The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කොළඹ පුරපති තෝරන්න ගිහින් කොමසාරිස් වරිය කළ වැඩේ හරි ද? | සුනිල් කන්නන්ගර

T

The Leader Desk

June 17, 2025 • 6:31 AM

කොළඹ පුරපති තෝරන්න ගිහින් කොමසාරිස් වරිය කළ වැඩේ හරි ද? | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහිදී එක් පාර්ශවයක් ඉල්ලා සිටියේ ඒ සඳහා රහස් ඡන්දයක් අවශ්‍ය බව ය.
  • තවත් පාර්ශවයක් ඒ සඳහා විවෘත ඡන්දයක් අවශ්‍ය බව ඉල්ලා සිටියහ.
  • එහි දී ඇය කියා සිටියේ පනත අනුව ක්‍රියා කළ යුතු බවකි.
  • එහෙත්, ඇය කී ලෙසින් පනතේ ඡන්ද පත්‍රිකා යොදාගෙන ඡන්දය විමසිය යුතු බවට විධිවිධානයක් තිබුණේ දැයි මම ද නිකමට මෙන් සොයා බැලුවෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙහිදී එක් පාර්ශවයක් ඉල්ලා සිටියේ ඒ සඳහා රහස් ඡන්දයක් අවශ්‍ය බව ය. තවත් පාර්ශවයක් ඒ සඳහා විවෘත ඡන්දයක් අවශ්‍ය බව ඉල්ලා සිටියහ.

මුලසුන දැරූ බස්නාහිර පලාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර එය තීරණය කිරීම සඳහා ඡන්ද පත්‍රිකාවක් මගින් සභිකයන්ගේ ඡන්දය ලබා ගතයුතු යැයි දැනුම් දුන්නා ය. එහි දී ඇය කියා සිටියේ පනත අනුව ක්‍රියා කළ යුතු බවකි.

එහෙත්, ඇය කී ලෙසින් පනතේ ඡන්ද පත්‍රිකා යොදාගෙන ඡන්දය විමසිය යුතු බවට විධිවිධානයක් තිබුණේ දැයි මම ද නිකමට මෙන් සොයා බැලුවෙමි. එහෙත්, පලාත්පාලන මැතිවරණ ආඥා පණතේ එසේ විධිවිධනයක් තිබෙනු මා දුටුවේ නැත. එහි 66(ඈ)(6)හි දැක්වුණේ සභාව විසින් යෝජනා සම්මතයෙන් නගරාධිපති වරයා තෝරා ගැනීම විවෘත ඡන්දයෙන් හෝ රහස්‍ය ඡන්දයෙන් සිදු කළ යුතුදැයි නිශ්චය කළ යුතු බව ය .



පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ මෙන්න

එහෙත්, කොමසාරිස් වරිය එක එල්ලේම කියා සිටියේ එක් එක් සභිකයා විසින් ඒ ගැන තම අදහස රහස්‍යව ඡන්ද පත්‍රිකාවේ සටහන් කළ යුතු බවකි. මේ පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ මාර්ගෝපදේශයක් ගැන සඳහන් කරමින් කොමසාරිස් වරිය කියා සිටියේ මාර්ගෝපදේශ ඉක්මවා පනත බලපැවැත්වෙන බව ය. (ඇය එම මාර්ගෝපදේශය ගැන කිව්වේ සභිකයෙකු එම මාර්ගෝපදේශ සිහිපත් කළ නිසා ද වන්නට පුලුවන.) ඒ නිසා ඒ මාර්ගෝපදේශයේ තිබෙන්නට ඇත්තේ ඡන්ද පත්‍රිකාවක් යොදාගෙන විවෘත හෝ රහසිගත ඡන්ද විමසීමක් පිළිබඳව සභිකයන්ගේ අදහස් විමසීමට ඇය ගත් තීරණයට වෙනස් දෙයක් විය යුතු ය.

 

daily work 1 1
ඇය කී ලෙස මාර්ගෝපදේශ ඉක්මවා පනතක විධිවිධාන බල පැවැත්වෙන බව සත්‍යයකි. නමුත් එසේ වන්නේ මාර්ගෝපදේශයේ පනතට පටහැනි දෙයක් ඇත්නම් පමණි. මෙහිදී පණතේ නොමැති “ඡන්ද පත්‍රිකාවක් ‘යොදාගෙන සභිකයන්ගේ කැමැත්ත විමසීමේ අදහසක් කොමසාරිස් වරියට පහළ වුනේ කෙසේද? නැතිනම් ඒ අදහස කොමසාරිස්වරියගේ සිතේ “පහළ කළේ” කවුද ? යන්න සැක සහිත ය. සැකයේ වාසියත් ගෙඩිය පිටින්ම ඇයටම දෙමින් ඇයට කවුරුත් ඒ ගැන බලපෑමක් නොකළේය යනුවෙන් සිතා ගත්තත් තමන්ගේ එම තීරණයට හේතු වූ කරුණු ඇය විසින් කොළඹ නගරවාසී ඡන්දදායක මහජනතාව හමුවේ පැහැදිලි කළ යුතු වේ.

පනතේත් නැති මාර්ගෝපදේශයේත් නැති “ඡන්ද පත්‍රිකාවක් “යොදා ගන්නට කොමසාරිස් වරිය සිතුවේ ඇයි.? මෙහිදී මේ ප්‍රශ්නය වැදගත්වන්නේ නගරාධිපති තෝරා ගැනීමේ ක්‍රමවේදය රහස්‍යද විවෘත ද යන්න පිළිබඳව සභාව සමාන චන්ද සංඛ්‍යාවක් මත දෙකට බෙදුණු අවස්ථාවක වුවද කුසපත් ඇදීමකින් නිශ්චය කරනවා මිස තීරක ඡන්දයක් මුලසුන දරන්නා ලෙස කොමසාරිස්ට පලාත්පාලන ඡන්ද විමසීම් පනතෙන් ලබාදී නැති නිසා ය.

CMC 250517කොළඹ මහ නගර සභාව
ඉන් අදහස් වන්නේ ව්‍යවස්ථා සම්පාදකයින් මේ කරුණේ දී කොමසාරිස් ගේ අදහසක් හෝ මතයක් අනුව ක්‍රියා කිරීමට ඉඩක් ලබාදී නැති බව ය. මේ කරුණ සම්පූර්ණයෙන්ම තීරණය කළ යුතුව තිබුණේ සභාවේ සභිකයින්‍ විසින් පමණි. ඒ නිසා සභිකයින්ගේ බහුතරයක අදහස කුමක්දැයි දැන ගැනීමට ඡන්ද පත්‍රිකාවක් මගින් අදහස් විමසීමට මෙහිදී කිසිදු නෛතික අවකාශයක් නොවිණි. ඒඅනුව කොමසාරිස්වරියගේ අදහස වැරදි ය.

එසේ නම් මෙබඳු තත්වයකදී ඇය ක්‍රියා කළ යුතුව තිබුනේ කෙසේද?යන්න ද අප විමසා බැලිය යුතු ය. මුලු රටක්ම උනන්දුවෙන් බලා සිටියදී අනෙකුත් පළාත්පාලන ආයතන වල සභාපතිවරයා තේරීමේදී භාවිතා කළ යුත්තේ රහස්‍ය ඡන්දයක්ද විවෘත ඡන්දයක්ද යන්න නිගමනය කිරීමට සභිකයින්ගේ කැමැත්ත අකමැත්ත රහස්‍ය ලෙස විමසීම් කළ අවස්ථාවන් දැඩි විවේචනයට ලක්ව තිබුණු බැවින් මේ ගැටලුව ගැන මීට වඩා පූර්ව විශ්ලේෂණයක් කර වඩා වෘත්තීය ප්‍රවේශයක් අනුගමනය කළ යුතු විය. අවාසනාවට ඇය එලෙස ක්‍රියා කළේ නැත.

 



මෙහිදී පනතේ දැක්වෙන යෝජනා සම්මතයක් මඟින් තීරණය කළ යුතුය යන්න ගැන කොමසාරිස් වරිය විශේෂ අවධනය යොමු කළ යුතුව තිබුණි. යෝජනා සම්මතය කෙසේ කළ යුතුදැයි යන්නෙහි දී පලාත්පාලන මැතිවරණ ආඥා පනත නිහඬ නිසා ඇය මහ නගරසභා ආඥා පනත පරිශීලනය කළ යුතුව තිබුණේ ඇයගේ මූලිකත්වයෙන් රැස්කිරීමට නියමිතව තිබුණේ මහ නගර සභා රැස්වීමක් නිසාවෙනි.

sarangika

මහ නගර සභා ආඥා පණතේ 21වගන්තියේ රැස්වීම්වල තීරණ රැස්වීමට පැමිණ සිටින සභිකයින්ගේ බහුතර කැමැත්ත අනුව ගත යුතු බව දක්වා ඇත. බහුතර කැමැත්ත ගැනීමට කැමැත්ත විමසිය යුතු අන්දම එහි ද සඳහන් නොවේ. එසේ නම් මහ නගර සභා රැස්වීම් කාර්‍ය පටිපාටිය පිළිබඳව මහ නගර සභා ආඥා පනතේ 272(1)(ෆ්) වගන්තිය පරිදි මහ නගර සභා රැස්වීම් පිළිබඳව පනවා ඇති රෙගුලාසි අධ්‍යයනය කර යෝජනා සම්මතයක ඡන්ද විමසිය යුතුව ඇති අන්දම ගැන අවබෝධයක් ඇති කර ගතයුතුව තිබුණි. රහස්‍ය ඡන්දයකට යා යුතු නම් එකී රෙගුලාසි ප්‍රකාරව ඒ සඳහා ක්‍රියා කරනවා මිස මාර්ගෝපදේශයට වඩා පනත ප්‍රබලයි කියමින් පනතේ නැති දෙයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමෙන් ඇය සිය තනතුර හෑල්ලු කර නොගත යුතුව තිබුණි.


තමන් මේ සභා රැස්වීමේ මුලසුන දරන්නේ පලාත්පාලන කොමසාරිස් ලෙස බැවින් ඒ තනතුරේ වෘත්තීය ගෞරවයට පෑහෙන ලෙස ක්‍රියා කිරීම ද කොමසාරිස් වරිය ගේ අනිවාර්ය යුතුකමක් හා වගකීමක් ව තිබිණ.

sunil Kannangara
(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)


සබැඳි පුවත් :

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...