ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝනය කරලා
X-Press Pearl ව්‍යසනයේ වින්දිතයින්ට සාධාරණ වන්දි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය (Centre for Environmental Justice) විසින් ගොනු කරන ලද SC/FR/168/2021 නඩුව සම්බන්ධයෙන් මැදිහත්වීමේ පෙත්සමක් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ගොනු කරන ලදී.
ව්‍යසනය සහ එහි කළමනාකරණයේ දී අදාළ බලධාරීන් විසින් රාජකාරි ඉටු කිරීමේදී බරපතල අඩුපාඩු සිදුවී ඇති බව සඳහන් කරමින් TISL ආයතනය මහජන සුබසිද්ධිය වෙනුවෙන් එසේ මැදිහත් වීය.
ව්‍යසනයේ පරිමාණයට සහ කාලෝචිත සහ විනිවිදභාවයෙන් යුතු ප්‍රතිචාර දැක්වීමට සහ වන්දි ගෙවීමට බාධා කළ රාජ්‍යකරණයේ අසාර්ථකත්ව සඳහා වගවීම පිළිබඳව ගැටලු මතුවන බව TISL අවධාරණය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් MV X-Press Pearl නෞකාවේ මාස්ටර්, මෙහෙයුම්කරුවන්, දේශීය නියෝජිතයා සහ X-Press Pearl සමූහය, වැළැක්විය හැකි පාරිසරික විනාශයකට වගකිව යුතු බව තීන්දු කළේ ය. එසේ ම, හිටපු නාගරික සංවර්ධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා, නීතිපතිවරයා, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ එහි සභාපති යන වගඋත්තරකරුවන් ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළේ ය.
මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට කළ තීන්දු ප්‍රකාශ
* හිටපු නාගරික සංවර්ධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා සමුද්‍ර පරිසර සභාව පිහිටුවීමට සහ MEPA අධීක්ෂණය කිරීමට අපොහොසත් වීමෙන් 12(1) වගන්තිය උල්ලංඝනය කළ ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස X-Press Pearl ව්‍යසනයට අධීක්‍ෂණයකින් තොරව ප්‍රතිචාර දැක්වීමට සිදුවිය.
* MEPA විසින් සිදුවූ අනතුරට සාර්ථක ලෙස ප්‍රතිචාර නොදක්වා, සාගර දූෂණ වැළැක්වීමේ පනත යටතේ ඇති නීතිමය වගකීම් නොපිළිපැදීම මගින් ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝනය කර ඇත.
* MEPA සභාපති විසින් තම නීතිමය වගකීම් ඉටු නොකරමින් X-Press Pearl අනතුරට සාර්ථක ලෙස ප්‍රතිචාර දැක්වීම අසමත් වීමෙන් ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝනය කර ඇත.
* නීතිපති විසින් සාගර දූෂණ වැළැක්වීමේ පනතේ 26(අ) වගන්තිය යටතේ MV X- Press Pearl හි හිමිකරු සහ මෙහෙයුම්කරුවන්ට චෝදනා ඉදිරිපත් කිරීමට අසමත් වීම මගින් ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝනය කර ඇත.
* නීතිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ මහාධිකරණයේ අද්මිරාල් අධිකරණ බලය යටතේ නඩු පැවරීමේ හැකියාව පැවතිය දී, අහේතුක, යුක්ති සහගත නොවන සහ අත්තනෝමතික ලෙස සිිංගප්පූරුවේ සිවිල් නඩු ක්‍රියාමාර්ග ආරම්භ කිරීම මගින් ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝනය කළ අතර, මෙම තීරණය ජාතික සුභසිද්ධියට අනුකූල නොවන බව අධිකරණය සලකා ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් ප්‍රධාන නියෝග
* X-Press Pearl සමූහය වසරකට අතුළත මුල් වන්දි ලෙස ඇමරිකානු ඩොලර් බිලියනයක් (USD 1 Billion) ශ්‍රී ලංකා මහභාණ්ඩාගාරයට ගෙවිය යුතු අතර, මුල් වාරිකය 2025 සැප්තැම්බර් 23 වනදාට පෙර ගෙවිය යුතුය. අධිකරණය විසින් අවශ්‍ය පරිදි අමතර වන්දි ගෙවීම් නියෝග කළ හැකි ය.
* දේශීය නියෝජිතයා වූ Sea Consortium Lanka (Pvt.) Ltd. සමාගම විසින්, 2021 ජූනි 2 වන දින සිට X-Press Pearl හි අදාළ කටයුතුවලට සම්බන්ධ සියලු ම අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන නිලධාරීන් නම් කරමින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු ය.
* අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව දූෂණ විමර්ශනයක් පැවැත්විය යුතු අතර, බුද්ධි අංශ සමග සම්බන්ධීකරණයකින් යුතුව, මෙම ව්‍යසනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශ පිළිබඳව සොයා බැලිය යුතු ය.
* හානිපූරණය අධීක්ෂණය කිරීම සඳහා අධිකරණය විසින් විශේෂ වන්දි කොමිසමක් පිහිටුවන ලදි.
* අධිකරණය විසින් පාරිසරික ප්‍රතිසාධනය සඳහා සමුද්‍ර හා වෙරළබඩ ප්‍රතිසංස්කරණ කමිටුවක් පිහිටුවන ලදි.
* නීතිපතිවරයා විසින් විමර්ශන සම්පූර්ණ කර, නඩු පවරා, සෑම මාස තුනකට වරක් අධිකරණයට වාර්තා කළ යුතු අතර, ශ්‍රී ලංකාවේ සමුද්‍ර දූෂණ නීති ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන බව සහතික කිරීම සඳහා නීති ප්‍රතිසංස්කරණ මෙහෙයවිය යුතුය.
TISL ආයතනයේ අවධාරණය
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම පාරිසරික ව්‍යසනයකට සම්බන්ධ වූ රාජ්‍ය නිලධාරීන්ට්, පෞද්ගලික සමාගම් නියෝජිතයින්ට වගකීම පැවරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් මෙම ෙඑතිහාසික තීන්දුව TISL ආයතනය සාදරයෙන් පිළිගනී. ඒ සමගම මෙම තීන්දුව මගින් විනිවිදභාවය, ආයතනික සහ පෞද්ගලික අංශයේ වගකීම සහ අනාගත පාරිසරික හානි, රාජ්‍යකරණයේ අසාර්ථකත්ව සහ දූෂණ වැළැක්වීම සඳහා නීතිමය වගකීම් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය TISL ආයතනය මේ සමගම අවධාරණය කර සිටියි.
අගවිනිසුරු ජනාධිපති නීතිඥ මුර්දු එන්.බී ප්‍රනාන්දු ගේ සභාපතිත්වයෙන්, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, ඒ. එල්. ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ජ්‍යෙෂ්ඨ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගැනිණි.
විනිවිදභාවය සහ වගවීම සම්බන්ධ ගැටලු පිළිබඳව ජාතියේ අවධානය යොමු කිරීමට TISL තවදුරටත් කැපවී සිටී. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම වැදගත් තීන්දුව ප්‍රායෝගිකව, නිසිලෙස ක්‍රියාත්මක වන බව සහතික කිරීම සඳහා ද TISL ක්‍රියාශීලීව, ඉදිරියටත් පියවර ගනු ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සේනානි දයාරත්න, නීතිඥ නිශාදි වික්‍රමසිංහ, නීතිඥ මහේෂිකා බණ්ඩාර, නීතිඥ ආදිත්‍ය කරලියද්ද සහ නීතිඥ ජනනි අබේවික්‍රම, ලේඛනගත නීතිඥ තුෂාරි ජයවර්ධන ගේ උපදෙස් මත TISL වෙනුවෙන් පෙනී සිටියහ.
සම්පුර්ණ නඩු තීන්දුව
මෙම පුවතට අදාල වැඩි දුරටත් විස්තර :
Xpress Pearl නෞකාව ගිනි ගැනීම: නැව් සමාගම ඩොලර් බිලියනයක වන්දි මුදල නොගෙව්වොත් කළ හැක්කේ කුමක් ද?
X-Press Pearl: ව්‍යසනය වෙනුවෙන් ඩොලර් බිලියනයක් වන්දි ගෙවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නැව් සමාගමට නියෝග කරයි




