leader s

පාසල්වල සිසු සිසුවියන් ලිංගික අතවර වලට, හිංසන වලට හා දූෂණය කිරීම් වලට ගොදුරු වන්නේ ඉඳහිට කලාතුරකින් නොවේ. ඉඳහිට කලාතුරකින් සිදුවන්නේ ඒ සම්බන්ධ පැමිණිලි කිරීම් ය.

 

ජාතික පාසලක් වන බම්බලපිටියේ රාමනාදන් හින්දු කාන්තා විදුහලේ සිදුව ඇති එවැනි එක් කුරිරු සිදුවීමක් සම්බන්ධව අදාල සිසුවියගේ මව බම්බලපිටිය පොලීසියට පැමිණිලි කර ඇත්තේ මීට මාස 05 ට පෙර පසුගිය අවුරුද්දේ දෙසැම්බර මස 08 වන දින ය.

 



තොරතුරු වාර්තාවන අන්දමට එම පාසලේ ගණිත ගුරුවරයෙකු ලෙස සේවය කරන චූදිත ගුරුවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පැමිණිල්ලෙන් තෙමසකට පසු ඉකුත් මාර්තු මාසයේ 25 වන දින ය. එදිනම ඔහුට ඇප ලබා දී ඇත.

මේ වසරේ (2025) අ.පො.ස  සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නට නියමිතව සිටි අදාල සිසුවියගේ මව බම්බලපිටිය පොලීසියට ගොනු කළ පැමිණිල්ලෙන් පසුවත් එම ගුරුවරයාට එරෙහිව විදුහල්පතිනිය විසින් කිසිදු විනය පියවරක් ගෙන නැත. එම ගුරුවරයාට එරෙහිව සිසුවිය විසින් බොරු චෝදනා ඉදිරිපත් කරන්නේ යැයි ඇතැම් ගුරුවරියන් ඇයට දොස් නගන්නට, තරවටු කරන්නට වූයෙන් ඇයට තව දුරටත් ඒ පාසලේ ඉගෙන ගැනීමට නොහැකි විය. එබැවින් ඇයගේ මව ඇයව කොටහේනේ පාසලකට ඇතුළුකර, ඇය බොරු චෝදනා කරන්නේ යැයි වූ කතා වලට පිළිතුරු දීම සඳහා ඇයව වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කර ඇත. ඒ මාර්තු මාසයේදී ය.

 

WhatsApp Image 2025 05 08 at 6.51.22 PM

ඇය නිතැතින්ම ලිංගික අතවරයට හසුව ඇතැයි තීන්දු කළ වෛද්‍යවරයා ඒ අනුව පොලීසියට පැමිණිලි කළ හෙයින් චූදිත ගුරුවරයා අත් අඩංගුවට ගැනීමට බම්බලපිටිය පොලීසියට සිදුවිනැයි කියනු ලැබේ. එහෙත් ඔහුට එරෙහිව විදුහල්පතිනිය විසින් කිසිදු විනය පියවරක් නොගත්තෙන් අධිකරණයෙන් ඇප ලැබූ ගුරුවරයා එම විදුහලේම සේවය කළේය.

 495194320 10234813881546050 5734978397872638701 n

 

එම සිසුවිය සියදිවි නසා ගැනීමට පොළඹවනු ලැබුණේ ඇයට අසල්වැසි සමාජයේ විඳින්නට සිදුවූ පරිභව හා ගැරහීම් හේතුවෙන් යැයි ඇයගේ මව මාධ්‍යයට කියූවාය. එවැනි ගැරහුමකට මුහුණ දෙන්නට ඇයට සිදුවූයේ ඇය අමතර පංති සඳහා සහභාගී වූ කොටහේනේ “රාජේස්වරි ආයතනයේ” හිමිකරුවන නාරායන්පිල්ලේ සිවානන්දරාජා ඇයව 150 ට වැඩි සිසු සිසුවියන් පිරිසක් ඉදිරියේ පරිභවයට ලක් කිරීමෙන් පසුවය. ඔහු විසින් ඇය ලිංගික අතවරයට ලක්වූ දැරිවියක් යැයි හෑල්ලුකර, ඒ සම්බන්ධ පොලීසියේ පැමිණිල්ලක් ගොනුකර ඇති හෙයින් ඔහුගේ ආයතනයේ අමතර පංති සඳහා නොපැමිණෙන ලෙස දන්වා තිබිණ.

බම්බලපිටියේ රාමනාදන් හින්දු කාන්තා විදුහලේ ඇයව පත් කළ අසීරුතා හමුවේ විශාධය සඳහා ප්‍රතිකාර ලබමින් සිටි ඒ සිසුවිය, “රාජේස්වරි ආයතනයේ” සිදුවීමෙන් පසු නැවත බරපතල ලෙස මානසික විශාධයට ලක් වූවා යැයි ඇයගේ මව කීවා ය. සියදිවි නසා ගැනීමට දින කිහිපයකට පෙර ඇයට ඒ කිසිත් දරාගත නොහැකි යැයි ඇය කියූ බවද ඇයගේ මව මාධ්‍යයට කීවාය.

 

මේ සිදුවීමට අගමැතිනී, අධ්‍යාපන ඇමතිනී ආචාර්ය හරිනි අමරසූරියගේ නම ඈඳෙන්නේ හුදෙක් ඇය අධ්‍යාපන ඇමති නිසාම නොවේ. ඇයගේ නම ඈඳෙන්නේ කොටහේනේ “රාජේස්වරි ආයතනයේ” හිමිකරුවන නාරායන්පිල්ලේ සිවානන්දරාජා ඔස්සේ ය. ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයෙන් (ජා.ජ.බ) කොළඹ මහ නගර සභාවට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු වාගේම ආචාර්ය හරිනි අමරසූරියගේ සමීපතම හිතවතෙකු ලෙසද ප්‍රසිද්ධය. කොළඹ පුරපති ලෙස ජා.ජ.බයෙන් තරග කළ ව්‍රායි බල්තසාගේ මැතිවරණ සංවිධාන කටයුතු වලටද හවුල් වූ ඇයගේද සමීපතමයෙකි. ඒ සමග, සියදිවි නසාගත් සිසුවියට ලිංගික අතවර කළේ යැයි චෝදනා ලැබ ඇති රාමනාදන් හින්දු කාන්තා විදුහලේ ගණිත ගුරුවරයාගේද සමීපතමයෙකි.

 

ඒ හිතවත්කම් සමග ජා.ජ.බ දේශපාලනයද එකතු වූ පසු විදුහල්පතිනියගේ සිට අධ්‍යාපන ඇමතිනී දක්වා සැවොම තම හිතවතුන් රැක ගන්නේ රාජපක්ෂලාගේ පොහොට්ටු දේශපාලනය වාගේම ය. සියදිවි නසාගත් සිසුවියට ලිංගික අතවර කළ බවට චෝදනා කෙරෙන ගුරුවරයාටත් ඒ පාසලේ විදුහල්පතිනියටත් එරෙහිව මෙතෙක් කිසිදු විනය පියවරක් නොගැනීම සම්බන්ධ අධ්‍යාපන ඇමතිනී ලෙස හරිනි අමරසූරියට ඇති චෝදනාවත් එය ය.

එබැවින් විදුහල්පතිනිය ඇයගේ විදුහලේ චූදිත ගුරුවරයා අසික්කිත ලෙස රකින්නීය. අධ්‍යාපන අමාත්‍යාංශය ඇයගෙන් ඉල්ලා ඇත්තේද සිද්ධිය පිළිබඳ පැහැදිලි කිරීමක් පමණි. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කියන්නේ දෙමාපියන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නිල පැමිණිල්ලක් කර නොමැති බවය. එනිසා නිල පැමිණිල්ලක් කිරීමට දෙමාපියන් කැඳවා ඇතැයිද, ඒ අතරතුර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ පොලීසියේ කාන්තා හා ළමා කාර්යාංශය ස්වාධීන පරීක්ෂණ අරඹා ඇතැයිද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මාධ්‍යයට කියා තිබුණි. කාන්තා හා ළමා කටයුතු ඇමතිනි පාර්ලිමේන්තුවට කියා තිබුණේ දෙමාපියන්ට ඇය හමුවන ලෙස දැනුම් දී ඇති බව ය.

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගේ අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව, අදාල ගණිත ගුරුවරයා වෙනත් පාසලකට මාරුකර ඇත. එසේ මාරුකර ඇත්තේ විනය පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය පියවර ගන්නා තෙක් යැයි හෝ කියා නැත. එය හුදෙක් පරිපාලන අවශ්‍යතා මත කෙරුණක් ලෙස දැක්වේ. ඒ අතර ඔවුන් පරීක්ෂණයක් සඳහා අවශ්‍ය තොරතුරු ගොනු කරන බවද සඳහන්කර ඇත.

ඊයේ පෙරේදා දිනවල දහසක් පමණ දෙමාපියන් හා ළමුන් බම්බලපිටියේ රාමනාදන් හින්දු කාන්තා විදුහල ඉදිරිපස උද්ඝෝෂණයේ යෙදුණේ මාළිමා ආණ්ඩුවේ මේ පක්ෂග්‍රාහී නිවට පිළිවෙතට එරෙහිව, සියදිවි නසාගත් සිසුවියටත් ඇයගේ දෙමාපියන්ටත් යුක්තිය හා සාධාරණත්වය ඉටුකරන මෙන් ඉල්ලමින්ය. කොළඹ ප්‍රසිද්ධ පාසලක මෙවැනි ලිංගික අතවරයකට විරුද්ධව දෙමාපියන් මේ අයුරින් පාරට පැමිණි පළමු අවස්ථාව මෙය විය යුතුය. එයද කොළඹ දෙමළ මාධ්‍ය පාසලක වීම විශේෂිත ය.

 



එවැනි ශාරීරික හා ලිංගික අතවර, අපචාර අපගේ පාසල් සියල්ලෙහිම වාගේ සිදුවන නමුත් එය අඩුවෙන්ම කතාවන මාතෘකාවකි. එබැවින් පාසලේ අධ්‍යාපන මාධ්‍ය පැත්තකින් තබා සියලු දෙමාපියන් මේ විරෝධයට හවුල් විය යුත්තේ හැම ආණ්ඩුවක් යටතේම අසරණ දරුවන්ට සිදුවූ මෙවැනි අතවර වහා නතර කරගත යුතු හෙයිනි. මේ ආණ්ඩුවටද පැරණි පිළිවෙතම ගෙන යාමට ඉඩ නොදිය යුතු හෙයිනි.

එබැවින් අධ්‍යාපන ඇමතිනී හරිනි අමරසූරියට කිව යුත්තේ, ළමා අපචාරයට, ලිංගික හිංසනයට චෝදනා ලබන අධ්‍යාපන ක්ෂේත්‍රයේ කිසිවකු පරීක්ෂණ අවසන්කර තීන්දුව ලැබෙන තෙක් සේවයේ තබා නොගත යුතු බවය. එතෙක් ඔහුගේ හෝ ඇයගේ සේවය වහා අත්හිටු විය යුතුය. ඒ සඳහා යන යන තැන, එක එක අමාත්‍යාංශ යටතේ පැමිණිලි ගොනු කරන්න යැයි අගතියට පත් භාරකාර දෙමාපියන්ට වධ දීමේ පිළිවෙත් අවශ්‍යයද නැත.

පොලීසියටද කරනු ලැබ ඇති පැමිණිල්ලක්ද තිබියදී එවැනි අපචාරයක් ලිංගික හිංසනයක් සම්බන්ධව විදුහල්පතිට හෝ විදුහල්පතිනියට පැමිණිලි කෙරුණු පසු හෝ දැනුම්දීමක් කෙරුණු පසු අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග අවශ්‍ය විනය පියවර ගැනීමේ වගකීමට මුල පිරිය යුත්තේ විදුහල්පති හෝ විදුහල්පතිනිය වන්නේ ය. ලංකා ගුරු සංගමයේ ජෝසෆ් ස්ටාලින්ද ඒ සම්බන්ධව මාධ්‍යයට අවධාරණය කරනු මම ඇසුවෙමි. එවැනි වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිනියට එරෙහිවද දැන් විනය පියවර ගත යුතුව ඇත.

 



එබැවින් මේ මොහොතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වැටුප් ලබන සේවකයින් ලෙස අදාල ගුරුවරයාගේත් ඔහු සුරැකීම වෙනුවෙන් වගකීම් පැහැර හැරි විදුහල්පතිනියගේත් සේවා වහා අත්හිටුවා ඔවුන්ට එරෙහි චෝදනා පත් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් දෙමාපියන් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය යුතුය. අධ්‍යාපන ඇමතිනී හරිනි අමුරසූරියට ඒ සඳහා ඇයගේ දේශපාලනය පැත්තකින් තියන මෙන් බල කර සිටිය යුතුය. “හරිනි නම් හරිම නැහැ” යැයි කීමට සිදුවන තවත් බාල ගණයේ පොහොට්ටු දේශපාලකයෙකු ඇයගෙන් අපේක්ෂා නොකරන බව අවධාරණය කළ යුතුය.

ඕපාදූප රස බලන ජුණ්ඩෙකුගේ 'පාදෙනි ඉස්මුරුත්තාව' -(කුසල් පෙරේරා)(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2025 මැයි 09    

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර:

සරෝජනී පෝල්රාජ් ඇමැතිනියගේ ප්‍රකාශය, යහපත් ආණ්ඩුකරණයක ප්‍රතිචාරයක් විය නොහැකිය | Geethika Dharmasinghe

පාසල් සිසුවියකගේ මරණය: ලිංගික අතවර කළ බව කියන ගුරුවරයාට ස්ථාන මාරුවක්

'Black monkey go out': ගුරුවරුන්ගෙන් ඔබේ දරුවාට වාචික හිංසනයක් සිදුවූ විට කළ යුත්තේ කුමක් ද?

ළමුන් පාසල්වලදී කෲරත්වයට පත්වීම වැළැක්වීමට නව නීති

'කියන්න කනගාටුයි... ඉතා කුඩා දරුවන් පවා ලිංගික අපයෝජනවලට ලක්වෙලා'

ළමා දූෂණයට දඬුවම මරණය හෝ වඳභාවය

"බොහෝ ළමා දූෂකයන් පවුලේ ඥාතීන් හෝ හිතවතුන්"



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්