The Leader News
BREAKING
Top Ad
පුවත්

‘දැන් නටන්නේ මොකටද?’ ත්‍රි’මලේ පිළිම ප්‍රශ්නය අවසන් බව කියමින් ජනපති අසයි

T

The Leader Desk

November 19, 2025 • 5:02 AM

‘දැන් නටන්නේ මොකටද?’ ත්‍රි’මලේ පිළිම ප්‍රශ්නය අවසන් බව කියමින් ජනපති අසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නැගෙනහිර වෙරළාසන්න බිම් තීරුවක අනවසරයෙන් ගොඩනැගිල්ලක් ඉදිකොට අලුතින් ස්ථානගත කිරීමට ගිය බුදු පිළිමයක් ඉවත් කළ පොලිසිය ආණ්ඩුවේ නියෝගයෙන් එම පිළිමය ආපසු ගෙනවිත් තැන්පත් කොට ඇත්තේ කිසිදු බෞද්ධ සිද්ධස්ථානයක් නොතිබූ භූමියක බව හෙළිවී තිබේ.
  • ආන්දෝලනයට ලක්වූ එකී බුදුපිළිමය පිහිටුවන්නට ගිය ෆ්‍රෙඩ්රික් කොටුව පාර සහ වෙරළට මැදිවූ පර්චස් 40ක බිම්කඩ නැගෙනහිර පළාතේ බෞද්ධ විහාරාධිපති නමකට හිටපු ජනාධිපතිවරයකු විසින් එකොළොස් වසරකට ඉහත දී තෑගි ඔප්පුවක් මගින් පවරා දෙන ලද්දකි.
  • ඕක තමයි ඇත්ත කතාව,” යි ජනාධිපති අනුර කුමාර දිසානායක අගහරුවාදා (18) ආරක්ෂක අංශ වැය ශීර්ෂය පිලිබඳ විවාදයට සහභාගිවෙමින් ප්‍රකාශ කළේය.
  • අලුත් ඉදිකිරීම් සඳහා බලධාරීන් අවසර නොදීමත් සමග නඩු හබයකට පැටලී තිබෙන එම ස්ථානයේ තැන්පත් කිරීමට බලන්ගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂුන් පිරිසක නායකත්වයෙන් නොවැම්බර් 16 වැනිදා ගෙනයන ලද බුදු පිළිමය පොලිසිය විසින් රැගෙන ගොස් තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
නැගෙනහිර වෙරළාසන්න බිම් තීරුවක අනවසරයෙන් ගොඩනැගිල්ලක් ඉදිකොට අලුතින් ස්ථානගත කිරීමට ගිය බුදු පිළිමයක් ඉවත් කළ පොලිසිය ආණ්ඩුවේ නියෝගයෙන් එම පිළිමය ආපසු ගෙනවිත් තැන්පත් කොට ඇත්තේ කිසිදු බෞද්ධ සිද්ධස්ථානයක් නොතිබූ භූමියක බව හෙළිවී තිබේ.

ආන්දෝලනයට ලක්වූ එකී බුදුපිළිමය පිහිටුවන්නට ගිය ෆ්‍රෙඩ්රික් කොටුව පාර සහ වෙරළට මැදිවූ පර්චස් 40ක බිම්කඩ නැගෙනහිර පළාතේ බෞද්ධ විහාරාධිපති නමකට හිටපු ජනාධිපතිවරයකු විසින් එකොළොස් වසරකට ඉහත දී තෑගි ඔප්පුවක් මගින් පවරා දෙන ලද්දකි.

ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ අධිපති මිහිඳුපුර මහින්දවංශ තිස්ස නම් භික්ෂුන් වහන්සේට එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2014 ජූනි මාසයේ පවරා දී ඇති එම ඉඩමේ විහාරස්ථානයක් තිබුණු බවට ප්‍රචාරය කෙරෙන මතය දුරු කිරීමට උත්සාහයක් දැරූ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

“විහාරස්ථානයක හාමුදුරුවන් වහන්සේට හිමිකමක් සහිත ඉඩමක් තිබුනා. නමුත් එතන ආගමික වතාවත් කරන ස්ථානයක් තිබුනේ නෑ. ඕක තමයි ඇත්ත කතාව,” යි ජනාධිපති අනුර කුමාර දිසානායක අගහරුවාදා  (18) ආරක්ෂක අංශ වැය ශීර්ෂය පිලිබඳ විවාදයට සහභාගිවෙමින් ප්‍රකාශ කළේය.
අලුත් ඉදිකිරීම් සඳහා බලධාරීන් අවසර නොදීමත් සමග නඩු හබයකට පැටලී තිබෙන එම ස්ථානයේ තැන්පත් කිරීමට බලන්ගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂුන් පිරිසක නායකත්වයෙන් නොවැම්බර් 16 වැනිදා ගෙනයන ලද බුදු පිළිමය පොලිසිය විසින් රැගෙන ගොස් තිබුණි. ඒ පිළිමයේ ආරක්ෂාව සඳහා යයි පොලිසිය උපුටා දක්වමින් ජනාධිපතිවරයා රටේ නීති සම්පාදකයන්ට දැනුම් දුන්නේය.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඊට පෙර දිනයේ පාර්ලිමේන්තුවට දැනුම්දී තිබුනේද ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයට අයත් වෙරලාසන්න භුමියේ හදිසියේ තැබූ බුදු පිළිමය ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර ඇත්තේ එහි ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් බවයි.

"ඊයේ රාත්‍රියේ තැන්පත් කරන ලද බුදු පිළිමය සම්බන්ධයෙන් යම් කඩාකප්පල්කාරී සිදුවීමක් ඒ පිළිමයට හානියක් සිදුවීමක් සම්බන්ධයෙන් තොරතුරක් ලැබුනා. ඒ අනුව පොලීසිය ඊයේ රාත්‍රියේ බුදු පිළිමය ඉවත් කරලා එහි  ආරක්ෂාව සහතික කරලා තියනවා. ඒ වගේම ඊයේ හදිසියේ ඒ බුදු පිළිමය තැම්පත් කිරීමත් සම්බන්ධයෙන් තමයි ඒ කාරණය මතු උනේ. අද දිනය වන විට අපි පොලීසියට උපදෙස් දුන්නා ඒ බුදු පිළිමය නැවතත් ඒ විහාරස්ථානයේ තැම්පත් කරන්න කියලා. මොකද අද දිනයේ සිට විධිමත් ආරක්ෂක වැඩ පිළිවෙලක් ඒ සම්බන්ධව ක්‍රියාත්මක කරනවා."

එදිනම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ සිය මුහුනු පොතේ ඡායාරූපද සමගින් සටහන් කර ඇත්තේ ‘ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බෝධි ජයන්ති බෝධිරාජ විහාරයේ ඇතිවූ සිද්ධිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමරපුර මහ නිකායේ නැගෙනහිර තමණ්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක, වෙල්ගම රජමහා විහාරය, උණු දිය ලිං රජ මහා විහාරය, බොරළුකන්ද රජමහා විහාරය යන විහාර ඝණයේ විහාරාධිපති, මුළු දිවයිනටම සාම විනිසුරු, ශ්‍රී රතනවංශ දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය අම්පිටියේ සීලවංසතිස්ස ස්වාමීන් වහන්සේ, බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයට වැඩම කළ’ බවයි.

Screenshot 2025 11 19 093652

මතබේදයට තුඩුදී ඇති ඉඩම නැවත මැන මායිම් ලකුණු කිරීමට ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඇති කරගත් එකඟතාවක් සමගින් ප්‍රශ්නය මේ වනවිට විසඳී ඇතැයි පාර්ලිමේන්තුවට සහතික වූ ජනාධිපතිවරයා ‘දැන් නටන්නේ මොකටදැ,’ යි ආණ්ඩු පක්ෂයේ සිනා මැද  ප්‍රශ්න කළේය.

නොවැම්බර් 17 වැනිදා පස්වරු 15.15 ට පොලීසිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්ව ඇත්තේ ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුල අනවසර ඉදිකිරීමක් තුල බුදු පිළිමයක් තැන්පත් කිරීමට කටයුතු කරන බවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පැමිණිල්ලක් සිදු කර ඇති බවයි.

"2025.11.16 වන දින ත්‍රිකුණාමලය  ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ ගරුතර ස්වාමීන් වහන්සේලා හා දායක පිරිසක් විසින් 2025.11.16 වන දින ත්‍රීකුණාමලය නගරයේ  වෙරළ ආරක්ෂක  කලාපය තුල අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමට කටයුතු කරන බවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ත්‍රීකුණාමලය වරාය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර ඇත. ඒ අනුව ත්‍රිකුණාමලය  කොට්ඨාස භාර නිලධාරීතුමා ඇතුළු පොලිස් නිලධාරීන් අදාල ස්ථානයට ගොස් මෙම අනවසර ඉදිකිරීම නවතා දමන ලෙසද දන්වා ඇතත් ඉදිකිරීම් නොනවත්වා සිදු කර ඇත."
මෙම බුදුපිළිමය තැන්පත් කර ඇති ස්ථානයට යාබද ස්ථානයද, මෙවැනි අනවසර ඉදිකිරීමක් සිදු කිරීම හේතුවෙන් එය ඉවත් කර ගන්නා ලෙසටත්, මෙයට පෙර කොටුව පාර, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් හට පරිසර අමාත්‍යාංශය මඟින් 2025.10.16 වන දින ලිඛිතව දැනුම් දී තිබී ඇති පසුබිමක 2025.11.16 වන දින මෙම ප්‍රශ්නගත ඉදිකිරීම සහ බුදුපිළිමය ස්ථාපිත කිරීම සිදු වී ඇති බවත් පොලීසිය වැඩි දුරටත් සදහන් කරයි.

''වෙනත් කතාවකුත් මේක යට තියෙනවා''

“ආගමික ස්ථානයක් පිහිටුවීම වගේම වෙනත් කතාවකුත් මේක යට තියෙනවා,” යි ජනාධිපති අනුර කුමාර දිසානායකද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. ටර්නි ප්‍රදීප් කුමාර ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයට අයත්  භූමියේ ඇති වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝණය කරමින් ආපන ශාලාවක්  ඉදි කර ඇති නිසා එය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා අතරතුර එම ස්ථානයේ ස්වාමීන් වහන්සේලා විසින් මෙලෙස අලුත් ඉදිකිරීමක් ආරම්භ කර ඇති බවයි.
මහාචාර්ය පී.බී. ටර්නි ප්‍රදීප් කුමාර අවධාරණය කරන්නේ එම භුමියේ අයිතිය විහාරස්ථානය සතු වූවද වෙරළ තීරයේ ඉදි කිරීම් සිදු කළ හැක්කේ වෙරළින් මීටර 10 ක් එපිටින් බවයි. එහෙත් එම භුමියේ ඉදි කර ඇති ආපන ශාලාව වෙරළේ සිට මීටර 4 ක් පමණ දුරින් ඉදි කර ඇති බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල නොවැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබුනේ එම  ආපන ශාලාව සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ අධිකරණ තීන්දුව ප්‍රකාරව බවයි.

"ඒ වගේම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබදව පැමිණිල්ලක් ලැබිලා තිබුනා එතන කලින් ආපන ශාලාවක් පවත්වාගෙන යනවා. ඒක නීති විරෝධියි කියලා. ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පොලීසිය කටයුතු කරනවා. අධිකරණය දෙන තීන්දුවක් අනුව තමා කටයුතු කළ යුත්තේ. "

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස නොවැම්බර් 18 වැනිදා සදහන් කළේ  එම ආපන ශාලාව පවත්වාගෙන යෑම සදහා කෙටි කාලීන අවසරයක් තිබු බවයි.

"පොලීසිය ඉන්නේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න. කිසිසේත්ම කවර හෝ සිදුවීමක් පදනම් කරගෙන රටේ නීතිය කඩවෙන ආකාරයට හෝ සාමය කඩවෙන ආකාරයේ කටයුතුවලට පොලීසිය ඉඩදෙන්නේ නෑ. තාවකාලිකව ආපන ශාලාවක් ඉදිකිරීමට කෙටි කාලීන අවසරයක් ලබාදීලා තිබුණා යම් යම් නිර්ණායකයන් සහිතව. එය කඩා ඉවත් කිරීමේ නියෝගයක් පවතිනවා. ඒ අතරතුරේ තමා බුදු පිළිම වහන්සේ මෙතැනට වැඩම කරවලා තියෙන්නේ.”

නොවැම්බර් 26 වැනි දිනය දක්වා කිසිදු ආකාරයක නව ඉදිකිරීමක් නොකරන ලෙසට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග ලබා දී ඇති බවත් අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් සදහන්  කර තිබුනි.
කෙසේවෙතත්, කෙලින්ම නීතිය ක්‍රියාත්මක කළ යුතු අවස්ථා තිබුනද, ඇතැම් ක්ෂේත්‍රවල ‘ඒ හා බැඳුණු දේශපාලන ක්‍රියාකාරකම්ද සැලකිල්ලට භාජනය කළ යුතු’ බවට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පොලිසියට අනතුරු අඟවා තිබුණි.
“නීතිය වගේම ඒ නීතිය ඉටු කිරීම හරහා ඇතිවිය හැකි සමාජ කැළඹීම ගැන අවධානයෙන් තමයි නීතිය ඉටු කළ යුතු වන්නේ.”

ත්‍රිකුණාමලයේ අලුත් බුදු පිළිම සිද්ධිය දඩමීමා කොටගෙන ‘හනුමා වලිගෙට ගිනි තියාගත්තා වගේ’ ජාතිවාදීන් කටයුතු කටයුතු කිරීමේ වෑයමක් ගැන අනතුරු ඇඟවූ ජනාධිපති අනුර කුමාර දිසානායක පොදු ජනතාව හෝ තමන් නායකත්වය දරන ආණ්ඩුව හෝ ජාතිවාදයට ඉඩ තබන්නේ නැතැයි මැතිසබයට සහතික විය.  

''අක්කරයක් ඉල්ලන්න ඕනෙ. ඒකටයි ෆයිට් එක කරන්න ඕනේ'' - ගලගොඩ අත්තේ ඥානසාර හිමි

නඩු හබයට තුඩුදී ඇති ත්‍රිකුණාමලයේ බිම්කඩට ජනාධිපතිගේ ප්‍රකාශය දාම ගිය ජාතික හා ආගමික සමගියට හානි පමුණුවමින් වෙරී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ සිරගත කරනු ලැබූ බොදු බල සේනානායක ගලගොඩ අත්තේ ඥානසාර හිමි තවත් ඉඩම් බලහත්කාරයෙන් ඇල්ලීමට පිරිස් කැඳවා තිබුණි.

“පනස් ගණන් වල තිබිච්ච මේ පර්චස් 40 වැඩක් නෑ, අක්කරයක් ඉල්ලන්න ඕනෙ. ඒකටයි ෆයිට් එක කරන්න ඕනේ. අක්කරය සම්පූර්ණ කරලා එතනින් වැට ගහන්න. ඒකට දවසක් දාගන්න,” එහිදී පවසනු ප්‍රදේශවාසී මාධ්‍යවේදීන් විසින් වාර්තා කර තිබේ.




සබැඳි ලිපි :

ත්‍රිකුණාමල සිද්ධිය ගැන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

ත්‍රිකුණාමලයේ සිදුවීම ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

මේව නිකන්ම නිකන් බුදුපිළිම තැබීමේ ප්‍රශ්නම නෙමෙයි... | Uvindu Kurukulasuriya

ත්‍රිකුණාමලය වෙරළේ පන්සලක් ඉදි කිරීම: 'කඩා ඉවත් කරන්න ගියේ නීති විරෝධී හෝටලයක්'

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...