පස්සේ තමයි ඉල්ලම පෑදෙන්නේ. යම් මොහොතක විදුලිය නිපදවන්න ප්‍රමාණවත් ජලය නැති වුනාම ඊළඟ විකල්පය කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර සහ ඩීසල් බලාගාර වෙත යනවා. 2022 ඩීසල් ගේන්නත් මුදල් නැති නිසා තමයි අපි පෙබරවාරි මාසේ ඉඳලා ලොකු විදුලි කප්පදුවකට ගියේ. ඒ කාලේ වැස්සත් නැති නිසා පුද්ගලික ජල විදුලි බලාගාර විකල්පයත් අපිට නැති වුනා.
දැන් සමහර ඉංජිනේරුවන්ට සූර්ය බලය පේන්න බෑ. මේ මොහොතේ අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳම විකල්පය ප්‍රතික්ෂේප කරලා රටේ ජාතික ධනයත්, විදේශ විනිමයත් නාස්ති කරන වැඩේට තමයි දැන් බහින්න හදන්නේ. මේ නිසා ලොකු මුදලක් නාස්ති වෙනවා. දැන් විදුලි බිල අඩු කරපු නිසා එතන අඩු වුන ආදායම නිසා පිරිවැය වැඩිවෙලා කියන දවසක වැඩි ඈතක නෑ. ගිය අවුරුද්දේ බෝනස් නොලැබීමේ දුකත් හිතේ කොණක තියන් තමයි මේ කොල්ලකෑමට එන්නේ.

අප්‍රේල් මාසේ වෙද්දී ජලාශ වල වතුර අඩුවුනාම, විදුලි ඉල්ලුම වැඩිවුනාම හරි ලේසියෙන් හදිසි මිළදී ගැනීම් වලට යන්න පාර කැපෙනවා. ඒ වෙනුවෙන් දැන් ඉඳලම සූර්ය බලය ප්‍රතික්ෂේප කිරීමේ දැවැන්ත කාර්යයට මණ්ඩලේ දැන් අතගහලා ඉවරයි.
අවසානේ යල කන්නයේ ගොවිබිමට බැහැලා වාරි ජලයෙන් වගාව පටන් ගන්න ඉන්න ගොවියට මේ වැඩෙන් ලොකු පහරක් වදිනවා. යල කන්නයේ බිම් සකසන්න ප්‍රමාණවත් තරම් වතුර නැතිවෙනවා. මේ මාෆියට ඉක්මනින් තිත තියන්න ආණ්ඩුව පියවර ගන්නම ඕන.
(සටහන | සංජන රවිඳු)
උපුටා ගැනීම - Sanjana Ravindu ගේ ෆේස්බුක් පිටුවෙන්...
සබැඳි ලිපියක් :
සූර්ය බලශක්ති උත්පාදනය කප්පාදු කිරීම ජාතික අපරාධයකි - චම්පික රණවක



