රටේ ආර්ථිකය නිසි ලෙස කලමනාකරණය කළ නොහැකි බාරකාර ආණ්ඩුවේ නොහැකියාවට රාජ්‍ය සේවකයන් වග කිව යුතු නැතැයි

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු එබව සඳහන් කර ඇත්තේ, මාසයක වැටුප ආපසු රජයට දෙන ලෙස ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර විසින්  රාජ්‍ය  සේවකයින් ගෙන් කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

ආයතන ප්‍රධානීන් වෙත ලියන ලද ලිපියකින් ජනාධිපති ලේකම් විසින් මැයි මාසයේ වැටුප ඉල්ලීම සමස්ත රාජ්‍ය සේවයම බිය වැද්දීමක් බවට ලංකා ගුරු සංගමය විසින් පෙන්වාදීමෙන් අනතුරුව රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය හමුවේ කියා සිටියේ එම ඉල්ලීම කිරීමට ආචාර්ය ජයසුන්දරට “ශුද්ධවූ අයිතියක්" ඇති බවයි. 

කෙසේවුවද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය නිවේදනයෙන් පවසන්නේ, නිදහස් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ බැරෑරුම් අවස්ථා තිබූ සෑම අවස්ථාවකදීම බලයේ සිටි රජයන් එම අර්බූද නිසි ලෙස කළමනාකරණය කළා විනා එය රජයේ සේවකයන්ගේ කර මත පැටෙව්වේ නැති බවයි.

එහෙත්,  “අපට බලය දෙන්න අපි කරලා පෙන්වන්නම් - සල්ලි හොයන හැටිත් අපි දන්නවා” යැයි ජනාධිපතිවරණ සමයේ කී මහින්ද රාජපක්ෂ අගමති ධුරයේ සිටින වත්මන් රජය කොරෝනා වසංගතයෙන් ආර්ථික අර්බුදයක් ඇති වූ බව කියමින් එය විසඳීම සඳහා සමස්ත රාජ්‍ය අංශයේ 14 ලක්ෂයක් පමණ සේවක පිරිසගේ මැයි මස වැටුප රජයට පරිත්‍යාග කරන මෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා ඇත. 

මෙම ආණ්ඩුව මුල්‍ය විනය සම්පූර්ණයෙන්ම බිඳ දැමූ නිසා...

''කොරෝනා වෛරසය නිසා ගෝලීය ආර්ථික අර්බූදයක් ඇතිවූ බව සත්‍යයකි. එහෙත් ශ්‍රී ලංකාවේ කොරෝනාව ව්‍යාප්ත වීමට පෙර සිටම මහා ආර්ථික අර්බූදයක් හට ගත්තේ වසර කිහිපයක් තිස්සේ අනුගමනය කරන ලද රටේ මුල්‍ය විනය මෙම රජය සම්පූර්ණයෙන්ම බිඳ දැමූ නිසා..'' යයි හිටපු මුදල් ඇමතිවරයාගේ නිවේදනයේ සඳහන් වේ.

මංගල සමරවීරගේ නිවේදනයේ වැඩි දුරටත් මෙසේද සඳහන් වේ.

''ඕනෑම රටකට නොසිතූ ආකාරයට හා නොසිතූ වේලාවක ස්වාභාවික මෙන්ම මිනිසුන් විසින් ඇතිකරන ලද ව්‍යසනයන් සිදුවීම සාමාන්‍යයි. බලයේ සිටින පාලකයන් දක්ෂ නම් රටේ ආර්ථිකය නිසි ලෙස  කළමනාකරණය කිරීමෙන් ඒවාට විසඳුම් සොයා හත හැකියි. එසේ අවස්ථානුකූලව ආර්ථිකය සැලසුම් සහගත ලෙස ක්‍රියාත්මක කරනවා විනා ජනතාවගෙන් හෝ රාජ්‍ය සේවකයන්ගෙන් තමන් හරි හම්බ කළ මුදල රජයට පරිත්‍යාග කරන්නැයි මෙතෙක් කිසිදූ රජයක් ඉලා සිටි බවට වාර්ථා වී නොමැත. කෝවිඩ්-19 වෛරසය ලෝක ආර්ථිකය මුළුමනින්ම හුදකලා කර සෑම රටකම ජන ජීවිතය අවිනිශ්චිතතාවයකට පත් කර ඇතැයි කියමින් අපගේ දේශීය ශක්තිය විදහා දක්වනුවස් මැයි මස වැටුප රජයට පරිත්‍යාග කරන්නැයි 14 ලක්ෂයක් පමණ වන සමස්ත රාජ්ය අංශයේ සේවකයන්ගෙන්  ජනාධිපති ලේකම් ලිපියක් මගින් ඉල්ලා සිටියි.

 

''ආණ්ඩුව පත්වී මුල් මාස තුනේදීම රටම ආර්ථික අර්බුදයකට තල්ලු කළා''

කොරෝනා වෛරස් ව්‍යාප්තවීමට පෙර සිටම එනම් මෙම රජය බලයට පත්වී මුල් මාස තුනක් ඇතුළතදීම රජය මහා ආර්ථික අර්බුදයකට තල්ලු වූ බව නොරහසකි. කෙසේ හෝ බලය ගැනීමේ පරමාර්ථයෙන් ඉටු කරන්න බැරි පොරොන්දු දීමෙන් 2020 මාර්තු වන විටම ආර්ථිකය කඩා වැටුණි. 2014 වසරේ ට්‍රිලියනයක් පමණ වූ (රු. බිලියන 1000) වාර්ෂික රාජ්‍ය ආදායම යහපාලන රජයේ අවසානය වන විට එය දෙගුණයක් දක්වා එනම්  ට්‍රිලියන් දෙකකට ආසන්න මුදලක් දක්වා (රු. බිලියන 2000) වැඩි කරන ලදී. 

''2014 වසරේ ට්‍රිලියනයක් පමණ වූ (රු. බිලියන 1000) වාර්ෂික රාජ්‍ය ආදායම යහපාලන රජයේ අවසානය වන විට එය දෙගුණයක් දක්වා එනම්  ට්‍රිලියන් දෙකකට ආසන්න මුදලක් දක්වා (රු. බිලියන 2000) වැඩි කරන ලදී.''

එහෙත් මෙම රජය ඉටු කරන්න බැරි පොරොන්දු දීමෙන් ජනතාවට කිසිදූ ආර්ථික ප්‍රතිලාභයක් අත්නොවූ වා සේම  රාජ්‍ය ආදායම ද 2014 පැවති තත්ත්වයකට යළි අඩු වෙමින් පවතියි.  මා මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටියදී රුපියල් ට්‍රිලියනයක් පමණ වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම් ඉලක්කය, වත්මන් ආණ්ඩුව ඡන්දය ලබාගැනීමේ අරමුණින් ජනතාව නොමඟ යවන පොරොන්දු දීම නිසා මේ වසරේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම අඩකට වඩා ප්‍රමාණයකින් අඩු වනු ඇත. 

mangala talk

 

රජයේ ආදායම සේවක වැටුප් ගෙවීමටවත් ප්‍රමාණවත් දැයි සැකයි !

රාජ්‍ය සේවක වැටුප් හා දීමනා සඳහා මසකට රුපියල් බිලියන 100 බැගින් වසරකට බිලියන 1200 ක් වැය වෙතැයි  ජනාධිපති ලේකම්ගේ ලිපියෙන්ම පිළිගෙන ඇති ආකාරය බලන විට මෙම රජය යටතේ රාජ්‍ය  ආදායම වැටුප් ගෙවන්නට පවා ප්‍රමාණවත් වේ දැයි සැක සහිතයි.

යහපාලන රජය සමයේ වසර හැටකට පසු වූ දරුණුම නියඟයක් 2016 වසරේ දී වාර්ථාවූ අතර 2017 වසරේ දී ගංවතුරකින් කෘෂිකර්මාන්තයට විශාල හානි සිදු විය.

එසේම,  2018 ඔක්තෝබර් මස සිදු වූ දින 52 ක ව්‍යවස්ථා කුමන්ත්‍රණය මෙන්ම  2019 පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ද දියුණු වෙමින් පැවති  සංචාරක ක්ෂේත්‍රයට විශාල පාඩු සිදු විය. 

එවන් අර්බුදකාරී අවස්ථාවේ වූවද යහපාලන රජය විසින් පොරොන්දු වූ පරිදී වාර්ෂික වැටුප් වැඩිකිරීම සිදුකළා විනා ඒවා අඩු කිරීම පිළිබඳව කිසිදු අවස්ථාවක තීරණයකට එළෙඹියේ නැත.

යහ පාලන රජයේ සමයේ ඉහත අභියෝග රැසක් මධ්‍යයේ වූවද ආර්ථික ක්‍රියාවලිය උත්තේජනය කිරීම සඳහා පියවර රැසක් ගනු ලැබීය.

 

අහියෝග රැසක් මැද ගනු ලැබූ ආර්ථික ක්‍රියාමාර්ග :

1- රාජ්‍ය  සේවක හා විශ්‍රාමික වැටුප් හා දීමනා මුල් දින 100 දීම වැඩිකරන ලදී
 
2 - යහපාලන රජය විසින් 2018 වසරේ පත් කරන ලද රනුග්ගේ කොමිසම් වාර්ථාවේ නිර්දේශිත පරිදි රාජ්‍ය සේවක වැටුප් හා පන් ලක්ෂයක් පමණ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුපද 2020 ජනවාරියේ සිට වැඩි කිරීමට අතුරු සම්මත ගිණුම මගින් ප්‍රතිපාදන වෙන් කර තිබූ නමුත්, මෙම රජය බලයට පත් වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ එම වැටුප් වැඩිකිරීම කප්පාදු කරන ලදී. 
එම වැඩිවීමත් සමග 2015 මූලික වැටුපට සාපේක්ෂව 107 % න් වැඩිකර තිබූ රාජ්‍ය සේවක වැටුප 2020 ජනවාරියේ සිට 135 % දක්වා වැඩිවීමට නියමිතව  තිබුණි.  
 
3 - 2015 දී අප, රජය භාරගන්නා විට රාජපක්ෂ රජයේ සමයේ නොගෙවූ හා හිඟ බිල් පත් රු. බිලියන 140 ක පමණ දේශීය ණය 2016 වසර තුළ පියවන ලදී.
 
4 - සමෘද්ධි හා වැඩිහිටි දීමනා දෙගුණ කරන ලදී
 
5 - 2016 දී වසර 40 ට පසුව ඇතිවූ දරුණුතම  නියගයෙන් සිදු වූ වගා හානි හා  2017 මහා ගංවතුරෙන් විනාශ වූ දේපල හානි නිසා ආර්ථිකය කඩා වටෙන්නට නොදී එය යළි ගොඩනැගීම සඳහා හානි පූර්ණ වශයෙන් රුපියල් විසි ලක්ෂයක් දක්වා වන්දි දෙන ලදී.
 
6 - රාජපක්ෂ රජයේ සමයේ අවසර ගෙන 240 % වැනි අධික පොලියට ක්‍රියාත්මක කළ ක්ෂුද්‍ර මුල්‍ය ආයතනවලින් බැට කෑ නියඟයෙන් හානියට පත් දිස්ත්‍රීක්ක 13 ක සිටි රුපියල් ලක්ෂයක් දක්වා ණය ලබාගෙන සිටි පුද්ගලයන් 45000 කගේ ණය සම්පූර්ණයෙන්ම කපා හරින ලදී.
 
7 - රටේ ග්‍රාමීය ආර්ථිකය වේගවත් කිරීම සඳහා "ගම්පෙරලිය" වැඩසටහන යටතේ සෑම මැතිවරණ කොට්ඨාසයකටම වසරකට රු මිලියන 300 බැගින් ලබාදෙන ලද අතර එය 2020 දී රු මි. 400 දක්වා වැඩි කිරීමට අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන් කර තිබිණි.
 
8 - එමෙන්ම "එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ ව්‍යසායකත්වය දියුණු කරන පෞද්ගලික ආයෝජනයන් දිරිමත් කරන ව්‍යසායකත්ව ශ්‍රී ලංකා වැඩ සටහන මගින් රු මිලියන 90,000 ක් පෞද්ගලික ආයෝජනවලට රජය අඩු පොලි ණය ලබාදුන්නේය. එම සාර්ථක වැඩ සටහන මෙම රජය මගින් නවතා දැමීමෙන් ආයෝජනයට අවශ්‍ය මුදල් නොමැතිව ව්‍යසායකයන් තම ආයෝජන අත් හරින අවදානම් තත්ත්වයකට මුහුණ පා සිටිති.
 
9 - දින 52 ක දේශපාලන කුමන්ත්‍රණය නිසා රුපියලේ අගය අවප්‍රමාණය වූ අතරම  සංචාරක ක්ෂේත්‍රය ඇතුළුව  ආර්ථිකයට සිදු වූ දැවන්ත පසුබෑම ද කළමනාකරනය කරන ලදී.  
 
10 - පාස්කු ප්‍රහාරයෙන් පසුව විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය නංවන්න මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට විවිඩ සහන ලබාදීමට ක්ෂණිකව කටයුතු කළ අතර ග්‍රාමීය මට්ටමේ සංචාරක පොඩ්ඩන්ට ද පොලි සහන ණය පැකේජයන් හඳුන්වා දෙන ලදී.
 
11- පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා වෙසක් සමය සමරන්නට බැරිවීමෙන් දුෂ්කරතාවයට පත් වූ වෙසක් තොරන් නිර්මාණකරුවන් හා වෙසක් සංගීත කණ්ඩායම් ආදීන්ට ද රජය මගින් සහන දෙන ලදී.
 
12 - මේ සියලු සහන හා ආර්ථික උත්තේජන පැකේජයන් මැද රාජපක්ෂ රජය විසින් ලබාගෙන තිබූ 60% ට අධික ණය ඇතුළු සියලු ණය වෙලාවට ගෙවීම් කිරීම ද සිදු කළේය.
 
 
''මේ සියලු සහන හා ආර්ථික උත්තේජන පැකේජයන් මැද රාජපක්ෂ රජය විසින් ලබාගෙන තිබූ 60% ට අධික ණය ඇතුළු සියලු ණය වෙලාවට ගෙවීම් කිරීම ද සිදු කළේය.''
  
13 - මේ සියල්ල ඉදිරියේ එනම් ශ්‍රීමත් ජොන් කොතලාවල මහතාගේ රජයේ කාලයෙන් පසුව ප්‍රථම වතාවට අයවැයේ ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක්  ලබා ගෙන රාජ්‍ය ආදායමෙන් අපේ ණය ආපසු ගෙවීමට හැකි තත්ත්වයට රට පත් කළ හැකි විය.
  
 
ආර්ථික අර්බූද හා දේශපාලන කුමන්ත්‍රණ මැද ආර්ථික ක්ෂේත්‍රයේ මෙවන් දියුණුවක් යහපාලන රජයට ලබා ගැනීමට හැකි වූයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් මා විසින් හඳුන්වා දෙනු ලැබූ රාජ්‍ය පාලනයට ඉතා වැදගත් මුල්‍ය  විනය හේතුවෙන් බව අවිවාදයෙන් පිළිගත යුතුයි.
  Untitled 2 
 
#  මෙවැනි අභියෝග මධ්‍යයේ වූවද වසර පනස් ගණනකට පසුව අප රටේ ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් ලබා ගැනීමට හකිවීම තුළින් අපගේ ආර්ථික ගමන් මගේ නිවැරදි භාවය මනා ලෙස ඔප්පු වෙනවා ඇත. 
 
#  2015 දී හදිස්සි ප්‍රතිකාර ඒකයේ අවසන් හුස්ම ගනිමින් සිටි ශ්‍රී  ලංකාවේ ආර්ථිකය යළි නිරෝගී සුවය දක්වා ගෙන යන මග ආරම්භ කරන්නට හැකි වූයේ අප රජයේ මනා මුල්‍ය කළමනාකාරිතවයත් මුල්‍ය විනයත් නිසා බව දැන්වත් ජනතාව තේරුම් ගත යුතුව ඇත.
 
 

corona armyකොරෝනා වෛරසය මුවාවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ද ක්‍රම ක්‍රමයෙන් අඩපණ කරමින් හමුදා පාලනයකට මග පාදමින් සිටියි.

# මේ රජයේ වැරදි ප්‍රතිපත්ති නිසා ඇති වී තිබෙන ආර්ථික අර්බූදය වසංකිරීම සඳහා කොරෝනා වෛරසය මුවාවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ද ක්‍රම ක්‍රමයෙන් අඩපණ කරමින් හමුදා පාලනයකට මග පාදමින් සිටියි. 
#  එමෙන්ම කොරෝනාව මුවාවෙන්ම මෙම රජය බලයට පත් කරන්නට කටයුතු කළ අන්ත සිංහල ජාතිවාදීන් පිනවීම සඳහා මේ රටේ දෙමල මුස්ලිම් ජනතාව දඩමීමා කරගෙන ජාතිවාදය, ඉදිරියේ දී පැවත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා අවියක් බවට පත්කරගෙන ඇත. කොරෝනා රෝගයෙන් මිය යන මුස්ලිම් වරුන්ගේ මෘත දේහයන් ආදාහනය කිරීමේ තීරණය ද මෙම අන්තවාදීන් අතොලොස්සක් පිනවීමට ගත් තීන්දුවක් බව ද දැන් ඉතාමත් පැහැදිලිය.
 
 
 
බරපතල ආර්ථික, මුල්‍යමය හා ව්‍යවස්ථාදායක අර්බුදයක් !
 
# පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන භීතිකාවක් තිබෙන රාජපක්ෂවරුන් පාර්ලිමේන්තුව නොකැඳවීම තුළින් අළුත් අය වැයක් ඉදිරිපත් කිරීම පවා වළක්වා රට තුළ බරපතල ආර්ථික, මුල්‍යමය හා ව්‍යවස්ථාදායක අර්බුදයක් නිර්මාණය කර තිබේ.
 
#  එපමණක් නොව, රටේ ණය ගැනීමේ නීතිමය සීමාව ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉක්මවා ගොස් ඇති අතර පාර්ලිමේන්තුවී අවසරයකින් තොරව විදේශ ණය ලබා ගෙන තිබේ.
 
 
 
පී. බී. ඉදිරියට දමා ඇඟ බේරා ගැනීමේ උත්සාහය !
 
pb economy 
 
 තම මැයි මස වටුප රජයට පරිත්‍යාග කරන මෙන් රජයේ සේවකයන් වෙත කරන අද මෙම අභූත ඉල්ලීම ගැන මතුවෙමින් පවත්නා විරෝධතාවය ඉදිරියේ එය, ජනපති ලේකම්ගේ ඉල්ලීමක් ලෙස හුවා දක්වා ඇඟ බේරාගැනීමට රජය දැන් උත්සහ දරමින් සිටියි. එය සත්‍ය නම් එය ඊටත් වඩා බරපතල තත්ත්වයකි. 
 
වර්තමාන රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු විසින් පවා 'ආර්ථික ඝාතකයා' ලෙස හඳුන්වන ලද මෙම ලේකම්වරයා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට 2001 දී  සෘණ ආර්ථිකයක් ඇති කිරීමට මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස නායකත්වය දුන් කෙනෙකි. මොහු වැනි කෙනෙකුට මෙවැනි ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දුන්නේ කවරෙක් දැයි රට දැන ගත යුතුය.
 
''වත්මන් රජයේ උද්දච්ඡකම, නොහැකියාව හා මුල්‍ය විනයක් නැති නිසාම අප රටේ ආර්ථිකය යළි වතාවක් හදිස්සි ප්‍රතිකාර ඒකකයට නොව මෘත ශරීරාගාරය (Mortuary) වෙත තල්ලු කිරීමට මේ රටේ ජනතාව මේ රජයට ඉඩ නොතැබිය යුතුයි.''
 
2014 වසර වන විට අප බාර ගත්තේ පණ අදිමින්, හදිසි ප්‍රතිකාර ඒකකයේ සිටි වත්මන් ජනපති ලේකම් විසින් වසර 10 කට ආසන්න කාලයක් මෙහෙයවන ලද ආර්ථිකයයි. 
 
එපමණක් නොව මොහු වර්තමාන රජයේ තවත් ඇමතිවරයෙකු විසින් පවරන ලද නඩුවක වැරදිකරු වී දඩයක් ද නියමව, රජයේ සේවයේ කිසිදූ තනතුරක් දැරීමට නුසුදුස්සෙක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම තීන්දු කරන ලද අයෙකි. 
 
වත්මන් රජයේ උද්දච්ඡකම, නොහැකියාව හා මුල්‍ය විනයක් නැති නිසාම අප රටේ ආර්ථිකය යළි වතාවක් හදිස්සි ප්‍රතිකාර ඒකකයට නොව මෘත ශරීරාගාරය (Mortuary) වෙත තල්ලු කිරීමට මේ රටේ ජනතාව මේ රජයට ඉඩ නොතැබිය යුතුයි.''
 
මංගල සමරවීර
හිටපු මුදල් අමාත්‍ය 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්