The Leader News
BREAKING
Top Ad
පුවත්

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ විශ්වාසභංගය සිකුරාදා න්‍යාය පුස්තකයට?

T

The Leader Desk

August 13, 2025 • 7:25 AM

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ විශ්වාසභංගය සිකුරාදා න්‍යාය පුස්තකයට?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සභා ලේඛන කාර්යාලය එම යෝජනාවේ පරිවර්තන කටයුතු කරගෙන යන බවද එම ආරංචි මාර්ග පවසයි.
  • විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිස් දෙදෙනෙකුගේ අත්සනින් යුතු එම යෝජනාව කතානායකවරයාට ඊයේ (12) භාරදෙනු ලැබීය.
  • කතානායකවරයා වෙත භාර දුන් විශ්වාසභංග යෝජනාවේ කරුණු 15ක් දක්වා ඇත.
  • විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති ධූරයේ කටයුතු කිරීම 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ නිසි පරීක්‍ෂණ සඳහා බාධාවක් විය හැකි බැවින් මේ පිළිබඳ සුදුසු තීරණයක් ගන්නා ලෙස කතෝලික සභාව ද ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජයෙන් පසුගිය දා ඉල්ලා සිටියේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

සභා ලේඛන කාර්යාලය එම යෝජනාවේ පරිවර්තන කටයුතු කරගෙන යන බවද එම ආරංචි මාර්ග පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිස් දෙදෙනෙකුගේ අත්සනින් යුතු එම යෝජනාව කතානායකවරයාට ඊයේ (12) භාරදෙනු ලැබීය.


cgrggh
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන කාලසීමාවේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා නැගෙනහිර පළාත් ආඥාපති ලෙස කටයුතු කළ බවත්, ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුකරන විමර්ශනවලට අදාළව ඔහු සිය අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ය.

කතානායකවරයා වෙත භාර දුන් විශ්වාසභංග යෝජනාවේ කරුණු 15ක් දක්වා ඇත.

 

විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති ධූරයේ කටයුතු කිරීම 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ නිසි පරීක්‍ෂණ සඳහා බාධාවක් විය හැකි බැවින් මේ පිළිබඳ සුදුසු තීරණයක් ගන්නා ලෙස කතෝලික සභාව ද ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජයෙන් පසුගිය දා ඉල්ලා සිටියේ ය.

 

විශ්වාසභංගයේ ඇති කරුණු මොනවා ද?


විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් කතානායකවරයා වෙත භාර දුන් විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කරුණු,

* පාස්කු ඉරිදා ප්‍රහාරයේ කුමන්ත්‍රණයේ මූලාරම්භයක් ලෙස සැලකෙන 2018 ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ සමයේ එනම් 2018 නොවැම්බර් මාසයේදී 17 වන ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති [17th Commander of the Security Force (East)] ලෙස අරුණ ජයසේකර පත් කළ හෙයින් ද, ඒ අනුව ඔහු ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස වැඩ බාරගත් හෙයින් ද;

* පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනවලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා වව්නතිව් පොලිස් මුරපොළේ දී ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙක් ඝාතනය කිරීම සිදුවන අවස්ථාවේ අරුණ ජයසේකර ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස කටයුතු කළ හෙයින් ද;

* පාස්කු ඉරිදා ප්‍රහාරයේ තීරණාත්මක සංසිද්ධියක් වන සයින්දමරුදු බොලිවේරියන් ග්‍රාමයේ සිදුවීම සිදුවන අවස්ථාවේ අරුණ ජයසේකර ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස කටයුතු කළ හෙයින් ද;

* අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ කිහිප දෙනකුට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගෙන ඇති හෙයින් ද;

* කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බකරුවූ හස්තුන් නැමැත්තාගේ බිරිඳ ලෙස හැඳින්වෙන සාරා ජස්මින් නොහොත් පුලස්තිනී මහේන්ද්‍රන් සයින්දමරුදු එම ස්ථානයේ සිටි බවට සහ ඇය බෝම්බය පිපිරීමෙන් පසු ද ජීවතුන් අතර සිටි බවට සහරාන්ගේ බිරිඳ ෆාතිමා හාදියා ප්‍රකාශ කර ඇති හෙයින් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද ඇය මිය ගිය බවට කී සිද්ධිය සැක සහිත යැයි ප්‍රකාශ කර ඇති හෙයින් ද;

* අදාළ සයින්දමරුදු සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර යුද හමුදාවේ එදින මෙහෙයුමට සහභාගී වූ එකල අරුණ ජයසේකර යටතේ සිටි නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගැනීම ආරම්භ කර ඇති හෙයින් ද,

* මෙම සිද්ධියට අදාළව ගරු අරුණ ජයසේකර විසින්ම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි ඔහුගෙන් ද ප්‍රකාශ ලබා ගෙන ඇති හෙයින් ද,

* වව්නතිව් සහ සයින්දමරුදු සිදුවීම් දෙකට ම අදාළ විමර්ශනයේදී සාක්ෂි /කටඋත්තර යුද හමුදාවේ පිරිස්වලින් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා ගනිමින් සිටින හෙයින් ද;

* අරුණ ජයසේකර පූර්ව මැතිවරණ සමයේ ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිට, අංක 2410/08 දරන 2024-11-17 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව ජාතික ජන බලවේග රජයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්ව, අංක 2412/23 දරන 2024-11-28 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ හෙයින්ද; සහ ඇතැම් අවස්ථාවල වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන බැවින් ද;

* අදාළ සිදුවීම් ගැන සාක්ෂි දෙනු ලබන යුද හමුදාවේ නිලධාරීන් විසින් සාක්ෂි ලබාදීමේදී එවකට ප්‍රදේශය භාර ප්‍රධානියා වූ අරුණ ජයසේකර වර්තමානයේ යුද හමුදාව භාර අමාත්‍යංශයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටින බැවින් නිලධාරීන් සාක්ෂි ලබාදීමේදී ඔවුන් උසස්වීම්/මාරුවීම් සහ වෙනත් කටයුතුවලට බලපෑමක් ඇතිවේයැයි බියෙන් සාක්ෂි ලබාදීමේ මැලිකමක් දැක්වීමට ඉඩ ඇති බැවින් ද;

* එවකට ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස සිටි අරුණ ජයසේකර යටතේ සිටින නිලධාරීන් විමර්ශනයට ලක්වෙමින් සිටින බැවින් ඔහු එම නිලධාරීන් සිටි යුද හමුදාව භාර අමාත්‍යංශයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හෙයින් විමර්ශන ගැන සැක සංකා මතුවීමට ඉඩ ඇති හෙයින්ද සහ ලබැඳියාවන් අතර ගැටුමක් ඇතිවීමට ඉඩ ඇති හෙයින් ද;

* පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවට මැතිවරණ පොරොන්දුවක් ලබාදුන් රජයක අරුණ ජයසේකර නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස වගකිව යුතු තනතුරක් දැරුව ද මේ දක්වා පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමට අපොහොසත් වී ඇති හෙයින් ද;

* පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් අරුණ ජයසේකර යුද හමුදාවේ ධූරය දරන සමයේ නිසි ක්‍රියාමාර්ග නොගත් පසුබිමක, වත්මන් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම මත, එම විමර්ශනවලට යම් බලපෑමක් ඇතිවිය හැකි බවට කතෝලික සභාවට හැඟී යාම සහ එම පරීක්ෂණවල විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටලු පවතින බවට කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කර ඇති හෙයින් ද;

* පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සිදුකිරීම අභියෝගයක් බවත්, රජය රජය තුළම විමර්ශනයට ලක්කිරීම දුෂ්කර වී ඇති බවත්, රජය රජය විසින්ම පරීක්ෂාවට ලක් කළ යුතුව තිබෙන බවත් ජනාධිපතිවරයා කාදිනල් හිමියන්ගේ පූජක දිවියට වසර 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවති උත්සවයේදී කළ ප්‍රකාශය මඟින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන අඩපණ කිරීමට තවමත් රාජ්‍ය යාන්ත්‍රණය තුළින්ම කුමන්ත්‍රණ සිදුවන බව හැඟෙන හෙයින් ද;

* ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර 2025-07-09 වන දින පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශයකට අනුව පස්කු ප්‍රහාරයේ විමර්ශනවල දී අනාවරණය වන පරිදි දේශපාලන අරමුණු ඉෂ්ඨ කරගැනීම වෙනුවෙන් බුද්ධි අංශයේ සුළු පිරිසක් සහ රජයේ නිලධාරීන් සුළු පිරිසක් මේ සඳහා යොදාගෙන ඇති බවට ප්‍රකාශ කිරීම මඟින් ඊට සම්බන්ධ බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳව දැනුවත්භාවයක් හෝ අවබෝධයක් ඔහුට තිබෙන්නට ඇතැයි හැඟී යන බැවින් හෙයින්ද;
 
අරුණ ජයසේකර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරන රජයක, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මඟින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සිදුකිරීම මත, බලපෑම් සහ ළබැඳියාවන් අතර ගැටීමක් ඇති වන අතර, එමගින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන අපක්ෂපාතීව හා ස්වාධීනව සිදුවන්නේ දැයි පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ගේත්, කතෝලික සභාවේත්, පොදු මහජනතාවගේත්, විශ්වාසය බිඳ වැටී ඇති හෙයින් සහ අරුණ ජයසේකර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ සිටියදී පාස්කු විමර්ශන සිදුකිරීමෙන් සභාවේ විශ්වාසය කඩව ඇති බැවින් ඔහු එම ධූරයෙන් ඉවත් කළ යුතු බවට යෝජනා සම්මත කර ගත යුතු යැයි විශ්වාසභංග යෝජනාවේ සඳහන් වේ.
 
අරුණ ජයසේකර යනු කවුද ?

විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර 1964 ඔක්තෝබර් 19 වන දින ඌව පළාතේ උපත ලැබූ අතර, බදුල්ල ඌව විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කර බදුල්ල මධ්‍යම විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබීය.

1985 මාර්තු 21 වන දින නිලධාරී කැඩෙට් බඳවා ගැනීමේ SSC 04 යටතේ කැඩෙට් නිලධාරියෙකු ලෙස අරුණ ජයසේකර ශ්‍රී ලංකා හමුදාවට එක්විය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 20 ක් විය.

සිය මූලික හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු, ඔහු 1985 ඔක්තෝබර් 4 වන දින දෙවන ලුතිනන් නිලයට පත් විය.

ඔහු පළමු වන ගැමුණු හේවා බලඇණියේ කාණ්ඩ අණදෙන නිලධාරියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ ගැටුම්කාරී තත්ත්වයන් පැවති සමයේදී 4 වන ගැමුණු හේවා බලඇණියට පත් කරන ලද අතර, ඔහු එම බලඇණියේ අණ දෙන්නා ලෙස කටයුතු කරන ලදී.

යුද්ධ හමුදා දිවියේදී ඔහු ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය, චීනය සහ බ්‍රසීලයේ විදෙස් හමුදා පුහුණු පාඨමාලාවන් හදාරා ඇති නිලධාරියෙකු වේ.

යුද සමයේදී දරනු ලැබූ ඉහළ තනතුරු මොනවා ද?

විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර යුද්ධ හමුදාවේ අණ සහ මාණ්ඩලික අංශ දෙකෙහි ම තනතුරු හෙබවූ නිලධාරියෙකු බව ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෙබ් අඩවියේ සඳහන් වේ.

53 වන සේනාංකයේ අධ්‍යක්ෂක මාණ්ඩලික, 221 බලසේනාවේ අණදෙන නිලධාරී, අණදෙන නිලධාරී - 08 වන කාර්ය සාධක බලකාය, 68 සේනාංකයේ අණදෙන නිලධාරී, 14 සේනාංකයේ අණදෙන නිලධාරී, 22 සේනාංකයේ අණදෙන නිලධාරී රෙජිමේන්තු කර්නල්, අණදෙන නිලධාරී - නැගෙනහිර ආරක්ෂක බලසේනා මූලස්ථානය යන තනතුරු අරුණ ජයසේකර විසින් හොබවනු ලැබ තිබේ.

යුද සමයේදී ත්‍රස්තවාදීන් හමුවේ සිදුකළ නිර්භීත ක්‍රියාව වෙනුවෙන් ඔහුට දෙවැනි ඉහළම වීර වික්‍රම විභූෂණ සම්මානය, තෙවැනි ඉහළම වීරත්වය උදෙසා පිදෙන රණ සූර පදක්කම තෙවරක් ද, නොකැළැල් යුද දිවිය වෙනුවෙන් විශිෂ්ඨ සේවා විභූෂණ, උත්තම සේවා පදක්කම ඇතුළු පදක්කම් රැසකින් ද පිදුම් ලබා ඇති නිලධාරියෙකු වේ.

2019 වසරේදී සිය 34 වසරක හමුදා දිවියට සමුදුන් අරුණ ජයසේකර ඒ වන විට මේජර් ජෙනරාල්වරයෙකු ලෙස කටයුතු කළේ ය.

'ජාතික ආරක්ෂාව සහ බංකු කතාව'

විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ වැඩි අවධානයක් යොමු වුයේ ඔහු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුවය. ඒ දිනෙන් දින රට පුරා වාර්තා වූ වෙඩි තැබීමේ සිදුවීම් හේතුවෙනි.

2024 වසරේ ජනවාරි මාසයේදී විශ්‍රාමික රණවිරුවන් සමග පැවති රැස්වීමකදී ඔහු පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කිරීමට අවශ්‍ය වන්නේ මාස දෙකක් පමණක් බව ය.

"බොරු මාධ්‍ය සංදර්ශන දාලා දාහක් ඇල්ලුවා කියනවා. අපි ඕවා දන්නේ නැද්ද. අපි ඉන්නවා පෝය දෙකයි ඕන වෙන්නේ ඕවා ඉවර කරන්න. විල්පත්තුවේ අපේ අනාගත හුස්ම කපන කල් ඔය ඔක්කොම මිනිස්සු බලන් හිටියා. අවුරුදු ගානක් බලන් හිටියා. ඔබලා අපි ගිහිල්ලා කැපුවද පොරවක් අරගෙන. නැහැ, කවුරුත් නෙමෙයි ගිහිල්ලා අල්ල ගන්න එපැයි. ඉතින් සල්ලි ගැනලා දීපු අය තමයි අද නායකත්වය දෙන්නේ කුඩු අල්ලන්න. සල්ලි ගැනලලු දුන්නේ. ඒ අයට ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න දෙන්නම් එන්න කියන්න බංකුවකුත් අරන් පුටුවකුත් අරන් එන්න කියන්න" විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර එම රැස්වීමේදී පැවසුවේය.

දේශපාලනයට පිවිසීම

ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා සාමූහිකයේ ප්‍රධානියා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර කටයුතු කළේ ය.

2024 වසරේ පැවති මහ මැතිවරණයෙන් පසුව පත්වූ ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කරන ලදී.

(උපුටා ගැනීම් - බීබීසී සිංහල)

සබැඳි පුවත් :

නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාව බාරදේ - සහාය දෙන බව නාමල් කියයි

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...