The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මෙරට මාධ්‍යයෙන් පෙන් වූ නේපාලයේ 'සොඳුරු වැටලීම' | සුනිල් කන්නන්ගර

T

The Leader Desk

October 18, 2025 • 6:23 AM

මෙරට මාධ්‍යයෙන් පෙන් වූ නේපාලයේ 'සොඳුරු වැටලීම' | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එදා අත්අඩංගුවට ගැනුණේ බිහිසුණු පාතාල අපරාධවලට වරෙන්තු ලද සැකකරුවන් පිරිසකි.
  • එහෙත්, මෙදා අත්අඩංගුවට ගෙන ඇත්තේ සුකොමළ, රූබර පාතාලයේ යැයි කියන සැකකාර ලලනාවකි.
  • ඒ නිසා මේ රූබර, සුකොමළ සැකකාරියට ගැලපෙන අපූරු කතාවක් නිර්මාණය කර, මේ අත්අඩංගුවට ගැනීම ත්‍රාසජනක ක්‍රියාවකට වඩා රොමෑන්ටික් වෘතාන්තයක් ලෙස වාර්තා කිරීම මැනවැයි අපේ නිර්මාණශීලී මාධ්‍යකරුවන් සිතුවා විය යුතුය.
  • අවසානයේ “මට මෙහේ ඉඳලා එපා වෙලා හිටියේ, මම හිතුවා සර් ඇවිත් මාව අල්ල ගනියි” කියා කියූ ලලනාව සිය සතුට ද පළ කළ බව මෙරට මාධ්‍යවල පළ විය.
අකුරු ප්‍රමාණය (Font Size):


මීට පෙර ඉන්දුනීසියාවේදී ද අපරාධ චෝදනාවලට වරෙන්තුකරුවන් රැසක් අත්අඩංගුවට පත් වූ අවස්ථාවලදී මේ අන්දමේ ආකර්ෂණීය පුවත් පළ වීම ආරම්භ වුණත්, පොලිසිය මඟින්ම පසුව ප්‍රකාශ කළේ, එම අත්අඩංගුවට ගැනීම් සිදු කළේ ඉන්දුනීසියානු පොලිසිය බවත්, මෙරට පොලිසියට විදේශයක වැටලීම් කිරීමට හෝ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට බලයක් නැති බවත්ය.

එදා අත්අඩංගුවට ගැනුණේ බිහිසුණු පාතාල අපරාධවලට වරෙන්තු ලද සැකකරුවන් පිරිසකි. එහෙත්, මෙදා අත්අඩංගුවට ගෙන ඇත්තේ සුකොමළ, රූබර පාතාලයේ යැයි කියන සැකකාර ලලනාවකි.

ඒ නිසාදෝ, මේ අත්අඩංගුවට ගැනීමේ අයිතිවාසිකම නේපාලයේ පොලිසියට නොදී අපිම තියා ගැනීම වඩාත් වටිනවා යැයි මෙරට සමාජ මාධ්‍ය හා විද්‍යුත්/මුද්‍රිත මාධ්‍යකරුවන් කල්පනා කළා විය යුතුය. ඒ නිසා මේ රූබර, සුකොමළ සැකකාරියට ගැලපෙන අපූරු කතාවක් නිර්මාණය කර, මේ අත්අඩංගුවට ගැනීම ත්‍රාසජනක ක්‍රියාවකට වඩා රොමෑන්ටික් වෘතාන්තයක් ලෙස වාර්තා කිරීම මැනවැයි අපේ නිර්මාණශීලී මාධ්‍යකරුවන් සිතුවා විය යුතුය.

ඒ වාර්තා අනුව, අපේ අදාළ පොලිස් නිලධාරියා සැකකාරිය අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඔහුව හඳුනා ගන්නා සැකකාර ලලනාව, හුස්මක් ඉහළට ගෙන “ආ… අහවල් සර්…” යැයි කීමත්, එවිට අහවල් සර් ද “ආ කෙල්ලේ, කොහොමදැයි?” සුහදව සුවදුක් විමසීම ද අපූරුය. එතරම් අපූරු හා හෘදයාංගම දෙබසකින් පටන්ගත් මේ හමුව, මාංචු දැමීමෙන් අත්අඩංගුවට පත්වීමක් සේ අවසන් වුණේ කෙසේදැයි වාර්තා කර නොතිබීම මේ වාර්තාකරණයේ බරපතළ අඩුවකි.

අවසානයේ “මට මෙහේ ඉඳලා එපා වෙලා හිටියේ, මම හිතුවා සර් ඇවිත් මාව අල්ල ගනියි” කියා කියූ ලලනාව සිය සතුට ද පළ කළ බව මෙරට මාධ්‍යවල පළ විය. ඒ සතුට නිසාදෝ ඇය මෙරටට ගොඩ බැස්සේ ශිෂ්‍යත්වයක් ලැබ විදේශගත වී සිටි තරුණියක් ආපසු මෙරටට එන විට දැනෙන තරම් ප්‍රීතියෙන් බව නම් නිසැකය.

 



දැන් අපි මෙහි “සොඳුරු රොමෑන්ටික්” පසුබිම පැත්තකට දමා මේ සම්බන්ධ යථාර්ථවාදී විමසුමකට යොමු වෙමු.

මේ සැකකාරිය මෙරටින් රහසිගතව පිටවී රැඳී සිටියේ නේපාලයේය. නේපාලය යනු වෙනම නිදහස්, ස්වෛරී, ස්වාධීන රටකි. නේපාල රාජ්‍යයේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මකව පවතින භූගෝලීය සීමාවන් තුළ අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමේ සර්වාධිකාරී බලය ඇත්තේ නේපාල පොලීසියටය. ශ්‍රී ලංකාවට වඩා විශාල සුපිරි බලවත් රාජ්‍යයක් වන ඉන්දියාවටවත් නේපාලයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් විය නොහැක.

නේපාල-ඉන්දීය මායිමේ දිස්ත්‍රික්කයක් පාලනය කළ ඉන්දියානු පරිපාලන සේවා මිත්‍රයෙකු වරක් ඉන්දු-නේපාල සබඳතා ගැන අපූරු අත්දැකීමක් මට විස්තර කර දුන්නේ, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති සබඳතාවය බොහෝ සුහද හා අන්‍යෝන්‍ය ගෞරවයෙන් යුක්ත බව පෙන්වන්නටය. ඉන්දු-නේපාල සබඳතා බෙහෙවින් පිරිහී ගිය සමයක, නේපාලයට අවශ්‍ය සැපයුම් සීමා කිරීමට ඉන්දීය රජය තීරණය කළ බවත්, එකී තීරණය ක්‍රියාත්මක කිරීමේ කාර්යය තමාට පැවරුණු බවත්, එහිදී නේපාලයට ඉන්ධන සැපයුම සීමා කිරීමේදී තම දිස්ත්‍රික්කය හරහා නේපාලයට ඇතුළුවන වාහනවල ටැංකියේ තිබූ අමතර ඉන්ධන පවා ඉවත් කිරීමට තමාට සිදුවූ බවත් ඔහු කීය. ඒ නිසාම සතියක් තුළ ඒ අර්බුදය විසඳා ගැනීමට නේපාලයට සිදුවූ බව ද ඔහු පැහැදිලි කළේ, නේපාලයට ස්වාධීන රටක් ලෙස පැවතිය හැක්කේ ඉන්දියාවේ හොඳ හිත පවත්වා ගත්තොත් පමණක් බව පෙන්වා දෙමිනි. එබඳු වූ ඉන්දියාවට පවා නේපාලය තුළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම කළ නොහැක.

 

ishara 251014

එසේ නම්, අපේ මාධ්‍ය හා සමාජ මාධ්‍යකරුවන් ප්‍රසිද්ධ කොට ඇති පරිදි, ශ්‍රී ලාංකීය පොලිස් නිලධාරීන්ට මේ සැකකාරිය හෝ අන් අයෙකු අත්අඩංගුවට ගැනීමට ඉඩක් නොමැති බව පැහැදිලිය. එසේ නම්, ඔවුන් නේපාල පොලිසිය සමඟ ඒකාබද්ධ වැටලීමක් එරටදී සිදු කළාද? නමුත් එසේ නේපාලය තුළ කිසිදු වෙනත් රාජ්‍යයක පොලිස් නිලධාරීන් සමඟ ඒකාබද්ධ වැටලීම් සිදු කර, අපරාධ චෝදනා ලැබූ විදේශිකයන් අත්අඩංගුවට ගැනීමට ද ක්‍රමවේදයක් නැත. අප රටේ වුව ද යම් විදේශීය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ඒකාබද්ධ වැටලීම්වලට ඉඩ නොමැත. එසේ නම්, ශ්‍රී ලාංකීය අධිකරණයෙන් වරෙන්තු ලද අදාළ සැකකාරිය නේපාලයේදී අත්අඩංගුවට ගත්තේ කෙසේද?

මෙහිදී අනුගමනය කරන්නේ ජාත්‍යන්තර පොලිසිය නැතිනම් ඉන්ටර්පෝල් (INTERPOL) නමින් හඳුන්වන සංවිධාන ව්‍යුහයයි. කිසියම් රටක අධිකරණයට අවශ්‍ය, තම පුරවැසියෙකු වන සැකකරුවෙකු වෙනත් රටක රැඳී සිටිනවා නම්, එම සැකකරු තම රටේ අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව අදාළ රාජ්‍යය, සැකකරු රැඳී සිටින රාජ්‍යයට දැන්විය යුතුය. එසේ දැන්වීමේදී, සැකකරු අධිකරණයට අවශ්‍ය අයෙකු බවට සාධක ඉදිරිපත් කළ යුතු වේ. ඒ සඳහා යොදා ගන්නේ ඉන්ටර්පෝල් හරහා නිකුත් කර ඇති රතු වරෙන්තුවයි (Red Notice). අදාළ සැකකරු රැඳී සිටින ස්ථානය පිළිබඳ විස්තර හෝ තොරතුරු ඇත්නම්, ඒවා ද සැපයීම කළ යුතුය.
මේ ඉල්ලීම ලැබුණු පසු, සැකකරු රැඳී සිටින රටේ ඉන්ටර්පෝල් රාජකාරී පැවරී ඇති පොලිසියේ මෙහෙයවීම මත, එම රටේ පොලිස් නිලධාරීන් විසින් මෙහෙයුමක් කර සැකකරුව අත්අඩංගුවට ගනිති.

Kathmandu post 251017
එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් තමන්ගේ රටට අවශ්‍ය අයදැයි නිවැරදිව හඳුනා ගැනීමට ඉඩ දෙනවා හැර, මේ අත්අඩංගුවට ගැනීමේ වැටලීම්වලට හෝ අත්අඩංගුවට ගැනීමට විදේශීය පොලිස් නිලධාරීන් යොදා නොගැනේ. කිසියම් ස්වාධීන රාජ්‍යයක අභ්‍යන්තර නීතිය හා සාමය පවත්වාගෙන යාමේ රාජකාරී සඳහා විදේශීය රාජ්‍යයක පොලිස් නිලධාරීන් යොදා ගැනීම කළ නොහැක්කකි.

ඒ අනුව, මේ නේපාලයේ සිදුවූ, මෙරට අධිකරණයකට අවශ්‍ය ශ්‍රී ලාංකීය සැකකාරිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම පිණිස කළ වැටලීම් සඳහා මෙරටින් ගිය පොලිස් නිලධාරීන් සම්බන්ධ වූ බවට පතුරුවන අදහස මුළුමනින්ම වැරදිය. එය වගකීමක් සහිත මාධ්‍ය වාර්තාකරණයක් ද නොවේ.

එසේ වුවද, ඒ කාර්යයේදී ශ්‍රී ලාංකීය පොලිස් නිලධාරීන්, අදාළ සැකකරුවන් රැඳී සිටින ස්ථාන පිළිබඳ තොරතුරු ලබාදීම, අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනාගැනීම, කඩිනමින් තමන් භාරයේ මෙරටට ගෙන ඒම, ඒ සඳහා නේපාල පොලිසිය හා ජාත්‍යන්තර පොලිසිය සහ කත්මන්ඩු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණය ආදී වැදගත් කාර්යයන් රැසක් ඉටුකර තිබේ. මේ අත්අඩංගුවට ගැනීම මෙරටට සාර්ථක එකක් වූයේ මේ පොලිස් නිලධාරීන් කළ කාර්යයන් නිසාය. ඒ කටයුතු පිළිබඳ ගෞරවය ඒ නිලධාරීන්ට හිමි විය යුතුය.

එසේ වුවත්, මෙරට මුද්‍රිත, විද්‍යුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය ආදියේ මෙය මෙරට පොලිස් නිලධාරීන් විසින් කළ අත්අඩංගුවට ගැනීමක් ලෙස ප්‍රචාරය කිරීමෙන් මෙන්ම ඇතැම් විට කරවා ගැනීමෙන් අදාළ පොලිස් නිලධාරීන් දැඩි සේ උපහාසයට ලක්වෙමින් තිබෙනු දැකිය හැකිය. පමණ දැන ප්‍රචාරය මිස අධි ප්‍රචාරයට යාම “හත් පොළේ ගා ගැනීමක්” වන බව තේරුම් ගැනීම, ඉදිරියේ දී වත් මෙබඳු මෝඩකම් නොකිරීමට හොඳ පාඩමක් වනු ඇත.

sunil Kannangara
(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)


සබැඳි ලිපි :

 ඉශාරා අත්අඩංගුවට ගත්තේ ඉන්ටර්පොල් එකෙන් - නේපාල මාධ්‍ය

නීතීඥයන්ට ගරහමින් ඉෂාරා සෙව්වන්දි උඩ දැමීමේ දේශපාලනය | අජිත් පැරකුම් ජයසිංහ

අප්‍රසන්න, හිංසාකාරී අත්අඩංගුවට ගැනීම් නැවතිලා.. - මනෝරම වීරසිංහ | Manorama Weerasinghe


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...