මැලේසියාව ආසියාවේ නැගී එන ආර්ථිකයක් සහිත රටක් බව ලෝ ප්‍රකට කරුණකි. එරට ඒ දක්වා පැමිණි ගමන ඉතා දීර්ඝ ඉතිහාසයකින් ඇරඹෙන එකකි.


ඇමරිකා එක්සත් ජනපදය පිළිබඳව කතා කිරීමේදී “රතු ඉන්දියානුවන්” (Red Indians),ඕස්ට්‍රේලියාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී  “ඇබුනීනියන්” (Abojiniale) වරු මෙන්ම මැලේසියාව පිළිබඳව කතාකිරීමේදී “අස්ලිවරුන්” (Asli People) පිළිබඳව සඳහන් කළ යුතුකමය.

 

asli

අස්ලි යනු පැරණි මලයා අර්ධද්වීපය නිජබිම කරගෙන ජීවත්වූ ගෝත්‍රික ජනවර්ග ගණනාවක් හැදින්වීම සඳහා පොදුවේ යොදාගන්නා නාමයකි.

 

වසර දහස් ගණනක් පුරා මෙම ගෝත්‍රික ප්‍රජාවන් එම භූමියේ හිමිකරුවන් ලෙස ජීවත් වෙමින් සිට ඇත. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ පමණ සිට ක්‍රිස්තු වර්ෂ  දහවන සියවස දක්වා පමණ වූ දිගු කාලය තුළ නිරිත දිග චීනයේ සිට සංක්‍රමණ වී ඉන්දුනීසියාව, සුමාත්‍රා, ජාවා ආදී දූපත් හරහා මැලේසියාව වෙත ලඟාවූ ජනවර්ග, වර්තමාන වියට්නාමයට අයත් “මෙකොන් ඩෙලටාව” (Mekong Delta)  ප්‍රදේශයේ සිට සංක්‍රමණයවූ  “චාම්” (Cham people) නම් ජනවර්ගය ආදී විවිධ සංක්‍රමණික ජනවර්ග මිශ්‍රව “මැලේ” (Malay) නම්වූ තනි ජනවර්ගය ගොඩනැගෙන තුරුම මැලේසියවේ උරුමක්කාරයන් ලෙස අණසක පතුරුවා සිටියේ එම ආදී වාසී ජනකොටස්ය. ඇතැම් ආදි වාසී ගෝත්‍රික පිරිස් ද පසු කාලීනව මෙම නව ජනවර්ගය සමග සමිශ්‍රව තිබේ. සංක්‍රමණික ජනවර්ග එක්ව ගොඩනැගුන මැලේ ජනවර්ගය ක්‍රමයෙන් භූමිය පුරා පැතිර ගොස් ආදීවාසීන් අභිබවා භූමිය සිය පාලනයට ගන්නට තරම් ශක්තිමත්වෙයි.

 alis 2          

වර්තමානය වනවිට මැලේ වරුන් සම්පූර්ණයෙන්ම ඉස්ලාම් ලබ්ධික ජනවර්ගක් බවට පත්ව සිටියද ඉතිහාසයේ සඳහන් පරිදි ක්‍රිස්තුවර්ෂ පළමු සියවස සහ ක්‍රිස්තුවර්ෂ හතරවන සියවස අතර කාලය වන විට ආසියාවේ වෙනත් බොහෝ සමකාලීන රාජ්‍යයන් තුළ මෙන්ම මැලේසියාව තුළද හින්දු දහම සහ බුදු දහම ප්‍රචලිතව තිබී ඇත. ලිඛිත භාෂාව ලෙස භාවිතා වී තිබුණේ සංස්කෘත භාෂාව බව සඳහන්වෙයි. සේද මාවත ඔස්සේ මැලේසියාව හරහා සංක්‍රමණය වූ අරාබි ජාතීකයෝ සහ ඉන්දියානු වෙළෙන්දෝ විසින් ක්‍රි.ව 1200-1300 කාලසීමාව තුළ මැලේවරුන්හට ඉස්ලාමය හඳුන්වා දී තිබූහ. මෙම සමාජ පරිවර්තනය සඳහා බලපෑ ප්‍රධාන සාධකය වන්නේ සේද මාවත ඔස්සේ සංචාරය කළ ලොව නොයෙක් ජාතීන්ට, ලබ්ධීන්ට අයත් සංක්‍රමණිකයන්හට මැලේසියාව තරණය කළයුතුම වූ ස්ථානයක් බවට අතීතයේ පටන් පත්ව තිබීමය.      

 

ඉන්දියන් සාගරය සහ චීන මුහුද අතර පිහිටි මලක්කා සමූද්‍ර සංධිය හේතුවෙන් අතීතයේ පටන් වෙළදාම පදනම් කරගත් අධිරාජ්‍ය කිහිපයක් මැලේසියා අර්ධද්වීපය තුළ බිහිවී තිබේ. මලයාසියාව කේන්ද්‍ර කරගෙන විවිධ යුගවල ගොඩනැගුණ අධිරාජ්‍යයන් ඉතිහාස ග්‍රන්ථ තුළ හැදින්වෙන්නේ “මලයා අධිරාජ්‍යය” ලෙසය.
           

ඒ අතරින් මැලේසියාවේ ස්වර්ණමය යුගය ලෙස සඳහන් වන්නේ ක්‍රිස්තු වර්ෂ  7 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 13 වන සියවස තෙක් සියවස් හයක පමණ කාලයක් පුරා කලාපය පාලනය කළ බෞද්ධ රාජ්‍ය වංශයක් වූ  “ශ්‍රීවිජය” (Srivijay) වරුන්ගේ මලයා අධිරාජ්‍ය කාලයයි. අද පවතින මැලේසියාවට වඩා භෞතිකව පුළුල් ප්‍රදේශයක් එකල මලයා රාජධානියට නතුව පැවති බව සඳහන් වේ. චීනය සහ ඉන්දියාව සමඟ ඉතා ඉහළ තත්වයේ වෙළඳ සබඳතාවයන් පවත්වාගනිමින් රාජ්‍යය කළ මෙම රාජවංශයට පසුව නැවත කැපී පෙනෙන රාජ්‍යයක් ගොඩනගන්නේ හින්දු ලබ්ධික කුමාරයෙකු වන පරමේශ්වර විසිනි.
         

Retrato de Parameswaraමුහුදු මංකොල්ලකරුවෙකු ලෙස ප්‍රසිද්ධව සිටි පරමේශ්වර (Parameswara) ක්‍රි.ව 14 වන සියවසේදී චීනයේ “මින්ග්” අධිරාජ්‍යයේ ආරක්ෂාවද ඇතිව මැලේසියාවේ ගිනිකොණදිග පිහිටි වෙරළ නගරයක් වන මලක්කාව (Malacca) කේන්ද්‍ර කරගනිමින් වඩා ශක්තිමත් අධිරාජ්‍යයක් ගොඩනඟා ගනී. යාබද සියම් රාජධානියෙන් (වර්තමාන තායිලන්තය) එල්ලවන තර්ජන මැඩපැවැත්වීම සඳහා මෙලෙස පරමේශ්වර රජු විසින් චීනයේ සහය පැතූ අතර, චීනයේ ආරක්ෂාව ද ඇතිව ගොඩනැගූ මලක්කා රාජ්‍යධානිය ඉතා සමෘධිමත් වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස පසුකාලීනව නැගී සිට තිබේ. ඉන්දියාවෙන් පිටත් වූ ගම්මිරිස්, කුළුබඩු සහ ඇඟලුම් පිරි නැවු, චීනයෙන් පිටත්වූ සේද සහ පෝසිලේන් නිර්මාණ ආදී විසිතුරු ආයිත්තම් පිරි නැවු ආදියෙන් මලක්කා වරාය කාර්යබහුලව තිබී ඇත. එමෙන්ම සමකාලීනව ඉස්ලාම්කරනය වෙමින් තිබූ මලයාව හින්දු දහම අතහැර ඉස්ලාම් දහම වැළඳ ගත් පරමේශ්වරගේ මැදිහත් වීමෙන් පසුව  කලාපයේ  ස්ලාමීය  මධ්‍යස්ථානය  බවට  පත්විය. “ස්කන්දර් ෂා” (Iskander Shah) ලෙස මැලේසියානු ඉතිහසය තුළ සඳහන් වන්නෙ ස්ලාම් ලබ්ධිකයෙකු බවට පත්වූ පරමේශ්වර රජු බව සැළකෙයි.
           

ආසියාව හරහා වැටී තිබූ සේද මාවතේ ගොඩබිම් පිවිසුම් මධ්‍යස්ථාන මොංගෝලියානු අධිරාජ්‍ය විසින් චීන අධිරාජ්‍යයට එරෙහිව වසා දැමීමත් සමග මාලක්කාව හරහා ගමන් ගන්නා වෙළෙඳ නැවු සංඛ්‍යාව මෙන්ම මලකාවේ වෙළඳ පරිසරයද වැඩිදියුණු විය. ඒ හරහා ගොඩනැගුන සශ්‍රීක මලක්කා අධිරාජ්‍යය වසර සියයකට පමණ පසුව සිදුවන යුරෝපීය ආක්‍රමණයන් දක්වාම දීප්තිමත්ව පැවතිණි.
           

863855e732b891424680d6eb3a3d5b57

 

ක්‍රිස්තුවර්ෂ පහළොස්වන සියවසේදී පෘතුගීසින් ප්‍රමුඛ බටහිර ජාතීන් ලොව වටා මුහුදු මාර්ග සොයා යාමත් සමග ආසියාවේ පැවති සාම්ප්‍රදායික සමාජ ආර්ථික හා දේශපාලන රාටාව වෙනස් වූ ආකාරය පළමු පරිච්ඡේදයේ සඳහන් වෙයි. මලයාවටද ඒ ඉරණමට මුහුණ දෙන්නට සිදුවන්නේ ක්‍රි.ව 1509 දී පෘතුගීසි යාත්‍රාවන් මලයාවේ වෙරළට සේන්දු වීමත් සමගය. ක්‍රි.ව 1511 දී මලක්කා නගරය වටකොට පහරදෙන පෘතුගීසිහු දේශීය පාලකයා සහ ඔහුගේ සොල්දාදුවන් මැලේසියාවේ ජොහොර්  (Johor) ප්‍රදේශට පලවා දමා නගරය සිය පාලනයට යටත් කරගනු ලබයි. නගරය වටා සුප්‍රකට සන්තියාගෝ බලකොටුව (Porta de Santiago) ඉදිකරගන්නා ඔවුහු එතැන් පටන් වසර 130 ක් යනතුරු මලයාව සිය අණසක යටතේ පවත්වා ගැනීමට සමත්වෙති.
           

පෘතුගීසින් විසින් බලය පවත්වාගෙන ගිය තම රාජ්‍යය ඔවුන් වෙතින් මුදවා ගන්නට කල් යල් බලමින් ජොහෝර් හි සිටි පලාගිය මලයාවේ දේශීය සුල්තාන්වරයාට තවත් බටහිර ජාතියක් වූ ලන්දේසීන් සමග සබඳතාවයන් ගොඩනගාගන්නට හැකිවෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස, දේශීය මැලේ භට කණ්ඩායම් සහ ලන්දේසි හමුදාව එක්ව මලක්කාවේ පෘතුගීසි බලකොටුව වටකරනු ලබයි. ඒ වර්ෂ 1641 දීය. එම මෙහෙයුමෙන් පෘතුගීසින් පලවාහැර මලක්කාවේ බලය තහවුරු කරගන්නට ලන්දේසිහු සමත්වෙති. පෘතුගීසින් පලවාහරින්නට දේශීය පාලකයින් වෙතින් ලැබුන  සහයෝගය වෙනුවෙන් ජොහොර් පලාත වෙනුවෙන් විශේෂ බදු සහන ලබා දෙන ලන්දේසීහු දේශීය සුල්තාන්වරුන්ගේ විරෝධය මැද වසර 150 ක කාලයක් මලක්කාව කේන්ද්‍ර කරගෙන මලයාව පාලනය කරනු ලබයි.
               

EIC

 

ක්‍රි.ව 1780 පමණ වන විට බ්‍රිතාන්‍ය සිය “පෙරදිග ඉන්දියානු  සමාගමේ”  (EIC-East India Company) මෙහෙයුම් ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් ඉන්දියන් සාගරය, මලක්කා සමූද්‍ර සංදිය හරහා චීන මුහුද තෙක් ව්‍යාප්ත කොට තිබුණේය. මලයාව ආශ්‍රිතව මෙහෙයුම් මධ්‍යස්ථානයක ඇති වැදගත්කම අවබෝධ කරගත් බ්‍රිතාන්‍යයෝ මලේසියාවේ “පිනෑන්ග්” (Penang) දූපත ආශ්‍රිතව සිය ප්‍රථම මෙහෙයුම් මධ්‍යස්ථානය ස්ථාපනය කරයි. ඒ වර්ෂ 1786 දීය. එම වකවානුවේ යුරෝපය තුළ සටන් වදිමින් සිටි නැපෝලියන් බොනපාට්ගේ (Napoleon Bonapate) ප්‍රංශ සේනාවන් නෙදර්ලන්තය (The Netherland-ලන්දේසීන්ගේ මවු රට) යටත් කරගැනීමත් සමඟ ප්‍රංශ බලපෑම පෙරදිග දක්වා පැතිරෙතැයි කළබලවූ බ්‍රිතාන්‍යයෝ ලන්දේසින්ගේ බාරයේ තිබූ ජාවා දූපත සහ මලක්කාව තමන් යටතට පවරා ගත්හ. වර්ෂ 1818 දී සිදුවූ නැපෝලියන්ගේ පරාජයත් සමඟම බ්‍රිතාන්‍ය තමන් පවරාගෙන සිටි මලයාවේ ලන්දේසි පාලන ප්‍රදේශ නැවත ලන්දේසීන් වෙතට පවරා දෙන ලදි.
             

මෙම වකවානුවේ ජාවා දූපතෙහි බ්‍රිතාන්‍ය නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ “ස්ටැෆර්ඩ් රෆල්ස්” විසින් පෙරදිග වෙළඳ සමාගම සහ ජොහොර් හි ස්ථාන ගතව සිටි මලේසියානූ දේශීය සුල්තාන්වරයා සමග සාකච්ඡා කොට ප්‍රමාණවත් මුදලකට මලයාවේ දකුණු කෙළවර පිහිටි සිංගපූරු ප්‍රදේශය ජොහොර් පරිපානය වෙතින් නිදහස් කොටගෙන බ්‍රිතාන්‍ය වෙත නතු කරගන්නට සමත්වෙයි. වර්ෂ 1819 සිංගපූරුව බලා පිටත්ව වන රෆල් එහි බ්‍රිතාන්‍ය වෙළද මධ්‍යස්ථානක් ස්ථාපනය කරන්නට කටයුතු කරයි.           

 

මෙම වකවානුව, විශාල ගොඩබිම් සහ දූපත් ගණනාවක් පුරා විසිරී තිබූ මලයාවේ ඇතැම් ප්‍රදේශ ස්වාධීන රාජ්‍යයන් ලෙස ගොඩනැගෙන්නට පදනම් වූ සිදුවීම්වල ආරම්භක අවධිය ලෙස හඳුනාගත හැකිය. විශේෂයෙන්ම වර්ෂ 1824 දී ඉංග්‍රීසින් සහ ලන්දේසීන්  අතර අත්සන් කෙරුන  ඉංග්‍රීසි ලන්දේසි ගිවිසුම (Anglo–Dutch Treaty) හරහා මෙතෙක් කලක් ඒකීය පරිපාලන ප්‍රදේශයක් ලෙස පැවති මලයාව දේශපාලනිකව පරිපාලන ප්‍රදේශ දෙකක් බවට පත් විය. ඉන්දුනීසියාව වෙනම පරිපාලන කළාපයක් ලෙස නෙදර්ලන්තය යටතට පත්වූ අතර මලක්කාව, පිනෑන්ග් දිවයින, සිංගපූරූව සහ මලයාවේ ඇතැම් දකුණු ගොඩබිම් සහ දූපත් ප්‍රදේශ බ්‍රතාන්‍ය යටතට පත්විය. “බ්‍රිතාන්‍ය මලයාව” (British Malaya) ලෙස හැදින්වෙන්නේ ඉංග්‍රීසින් යටතේ පාලනය වූ එම ප්‍රදේශයයි.       

 

මැලේසියාව සහ සිංගපූරුව තුළ වර්තමානයේ පවතින බහු වාර්ගික, බහු සංස්කෘතික සමාජ සංයුතිය එළෙස නිර්මාණය වන්නට බ්‍රිතාන්‍යය මලයාව තුළ සිදුවූ ඉංග්‍රීසීන්ගේ ක්‍රියාකාරීත්වය සෘජුවම බලපෑම් කොට තිබේ. මැලේසියාව තුළ ඔවුන් ඇරඹූ කෘෂිකාර්මික ව්‍යාපෘති, දුම්රිය මාර්ග, පාලම්, මහා මාර්ග වැනි ඉදිකිරීම් ව්‍යාපෘති, පතල් කර්මාන්තයන් ආදී ව්‍යාපෘතීන් රැසක් සදහා වූ මිනිස් ශ්‍රමය ඉන්දියාව, චීනය සහ ශ්‍රී  ලංකාව (ශ්‍රී ලංකාව එකල  “සිලෝන්” ලෙස හඳුන්වන ලදි) වැනි රටවලින් සපයා ගැනීමට ඉංග්‍රීසිහු කටයුතු කලහ. ප්‍රධාන වශයෙන් ඉන්දියානුවන් සහ චීන ජාතිකයන් කම්කරුවන් ලෙසත්, ශ්‍රී ලාංකිකයන් සිවිල් සේවකයන් ලෙසත් මැලේසියාව තුළ ඉංග්‍රීසින් විසින් සේවයේ යොදවා තිබේ.
           

වර්ෂ 1929 වන විට රබර් වගාව හා ආශ්‍රිත කර්මාන්ත තුළ පමණක් ගණනින් 2,58,000 පමණ වූ දකුණු ඉන්දියනූ ද්‍රවිඩ කුලී කම්කරුවන් ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය වැවිලිකරුවන් යටතේ මැලේසියාව තුළ සේවය කරමින් සිට ඇත. වගා බිම් තුළ මෙන්ම, ඉංග්‍රීසින් තම නිෂ්පාදනයන් ප්‍රවාහනය පහසු කරගනු වස් ඉදිකළ දුම්රිය මාර්ග ජාලයේ සේවය කළ කම්කරුවන්ගෙන් බහුතරයද ද්‍රවිඩ කුලී කම්කරුවෝ වූහ.
           

චීන ජාතිකයන්ගේ පැමිණිම සිදුවන්නේ ප්‍රධාන වශයෙන් පතල් කර්මාන්තය ඉලක්ක කරගනිමිනි. මැලේසියාව තුළ බහුලව තිබූ “ටින්” ලෝහය, පතල් කර්මාන්තය හරහා ඉවතට ගෙන අපනයන කිරීමෙන් ඉංග්‍රීසිහු ඉහළ ආදායම් ලැබූහ. මෙම කර්මාන්තයේ කම්කරුවන් අති බහුතරය වූයේ චීනයෙන් රැගෙන ආ පිරිස්ය. ඉන්දියානු ද්‍රවිඩ කම්කරුවන්ට සාපේක්ෂව චීන කම්කරුවන් සඳහා මැලේසියාව තුළ තරමක ඉහළ සුබසාධන පහසුකම් සැලසී තිබී ඇති බව ඇතැම් වාර්තා තුළ අදහන් වේ.
           

malay

වර්ෂ 1957 අගෝස්තු මස 31 වන දින බ්‍රිතාන්‍ය වෙතින් නිදහස ලබන විට මැලේසියාව ජනපද ගණනාවක එකතුවක් වූ මැලේසියානු ෆෙඩරේසනයක් විය. ඉංග්‍රීසීන් විසින් සංවිධානාත්මකව ගොඩනැගූ පිනෑන්ග්, මලක්කා, සිංගපූරුව වැනි වරාය නගරයන් අද වනවිටත් ඒ ඒ දේශපාලනික කලාප තුළ ආර්ථික කේන්ද්‍රස්ථාන ලෙස ක්‍රියාතමකව පවතී. වර්ෂ 1965 දී සිංගප්පූරුව, ජාතිකත්වය සහ වෙනත් දේශපාලනික කරුණු ඉදිරිපත් කරමින් මැලෙසියානු ෆෙඩරේසනයෙන් වෙන්ව ස්වාධීනව ස්වකීය දේශපාලනික සහ ආර්ථික වැඩපිළිවෙළක් වෙත යොමු වෙයි. නමුත් අදටත් මැලේසියාව සහ සිංගපූරුව යන දෙරටේම ප්‍රධාන මූල්‍ය උපායික මාර්ගවලට පදනම වැටී ඇත්තේ ක්‍රිස්තු පුර්ව යුගවළ සිට අද දක්වාම ඒ රාජ්‍යන් හරහා විවිධ පරිවර්තනයන්ට හසුව ඇදී යන සේද මාවත පදනම් කරගෙනය.
         

mahathirවර්ෂ 1981 දී ස්වාධීන මැලෙසීයාවේ අගමැති ලෙස දිවුරුම් දෙන “ආචාර්ය මහතීර් මොහොමඩ්” (Dr Mahathir Mohamad) වසර විසිදෙකක් පුරා එරට පාලනය කරනු ලබයි. නූතන මැලේසියාව ආසියාවේ නැගීඑන ආර්ථිකයක් කරා රැගෙන ආ නායකයා ලෙස දෙස් විදෙස් කීර්තියට පත් මහතීර් මොහොමඩ්, සාම්ප්‍රදායික කෘෂිකාර්මික හෝ ධීවර ජීවන රටාවකට හුරුව සිටි එරට බහුතර ජනවර්ගය වූ මැලේවරු නූතන ආර්ථික වැඩපිළිවෙළ වෙත සම්බන්ධ කරගන්නට සැලසුම් රැසක් ගෙන ආ නායකයෙකු විය. ඒ හරහා ඉංග්‍රීසි යුගයේ සංක්‍රමණිකයන් ලෙස එරටට පැමිණ ඒ වනවිට ආර්ථිකයේ ප්‍රධාන තැනක් හිමිකරගෙන සිටි චීන ජාතික ව්‍යාපාරික  ප්‍රජාව සමඟ කරට කර සිටින්නට මැලේවරුන්ට අවස්ථාව හිමිවිය.
           

විශේෂයෙන් විදේශීය ආයෝජන ඉලක්ක කරගත් බදු සහන ලබා දීම සහ ප්‍රවාහන පද්ධතිය ඇතුළු රටේ යටිතල පහසුකම් දියුණු කිරීම හරහා චීනය ප්‍රමුඛ කලාපීය රටවල මුදල් තම රට තුළට  විශාල  වශයෙන්   ඇදගන්නට  තරම්  “ඩොක්ටර් එම්” (Dr.M) ලෙස මැලේසියනුවන් විසින් හඳුන්වන මහතීර් මොහොමඩ් මහතා සමත්වෙයි.        
         

නූතන මැලේසියාව, නැගෙනහිර මැලේසියාව (Estern Malaysia) සහ බටහිට මැලේසියාව (Western Malaysia) ලෙස ප්‍රධාන භූගෝලීය ප්‍රදේශ දෙකකින් යුතු රාජ්‍යක් ව පවතියි.ඉන්දුනීසියාව හා බෘනායි රාජ්‍යයන්ට මායිම්ව පිහිටි “සභා” (Sabah) සහ “සරවක්” (Sarawak) නැහෙනහිර මැලේසියාවට අයත් පරිපාලන කලාප දෙක වෙයි. බටහිර මැලේසියාව ලෙස හැදින්වෙන්නේ එරටෙහි පරිපාලන මධ්‍යස්ථානය වන “පුත්‍රජායා” (Putrajaya) සහ එරට වාණිඡ්‍ය අගනුවර වන “ක්වාලාලම්පූර්” (Kuala Lumpur) නගරය පිහිටා ඇති වර්ග කිලෝමීටර 1,81,300 කින් යුතු භූමි ප්‍රදේශයයි. වයඹ දිගින් ඉන්දියන් සාගරයේ අන්දමන් මුහුදටත්, උතුරු දිගින් තායින්තයටත්, ඊසාන දිගින් තායිලන්ත ගල්ෆ් මුහුදු කලාපයටත්, ගිනිකොණ දිගින් මලක්කා සමුද්‍ර සන්දියට සහ දකුණෙන් සිංගපූරුවටත් මායිම්ව පිහිටි බටහිර මැලේසියාව, සභා සහ සරවක් යන මැලේසියානු පරිපාලන කලාප දෙකට වඩා ආර්ථික, දේශපාලනික මෙන්ම සංක්‍රමණික විෂයන් සම්බන්ධයෙන් වඩා ඉහළ වැදගත්කමක් උසුලයි .
         

වර්ෂ 2020 වන විට මැලේසියාව තුළ සමස්ථ ජනගහනය මිලියන 32.7 ක් ලෙස එරට ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව  වාර්තා කොට තිබේ. ඒ අතරින් ඉන්දියානු සම්භවයක් සහිත මැලේසියානු පුරවැසියන්ගේ ප්‍රතිශතය සමස්ථ ජනගහනයෙන් 6.8% කි, චීන සම්භවයක් සහිත මැලේසියානු පුරවැසියන්ගේ ප්‍රතිශතය 22.6% කි. බහුතරය වූ මැලෙවරුන්ගේ ජනගහනය එරට සමස්ථ ජනගහනයෙන් 69.6% ක් ලෙස සඳහන් වෙයි. සමස්ත ජනගහනයෙන් 1%  ක් වූ ප්‍රමාණයක් විදේශීයකයන් ලෙස සඳහන්වෙයි. 2020 වනවිට එරට තුළ  රැඳීසිටින විදේශයන්ගෙන් සංක්‍රමණ වූ පිරිස සංඛ්‍යාත්මකව පුද්ගලයන් මිලියන තුනකි.
         

islam

 

එරට සමස්ත ජනගහනය අතුරෙන් වැඩකරන ප්‍රජාව සංඛ්‍යාත්මකව මිලියන 15.71ක් වන අතර 2020 වන විට මැලේසියාව තුළ සේවය කරමින් සිටින විදේශීය ශ්‍රමිකයන් සංඛ්‍යාව පුද්ගලයන් 19,75,879 කි. ඒ අතුරින් බහුතරය වූ ශ්‍රමිකයන් 6,90,659 ක පිරිසක් යාබද රාජ්‍යය වූ ඉන්දුනිසියාවේ සිට සංක්‍රමණයවූ පිරිස් වන අතර මියන්මාරය, වියට්නාමය, පිලීපීනය, තායිලන්තය, කාම්බෝඡය සහ ලාඕසය යන රටවල සිට සංක්‍රමණය වූ ශ්‍රමිකයෝද ඒ අතර වෙති.
           

වර්ෂ 2020 ඔක්තෝබර් මාසය වන විට මලේසියාව තුළ ජාත්‍යන්තර නීතිය යටතේ දේශපාල රැකවරණය හෝ සරණාගත භාවය සඳහා අයදුම් කරමින් තම ආයතනය වෙත ලියාදංචිව සිටි විදේශිකයන් සංඛ්‍යාව පුදගලයන් 1,78,450 ක් බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳව වූ කාර්යාලයේ මැලේසියානු කාර්යාලය සඳහන් කරයි.
         

2020 වර්ෂය වන විට මානව ප්‍රාග්ධන දර්ශකයේ ලොව රටවල් 157 අතුරින් 55 වැනි ස්ථානයට ලඟා වීමට මැලෙසියියවට හැකිව ඇති බව ලෝක බැංකු වාර්තා පෙන්වාදෙයි. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන පරිදි මැලේසියාව වර්ෂ 2020 වන විට  අග්නිදිග ආසියාවේ හයවන විශාලතම ආර්ථිකය හිමි රාජ්‍ය බවට පත්ව තිබේ. එම වාර්තාවට අනුව මැලේසියාව ලොව විශාලතම ආර්ථිකයන් හිමි රටවල් අතර පසුවන්නේ 39 වන ස්ථානයේය. වසර 2019 වන විට මැලේසියානු පුරවැසියෙකුගේ වාර්ෂික එකපුද්ගල   ආදායම  ඇමරිකානූ  ඩොලර් 11,200 ක් බව ලෝක බැංකු වාර්තා සදහන් කරයි.
අපායේ කතාවෙන් ලබන සතියේදී මැලේසියාවේදී මුණගැසුන ලාංකික අමුත්තන් සමග වූ මගේ නව ජීවිතය ගැන කියවමු !

 
Rasika Apaye kathawa
 
රසික එස් චන්ද්‍රසේකර
This email address is being protected from spambots. You need JavaScript enabled to view it."
 
 
 
 
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්