මහේෂ් හපුගොඩ Mahesh Hapugoda කිවුව වගේ සොහ්රාන් මම්දානි ඉස්සර මීරා නායර් ගේ පුතා.
දැන් මම්දානි ගේ අම්ම මීරා.
ඇත්තෙන්ම හරිම ලස්සන පසුකර යාමක්.

නිව්යෝක් ආණ්ඩුකාර මැතිවරණය ජයග්‍රහණය කරනවත් එක්කම ඔහු "මං පොර" උන්මාදයෙන් පෙළෙන ඩොනල්ඩ් ට්‍රම්ප් ට විතරක් නෙවෙයි, ට්‍රම්ප් ගේ ජාතිවාදී උන්මාදය ලෝකෙ පුරාම පතුරවමින් ඉන්න සංක්‍රමණික විරෝධී ජාතිවාදීන්ටත් මරු පහරක් එල්ල කළා.
නිව්යෝක් කියන්නෙ "සංක්‍රමණිකයින් ගේ නගරයක්, සංක්‍රමණිකයින් විසින් ගොඩ නැගූ නගරයක්, සංක්‍රමණිකයින් විසින් බලගැන්වූ නගරයක්" පමණක් නොවෙයි දැන් "සංක්‍රමණිකයෙක් නායකත්වය දරන නගරයක්" බව ඔහු කිවුව. ("New York will remain a city of immigrants, a city built by immigrants, powered by immigrants and as of tonight led by an immigrant")
ඔහුගේ ජයග්‍රහණයත් එක්කම කමලා හැරිස් ගේ පරාජයෙන් පස්සේ අතරමං වෙලා හිටපු ඩිමොක්‍රටික් පක්ෂයත් අලුත් ජවයකින් අළු ගසා දමා නැගිටිමින් ඉන්නවා.
ඒත් ඇමෙරිකා එක්සත් ජනපදය කියන්නේ අරුම, පුදුම රටක්.
එක පැත්තකින් මුළු ලෝකෙටම මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, භාෂණයේ නිදහස ... මෙකී නොකී හැමදේම ගැන උපදෙස් දෙන ඒ රටේ පුරවැසියෝ ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ වර්ගවාදී මානසික රෝගියෙක් රාජ්‍ය නායකයා විදියට පත්කර ගන්නවා.
එක පාරක් නෙවෙයි, දෙපාරක්!

අනිත් පැත්තෙන් ඒ රටේම මිනිස්සු බරක් ඔබාමා වගේ කළු ජාතිකයෙකුටත් ඡන්දේ දෙනවා. ඔබාමා අදත් ඒ රටේ බොහොම ජනප්‍රිය නායකයෙක්.
එක පැත්තකින් ජෝ බයිඩන්, ඩොනල්ඩ් ට්‍රම්ප්, කමලා හැරිස්, ඩිමොක්‍රටික්, රිපබ්ලිකන් ... කියල කිසිම වෙනසක් නැතුව බින්යමින් නෙතනියාහුට ආයුධ දීල, ආරක්ෂක මණ්ඩලයේ ඊශ්‍රායලය ආරක්ෂා කරලා පලස්තීන ජන සංහාරය ට සම්බන්ධ වෙනව.
අනිත් පැත්තෙන් පලස්තීන ජන සංහාරයට විරුද්ධ, නෙතනියාහු නිව්යෝක් ආවොත් අත්අඩංගුවට ගන්නවා කියල ප්‍රසිද්ධියේම කියන සොහ්රාන් මම්දානි වගේ තරුණ, මුස්ලිම්, සංක්‍රමණික නායකයෙකුට ඡන්දය දෙනවා.
මට මතකයි ටික කාලෙකට කලින් Sandeshaya by Saroj යූටියුබ් නාලිකාවේ මම එක්සත් ජනපදයේ වාසය කරන අජිත් කරුණාරත්න Ajith Karunarathne සහ ගෝපාල් පෙරියානන් මහාචාර්යවරු එක්ක ඇමෙරිකාවේ අධ්‍යාපන ක්‍රමය, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළා.
විශේෂයෙන්ම එක්සත් ජනපද වැසියන්ගේ දේශපාලන සාක්ෂරතාවය සහ රටේ තියන භාෂණයේ නිදහස, සුදුස්සාට සුදුසු තැන ලැබීම වගේ කරුණු ගැන ඔවුන් කතා කළේ පුදුම ප්‍රසාදයකින්.
ඒත් ඊට අවුරුද්දකට විතර පස්සේ ට්‍රම්ප් වගේ මුළු ලෝකෙටම හානිකරන උන්මත්තකයෙක් පත්කරගත්තෙත් ඔය තරම් සාක්ෂරතාවයක් තියෙන, හාවර්ඩ් වගේ ලෝකේ ඉහළම විශ්වවිද්‍යාල තියන ඒ රටේ මිනිස්සුමයි.
විශේෂයෙන්ම අද ඇමෙරිකා එක්සත් ජනපදයේ ටිකක් ඉහළ රැකියාවක් කරන කිසිම කෙනෙකුට ඊශ්‍රායලයට විරුද්ධව වචනයක් කියන්න බෑ. කිවුවොත් එදාම රස්සාවෙන් දොට්ට.
අනික ඔය තරම් ප්‍රජාතන්ත්‍රවාදය තියන රටේම තමා නෙතනියාහුගේ ජන සංහාරයට විරුද්ධව උද්ඝෝෂණය කරපු විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්ට පවා ගහල පාරවල් දිගේ ඇදගෙන ගියේ.
ඒ විතරක් නෙවෙයි, ට්‍රම්ප් ගේ සංක්‍රමණික දඩයම නිසා නීත්‍යානුකූලව ජීවත්වෙන සංක්‍රමණිකයෝ පවා දැන් හදිසියකට පාරට බහින්නත් බයයි.
උගන්ඩාවේ ඉපදිලා ඇමෙරිකාවට ආපු සංක්‍රමණික මුස්ලිම් දරුවෙක් ට්‍රම්ප් ඉපදුන නගරයේම නායකත්වයට පත්වෙන්නේ මුළු රටේම සංක්‍රමණිකයෝ එහෙම බයෙන් තැති ගැනිලා ඉන්න වෙලාවක.

ඉතින් ඇත්තටම ඒක ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය දුන්, නොදුන් බොහෝ දෙනෙකුට ලොකු ආශ්වාදයක්. විශේෂයෙන්ම සංක්‍රමණිකයින්ට ආයෙත් වතාවක් - තාවකාලිකව හෝ - නිදහසේ හුස්ම ගන්න ලැබුණ මොහොතක්.
ඒත් මම හිතන්නේ මේ ආශ්වාදය ගැන අපි එතරම් කලබල විය යුතු නැහැ කියල.
මොකද ඇමෙරිකා එක්සත් ජනපදය කියන්නේ තවමත් කාන්තාවක් රාජ්‍ය නායකත්වයට පත්කරගන්න පවා සූදානම් නැති පසුගාමී, ගතානුගතිකවාදී සමාජයක්. සමහරු තාමත් ඉන්නේ cowboy යුගයේ.
එහෙම රටක - මම්දානි කොයි තරම් දක්ෂයෙක් වුණත් - ඉස්ලාම් භක්තිකයෙකුට රාජ්‍ය නායකත්වයට පත්වෙන්න නම් ලැබෙන්නේ නැහැ.
ජනාධිපති පදවියට තරග කරන්න ඇමෙරිකාවේ උපත ලබා තිබීම අනිවාර්ය නිසා මම්දානිට තරග කරන්නත් බැහැ, තරග කරන්න ලැබුණත් මුස්ලිම් වීම නිසා ඔහුට කවදාවත් රටේ නායකත්වයට පත්වෙන්නත් බැහැ.
පැහැදිලිවම මම්දානි අමෙරිකානු ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලලා තියෙනව.
ඔහු කියපු විදියටම ඇමෙරිකා එක්සත් ජනපදය මුහුණ දෙමින් ඉන්න "දේශපාලන අන්ධකාරය" නිවන ආලෝකයක් වෙන්න නිව්යෝක් වාසීන් කටයුතු කරලා තියෙනව.

ලොව පුරාම නිරන්තරයෙන් මතුවෙන ඉස්ලාමෆෝබියාව වගේම යුදෙවු විරෝධයත් පරාජය කරමින් අලුත් බලාපොරොත්තුවක් දල්වන්න නිව්යෝක් නගරය සමත්වෙලා. සූරා කෑමට සහ ගජ මිතුරු ධනවාදයට එරෙහි මම්දානි ගෙ ප්‍රතිපත්තිත් ජනතාවාදීයි.
ඒ නිසා සොහ්රාන් මම්දානි අඳුරු වලාවක් අතරින් මතුවුණ ආලෝක ධාරාවක් වුණත් ඒ ආලෝකය යටපත් කරන්න තවත් බොහෝ අඳුරු වලාකුළු මතුවෙන්න ඕනෑ තරම් ඉඩ කඩ තියෙනව කියලයි මට හිතෙන්නේ.

(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 නොවැම්බර් 05
සබැඳි ලිපි :
ලස්සනයි ඒ පසුකරයාම... | Mahesh Hapugoda
නිව් යෝර්ක් නගරාධිපතිවරයා ලෙස තේරී පත් වූ පළමු මුස්ලිම් ජාතිකයා වන සොහ්රාන් මම්දානි කවුද?
ටොරෙස් නගර සභාව 2005 : මම්ඩානි හෙට අනිද්දා සහ කවදත් නැති අපි... | කුසල් පෙරේරා




