පාර්ලිමේන්තුවේ ජ්යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ පොලිස්පතිවරයා ධූරයෙන් පහ කිරීම සඳහා වන ඡන්ද විමසීම අද පස්වරු 4.00ට පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.
විෂමාචාරය සහ ධූරයේ බලතල අනිසි ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා 20කට අධික සංඛ්යාවක් විමර්ශන කමිටුව මගින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එල්ල කර තිබිණි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු කමිටුව විසින් ලබාදුන් වාර්තාවට අනුව ඔහු ඊට වැරදිකරු බවට ඒකමතිකව තීරණය කර ඇති බව කතානායක වෛද්ය ජගත් වික්රමරත්න ඉකුත් ජුලි මස 22 වැනිදා පාර්ලිමේන්තුව හමුවේ දැනුම් දෙන ලදී.
පාර්ලිමේන්තුව මගින් පොලිස්පතිවරයෙකු ඉවත් කිරීම නිර්දේශ කරමින් කමිටුවක් මගින් එහි නිල තීරණය ඉදිරිපත් කරන ලද පළමු අවස්ථාව මෙය බව කතානායකවරයා එහිදී පැවසුවේය.
සුරසේන කමිටුවේ අවසන් වාර්තාව මෙතැනින් බලන්න
මෙම විවාදයේදී ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්රීවරුන් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් අනාවරණය කිරීමට සූදානමින් සිටින හෙයින් මැතිසබය අද දිනයේ උණුසුම් මුහුරුවරක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වෙන ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය සමග ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්දය ප්රකාශ කිරීමට තීරණය කර ඇති අතර ශ්රී ලංකා පොදු ජන පෙරමුණ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්රකාශ කිරීමට නියමිතය.
'ඉවත් වෙන්නේ පොලිස්පති තනතුරෙන් විතරයි'
පාර්ලිමේන්තුව විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළහොත් ඔහුට ඒ සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතීමට හැකියාවක් ඇත්දැයි බීබීසී සිංහල විසින් මහාචර්ය නීතිඥ ප්රතිභා මහානාමගෙන් විමසීමක් සිදුකර තිබිණ.
එහිදී අදහස් පළ කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, පාර්ලිමේන්තුව අනුමත කිරීමෙන් පසුව මෙන්ම ජනාධිපතිවරයා අත්සන් කිරීමෙන් පසු දේශබන්දු තෙන්නකෝන්ට ඊට එරෙහිව කිසිදු අධිකරණ ක්රියාමාර්ගයක් ගැනීමට නොහැකි බවයි.
"දේශබන්දු තෙන්නකෝන් තමන්ව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නියෝගයට අත්සන් කළාට පස්සේ ඒකට විරුද්ධව නීතිය හමුවට ගිහින් කිසිම ක්රියාමාර්ගයක් ගන්න හැකියාවක් නැහැ. හැබැයි එයාට විරුද්ධව චෝදනා විමර්ශනය කරපු කමිටුව සම්බන්ධයෙන් තහනම් නියෝගයක් ගන්න තිබ්බා. නමුත් දැන් ඒකට පරක්කු වැඩියි." - මහාචාර්ය නීතිඥ ප්රතිභා මහානාම පවසයි.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කෙරුණ ද, ඔහු තවමත් පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයෙකු ලෙස කටයුතු කරන බව මහාචාර්ය නීතිඥ ප්රතිභා මහානාම පවසයි.
"ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ තීන්දුව අනුව ඒකට අත්සන් කරපු වෙලාවේ ඉඳලා දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් පමණයි ඉවත් වෙන්නේ. හැබැයි එයා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයෙක්. පොලිස්පති තනතුරෙන් ඉවත් වුනාට පස්සේ ඔහු ඊට පස්සේ ඊලඟ තනතුරට යනවා. හැබැයි මෙතැනදී ඔහුට යම් කිසි විදිහකින් අසාධාරණයක් වුනොත් අධිකරණය හමුවට යන්න හැකියාව තියෙනවා.''
''නමුත් දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව අධිකරණය හමුවේ නඩු විභාග කිහිපයක්ම තියෙනවා. පොලිස්පති තනතුරට පත් කිරීම සිදුකරපු ආකාරය වැරදි, එයාගේ ක්රියාවන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා ඒවාට එරෙහිව අධිකරණය හමුවේ නඩු ගොනු වෙලා තියෙනවා. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයෙන් ඉවත් කරනවාද නැද්ද කියලා අවසන් තීරණය ගන්න වෙන්නේ ජාතික පොලිස් කොමිසමයි." ඔහු වැඩිදුරටත් කියා සිටියි.
පොලිස් කොමිසමේ ප්රතිචාරය
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් සම්මත වීමෙන් පසු ජනාධිපතිවරයා ඊට අනුමැතිය ලබා දුනහොත් ඔහුට නැවත පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරී කිරීමට හැකියාව ඇත්දැයි බීබීසී සිංහල සේවය ජාතික පොලිස් කොමිසමෙන් විමසීමක් සිදු කර තිබිණ.
ඊට පිළිතුරු ලබාදෙමින් ජාතික පොලිස් කොමිසමේ ජ්යෙෂ්ඨ නිලධාරියෙක් ප්රකාශ කර ඇත්තේ, ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට අනුමැතිය ලබාදීමෙන් පසුව නැවත ඔහුට පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කිරීමට හැකියාවක් නොමැති බව තමන් විශ්වාස කරන බවයි.
"උදාහරණයක් හැටියට ගත්තොත් ප්රින්සිපල් කෙනෙක් යම් විනය විරෝධී ක්රියාවක් නිසා ධූරයෙන් ඉවත් කළාට පස්සේ එයාට ආපහු ගුරුවරයෙක් විදිහට ඉස්කෝලේ ඇවිත් වැඩ කරන්න හැකියාවක් නැහැ නේ. අන්න ඒ වගේ තමයි මේකත්." එම ජ්යෙෂ්ඨ නිලධාරියා පවසයි.
මීළඟ පොලිස්පති වෙන්නේ කවුද?
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් පහ කළහොත් මීළඟ පොලිස්පතිවරයා ලෙස ධුරයට පත් කරනු ලබන්නේ කවුද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබේ.
මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ප්රියන්ත වීරසුරිය යි.
නමුත් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරී ජ්යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන් පසුවන්නේ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ලලිත් පතිනායක ය. ඉන් පසුව ඉදිරියෙන් සිටින්නේ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ප්රියන්ත වීරසුරිය ය.
එමෙන්ම ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සංජීව ධර්මරත්න, ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත, ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති කිත්සිරි මැදවත්ත, ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රජිත ශ්රී දමින්ද සහ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ යන නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන් පසුවන නිලධාරීන් වේ.
(උපුටා ගැනීම් - බීබීසී සිංහල සේවය)
මෙම පුවතට අදාල වැඩි දුරටත් තොරතුරු;
දේශබන්දු තෙන්නකෝන්ට දැන් මොක ද වෙන්නේ ?
දේශබන්දු තෙන්නකෝන් ගැන ඔබ මෙම තොරතුරු දැන සිටියා ද?
සූරසේන කමිටුවෙන් දේශබන්දු වරදකරු කරයි




