කොරෝනා වයිරසය හේතුවෙන් රටතුළ මතුව ඇති ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් මුලික අවධානය යොමුකොට මහ මැතිවරණය කල්දමා, පුරවැසි ජිවිත සුරැකීමේ වගකීම මේ අවස්ථාවේ දී මැතිවරණ කොමිසමට පැවරී ඇතැයි හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ඔහු එම කාරණය අවධාරණය කර ඇත්තේ, අද (16) උදැසන සමාජ මාධ්‍ය වෙත 'සෙල්ෆි වීඩියෝවක්' මුදා හරිමිනි.

මේ අවස්ථාවේදී රට ගැන ජනතාව ගැන මුලික අවධානය යොමුකර මහා මැතිවරණය කල් දැමීමට කටයුතු කරන්නැයි ඔහු ජනාධිපතිවරයා ගෙන් මෙන්ම අගමැති, විපක්ෂ නායක හා සියලුම දේශපාලන පක්ෂ නායකයින් ගෙන් ඉල්ලා සිටියි.

ව්‍යවස්ථානුකුලව එහි මුලික වගකීම පැවරෙන්නේ මැතිවරණ කොමිසමේ සභාපති ප්‍රමුඛ මැතිවරණ කොමිසමට බවද මංගල සමරවීර පෙන්වා දෙයි.

 මංගල සමරවීර විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝවේ මෙසේද සඳහන් වේ.


''කොරෝනා වෛරසයේ ඉරණම ඇත්තේ අපේ අත් දෙකේ''


''COVID 19 නොහොත් කොරෝනා වෛරසය ලෝකය පුරාම සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන මොහොතක එයින් ආරක්ෂා වීම සඳහා විවිධ කටකතා, බොරු කතා, බොරු බෙහෙත්, බොරු මන්ත්‍ර ගැන අපිට දැන ගන්නට ලැබුණා.

 ඇත්ත වශයෙන්ම මේ වසංගතයෙන් ආරක්ෂා වීමේ ඉරණම පවතින්නේ මේ අපේ අත් දෙකේ. ඒ නිසා තමයි අපි හැම කෙනෙකේම නිතර නිතර සබන් දාලා අත් දෙක හෝදලා. අත පීදාන ටිෂු කෑල්ලත් කරුණාකරලා කුණු කූඩෙට විසි කරන්න. 


''එපමණක්  නෙවෙයි ඇත්ත වශයෙන්ම සෙනඟ ගැවසෙන තැන් වලදී අපි මග හරින්න ඕනේ  ඒනිසා වෙන්න ඇති ලෝකයේ බොහෝ රටවවල ක්‍රීඩා උත්සව, ක්‍රීඩා තරඟ, IPLඑක පවා නවත්වලා තියෙනවා. සිනමා ශාලා වහලා තියෙනවා. ඒ වගේම සංගීත සංදර්ශන කල් දමලා තියෙනවා. 

එපමණක් නෙවෙයි රටවල් කිහිපයකම මේ වෙනකොට විවිධ ආකාරයේ මැතිවරණ පවා කල් දාලා තියෙන්නේ ඒ රටේ ජනතාවගේ සුභසිද්ධිය ගැන හිතලා. 

''මෙවැනි භයානක මොහොතක ලංකාවේ දේශපාලඥයන් අතලොස්සක් මිනිස්සු මරාගෙන හරි යලි වතාවක් පාර්ලිමේන්තුවට රිංගන්න තියෙන ආසාවෙන් මැතිවරණය කල් නොදමා පැවැත් විය යුතුයි කීම පුදුමයට සහ කණගාටුවට කරුණක්.''

අන්න ඒ නිසා  තමයි මම ගරු ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන් සහ විපක්ෂ නායකතුමාගෙනුත් අනෙකුත් සියලු පක්ෂ නායකවරුන්ගෙනුත් මැතිවරණ කොමසාරිස්තුමාගෙනුත් ඉල්ලීමක් කරන්නේ මේ වෙලාවේ රට ගැන හිතලා අපි මහා මැතිවරණය කල් දමන්න ඕනේ. 

ඇත්ත වශයෙන් අපි ජාතියක් හැටියට, ශ්‍රී ලාංකිකයන් හැටියට ජාතී ආගම්  කුල භේද. පක්ෂ පාට පස්සට තියලා මේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් fight කරන්න ඕන මොහොතක, කොරෝනා වෛරසය පරාජය කරන්න ඕන මොහොතක එයට මුල් තැන දීම අපගේ ජාතික වගකීමක්. 

ඒ නිසා  එම ඉල්ලීම කරන ගමන් මේ රටේ සියලු දෙනාම මෙයින් ආරක්ෂා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි.''
 


මැතිවරණ කොමිසමේ හෙට විශේෂ සාකච්ඡාවක්:

මේ අතර කොරෝනා වයිරසය හේතුවෙන් රටතුළ මතුව ඇති ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව අද (16) දිනයේ  විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු සෞඛ්‍ය බලධාරීන් එම සාකච්ඡාවට සහභාගීවීමට නියමිත බවද එම කොමිසමේ ප්‍රකාශකයකු පැවැසීය.

ඉදිරි මහ මැතිවරණය සඳහා කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය කෙසේ බලපාන්නේදැයි සහ එම වයිරසයෙන් ආරක්ෂා සහිතව මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන්  මෙහිදී  සාකච්ඡාවට ලක් කෙරෙන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.


''මහ ඡන්දය කල් දාන්න පුළුවන්'' - මැතිවරණ කොමිසමේ සභාපති කියයි

''කොවිඩ් 19 වෛරසය පැතිරයාම දේශීය වශයෙන් වසංගත තත්වයක් දක්වා වර්ධනය වුවහොත්, පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දිනය කල් දැමීමේ හැකියාවක් ඇතැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.''


ඔහු එබව පවසා ඇත්තේ, මැතිවරණය කල් දැමීම පිළිබඳව සලකා බලනවා දැයි 'අනිද්දා' පුවත්පත කළ විමසීමකදීය.

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 වගන්තියේ 3 වන උප වගන්තිය යටතේ, ජනාධිපතිවරයා මහ මැතිවරණයට දින නියම කිරීමෙන් පසුව හදිසි තත්වයක් යටතේ මැතිවරණ දිනය කල් දැමීමේ හැකියාවක් මැතිවරණ කොමිසන් සභාවට ඇති බව පවසන මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා, කෙසේවුවද කොමිසමට කල් දැමීමේ හැකියාව ඇත්තේ මැතිවරණ දිනය බවත්, නාමයෝජනා බාර ගන්නා අවසන් දිනය කල් දැමීමේ හැකියාවක් නොමැත බවත් කියා සිටියි.

ජනාධිපති දැඩි ස්ථාවරයක : ඡන්දය කල් දැම්මොත් ආණ්ඩුවට අවාසි ලු!

කෙසේවුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ, දැනට යොදාගෙන ඇති පරිදිම අප්‍රේල් 25දා මහ මැතිවරණය පවත්වන බවයි.

කොරෝනා වසංගතය පාලනය කිරීම පිළිබඳව දකුණු ආසියානු නායකයන් අතර ඊයේ (15) පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කළේය.

මේ වන විටත් රට තුළ කොරෝනා වසංගතය පාලනයට සහ විදෙස් රටවලින් වෛරසය රටට ඇතුළු වීම පාලනය කිරීමට කටයුතු යොදා ඇතැයි ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පාලනය කිරීමේ පියවරක් ලෙස මහ මැතිවරණය මාස කිහිපයකට හෝ කල්දැමීමට මැතිවරණ කොමිසම විසින් පියවර ගතහොත් එය ආණ්ඩුවට බරපතල ලෙස අවාසි සහගතවිය හැකි බවට ජනමත සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

සබැඳි පුවත් :

ඡන්දය කල් දැම්මොත් ආණ්ඩුවට අවාසියි - ආණ්ඩුවේ සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වේ 

''පාර්ලිමේන්තු මැතිවරණය කල්දමා, වහාම පාර්ලිමේන්තුව කැඳවන්න'' - හෙළ බොදු සවිය, ජනපතිට කියයි

කොරෝනා වෛරසය : මැතිවරණය පැවැත්වීමට මැකෝගෙන් කොන්දේසියක් ! (VIDEO)

#fightcorona : කොරෝනා වෛරසයේ ඉරණම ඇත්තේ ඔබේ දෑත්හිය : අත් සේදීමේ දී කළ යුතු හා නොකළ යුතු දේ !

#fightcorona : ''ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ, කොරෝනා පාලනය කිරීමට එක්සත්ව සටන් කරමු'' - මංගල (වීඩියෝ) 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්