ආන්දෝලනයට ලක්වූ මහ බැංකු බැඳුම්කර සිද්ධීන් හා භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ කරගෙන සේවක අර්ථසාධක අරමුදල මගින් සිදු කරන ලද

ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තා (Forensic Audit Report) ප්‍රකාශයට පත් කිරීමට මුදල් ඇමතිවරයාට බලතල ඇති බවත් ඊට කිසිඳු ආකාරයේ නීතිමය බාධාවක් නොමැති බවත් කෝප් කමිටුවේ හිටපු සභාපති, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

කෙසේවුවද මෙම වෝහාරික විගණන වාර්තා හරහා අනාවරණය වී ඇති කරුණු දේශපාලනික හා ආර්ථික වශයෙන් අතිශයින් බරපතල වීම හේතුවෙන් එම වාර්තා ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය මේවනවිට නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට තීරණය කර තිබේ.

එම වාර්තාවලින් අනාවරණයවී ඇති බරපතල අපරාධයන්ට සම්බන්ධ කිහිපදෙනෙකු වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේද ඉහල තනතුරුවලට පත්කර ඇති අතර ආණ්ඩුවට සහය පළකරමින් සිටින ප්‍රධාන පෙළේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු ද මෙම අයථා ගනුදෙනුවලට සම්බන්ධ වී ඇතැයි පැවසේ.

භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ කරගෙන සේවක අර්ථසාධක අරමුදල (EPF) මගින් සිදු කරන ලද ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනුවලදී, ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගම් 19ක් සමග සිදුකර ඇති ගනුදෙනු හරහා රුපියල් බිලියන ගණනක පාඩුවක් රජයට සිදුව ඇතැයි ද මහ බැංකුව විසින් සිදුකළ වෝහාරික විගණන වාර්තා මගින් අනාවරණය වී ඇතැයි වාර්තාවේ.

මහ බැංකුව විසින් සිදුකල මෙම වෝහාරික විගණන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා colombotrust.com වෙබ් අඩවියේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා සමග කළ සාකච්ජාවක කොටසක් පහත පළවේ.

 

''දැන් බැඳුම්කර බෝලේ තියෙන්නේ මහින්ද රාජපක්ෂ ළඟ. '' -හඳුන්නෙත්ති

 ■  චෝදනාවක් තියෙනවා කෝප් කමිටු සභාපතිවරයා ලෙස ආන්දෝලනයට තුඩුදුන් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ මහ බැංකුව විසින් සිදුකළ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු සැසිය කල් තබන තුරු පරීක්ෂණයට නොගත් බවට ?

සුනිල් :

නැහැ. මම වගකීමෙන් කියනවා, ඒක බොරු චෝදනාවක්. අනෙක් අතට මේ චෝදනාව නඟන්නේ බැඳුම්කර හොරු රැකීමේ වුවමනාව තියෙන අය.

මම මේක පැහැදිලි කරන්නම්.

මගේ සභපතිත්වයෙන් යුත් කෝප් කමිටුව 2017 වාර්තාවෙන් නිර්දේශ කළා බැඳුම්කර ගනුදෙනුව ගැන වෝහාරික විගණනයක් කරන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔබ කියන වෝහාරික විගණනයක් සිද්ධ කළේ.

ඒ වෝහාරික විගණන වාර්තාව මගේ ලේකම් කාර්යාලයට ලැබුණේ මීට සති දෙකකට විතර කලින්. එතන වාර්තා පහක් තිබුණා. ඊට කලින් පාර්ලිමේන්තුව රැස්වූ අවසන් දිනය වුණේ නොවැම්බර් 11 වෙනිදා, ජනාධිපතිවරණයටත් කලින්.

සාමාන්‍යයෙන් කෝප් කමිටුව රැස් වෙන්නේ පාර්ලිමේන්තුව රැස් වෙන දවස්වලටමයි. මී ළඟට පාර්ලිමේන්තුව රැස් වෙන්න තිබුණේ, දෙසැම්බර් තුන් වැනිදා. ඒ නිසා එදාම අපි මේ විගණන වාර්තාව සාකච්ඡා කරන්න සුදානම් වුණා. ඒ ගැන අපේ කෝප් කමිටු සාමාජිකයන් සියලු දෙනාම දන්නවා.

ඔය අතර තමයි පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ. එහෙම සැසිය අවසන් කළහම කෝප් ඇතුළු බොහෝ කාරක සභා ඉබේම අවසන් වෙනවා. ඒ හේතුව නිසා මම සභාපතිත්වය දරපු කෝප් කමිටුවත් අවසන් වෙනවා. අපේ කෝප් කමිටුවට බැහැ දැන් මේ වෝහාරික විගණන වාර්තාව සාකච්ඡාවට ගන්න.

 

■  ඔබට මේ ගැන ගත හැකි කිසිදු පියවරක් නැද්ද?Text12 28

සුනිල් :

මම මේ සැසිය අවසන් කරන ආරංචිය දැනගත් වහාම කෝප් කමිටුව නියෝජනය කළ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට කිව්වා, අඩුම තරමේ අලු‍ත් සැසිය පටන් ගන්න කලින් කෝප් කමිටුව කැඳවලා වෝහාරික විගණන වාර්තාව විවෘත කරමු කියලා. ඒත් එහෙම දෙයක් කරන්න අවස්ථාවක් ලබා ගන්න ඒ අයට ඇත්තටම බලයක් නැහැ.

අනෙක් අතට මේ වාර්තාව කෝප් කමිටු සාමාජිකයන් අතට පත් කරන්න කියලා මහ බැංකු අධිපතිවරයාට නීතිපතිවරයා නිර්දේශ කරලා තියෙනවා. ඒ නිසා මට බැහැ මේ වාර්තාව පොදු මහජන ලියැවිල්ලක් බවට පත් කරන්න. මට අවශ්‍යතාව තිබුණේ නැහැ මේ වාර්තාව විවෘත කරලා බලන්න. එහෙම කරන්න බැරි කිසිම නීතිමය බාධාවක් නැහැ. ඒත් මම එහෙම කළෙ නැහැ.

  

■  ඒ අනුව මේ වෝහාරික විගණන වාර්තාව පිළිබඳව දැන් වගකීම තියෙන්නේ කාටද?

සුනිල් :

මෙහෙමයි, ආණ්ඩුවට ඕනේ නම් ඉක්මනින්ම අලු‍තින් කෝප් කමිටුවක් පත් කරලා මේ වාර්තාව පිළිබඳව ක්‍රියාවලියක් ආරම්භ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක මහ මැතිවරණය අවසන් වනතුරු කල් දාන්නත් පුළුවන්.

ඒ එක පැත්තක්.

අනෙක් පැත්තෙන් කෝප් කමිටුවට වඩා වැඩි බලයක් තියෙනවා මුදල් අමාත්‍යවරයාට මේ වාර්තාව පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. ඔහු යටතේ තමයි, මහ බැංකුව තියෙන්නේ. මුදල් ඇමතිතුමාට පුළුවන් තමන් යටතේ තිබෙන මහ බැංකුවේ අධිපතිවරයාගෙන් මේ වාර්තාව නීත්‍යනුකූලව ගෙන්වා ගන්න. මම දන්න තරමින් ඒකට කිසිම නීතිමය බාධාවක් නැහැ.

අනෙක් අතට ආණ්ඩුවට දැන් මේ ගැන ජනවරමකුත් තියෙනවා. දැන් ආණ්ඩුවට මේ වැඬේ පහසුවෙන් කරන්න පුළුවන්. මහ බැංකු ගනුදෙනුව ගැන මේ වෙන කොට වාර්තා තුනක් තියෙනවා.

එකක් 2017 මගේ සභාපතිත්වයෙන් යුත් කෝප් වාර්තාව. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කළ කොමිසමේ වාර්තාව. දැන් අලු‍තින්ම ආපු වෝහාරික විගණන වාර්තාව. දැන් තියෙන්නේ අලු‍ත් මුදල් ඇමතිවරයාට මේ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න එක විතරයි.

 

 ඔබ හිතනවද එහෙම ක්‍රියාමාර්ගයක් ගනියි කියලා ?

සුනිල් :

ඒ ගැන මට මුකුත් කියන්න බැහැ. අලු‍ත් මුදල් ඇමති කියන්නේ වර්තමාන  අගමැති මහින්ද රාජපක්ෂ. දැන් බැඳුම්කර බෝලේ තියෙන්නේ මුදල් ඇමති, අගමැති මහින්ද රාජපක්ෂ ළඟ. අපි බලමු ඡන්දෙට කලින් දුන්න පොරොන්දු අනුව ඉක්මන් නීතිමය ක්‍රියාමාර්ග අරගෙන රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමෙන් අර්ජුන් මහේන්ද්‍ර ලංකාවට ගෙන්නලා මුල ඉඳන් අග දක්වා වන බැඳුම්කර හොරු රැළට රාජපක්ෂ ආණ්ඩුව දඬුවම් කරයි ද කියලා.''

 

සබැඳි පුවත් :

බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දානවද? නැද්ද? : අගමැති, නීතිපතිට බෝලය 'පාස්' කරයි!

සමාගම් 19ක් EPF මුදල් අවභාවිත කරලා : වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවේ!

මහ බැංකු හොරු කව්ද ? :'වෝහාරික විගණන වාර්තාව එළියට දාන්න' - මංගල ගෙන් අගමැතිට අභියෝගයක් !

ජනපතිට හා අගමැතිට කදිම අවස්ථාවක්: ''වෝහාරික වාර්තාවට අනුව බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න" (Audio)

බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න – සුනිල් හඳුන්නෙත්ති අගමැතිගෙන් ඉල්ලයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්