රංජන් රාමනායක අද දිනයේ පාර්ලිමේන්තුවේදී කළේ ඉතාම දැනුවත් දේශපාලන ක්‍රියාවකි. ඔහු සතුව තිබුණේ විනාඩි අටක පමණ කාලයකි. ඒ කාලයෙන් කළ හැකි උපරිමය ඔහු කළේය. දේශපාලනය ඇත්තේ "මේ දැන් මෙතැන" බව ඔහු දැන සිටියේය. තමා ඇමතිය යුත්තේ කව්රුන්දැයි ඔහුට මනා අවබෝධයක් තිබුණි. ඔවුන්ව ඇමතීමේ උචිතම භාෂාව ඔහු දැන සිටියේය. 


ඔහු මෙතෙක් නියෝජනය කළ පක්ෂය තවදුරටත් ඔහු සමග නොමැත. ඔහුගේ ක්‍රියාව හේතු කොටගෙන ඔහුගේ පැරණි මිතුරු මිතුරියන් සහ හිතවතුන් ඔහුට අහිමි වී යා හැකිය. ඔහු එය හොඳින්ම දැන සිටියේය. ඇතැම්විට ඔහුව ආරක්ෂා කිරීමට කිසිවෙකුත් නොමැති වනු ඇත.
Ranjan text1
මෙතෙක් කලක් ඔහුගේ ජීවිතයට අර්ථයක් සැපයූ සබඳතා සියල්ල හුදෙක් ප්‍රබන්ධයක් පමණක් බව ඔහු ඇතැම් විට ඒ මොහොතේ දැන සිටින්නට ඇත. අනෙකා පවතින්නේ නැත. සමාජය පවතින්නේ නැත. එහෙයින් ඔහුගේ ක්‍රියාවට චරිත සහතික දීමට කිසිවෙකුත් නොමැත. 

ඔහුගේ ක්‍රියාවේ ප්‍රතිපලය කුමක් වුවත් ඔහු එහි වගකීම මුළුමනින්ම භාර ගත යුතුය. එම ක්‍රියාව සදාචාරවත් නොවිය හැකිය; නමුත් ඔහුගේ අරගලය/ආශාව ඔහු අත් නොහරියි. ඒ අරුතින්, ඔහුගේ ක්‍රියාව ආචාර ධාර්මිකය.

පාවෙල් ඉවානොවිච් චිචිකොෆ් එන්. නමැති නගරයට පැමිණෙයි..!

රංජන්ගේ ක්‍රියාව නොකොලායි ගොගොල්ගේ Dead Souls (මෙය "මල මිනිස්සු" නමින් සිංහලට පරිවර්තනය වී ඇත) නවකතාවේ අවසන් අදියර සිහි ගන්වයි. මේ නවකතාවේ ප්‍රධාන චරිතය පාවෙල් ඉවානොවිච් චිචිකොෆ් නම් වේ. ඔහු දහනම වන සියවසේ වැඩවසම් රුසියාවේ එන්. නමැති නගරයට පිවිසීමෙන් කතාවේ සිද්ධි දාමය ආරම්භ වේ. 

සට කපට චිචිකොෆ් නගරයේ ඉඩම් හිමි ප්‍රභූන් සමග මිත්‍ර සබඳතා ගොඩ නගා ගනී. (මෙහිදී ගොගොල් එම ප්‍රභූන්ගේ ජීවිතවල අඳුරු, දුෂ්ට, දූෂිත ස්වභාවය තියුණු උපහාසය මුසු බසකින් චිත්‍රණය කරයි). චිචිකොෆ්ගේ අරමුණ ඉඩම් හිමියන් සතු ප්‍රවේණිදාස ගොවීන් අතරින් මිය ගියවුන් මිළදී ගැනීමය. මළවුන් මිළදී ගන්නේ කෙසේද? සැබවින්ම ඔවුන් මිය ගොස් වසර ගණනක් ගතවී තිබුණද, අලස අකාර්යක්ෂම වැඩවසම් පරිපාලන සේවයේ ලිපි ලේඛණ තුළ ඔවුන්ගේ නම් තවමත් පවතී. එබැවින් ඔවුන් නිල වශයෙන් මිය ගොස් නොමැත. 

චිචිකොෆ් විවිධ උපක්‍රම අනුගමනය කරමින් ඉඩම් හිමියන් සතු මෙම මලගිය ආත්ම තමන්ගේ නමට පවරා ගනී. කෙසේ වුවත්, මෙසේ සැබවින්ම නොසිටින ප්‍රවේණිදාසයන්ව මිලදී ගැනීමෙන් චිචිකොෆ් (නිල වශයෙන්) ධනවතෙකු බවට පත්වේ. සමාජයේ අවධානයට ලක් වන චරිතයක් බවට පත්වේ. බලපෑම් සහගත චරිතයක් බවට පත්වේ. නමුත්, අවසානයේදී ඔහුව හෙළිදරව් වී පොලිස් අත් අඩංගුවට පත් වේ.

රංජන්ගේ හඬ පට සිද්ධිය සමාන වන්නේ Dead Souls නවකතාවේ අවසන් කොටසේ එන චිචිකොෆ් සම්බන්ධ නඩු විභාගයටය. චිචිකොෆ් තම නඩු විභාගයේදී කරන්නේ තමන් හෙළිදරව් කරගත් ඉඩම් හිමි ප්‍රභූන්ගේ රහසිගත දූෂිත ජීවිත පිළිබඳ කතා පුවත් සියල්ලම තම සාක්ෂි සමග පටලවා ඉදිරිපත් කිරීමය. 

ප්‍රදේශයේ අධිකරණ ප්‍රධානියාගේ සිට පොලිස් ප්‍රධානියා දක්වා වන සියල්ලන්ගේ වංචනික, අබිරහස්, කෛරාටික තතු එයින් ප්‍රසිද්ධියට පත් වේ; ඔවුනගේ රහසිගත ලිංගික සබඳතා පවා හෙළිදරව් වේ. නඩු විභාගයට පසුදා මුළු නගරයම අවුල් ජාලාවක් බවට පත්වේ. චිචිකොෆ්ට නගරයෙන් පැන යාමට සලස්වා නඩුව යට ගැසීම හැර අන් විකල්පයක් ප්‍රභූන් සතුව ඉතිරි නොවේ. චිචිකොෆ් සතුටින් එම ඉල්ලීමට එකඟ වේ.

චිචිකොෆ් මිළදී ගත්තේ සැබවින්ම නොසිටින මිනිසුන්ව නම්, රංජන් දේශපාලන ලෝකයට ඇතුල් වූයේ සිනමාවෙන් ඉපැයූ සංකේත ප්‍රාග්ධනය ආයෝජනය කිරීමෙනි. මේ දෙදෙනාම තමන් විසූ සමාජයන්හි සංකේත පිළිවෙල සංවිධානය වී තිබුණේ කවර නම් අශ්ශීල පදනමක් මතද, එම පදනම හෙළිදරව් කළහ. එවිට සංකේත පිළිවෙල අවුල් ජාලයක් බවට පත් විය.

Ranja text2
රංජන් යනු 2015 යහපාලන ව්‍යාපෘතිය සැබවින්ම ක්‍රියාත්මක කිරීමට කැප වූ එකම නියෝජිතයා යැයි හඳුනා ගනු ලැබීම සරල මතිකය. සැබවින්ම ඔහු කළේ එම යහපාලන ව්‍යාපෘතිය කොතරම් ව්‍යාජයක්ද යන්න පෙන්වා දීමයි. 

යහපාලන ව්‍යාපෘතිය පදනම් වූයේම මෙරට ප්‍රධාන ධාරාවේ දේශපාලනය තුළ පවතින යම් යම් සොරකම් සහ දූෂණ අහෝසි කොට දැමීමෙන් දේශපාලන ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ හැකිය යන පෙර සිතා ගැනීම මතය. 

එහිදී දූෂණය සලකා බලන ලද්දේ නිරෝගී ශරීරයෙන් කපා ඉවත් කළ යුතු පිළිකාවක් ලෙසය. නමුත්, රංජන්ගේ හෙළිදරව්වෙන් කියැවෙන්නේ එසේ කපා ඉවත් කළ හැකි දූෂිත නොහොත් පිළිකා කොටසක් මෙම දේශපාලන ශරීරයේ නොපවතින බවයි; ඒ වෙනුවට සමස්ත ශරීරයම දූෂිතය; සමස්තයම පිළිකාවකි.

රංජන් සංකේත පිළිවෙලේ අශ්ශීල මානය හෙළිදරව් කොට ඇත. එහෙයින්, සංකේත පිළිවෙල එලෙසම පවත්වා ගන්නට නම් ඔහුව එයින් ඉවත් කළ යුතුය. (මේ අරුතින්, රංජන් දෙවන වර අත් අඩංගුවට පත් වන දිනයේම ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සංකේතාත්මකය). 

නොඑසේනම්, තවත් මගක් ඇත. එනම්, පවත්නා සංකේත පිළිවෙල පරිවර්තනය කිරීමේ ප්‍රයත්නයකට රංජන්ගේ ක්‍රියාව ආරම්භයක් කර ගැනීමය. එය කළ හැක්කේ වමටය; ඒ සඳහා රංජන් පවසන දේ (එහි දේශපාලනික මෙන්ම න්‍යායික අරුත) වමට ඇසිය යුතුය.

(කථිකාචාර්ය සුමිත් චාමින්ද )
21/01/2020


සබැඳි පුවත් :
රන්ජා පාර්ලිමේන්තුවේදී සමාව ඉල්ලයි : කොමිෂමක් පත් කරන්නැයි අභියෝග කරයි !
https://www.theleader.lk/news/1899-ranja-apologizes-in-parliament-challenges-to-appoint-a-commission-video

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්