විගණකාධිපති තනතුර පුරප්පාඩු වූයේ, 2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ 41 වන විගණකාධිපතිවරයා වූ චූලන්ත වික්‍රමරත්න විශ්‍රාම ගැනීමත් සමග ය.
ඔහු 2019 වසරේදී ධූරයට පත් කෙරුණු අතර, වසර 6ක සේවා කාලයකින් පසු සේවයෙන් විශ්‍රාම ගියේ ය.
ඒ අනුව, ඔහු විශ්‍රාම ගොස් මාස 7කට වැඩි කාලයක් ගත වී තිබියදීත් මෙතෙක් 42 වන විගණකාධිපතිවරයා පත් කර ගැනීමට නොහැකි වී තිබේ.
පුරප්පාඩු වී ඇති විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුගේ නම නිර්දේශ කර තිබිණි.
එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කෙරිණි.
මාස 7ක් පුරා විගණකාධිපති ධූරයේ වැඩබලන ජී.එච්.ඩී. ධර්මපාල එම තනතුරෙහි ස්ථිර නොකිරීම සම්බන්ධයෙන් මේවනවිට විවිධ පාර්ශවවල විරෝධය පළවෙමින් තිබේ.
''කැලණිය කැම්පස් එකේ ඉන්න බැච් මේට් කෙනෙක් ගෙනල්ල දාන්නයි හදන්නේ'' - මුජිබර්
අඟහරුවාදා (නොවැ: 25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මේ පිළිබඳව ප්‍රශ්න කළේ ය.
"ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිතුමා විසින් විගණකාධිතුමා පත් කිරීමට යෝජනාවක් එව්වා. ඒ යෝජනාව ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කළාට පස්සෙ එතුමාට මාස හයක කාලයක් දුන්න. මාස හයක කාලයක් දුන්නෙ විශේෂයෙන් ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිතුමා තමයි, දැන් වැඩබලන විගණකාධිපතිවරයා හැටියට ඉන්නෙ. නැවතත් එතුමාගෙ කාලය දීර්ඝ කරන්න ඉල්ලුවා ම ව්‍යවස්ථාදායක සභාව ඒක ප්‍රතික්ෂේප කළා. දෙන්න බැහැ කිව්වා. මොක ද දෙපාරක් දුන්න හින්දා. ඉතින් අපට තේරෙන්නෙ නෑ, ඇයි මේ නැවත නැවත ජනාධිපතිවරයා වැඩබලන විගණකාධිපතිවරයා හැටියට ම මේ තියා ගන්න හදන්නෙ කියලා. මෙතුමා අවුරුදු තිහක් විතර වගේ විගණකාධිපති කාර්යාලයේ වැඩ කරල හැම ක්ෂේත්‍රයක් ගැන ම අත්දැකීම් තියෙන කෙනෙක්. දැන් මාස හයක් එතුමා වැඩ කරල තියෙනව, වැඩබලන විගණකාධිපතිවරයා හැටියට. ඇයි මෙතුමාව ස්ථිර කරන්න බැරි?
දැන් ඔබතුමාලාගේ 'පෝසත් රටක් ලස්සන ජීවිතයක්' කියන පොතේ පිටු අංක 198 රාජ්‍ය සේවය පිළිබඳව ඔබතුමාලා පැහැදිලිව කියල තියෙනව, දක්ෂතා තියෙන අයට, ජ්‍යෙෂ්ඨ අයට තමුන්නාන්සෙලා උසස්වීම් ලබා දෙනවා කියල පැහැදිලිව කියල තියෙනව. එහෙම කියල තියෙද්දිත් ඇයි මෙතුමාව ඒ තනතුරේ ස්ථිර කරන්නෙ නැත්තෙ? ඉතින් මට තේරෙන්නෙ නෑ. ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනව ද කැලණිය කැම්පස් එකේ ඉන්න බැච් මේට් කෙනෙක් ගෙනල්ල දාන්න? කලින් දාන්න හැදුවා ම ව්‍යවස්ථාදායක සභාව ඒක රිජෙක්ට් කළා එයා හරියන්නෙ නෑ කියල." ඔහු විමසා සිටියේය.
''ව්‍යවස්ථාදායක සභාවේ ස්වාධින සාමාජිකයින්ගේ කාලය ඉවත්වෙනතුරු කුරුමානම් අල්ලනවා - දයාසිරි
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර නොවැම්බර් 22 වන දා පාර්ලිමේන්තුවේදී පැවසුයේ, දිගින් දිගට ම විගණකාධිපති තනතුර ස්ථිර නොකරමින් සිටින්නේ, යම් සැලැස්මක් අනුව බවයි.
"2025.04.08 වෙනි දා අපේ හිටපු විගණකාධිපති ගෙදර යනවා. තමුන්නාන්සෙලා දින 14කට විගණකාධිපති කෙනෙක් පත් කරනවා. ආපහු 2025.04.23 තව දින 30කට වැඩ බලන්න පත් කරනවා. ඒ අස්සෙ මොක ද කරන්නෙ, ව්‍යවස්ථාදායක සභාවට ගෙනල්ල අනුර දිසානායක සහෝදරයාගෙ යාළුවා, එස්.ජී.බී. චන්දන මහත්තයා කැලණිය විශ්වවිද්‍යාලයේ එක දවසක් රාජ්‍ය සේවයේ නෑ. එක දවසක් පාර්ලිමේන්තුවේ විගණන කටයුතු පිළිබඳ දැනුමක් නෑ. එයාව ගෙනල්ල ඉන්දවන්න තමයි වැඩපිළිවෙළ සකස් කළේ. ඒක හරි යන්නෙ නැති හින්ද මොක ද කළේ, තව මාස හයකට ආපහු මේක දික් කරනවා. දැන් ඊයෙ (නොවැ: 21) අපට ආරංචි හැටියට ව්‍යවස්ථාදායක සභාවෙන් මේ මාස තුනකට දාපු එක ප්‍රතික්ෂේප කරල තියෙනවා. දැන් හෙට උදේ ඉඳල විගණකාධිපති කෙනෙක් නෑ ලංකාවෙ. දැන් තමුන්නාන්සෙලා මොකක් ද මේ බලාගෙන ඉන්නෙ?
ලබන ජනවාරි වෙනකොට ව්‍යවස්ථාදායක සභාවෙ ප්‍රතාප් රාමනුජන්, අනුලා විජේසුන්දර, දිනේෂා සමරරත්න තුන් දෙනා ම ඉවත් වෙනව. ජනවාරි 3 වෙනි දා වෙනකල් මේක ඇද ගන්න තමයි තමුන්නාන්සෙලා උත්සහ කෙරුවෙ. දැන් බලන්න මොක ද වෙලා තියෙන්නෙ කියල, විගණකාධිපති කෙනෙක් නැති රටක් බවට පත්වෙලා තියෙනවා. මං ගෞරවයෙන් ඉල්ලනවා, අනුර කරුණාකරල මේ කැත වැඩේ කරන්න එපා. මේ රටේ ජනතාව තමුන්නාන්සේව පත් කෙරුවෙ මේකට නෙවෙයි."
මෙම චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්තගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර තිබුනේ, "මේ අවස්ථාවේදී දුරකතනය ඔස්සේ එය පැහැදිලි කිරීමට අවස්ථාවක් නොමැති අතර, පසුව ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන" බව යි.
වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී.එච්.ඩී. ධර්මපාල එම තනතුරෙහි ස්ථිර කරන්න -
ජාතික විගණන කාර්යාලයේ වෘත්තීය සමිති එකමුතුව ජනාධිපතිගෙන් ඉල්ලයි
මේ අතර, ජාතික විගණන කාර්යාලයේ වෘත්තීය සමිති එකමුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ, දැනට වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී.එච්.ඩී. ධර්මපාල එම තනතුරෙහි ස්ථිර කරන ලෙස ය.
ඔහු 'විගණකාධිපති ධූරයෙහි මාස 7කට අධික කාලයක් වැඩබැලීම සිදු කිරීමේදී තනතුරෙහි කාර්ය භාරය නිසි ලෙස ඉටු කර ඇති අතර ව්‍යවස්ථානුකූලව සියලු ම සුදුසුකම් හා පරිචයන් සම්පූර්ණ කර සිටින ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා' බවත්, ඔහු 'ස්ථිර පදනමින් පත් කරන ලෙස ඉල්ලා සිටින' බවත් ය.
'විගණකාධිපති තනතුර පුරප්පාඩු වූ විට එම තනතුර සඳහා සුදුස්සෙකු පත් කිරීමේදී ජාතික විගණන කාර්යාලයේ සේවයේ නියුතු සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට ප්‍රමුඛතාව ලබා දීම මෙතෙක් පැවති සම්ප්‍රදාය,' බව ද එහි සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා විගණන සේවා සංගමය, රාජ්‍ය සහකාර විගණන අධිකාරී සංගමය සහ රජයේ විගණන නිලධාරී සංගමය ඒකාබද්ධව යොමු කර ඇති එම ලිපියෙහි සඳහන් වන්නේ, ජී.එච්.ඩී. ධර්මපාල එම තනතුරෙහි ස්ථිර කළ යුතු බවට ඔවුන් එකඟ වී ඇති බව ය.

මේ අතර, විගණන කාර්යාලයේ වෘත්තීය සමිති එකමුතුව ඉකුත් සඳුදා මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
එහිදී, ජාතික විගණන කාර්යාලයේ වෘත්තීය සමිති එකමුතුවේ සභාපති ප්‍රසන්න ඇලපාත ප්‍රකාශ කළේ, "වැඩබැලීමේ පදනමින් පත්කරන මේ හොර ගල් අහුලන එක නවත්වන්න" යනුවෙනි.
"විගණකාධිපති තනතුරේ වැඩබැලීම සඳහා කරපු යෝජනාව ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරමින් ස්ථිර පදනමින් මේ තනතුරට පත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරල තියෙනවා. එතකොට ඒ අවශ්‍යතාව ඉටු කරනවා වෙනුවට වර්තමාන වැඩබලන විගණකාධිපතිතුමාගේ ධූර කාලය තව දින 14කින් දීර්ඝ කරල තියෙනවා. එතකොට අපට ගැටලුවක් ඇති වෙනවා, මේ විදිහට විගණකාධිපති තනතුර වැඩබැලීමේ පදනමින් පවත්වගෙන යන අවශ්‍යතාව මොකක් ද කියල."
"අපි ආණ්ඩුවෙන් ඉතාමත් වුවමනාවෙන්, ඉතාමත් කාරුණිකව ඉල්ලනව වහා ම විගණකාධිපති තනතුර ස්ථිර පදනමින් පත් කරන්න. දැනට වැඩබලන විගණකාධිපතිවරයා පසුගිය මාස 7ක කාලසීමාව තුළ ඔහුට පැවරිච්ච ව්‍යවස්ථාපිත කාර්ය භාරය පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය ශක්තිමත්ව පවත්වගෙන යන්න ඕන සහය උපරිමයෙන් ලබා දීලා වෘත්තීමය වශයෙන් ඒ තනතුරට තියෙන සුදුසුකම තහවුරු කරල තියෙද්දි ඔහුව ස්ථිර පදනමින් පත් කරන්නෙ නැතුව වැඩබැලීමේ පදනමින් පත්කරන මේ හොර ගල් අහුලන එක නවත්වන්න කියන පණිවුඩය තමයි අපි දෙන්නෙ," ජාතික විගණන කාර්යාලයේ වෘත්තීය සමිති එකමුතුවේ සභාපති ප්‍රසන්න ඇලපාත පැවසීය.
ව්‍යවස්ථාදායක සභාව විරුද්ධ වූයේ ඇයි?
පසුගිය දා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් වැඩබලන විගණකාධිපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ, දෙවරකට වඩා සේවා දිගු ලබා දීමට විරෝධය පළ කරමිනි.
සභාවේ බහුතර සමාජිකයින්ගේ අදහස වී ඇත්තේ, ස්ථිර පදනම මත විගණකාධිපතිවරයෙකු පත් කළ යුතු ය යන්න ය.
සබැඳි ලිපි :
වැඩබලන විගණකාධිපති ධර්මපාලට තවත් සති දෙකක සේවා දිගුවක්
විගණකාධිපති තනතුරට 'පැච් එකක් !' | සුනිල් කන්නන්ගර
මාස 7ක් පුරා විගණකාධිපති තනතුර සඳහා ස්ථිර නිලධාරියෙකු පත් කිරීමට නොහැකි වී ඇත්තේ ඇයි?
යාලුවා දාගන්න බැරිවෙච්ච අවුල දුරදිග යයි ලංකාවට විගණකාධිපති කෙනෙක් නැතිවෙයි! මහා අවුලක් හැදිලා!
විගණකාධිපති පත්කිරීම පිටුපස කඹ ඇදිල්ලේ හදිසි හස්තය මෙන්න! ලංකා ඉතිහාසයේ කුහකම තීරණයක්!




