The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අල් ජසීරා කැපූ බොරු වලේ රනිල් වැටුණා ද නැද්ද?

T

The Leader Desk

March 9, 2025 • 3:44 PM

අල් ජසීරා කැපූ බොරු වලේ රනිල් වැටුණා ද නැද්ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විට විවිධ පාර්ශ්වයන්ගේ කතාබහට, විවේචනයන්ට සහ විශ්ලේෂණයන්ට බඳුන් වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.
  • ඔහු අල් ජසීරා ඉංග්‍රීසි නාලිකාවේ UpFront සහ Head to Head වැනි වැඩසටහන් මෙහෙයවා ඇති අතර එහිදී ඔහු ගෝලීය චින්තකයින් සහ නායකයින් සමඟ තීරණාත්මක කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.
  • ඇතැම් විටෙක දී ජනප්‍රිය විය හැකි අවස්ථාවන් තුළ ඒවා ප්‍රයෝජනය ගනිමින් දේශපාලනය ඉදිරියට ගෙන යාමට තිබුණු අවස්ථා මග හැර ස්වකීය මතය ඉස්මතු කරන්නට උත්සාහ කළ අවස්ථාවන් කොතෙකුත් දැකිය හැකිය.
  • ගෝටාභය පාලනයෙන් පසුව ඇති වූ අරගල ආදී හැල හැප්පීම්වල ප්‍රතිඵලයක් ලෙස රට පත් වූ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ගැනීමේ දී ඔහු පෙන්වූ සාර්ථකත්වය බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට ලක් වුව ද, මැතිවරණයක් දිනා ගන්නට තරම් ජනතාව අතර ජනප්‍රිය වන්නට එය හේතුවක් නොවූ බව පෙනුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ වන විට විවිධ පාර්ශ්වයන්ගේ කතාබහට, විවේචනයන්ට සහ විශ්ලේෂණයන්ට බඳුන් වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.

බ්‍රිතාන්‍ය-ඇමරිකානු සම්මානනීය මාධ්‍යවේදියෙක්, විකාශකයෙක් සහ කතුවරයෙක් වන මෙහ්දි හසන් ඔහුගේ තියුණු සම්මුඛ සාකච්ඡා විලාසය සහ දේශපාලන විවරණ සඳහා ඉතා ප්‍රකට පුද්ගලයෙකි. ඔහු අල් ජසීරා ඉංග්‍රීසි නාලිකාවේ UpFront සහ Head to Head වැනි වැඩසටහන් මෙහෙයවා ඇති අතර එහිදී ඔහු ගෝලීය චින්තකයින් සහ නායකයින් සමඟ තීරණාත්මක කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.

fre55
ශ්‍රී ලංකාවේ දැනට පවතින දේශපාලනික වටපිටාව තුළ සිට මේ දෙස බලන්නන් විසින් මෙහිදී රනිල් රට පාවා දෙන්නෙකු, රාජපක්ෂ පාලන තන්ත්‍රය වෙනුවෙන් පෙනී සිටින්නකු ලෙස චෝදනා එල්ල වන අතරේ තවත් පිරිසක් ජාත්‍යන්තර මාධ්‍යයක් ඉදිරියේ රනිල් පරිණත ස්වභාවයකින් හැසිරුණු බව දක්වා සිටිමින් කරුණු දැක්වීම ද සිදු කරන බව පෙනෙන්නට තිබේ.


රනිල් යනු කිසි විටෙක ශ්‍රී ලංකාවේ ජනප්‍රිය යැයි පිළිගත් දේශපාලනික සංස්කෘතියට අනුගත වූ පුද්ගලයෙක් නොවේ. ඇතැම් විටෙක දී ජනප්‍රිය විය හැකි අවස්ථාවන් තුළ ඒවා ප්‍රයෝජනය ගනිමින් දේශපාලනය ඉදිරියට ගෙන යාමට තිබුණු අවස්ථා මග හැර ස්වකීය මතය ඉස්මතු කරන්නට උත්සාහ කළ අවස්ථාවන් කොතෙකුත් දැකිය හැකිය. ඔහු ජනතාව අතින් ප්‍රතික්ෂේප වන්නට බොහෝ විට බලපෑවේ ද මේ තත්ත්වයමය.

 

ගෝටාභය පාලනයෙන් පසුව ඇති වූ අරගල ආදී හැල හැප්පීම්වල ප්‍රතිඵලයක් ලෙස රට පත් වූ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ගැනීමේ දී ඔහු පෙන්වූ සාර්ථකත්වය බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට ලක් වුව ද, මැතිවරණයක් දිනා ගන්නට තරම් ජනතාව අතර ජනප්‍රිය වන්නට එය හේතුවක් නොවූ බව පෙනුණි.

dfre55

මෙවැනි කරුණු නිසාම අල් ජසීරා සාකච්ඡාවෙන් අනතුරුව අප රටේ බහුතරයකගෙන් ඔහුට බොහෝ විට ලැබුණේ ප්‍රසාදයක් නොව විවේචන හා දෝෂාරෝපණයන් පමණි.

 

කෙසේ නමුත් දේශපාලන මතිමතාන්තර පසෙකින් තැබුවහොත් කිව යුත්තේ ඔහු එසේ දෝෂාරෝපණයට ලක් විය යුතු පුද්ගලයකු නොවන බවය. අනෙක අතට වර්තමාන දේශපාලනය තුළ එවැනි ජාත්‍යන්තර නාලිකාවක් සමග මේ ආකාරයෙන් අදහස් දක්වන්නට තරම් පරිණත දේශපාලනඥයකු අප රටේ නොසිටින බව ද සඳහන් කළ යුතු ය.


අල් ජසීරා නාලිකාව පිළිබඳ සඳහන් කළ හොත් එය සැබවින්ම අන්තවාදී ලෙස ක්‍රියාකරන්නක් බව ප්‍රසිද්ධ කාරණයකි. යුද සමයේ දී පවා එය ක්‍රියාත්මක වූයේ ශ්‍රී ලංකාවට වඩා කොටි සංවිධානයට වාසි සහගත වන අන්දමටය. එබැවින් ඔවුන් කිසි විටෙකත් ශ්‍රී ලංකාවට වාසි සහගත අන්දමින් සිය වැඩසටහන් සකස් කරන්නේ නැත. අනෙක මේ Head to Head සාකච්ඡාව මෙහෙයවන මෙහ්දි හසන් සෑම විටකම පාහේ සිදු කරන්නේ මෙයට සහභාගී කරවා ගන්නා තැනැත්තා කොටු කර ගනිමින් සිය සාකච්ඡාව මෙහෙය වන්නටය.

එසේ වුව ද මෙයට පෙර පැවැත්වූ සාකච්ඡාවල දී රනිල් වික්‍රමසිංහ තරමටම මෙසේ සිර කිරීමකට ලක් වූ රාජ්‍ය නායකයකු හෝ වෙනත් පුද්ගලයකු දකින්නට ලැබුණේ නැත. මෙහ්දි හසන් ඇතුළු අල් ජසීරා නාලිකාව උත්සාහ කළේ රනිල් වික්‍රමසිංහට බොරු වලක් කපා එයට වැටෙන්නට සැලැස්වීම බව පෙනුණි. ඒ බව කලින් සිටම දැන සිටි බව පෙනෙන්නේ “ඔබලා මේ වැඩසටහනෙන් කරන්නේ පුද්ගලයින්ව කොටු කර ගැනීම නොවේද?” වැනි අදහසක් ඒ සාකච්ඡාවේ දී රනිල් වික්‍රමසිංහ ඇසූ බැවිනි.

drett
260 දෙනෙකු පමණ මරණයට පත් කරමින් 2019 පාස්කු දිනයේ එල්ල වූ බෝම්බ ප්‍රහාරය සිදු වන විට අප රටේ අග්‍රාමාත්‍ය ධුරය දැරුවේ රනිල්ය. කෙසේ නමුත් මේ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ යැයි චෝදනා එල්ල වූයේ හිටපු ජනපති, හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු පොලිස් පති යන අයට වුව ද රනිල් වික්‍රමසිංහ අධිකරණය මගින් නිදොස් කොට තීන්දුවක් ලබා දී තිබුණි. කෙසේ නමුත් මෙහ්දි හසන් ඒ අවස්ථාවේ දී තමාට අවශ්‍ය යමක් මතුකර ගැනීමේ උත්සාහයක් ගනිමින් ඒ චෝදනාව රනිල් වික්‍රමසිංහ වෙත යොමු කරනු දකින්නට ලැබුණි.

 

කොටි සංවිධානයත් සමග වසර 30 කට අධික කාලයක් තිස්සේ පැවති යුද්ධය ‘සිවිල් යුද්ධයක්’ ලෙස නම් කරන්නට බොහෝ කාලයක පටන්ම බටහිර මාධ්‍ය උත්සාහ ගත්තේය. ඇතැම් බටහිර මාධ්‍ය එය වාර්ගික යුද්ධයක් ලෙස හුවා දක්වන්නට ද උත්සාහ කළේය. මේ මගෙහිම යමින් මෙහ්දි හසන් ද ඒ සමය පිළිබඳ විමසමින් සිවිල් යුද්ධය යන යෙදුම භාවිත කරයි.

ඇතැම් විට මෙතැන වෙනත් පුද්ගලයකු සිටියේ නම්, එකී මාධ්‍යවේදියාගේ දැඩි ප්‍රශ්න කිරීමට කලබල වී එය සිවිල් යුද්ධයක්ය යන ප්‍රකාශනය පිළිගැනීමට ඉඩ තිබුණ ද රනිල් වික්‍රමසිංහ එහිදී පවසන්නේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයක් නොපැවති බවය. එමෙන්ම යුද අපරාධ පිළිබඳ අසමින් රාජපක්ෂ පාලනයට යුද අපරාධ චෝදනා ද මෙහි දී එල්ල කරනු දකින්නට හැකි විය.

යුද්ධ අවසන් වීමෙන් පසු හිටපු යුද හමුදාපතිවරයා සුදු කොඩි කතාවක් ඉස්මතු කළ අවස්ථාවේ දී ශ්‍රී ලංකාව තුළ යුධ අපරාධ සිදු වූ බවට කළ ඉඟිය නිසා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාව පත් වූ අපහසුතාව බොහෝ දෙනෙකුට මතක තිබෙනවා විය හැකිය. මෙහ්දි හසන් යුද අපරාධ පිළිබඳ විමසූ අවස්ථාවේ දී රනිල් වික්‍රමසිංහ පවසන්නේ යුද අපරාධ සිදු නොවූ බවය.


මේ සම්බන්ධයෙන් අප රටේ මෙය  දේශපාලනිකව දකින්නන් චෝදනා කරන්නේ රනිල් වික්‍රමසිංහ සෑම විටම රාජපක්ෂ පාලන තන්ත්‍රය වෙනුවෙන් පෙනී සිටින බවය. ඔහු රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටින බව නොසිටින බව කෙසේ වෙතත් මේ අවස්ථාවේ දී යුද අපරාධ සිදු වූ බව යම් හෙයකින් ඉඟියකින් හෝ පිළිගත්තේ නම් එය ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ දැඩි අර්බුදයකට ලක් වන්නට ඉඩ තිබිණි. එම අවස්ථාවේ දී ඔහු එය මැනවින් පාලනය කර ගනිමින් කතා කරනු පෙනුණි.


දේශපාලනික වැරදි සම්බන්ධව නඩු පැවරීම සම්බන්ධව එකී මාධ්‍යවේදියා ප්‍රශ්න නැගුව ද ශ්‍රී ලංකාව තුළ නඩු කටයුතු සිදු වන අන්දම පිළිබඳ ඔහුට ප්‍රාමාණික අවබෝධයක් නොමැති බව පෙනී යයි. ශ්‍රී ලංකාව තුළ එවැනි කටයුතු සම්බන්ධයෙන් නඩු පැවරීම් සිදු කරන්නේ ජනපතිවරයාගේ අවශ්‍යතාවට අනුව බව යැයි වැටහීමක් මෙහ්දි හසන් තුළ පැවති බව පෙනුණි. නමුත් ශ්‍රී ලංකාව තුළ එවැනි නඩු පැවරෙන්නේ නීතිපතිවරයාගේ තීරණය මතය.

වර්තමානයේ පවා මේ සා විශාල බලයක් සහිතව සිටින ජාතික ජන බලවේගයේ රජයට ද ඇතැම් නඩු කටයුතු කර ගෙන යාමට නීතිපතිවරයාගෙන් සහයෝගයක් නොමැති බව පෙනෙන්නට තිබේ. මේ අවස්ථාවේ දී තමා රටේ නීතියට අනුව මිස එයින් බාහිර කිසිවක් නොකරන බව හුවා දක්වමින් තමා ඒකාධිපතියෙක් නොවේ යැයි පවසා සිටිනු දකින්නට හැකි විය.

තමාව කොටුකර සිරකරන බව කලින් සිටම දැන සිටි බැවින් රනිල් වික්‍රමසිංහ ඇතැම් ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ද ඇතැම් ඒවා සම්බන්ධව පෙරළා ප්‍රශ්න කරමින් මග හැර ගිය බව ද පෙනෙන්නට තිබුණු බව සැබෑ නමුත් මේ නාලිකාවේ අරමුණ ඉටු කර ගැනීමට ඉඩ සලසා නොසිටින්නට මේ ස්ථාවරය හේතු වූ බව දකින්නට හැකි විය.

dfer55f
බටලන්ද වද කඳවුර පිළිබඳ රනිල් වික්‍රමසිංහට බොහෝ චෝදනා එල්ල වී ඇති බව අප රටේ බහුතරයක් හොඳින්ම දන්නා කාරණයකි. මේ සම්බන්ධව පත් කරන ලද කොමිසමේ වාර්තාව ද මේ වන විට අන්තර්ජාලය ඔස්සේ දැක ගත හැකිය. මෙහ්දි හසන් සිය එක් ප්‍රබල තුරුම්පුවක් ලෙස මේ චෝදනාවෙන් රනිල් වික්‍රමසිංහ වෙත දමා ගසයි. ශ්‍රී ලංකාවේ වැඩකටයුතු සිදු වන ආකාරය පිළිබඳ මනා වැටහීමක් ඇති රනිල්, මේ වාර්තාව පාර්ලිමේන්තු ගත නොකළ බව මනා වැටහීමකින් පසු වූ නිසාත්, ඒ නිසාම එකී චෝදනා නිල වශයෙන් ඔප්පු වී නොමැති නිසාත්, එකී ප්‍රශ්න කිරීම්වලට තමාගේම තුරුම්පුවලින් පෙරළා පහර දෙන බවක් ද දකින්නට හැකිවිය.

අනෙක තමාගෙන් ප්‍රශ්න නගන ආකාරය පිළිබඳ ප්‍රසාදයක් නොමැති බව ද එක් එල්ලේ පවසන්නට රනිල් වික්‍රමසිංහ පැකිළුණේ නැත. ප්‍රශ්න නගන්නේ මේ ආකාරයෙන් නම් තමා මේ සාකච්ඡාවෙන් ඉවත් වන බව ද ඔහු පවසා සිටියේය.

මේ සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකාවේ මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ පැය දෙකක පමණ කාලයක් එය පැවතිය ද විකාශනය කොට ඇත්තේ එය පැයක කාලයකට අඩු කිරීමෙන් බවය. එය සංස්කරණය කිරීමේදී තමා පැවසූ සාධනීය කාරණා ද ඉවත්ව ඇති බව ද එහිදී ඔහු පවසා සිටියේය. අනෙක මෙහ්දි හසන්ට අමතරව ඔහුගේ සහායට කිහිප දෙනෙකු ද එතැන සිටි අතර ඔවුන්ගෙන් ඇතැමෙක් එල්.ටී.ටී.ඊ, සංවිධානය ඉතා සමීපව ඇසුරු කළ අය බවත්, ඇතැමුන් එකී සංවිධානය වෙනුවෙන් පෙනී සිටින්නන් බවට ද රනිල් වික්‍රමසිංහ කළ චෝදනාව ද බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් විය.

 මෙකී කාරණය නිසා සිය සාකච්ඡාව සැඟවුණු න්‍යාය පත්‍ර මත බාහිර පාර්ශ්වයන්ට වාසි සහගත අන්දමින් සංස්කරණය වී ඇති බව ද මේ අවස්ථවේ දී ඔහු පවසා සිටියේය. අල් ජසීරා සාකච්ඡාව සම්බන්ධයෙන් මෙරට පිරිස් විවිධ අදහස් සහ චෝදනා එල්ල කළ ද තමා පෙනී සිටියේ රට වෙනුවෙන් යැයි ද ඔහු පවසා සිටියේය.


මෙහ්දි හසන් දිගින් දිගටම විවිධ චෝදනා එල්ල කරද්දී එක් අවස්ථාවක දී රනිල් වික්‍රමසිංහ බෞද්ධ සූත්‍ර දේශනාවක කරුණක් උපුටා දක්වමින් පවසා සිටියේ එකී දේශනාවට අනුව යමෙක් තවත් අයෙකුට චෝදනා එල්ල කළ ද එකී පුද්ගලයා ඒවා පිළිනොගන්නේ නම්, එම චෝදනා පෙරළා චෝදනා එල්ල කළ පුද්ගලයාටම හිමි වන බවය. එවැනි කාරණයකට නිදසුනක් අවශ්‍ය නම් කිතුනු දහමෙන් ද ලබා දිය හැකි බව ඔහු පවසා සිටිනු දකින්නට හැකි විය. ඔහු මෙහිදී සියුම්ව මතු කරන්නට උත්සාහ කළේ අල් ජසීරාව පසුපස ද ආගමික අන්තවාදයක් සහ න්‍යාය පත්‍රයක් ඇති බවය.


අල් ජසීරා නාලිකාව සමග රනිල් වික්‍රමසිංහ පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවෙන් ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික භූමි දර්ශනයේ ඇති සංකීර්ණතා සහ අතීත අර්බුද සහ පාලන කටයුතු සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් ඇති අභියෝග පිළිබිඹු වෙයි. ඔහුගේ සමස්ත අදහස් දැක්වීම තුළම පෙන්නුම් කරන ලද්දේ රාජ්‍යයේ ස්වෛරීත්වය පවත්වාගෙන යාම සහ වගවන බව සහතික කිරීමය. ඓතිහාසික දුක්ගැනවිලිවලට මුහුණ දීමේදී නායකයින් මුහුණ දෙන දුෂ්කරතා සහ බලපෑමට ලක් වූ ප්‍රජාවන්ගෙන් යුක්තිය අපේක්ෂා කරන ආකාරය ද සම්මුඛ සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.  

එමෙන්ම මේ සාකච්ඡාව තුළ දී පිළිතුරු දිය නොහැකි උපක්‍රමශීලී ව මග හැර ගිය ප්‍රශ්න, ඒ ආකාරයෙන්ම අප රට තුළ පවතින බව තේරුම් ගත යුතු අතර ඒවා මග හැර ගිය පමණින් අප රට තුළ ඒවා විසඳී නොමැති බවද සඳහන් කළ යුතුය.

Niranjan Chaminda(සටහන | නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk


සබැඳි ලිපි :
තවමත් රනිල්.... | Mahesh Hapugoda
අනුර වෙනුවෙන් රනිල් මුහුණ දුන් අල් ජසීරා ප්‍රහාරය | අජිත් පැරකුම් ජයසිංහ
වෙල් ඩන් වික්‍රමසිංහ | එරන්ද ගිනිගේ  
රනිල් එක්වූ අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව උණුසුම් වෙයි

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...