රජයේ රෝහල්වල මෙම ඖෂධ නොමැති අවස්ථාවලදී ඒවා බාහිරින් ලබා ගැනීමට පියවර ගැනීමේදී විශේෂඥ වෛද්යවරුන් සම්බන්ධයෙන් විවිධ වැරදි මත පවතින බවත් වෛද්යවරුන් විවිධ චෝදනාවලට ගොදුරු වීමේ තත්ත්වයක් පවතින බැවින් මෙලෙස පැහැදිලි මාර්ගෝපදේශයක් ලබා දෙන්නැයි එම සංගමය සිය ලිපියෙන් ඉල්ලා තිබේ.
එම සංගමය අමාත්යවරයා වෙත ලිපියක් යොමු කරමින් විමසා ඇත්තේ, ද්රව්ය නොමැති විට ඒවා බාහිරින් මිලදී ගැනීමේදී එලෙස අනුගමනය කළ යුතු උපදෙස් පිළිබඳව හදිසි අවධානයක් යොමු කොට පැහැදිලි නියෝගයක් අමාත්යවරයාගෙන් බලාපොරොත්තු වන බව ය.
ඒ අනුව, ශ්රී ලංකා විශේෂඥ වෛද්යවරුන්ගේ සංගමය සිය ලිපිය මගින් අමාත්යවරයාගෙන් ඊට අදාළව පහත ප්රශ්න විමසා ඇත.
1- රජයේ රෝහල්වල වෛද්ය ද්රව්ය නොමැති විට ඒවා මිල දී ගැනීම සඳහා බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීමට අවසර තිබේ ද?
2- මෙම අයිතම ලබා ගත හැකි නිශ්චිත ස්ථාන රෝගීන්ට දැනුම් දීමට අවසර තිබේ ද?
3- මෙම ඇතැම් අයිතම අලෙවිකරුවන් කිහිප දෙනකුගෙන් පමණක් ලබා ගත හැකි ඒවා පවතින අතර මෙම තොරතුරු රෝගීන්ට ලබා නොදුනහොත්, එවැනි අයිතම මිල දී ගැනීමට නිවැරදි ස්ථානය සොයා ගැනීමට ඔවුන්ට අපහසු වනු ඇත. හෘද රෝග, විකලාංග සහ හදිසි සැත්කම්වලදී සිදුවිය හැකි පරිදි ප්රතිකාර ආරම්භ කිරීමට හදිසි අවශ්යතාවක් ඇති විටද එය අදාළ වේ.
4- බාහිර රෝගී සායනවල භාණ්ඩ දේශීයව මිල දී ගැනීම කළ නොහැකි බැවින්, වෛද්ය පරිපාලකයන්ගේ අවසරයකින් තොරව බාහිර මිල දී ගැනීම් සඳහා ලබාගත නොහැකි අයිතම සඳහා බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීමට අවසර තිබේ ද? නැතහොත් සෑම අවස්ථාවක ම වෛද්ය පරිපාලකයන්ගේ අවසරය ලබා ගැනීම අනිවාර්ය ද?
5-රජයේ රෝහල්වල එවැනි පරීක්ෂණ නොමැති විට, රෝහලෙන් පිටත සිදු කිරීමට ඇතැම් රසායනාගාර පරීක්ෂණ සඳහා ඉල්ලීම් නිකුත් කිරීමට විශේෂඥ වෛද්යවරුන්ට අවසර තිබේද? මෙම පරීක්ෂණ ලබා ගතහැකි නිශ්චිත ස්ථාන රෝගීන්ට දැනුම් දීමට අවසර තිබේ ද?
ස්නායු ශල්ය වෛද්ය කටයුතු සඳහා අවශ්ය EVD (External Ventricular Drain) සහ VP SHUNT යන අයිතම, වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර, රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් හා අදාළ වෛද්යවරිය යටතේ පාලනය වූ බාහිර ආයතන මගින් ලබා ගැනීම සඳහා උපදෙස් ලබා දීම තුළින් රෝගී පාර්ශවයට පාඩුවක් කළ බවට වූ චෝදනා මත පසුගියදා (ජුනි 17) අත්අඩංගුවට ගත් ශ්රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්ය මහේෂි සූරසිංහ විජේරත්න ජූනි 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
| Mawbima
සබැඳි පුවත් :
ඖෂධ හෝ වෛද්ය උපකරණ පිටතින් ගෙන්වා ගැනීම අපරාධයක් නොවේ - නියෝජ්ය සෞඛ්ය ඇමති කියයි
රිමාන්ඩ් භාරයට පත් ජ'පුර රෝහලේ විශේෂඥ වෛද්යවරියට එල්ල වී ඇති චෝදනා මොනව ද ?



