The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සැබෑ ඉතිහාසය විකෘති කරන 'දේවි කුසුමාසන' - අජිත් අමරසිංහ (2වන කොටස)

T

The Leader Desk

July 8, 2025 • 6:14 AM

සැබෑ ඉතිහාසය විකෘති කරන 'දේවි කුසුමාසන' - අජිත් අමරසිංහ (2වන කොටස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොනප්පු බණ්ඩාරට ඔටුණු පැළඳවීම මේ චිත්‍රපටයේ දක්වන අයුරින් කොනප්පු බණ්ඩාරට ඔටුනු පැළඳුවේ පෘතුගීසින් නොවේ.
  • දී "සේනා සම්මත" වික්‍රමබාහු නව රාජ්‍යයක් තනා කන්ද උඩරට රජු වූ පසු, එහි "සේනාව" එනම් භික්ෂුන්, රදලයන් හා සේනානායකයන් රැස්කොට ඒ අයගේ එකඟතාවයෙන් රජෙකු පත්කිරීමේ සම්ප්‍රදායක් ඇතිවිය.
  • මේ සම්ප්‍රදායය නාමික වශයෙන් හෝ කන්ද උඩරට අවසන් රජු ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ පත්වන තෙක් පැවතිණි.
  • යමසිංහ බණ්ඩාරට කන්ද උඩරට රජකම තහවුරු කරගැනීමට නොහැකිවූයේ ඔහු මේ සම්ප්‍රදායෙන් බැහැරව වහකෝට්ටේදී ඔටුණු පැළඳි නිසායයි, කියුරෝස් පියතුමා පවා පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


කොනප්පු බණ්ඩාරට ඔටුණු පැළඳවීම

 

514709149 1304093831074112 8904149338340718415 n
මේ චිත්‍රපටයේ දක්වන අයුරින් කොනප්පු බණ්ඩාරට ඔටුනු පැළඳුවේ පෘතුගීසින් නොවේ. 1463 දී "සේනා සම්මත" වික්‍රමබාහු නව රාජ්‍යයක් තනා කන්ද උඩරට රජු වූ පසු, එහි "සේනාව" එනම් භික්ෂුන්, රදලයන් හා සේනානායකයන් රැස්කොට ඒ අයගේ එකඟතාවයෙන් රජෙකු පත්කිරීමේ සම්ප්‍රදායක් ඇතිවිය.

මේ සම්ප්‍රදායය නාමික වශයෙන් හෝ කන්ද උඩරට අවසන් රජු ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ පත්වන තෙක් පැවතිණි. යමසිංහ බණ්ඩාරට කන්ද උඩරට රජකම තහවුරු කරගැනීමට නොහැකිවූයේ ඔහු මේ සම්ප්‍රදායෙන් බැහැරව වහකෝට්ටේදී ඔටුණු පැළඳි නිසායයි, කියුරෝස් පියතුමා පවා පවසයි. කොනප්පු බණ්ඩාර විමලධර්මසූරිය රජු ලෙස උඩරට සම්ප්‍රදායය අනුව භික්ෂුන්, රදලයන් හා සේනානායකයන්ගේ එකඟතාවය මත ඔටුනු පළන් අතර, එහි මුලිකත්වය ගත්තේ දෙවනගල රතනාලංකාර නම් හිමිනමයි.

ඉන්පසු මේ චිත්‍රපටයේ සඳහන් ආකාරයට විමලධර්මසූරිය රජු කිසිදු පෘතුගීසි භටයෙකු කන්ද උඩරට තබා නොගත් අතර, ඔහු පෘතුගීසීන්ගේ පරම සතුරකු විය.

king wimaladarmasuriya embassoder

විමලධර්මසූරිය රජු විදේශීය තානාපතිවරයෙකු පිලිගනී (ඕලන්ද සිතුවමකි)  

 

රාජසිංහ රජු බලනේදී පරාජය ලබයි

විමලධර්මසූරිය කන්ද උඩරට රජවූ අලුත, සතර කෝරලයේ රාජසිංහ රජුට එරෙහිව කැරැල්ලක් හට ගත්තේය. විමලධර්මසුරිය රජු සතර කෝරලයේ කැරලිකරුවන්ට උදවු කල නිසා මේ කැරැල්ල මැඩපවත්වා, කන්ද උඩරට ආක්‍රමණය කිරීමට සිතූ රාජසිංහ රජු තම හමුදාව සමඟ උඩරටට ඇතුළුවන බලන දොරටුව අසලට තම හමුදාව රැගෙන ගියේය. එහිදී සීතාවක හමුදාව හා කන්ද උඩරට හමුදාව ගැටුණු අතර ඒ සටනින් සීතාවක හමුදාව පරාජය ලැබීය.

රාජසිංහ රජු බලනේ සිට සීතාවක නුවරට පසුබසින අතර ඒ මාර්ගය අසල තිබූ පෙතන්ගොඩ මඳ වෙලාවක් උයනෙහි විවේක ගැනීමට ගියේය. රාජසිංහ රජු පෙතන්ගොඩ උයනේදී යම් අනතුරකට මුහුණ දුන් බවත්, ඒ අනතුර නිසා රාජසිංහ රජු දින කිහිපයක් තුල මියගිය බවත් සිංහල හා පෘතුගීසි ඉතිහාස ප්‍රවෘත්ති පවසයි.

cropped 254185 153712784700623 153545984717303 328022 2033353 n

පෙතන්ගොඩ උයනේදී රාජසිංහ රජුගේ කකුලේ උණ ගසක කටුවක් ඇනුණු බවත් එහිදී, ඇතිවූ තුවාලයට රාජසිංහ රජුගේ මුනුබුරු රාජසූරිය කුමරු විසින් දොඩම්පේ ගණිතයා නම් දේශීය වෛද්‍යවරයෙකු ලවා විෂ සහිත ඖෂධයක් ගැටගැසීමෙන් අනතුරුව ඒ විෂ නිසා රජු මියගිය බවත් රාජාවලියේ සඳහන් වේ. සීතාවක රාජසිංහ රාජ්ජ කාලය විස්තරයටත්,මධුවාපී විහාර විත්ති පොතටත් අනුව රාජසිංහ රජු මියගියේ 1592 වසරේ මාර්තු මස බදාදා පසළොස්වක දිනයි. ඉන්පසු දැවැන්ත සීතාවක රාජ්‍යයේ රජුවූයේ රාජසූරියයි.

විකටයෙකු කර ඇති අරිට්ට කී වෙණ්ඩු

මේ චිත්‍රපටයේ විහිලු සැපයීමට යොදා සිටින දකුණු ඉන්දියාවෙන් පැමිණි අරිට්ට කී වෙන්ඩු ඇත්ත වසයෙන්ම අති දක්ෂ, උපායශීලී, උන්නතිකාමී පුද්ගලයෙක් විය. කාර්යයෙහි දක්ෂ මොහුට රාජසිංහ රජු විසින් මුලින්ම තම රජයේ ප්‍රධාන ලේකම් ධුරය බාරදුණි. වරක් ඔහු සත් කෝරලයෙන් එකක් වූ වැව්දූවිලි කෝරලයේ සහල් විකිණීමට යැවූ විට ඒවා කොල්ලකෑමට කන්ද උඩරට රජු එවූ සෙබළුන් සියල්ලන් මරාදමා සීතාවකට පැමිණ රාජසිංහ රජුගෙන් වරදාන ලැබීය.

7
තවත් වරක කටමුක මරික්කාර් විසින් හලාවත කොල්ලකෑ විට එහි ගොස් ඔහුගේ සේනාව පරාජය කල අරිට්ට කී වෙන්ඩුට රාජසිංහ රජු භාණ්ඩගාරයද, ඇත් සේනාවද භාරදුනි. ඉන්පසුව සීතාවක සේනාව භාරව කටයුතු කිරීමද ඔහුට පැවරිණි. රාජසිංහ රජු විසින් ඔහුට මානප්පෙරුම මොහොට්ටි ලෙස නව නමක් පටබැඳ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලබඩ කෝරලයත්, පරණකුරු කෝරලයත් පාලනය කිරීම භාරදුනි. රාජසිංහ රජු මිය යනවිට සීතාවක හමුදාවේ සේනානායකයාව සිටියේ මාන්නප්පෙරුමයි.

රාජසිංහ රජුගේ  වැඩිමහලු සොයුරියවූ මහ ටිකිරි බණ්ඩාර දේවිය, නවක රජවූ රාජසුරිය රජු මැරීමට මාන්නප්පෙරුම සමඟ කුමණ්ත්‍රණය කලේය. මාන්නප්පෙරුම, රාජසුරිය රජු තම ප්‍රේමිය බැහැදැකීමට යන අතරතුර තුන්තොටහිදී  මරාදැමීය. ඉන්පසු මහ ටිකිරි බණ්ඩාර  තම මුණුබුරු නිකපිටියේ බණ්ඩාර සීතාවක රජු ලෙස ඔටුනු පැළඳවීය. ඉතා කුඩාවියේ සිටි ඔහු වෙනුවන් රාජ්‍යය මෙහෙයවුයේ මහ ටිකිරි බණ්ඩාර හා මාන්නප්පෙරුමයි.

1592 වසරේ මාර්තු මස රාජසිංහ රජු මියගිය පසුව වසරක පමණ කාලයක් තුල දිවයින තුල කිසිදු වැදගත් යුධ ගැටුමක් සිදු නොවිය. ඉන්පසු 1593 වසරේ අප්‍රේල් මස 25 වෙනි දින සීතාවක සේනාව හා පෘතුගීසීන් අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ඔරුතොටදී සිදුවූ සටනේදී පෘතුගීසීන් සමූල ඝාතනය කලේ මානප්පෙරුමයි. මේ සටන නිසා සීතාවක රාජසිංහ මියගියත් සීතාවක යුදබලය තවමත් නොබිඳී තිබෙන බව පෘතුගීසීහු දැනගත්හ.

 

NmAghT6m2OhBMQDx Cover
ඔරුතොට සටනින් ජයගත් මානප්පෙරුම තමන්ට ලැබුණු කීර්ති ප්‍රශංසා වලින් මානයට පත්ව, සීතාවක රජ පවුලට ඥාති සබඳතාවයක් ඇතිකර ගැනීමට සිතුවේය. ඒ සඳහා ඔහු නිකපිටියේ බණ්ඩාර ළමා රජුගේ සොහොයුරිය තමන්ට සරණපාවා දෙන ලෙස මහ ටිකිරි බණ්ඩාර දේවිගෙන් ඉල්ලා සිටියේය. මානප්පෙරුමගේ ඊලග පිම්ම සීතාවක රජකම ලබාගැනීම බව වටහා ගත් මහ ටිකිරි බණ්ඩාර, මේ අයුතු යෝජනාව තම රජ පවුලට කල නිග්‍රහයක් ලෙස සැලකීය. එනිසා මෙතෙක් ඇයගේ හිතෛශියෙකුව සිටි මාන්නප්පෙරුම මුදලි එතැන් සිට ඇයගේ අප්‍රසාදයට ලක්විය.

මානප්පෙරුම තම බිරිඳ, දරුවන් හා සීතාවක හමුදාවේ විශාල කොටසක් රැගෙන මැණික්කඩවරට ගොස් එහි පදිංචි විය. අලුතින් ජයවීර රජු ලෙස තමන් හඳුන්වාගැනීමට පටන්ගත්  මාන්නප්පෙරුම, තම අනාගතය ගොඩනගාගත හැක්කේ පෘතුගීසීන් සමඟ බව වටහාගෙන 1593 සැප්තැම්බර් මස 1 වෙනි දින දේශීය සෙබලු 200 ක්, යුධ අලි 11ක් හා සාමාන්‍ය අලි 15 ක් සමඟ කොළඹ කොටුවට පැමිණියේය. එහිදී දොම් ජුවාම් ධර්මපාල රජුගේ දෙපාමුල ඇදවැටුණු මාන්නප්පෙරුම තමන් ඔහුගේ යටත් වැසියෙක් බවත්, රජුට කෝට්ටේ හා සීතාවක රාජධානි නැවත දිනා ගැනීමට තම සම්පුර්ණ ශක්තිය යොදවන බවත් දිවුරා ප්‍රකාශ කළේය.

සීතාවක රාජධානියේ රාජ්‍ය යාන්ත්‍රනයද, යුධ ශක්තියද මැනවින් දැනසිටි ජයවීර කෙමෙන් කෙමෙන් සිතාවක රාජධානිය දුර්වල කිරීම ආරම්භ කළේය. 1593 වසරේ සැප්තැම්බර් මස 15 වෙනි දින අරිට්ට කී වෙණ්ඩු නොහොත් මාන්නප්පෙරුම  නොහොත් ජයවීර බණ්ඩාර, පෘතුගීසි සෙබළුන් 400 ක් හා දේශීය සෙබළුන් 1200 ක් සමඟ වත්තල පිහිටා තිබූ සීතාවක රාජධානියේ ප්‍රධාන බලකොටුවට පහරදී අල්ලා ගත්තේය. ඉන්පසු කඩුවෙල හා මල්වානේ තිබු සීතාවක රාජධානියේ තවත් බලකොටු දෙකකටත්, වත්මන් හංවැල්ල අසල තිබූ ගුරුබෑවිල බලකොටුවටත් ජයවීර බණ්ඩාර පහරදුණි.

 

by6u
ගුරුබෑවිල බිඳවැටුණු පසු ආයාසයකින් තොරව පෘතුගීසින් හා මාන්නප්පෙරුමගේ සෙබළුන් සීතාවක නුවරට ඇතුළු විය. සීතාවක අල්ලාගත් ජයවීර බණ්ඩාර ඉන්පසු දෙනවක බලා පලාගිය නිකපිටියේ බණ්ඩාර කුඩා රජු, මහ ටිකිරි බණ්ඩාර දේවිය හා රජ පවුලේ අනෙකුත් සාමාජිකයන් අල්ලා ගත්තේය. මේ සියලුදෙනා වසරක් තුල කිතුදහමට හැරුණි. ඉන්පසු මාතර දිසාව පෘතුගීසීන්ට නතුකර දීමට ජයවීර කටයුතු කලේය.

මෙසේ දැවැන්ත සීතාවක රාජධානිය පෘතුගීසීන්ට කිසිදු ආයාසයකින් තොරව අත්පත් කරගනීමට හැකිවූයේ ජයවීර බණ්ඩාර නම් කපටි, දක්ෂ යුධ සෙනවියාගේ උදවු නිසා, ඔහු කිසිසේත් චිත්‍රපටයේ පෙන්වන අයුරේ විකටයෙකු විය නොහැකිය.  

“ විජයග්‍රාහක ජෙනරල්” ලංකාවට පැමිණේ

සීතාවක රාජධානිය කිසිදු ආයාසයකින් තොරව තම ඔඩොක්කුවට  වැටීම නිසා උද්දාමයට පත්වුනු පෘතුගීසීහු මුලු දිවයිනම තමන් සතු කර ගැනීමට සිතූහ. ඒ වනවිට ඔවුන් යාපාපටුන ආක්‍රමණය කොට එහි හෙන්දරමානසිංහ කුමරා, පරරාජ චේගර පන්ඩාර නමින් රූකඩ රජෙකු ලෙස බලයට පත්කර ගෙන තිබුනි. කොළඹ රජුව සිටියේ තවත් රූකඩ රජෙකුවූ දොම් ජුවාම් ධර්මපාලයි.

මුලු ලංකාවම පෘ තුගීසීන් සතුකර ගැනීමට තිබූ එකම බාධාවවූ විමලධර්මසූරිය රජු පරාජය කොට කන්ද උඩරට අල්ලාගැනීමට “විජයග්‍රාහක ජෙනරල්” (General Conquistador) නම් නව තනතුරක් පිරිනැමුණු පේද්රෝ ලෝපෙස් ද සෝසා ගෝවේ සිට 600 ක පෘතුගීසි සේනාවක් සමඟ 1594 වසරේ අප්‍රේල් මස අගදී ලංකාව බලා  පිටත්විය.

bf2d3fad51b9d659923647d9699181a8
මේ චිත්‍රපටයේ පෙන්වන්නේ පේද්රෝ ලෝපෙස් ද සෝසා ගෝවේ ප්‍රතිරාජයාටත් වඩා ඉහල තනතුරක් ලැබ, පෘතුගාලයේ සිට ගෝවයට පැමිණි ලෙසයි. සැබෑ ඉතිහාස පුවතට අනුව ඔහුට මේ තනතුර පිරිනමන්නේ ඔහුගේ ඇවටිල්ල මත, ගෝවේ ප්‍රතිරාජයායි. චිත්‍රපටයේ සඳහන් වන අන්දමට යුරෝපයේ නොව මලක්කාවේ සටන් ජයගෙන ගෝවයට යන අතරතුර කොළඹට ගොඩබැසි පේද්රෝ ලෝපෙස් ද සෝසා, තම මිතුරු කොළඹ කපිතාන්-මේජර් පේද්රෝ හෝමේ පෙරෙයිරා මුණගැසීමට ගියේය.

ඔහුට ඔහුගේ මිතුරා පවසන්නේ දැන් සීතාවක රාජසිංහ මියගොස් ඇති නිසා කන්ද උඩරට රාජධානිය අල්ලා ගතහොත් මුළු ලංකාවම පෘතුගීසින්ට නතු කරගත හැකි බවයි. ඒ සඳහා කන්ද උඩරට ආක්‍රමණය කිරීමට පෙර තමන්ට ගෝවේ ප්‍රතිරාජයා ලවා උදව් ලබාගැනීමට කටයුතු කරන ලෙස  ඔහු තම මිතුරාගෙන් ඉල්ලා සිටියේය.

ගෝවයට ගිය පේද්රෝ ලෝපෙස් ද සෝසා  තම මිතුරාගේ "බෙල්ල දිය රෙද්දෙන් කපා" ඔහු වෙනුවට තමන්ට “විජයග්‍රාහක ජෙනරල්” පදවිය ලබාදෙන ලෙස ප්‍රතිරජයාට පවසා, එය ලබාගන්නේ එය "ඉල්ලං කෑමක් " බව නොදැනය. ඔහුට ගෝවේ ප්‍රබල මිතුරන් සිටි බවද, මේ පදවිය ලබාගැනීම සඳහා ඔහු “යහමින් මුදල්ද වැයකළ” බවද කියුරෝස් පියතුමා පවසයි. මෙවන් තනතුරු ලබා මුදල් වංචා කිරීම්, කොල්ලකෑම්, අල්ලස් ගැනීම්, කප්පම් ගැනීම් වැනි අයුතු ක්‍රියාවලින් ධනවත්වීම ඒ වනවිට පෘතුගීසි යුධ නායකයන්ගේ සාමාන්‍ය සිරිතක් වී තිබිණි.    

උඩරට ආක්‍රමණය

pI3LETrbvtV4t1O6 5
විජයග්‍රාහක ජෙනරල් වී නැවත කොළඹට පැමිණි පේද්රෝ ලෝපෙස් ද සෝසා ඒ වනවිට වයස 14-16 ක්වූ පමණවූ කරලියැද්දේගේ රජුගේ දියණි දෝන කතරිනා කන්ද උඩරට කුමරිය රැගෙන මන්නාරමේ සිට කන්ද උඩරට ගමන් අරඹන ලෙස දන්වා, ෆ්රැන්සිස්කෝ ද සිල්වා නම් පෘතුගීසි කපිතාන්වරයා මන්නාරමට යැවීය. මේ නම චිත්‍රපටයේ ෆ්රැන්සිස්කෝ ද සිල්වාගේ නම වරක්, දෙවරක් කියවෙන්නේ අරමුණක් ඇතිව නොවේ.

ඉන්දියාව අවට සිටි පෘතුගීසින්ගෙන් කඩවසම්ම හා ශක්තිමත්ම පුරුෂයාවූ ඔහු මෙයට පෙර විවිධ සටන් වලදීද, මන්නාරම බලකොටුව රැකීමේදීද, දස්කම් පෙන්වූ අයෙකු විය.ජෙනරල් පේද්‍රරෝ ලෝපෙස් ද සෝසාගේ අභිප්‍රාය වූයේ කුමරිය කපිතාන් ෆ්රැන්සිස්කෝ ද සිල්වාට විවාහකොට, ඔහු කන්ද උඩරට රජු බවට පත්කිරීමටයි. ඒ අනුව මන්නාරමේ ෆ්රැන්සිස්කෝ ද සිල්වා දෝන කතරිනා කුමරිය, පෘතුගීසින් 200 දෙනෙකු, දේශීය සෙබළු 400 දෙනෙකු, ෆ්රන්සිස්කානු පියතුමන්ලා 4 දෙනෙකු,ජෙසුයිට් පියතුමෙකු  සමඟ කන්ද උඩරට බලා ගමන් ඇරඹීය. කුමරියගේ ආරක්ෂාවට මේ චිත්‍රපටයේ සඳහන් කතරිනා ද ආබෘෘ පෘතුගීසි කාන්තාවද සිටියේය.

චිත්‍රපටයේ සඳහන් වන කන්ද උඩරට ආක්‍රමණයේ දින වකවාණු හා විස්තර සියල්ලම පාහේ වැරදිය. නිවැරදි දින නිසි ලෙස සොයාගනීම අපහසු වූයේ නම් කලයුතුව තිබුනේ නරඹන්නා නොමග නොයවා කිසිදු දිනයක් චිත්‍රපටයේ සඳහන් නොකර සිටීමය. ගැඹුරු අධ්‍යයනයක් කෙලේ යැයි ප්‍රදර්ශනය කිරීමට වැරදි දින ඉදිරිපත් කිරීම බුද්ධිමය වංචනික ක්‍රියාවකි.

කොළඹ සිට පිටත්වූ පේද්‍රරෝ ලෝපෙස් ද සෝසාගේ සේනාවට ජයවීර බණ්ඩාර සෙබළුන් 9000 ක් සමඟ එක්වූ අතර, 1594 ජුනි මස 18 වෙනි දින මේ සේනාව අත්තනගල්ලට  ලඟාවිය. අවසානයේදී 15000 ක පමණ දේශීය සෙබලුන්ගෙන් හා 1000 ක පමණ පෘතුගීසීන්ගෙන් සමන්විතවූ මේ දැවැන්ත හමුදාවට ඒ වනවිටත් තම බලය හරිහැටි තහවුරු කර නොගෙන සිටි විමලධර්මසූරිය රජු පරාජයකිරීම පහසු කරුණක් සේ සිතෙන්නට ඇති.පේද්‍රරෝ ලෝපෙස් ද සෝසා මේ ගමන විනෝද චාරිකාවක් සේ සැහැල්ලුවෙන් සැලකූ බව පෙනී යන්නේ, ඔහු තම කුඩා පුත් දියෝගෝ ලෝපෙස් ද සෝසාද එයට එක්කරගත් නිසාය.  

pedro lopez dona kathirana

පේද්‍රරෝ ලෝපෙස් ද සෝසා දෝන කතරිනා කුමරිය පිලිගැනීම (ඕලන්ද සිතුවමකි)

 

කන්ද උඩරට කඳු පෙනෙන මානයට පැමිණි පේද්‍රරෝ ලෝපෙස් ද සෝසා දෝන කතරිනා කුමරිය මන්නාරමේ සිට එනතෙක් දින කිහිපයක් නතර විය. කුමරිය එහි පැමිණි පසු ඇය මහත් ගෞරවයෙන් පිලිගත් මේ සේනාව, බලන දුර්ගය අල්ලා ගත්තේ 1594 ජුලි මස 5 වෙනි දිනයි. මේ වනවිට විමලධර්මසුරිය රජු වැදි ජනයාත් සමඟ ත්‍රිකුණාමලය දෙසට පලාගොස් තිබිණි. ඊට පසුදින මහවැලි ගඟ තරණය කල පේද්‍රරෝ ලෝපෙස් ද සෝසා ජනශුණ්‍ය සෙංකඩගල නගරයට තම සේනාව සමඟ පැමිණ කඳවුරු ලා ගත්තේය.

පෘතුගීසි බලාපොරොත්තු එකින් එක බිඳ වැටේ  

සෙංකඩගල නගරයට පැමිණි පසු කපිතාන් ෆ්රැන්සිස්කෝ ද සිල්වා දෝන කතරිනා කුමරිය සමඟ විවාහවීමට තම අකමැත්ත පලකලේය. මෙයට හේතුවූ කරුණු පැහැදිලි නැත. ජනරාල්වරයාගෙන් නැවත මන්නාරමට යාමට අවසර ලැබූ ඔහු, තවත් සෙබළුන් පිරිසක් සමඟ කන්ද උඩරටින් නැවත මන්නාරමට ගියේය. මන්නාරමේ සිට පෘතුගාලයට යන අතරතුර තමන් ගිය නැව මුහුදුබත්ව අවාසනාවන්ත ලෙස ඔහු මියගියේය.

 

1 1 701x460

ජයවීර බණ්ඩාරද දෝන කතරිනා කුමරිය තමන්ගේ මස්සිනා කෙනෙකුට විවාහ කරදෙන ලෙස ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියේය. ඒ ගැන තීරණයක් ගැනීම නැවත කොළඹට ගිය පසු ගත හැකියැයි ජෙනරාල්වරයා පැවසීය. තම පිය උරුමයෙන් උඩරට රාජධානිය හිමි, කාන්තාවක් නිසා එහි ඔටුනු පැලඳිය නොහැකි, ඥාතීන් කිසිවෙකු නැති, අසරණ දෝන කතරිනා කුමරිය ඒ වනවිට බලයට ගිජු පිරිස් අතර ඉත්තෙකු සේ කේවල්වෙමින් පැවතිණි.

පොලොන්නරුව යුගයෙන් පසු ලංකාවේ කාන්තාවන් කිරුළු පැලඳීමේ සම්ප්‍රදාය අතුරුදහන් වූ අතර, කෝට්ටේ රාජධානියේ පවා කිරුල හිමිවිය යුතු කුමාරිකාවන් කිහිපදෙනෙකුට, රජවීමට ඉඩ නොලැබිණි.

 

5 1 701x529

දෝන කතරිනා කුමරිය පෘතුගීසි ජාතිකයෙකුට විවාහ කරදීමට උත්සාහ කිරීම නිසා මුළු දිවයිනම තමන් සතුකර ගැනීමට පෘතුගීසින් උත්සාහ කරන්නේ යැයි සිංහලයන්ට වැටහුණි. මේ වනවිට තමන්ගේම රජවරුන් යටතේ අපහසු ලෙස දිවි ගෙවමින් සිටි සිංහලයන් විජාතික පාලනයක් යටතේ දුක් විඳීමට සුදානම්ව නොසිටි බව කියුරෝස් පියතුමා පවසයි. මෙනිසා මෙතෙක් පෘතුගීසින්ට පක්ෂව කටයුතු කල සිංහලයෝ කෙමෙන් පෘතුගීසින් හැර යන්නට පටන්ගති. මේ සමඟ සියල්ලන්ම පෘතුගීසින්ට විරුද්ධව පෙළ ගැසෙන්නට වූ බවත් රදලයෙක් නොමැති නම් “අප්පුහාමි” (Apuami) කෙනෙක් තමන්ගේ රජු වුවාට කමක් නැත්තේ යැයි සිංහලයන්  සිතූ බවත් කිවුරෝස් පියතුමා පවසයි.

ඉතිරි කොටස ඊලඟ සතියට ...


සබැඳි ලිපි :

සැබෑ ඉතිහාසය විකෘති කරන දේවි කුසුමාසන (1 වෙනි කොටස) | අජිත් අමරසිංහ

'දේවි කුසුමාසන' චිත්‍රපටිය ඉතිහාසය සම්පුර්ණයෙන් විකෘති කරලා | අජිත් අමරසිංහ (CNL විඩියෝවක්)

දක්ෂ ව්‍යාපාරිකයෝ අදක්ෂ රාජ්‍ය පාලකයෝය (ධම්මිකගේ සිහින) - විශේෂඥ වෛද්‍ය  අජිත් අමරසිංහ
(සමාජ- ඉතිහාස විශ්ලේෂක)
Amarasinghe_ajith@yahoo.com

(වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වන අජිත් අමරසිංහ රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ යාවජිව සාමාජිකයෙකි. විවිධ ඉතිහාස කරුණු ගැන පොත් හා ලිපි සම්පාදනය කර  ඇති ඔහුගේ Finding Sinhabahu ඉතිහාස පර්යේෂණ ග්‍රන්ථය   2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන  උළලේදී වසරේ හොඳම පර්යේෂණ කෘතිය ලෙස නිර්දේශිත විය.)

(අනිද්දා පුවත්පතේ පළ වූ ලිපියකි)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...