The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සුපිරි පුරවරයේ අඳුරු කතාන්දර - සිංගපූරු සංචාරයේ මතක : 3 කොටස - (රසික එස් චන්ද්‍රසේකර)

T

The Leader Desk

September 2, 2022 • 7:29 AM

සුපිරි පුරවරයේ අඳුරු කතාන්දර - සිංගපූරු සංචාරයේ මතක : 3 කොටස - (රසික එස් චන්ද්‍රසේකර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගුවන්තොටුපොළ පර්යන්තයෙන් ක්‍රමයෙන් නික්ම නගරය වෙත අවතීර්ණ විය.
  • නමුත් ඔබට වැදගත් බොහෝ දේ මට මෙහි සටහන් කරන්නට ඇත.
  • එහි වූ නොයෙක් ස්ථාන අතරින් මගේ නෙත් නතරවූයේ “පුංචි ඉන්දියාව” (Little India) ලෙස සඳහන් වූ ස්ථානයයේය.
  • ඉන්දියානුවන් ලාංකියන් හා සමාන ගති පැවතුම් ඇති බව මම අසා තිබුණෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):

ගුවන්තොටුපොළ පර්යන්තයෙන් ක්‍රමයෙන් නික්ම නගරය වෙත අවතීර්ණ  විය. උස් පහත් විසිතුරු ගොඩනැගිලි පසුකරමින් එය සිංගපූරු නගරය හරහා ගමන් ගනිමින් තිබිණ.  මම කිසිදු අරමුණකින් තොරව අසුනක හිඳ සිටි අතර, මා මෙට්‍රොවේන් බැස යා යුත්තේ කුමන ස්ථානයකටද යන්න සත්‍ය වශයෙන්ම දැන නොසිටියෙම්.  මා පැමිණ තිබුණේ හිතුවක්කාර ගමනකි. එළෙස මව්බිම හැරදා එන්නට බලපෑ කරුණු ඔබට වැදගත් නොවන බැවින් මම මෙහි සටහන් නොකරමි. නමුත් ඔබට වැදගත් බොහෝ දේ මට මෙහි සටහන් කරන්නට ඇත.

ආපසු හැරී යාමට මා ප්‍රමාද වැඩිය. මම කිසිත් ගැඹුරින් නොසිතා ඉන්නට උත්සාහ කළෙමි. නමුත් සත්‍යවශයෙන්ම මම කැළඹී සිටියෙමි. ගුවන් තොටපොළින් ලද සිංගපූරු නගරයේ සිතියම දිග හැර බැලුවෙමි. එහි වූ නොයෙක් ස්ථාන අතරින් මගේ  නෙත්  නතරවූයේ  “පුංචි ඉන්දියාව” (Little India) ලෙස සඳහන් වූ ස්ථානයයේය. ඉන්දියානුවන් ලාංකියන් හා සමාන ගති පැවතුම් ඇති බව මම අසා  තිබුණෙමි. පුංචි ඉන්දියාව බහුලව ඉන්දියානුවන් වෙසෙන බැවින් එලෙස  නම  ලැබුණා  විය යුතුය. ඒ අනුමානය ඔස්සේ යමින් මම පුංචි ඉන්දියාවට ගොස් නවාතැන්පොළක් සොයා ගන්නෙමි, යැයි සිතුවෙමි. මාර්ග සිතියම අනුව යමින් මෙට්‍රොවෙන් බැස ගත් මම තවත් බස් රථයක නැගී පුංචි ඉන්දියාවට ළඟා වුනෙමි.
 
 
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය පුංචි ඉන්දියාවම විය. බැලූ බැලූ අත ඉන්දියානුවන්ය. කුඩා ආපනශාලා, සිල්ලර වෙළඳසැල්, බීම හල්, පෙට්ටි කඩ, මේ සෑම එකකම පාහේ ඉන්දියානු වෙළෙන්දෝ වූහ. මං මාවත්වල ඇවිද ගිය අතලොස්සක්  චීන ජාතිකයින්, යුරෝපීයයන්, හැරෙන්නට බහුතරය ඉන්දියානු පෙනුමැති පිරිස් වූහ.
 
india
 
පුංචි ඉන්දියාව
 
 
සැන්දෑ වනතුරුම මම, මං මාවත් දිග ඇවිද ගියෙමි. වරෙක උද්‍යානයක හිද විඩා නිවුවෙමි.  නැවත ඇවිද ගියෙමි. අවසානයේ රාත්‍රිය ගත ගතකිරීම සඳහා නවතැනක් සොයා ගත යුතු හෝරාව එළඹ තිබිණි. මම  “මායෝ” විදියේ වූ “හාමනි ඉන්” නම් වූ නවාතෙන්පොළෙහි සාධාරණ  මුදලකට නවාතැන් ලබාගත හැකිවිය.
     
එය එවැනි ආකාරයක නවාතැන්පොළෙක් තුළ මම ලැබූ පළමු අත්දැකීම විය. කාමර තුළ තට්ටු ඇඳන් වූ අතර ඒ ආකාරයේ ඇඳන් තුනක නවාතැන්කරුවෝ සය දෙනෙකු වූහ. විශ්මය දනවන කරුණ  වූයේ එකම  කාමරය තුළ  කාන්තා හා පිරිමි යන දෙපාර්ශවයේම නවාතැන්කරුවන් එකට නවාතැන් ගෙන සිටීමය. ඔවුහු එකිනෙකා නොහඳුනන අය වූ අතර වෙන වෙන ම පැමිණ එහි එකට නවාතැන් ගෙන සිටියහ. මා වෙනුවෙන් වෙන්කෙරුණු ඇඳට පහළින්  ඉන්දියානුවකු නවාතැන් ගෙන සිටි අතර අනෙක් තට්ටු ඇඳන් දෙකෙහි කොරියානු කෙල්ලන් දෙදෙනෙකු හා මැලෙසියනු කොල්ලන් දෙදෙනෙකු වූහ. කිසිවෙක් කිසිවෙකුට කරදරයක් හිරිහැරයක් නොවන ලෙස කාමරය තුළ  සංවරව  ගතකළහ. බොහෝ විට ඔවුන් කාමරය තුළ ගත කලේ රාත්‍රිය පමණි.  කෙලවරක් නැති උස් පහත් ගොඩනැගිලි වලින් යුතු කොන්ක්‍රීට් නගරයේ මම නොදන්නා ඉසවුවක ඔවුහු දහවල ගත කලහ.

ඉක්බිති පුරා සතියක් මම මේ මිනිසුන් හා ගැහැනුන් සමග හාමනි ඉන් නවාතැන්පොළ තුළ  ජීවිතය අත්වින්දෙමි.
 
හාමනි ඉන් නවාතැන්පොළ තුල දවස් ගෙවී යන අතර මට විවිධ පිරිස් සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමට හැකිවිය. මෙවැනි නවාතැන්පොළ වල සිටින බහුතරයක් දෙනා දීර්ඝ කාලීනව එරට  රැදී සිටින්නො වෙති. ඇතැම්හු එරටෙහි විවිධ රැකියා වළ නියුතු විදේශිකයෝ වෙති. ඇතැම් සිංගප්පූරු ජාතිකයෝ ද තමන්ගේ නිවාස විවිධ ව්‍යාපාර වෙත ඉහළ මිලකට බදු දී අඩු වියදමින් මෙවැනි ස්ථානවල දිවි ගෙවති.  

           
විවිධ අරමුණු සඳහා විදේශීය පිරිස් සිංගපූරුවට පැමිණෙති. වෙළාඳාම සඳහා විවිධ අයිතම රැගෙන යාමට පැමිණෙන  පිරිස් බහුලය.  එවැනි පිරිස් සිංගපූරුවෙ ගතකරන්නෙ රැයක් හෝ දෙකකි. තවත් පිරිස් හුදෙක් සංචාරය සඳහා එ රටට පැමිණෙති.  

prostitutes singapore 2       
 
මෙවැනි නවාතැන්පොළවල මුණගැසෙන තරුණ ගැහැනුන්ගෙන් බහුතරය ගණිකාවෝය. ප්‍රධාන වශයෙන් අප්‍රිකානු කලාපය, බංගලාදේශය, වියට්නාමය, චීනය සහ පිලිපීනය යන රටවලින් සංචාරක වීසා ලබා සිංගපූරුවට පිවිසෙන  මෙම පිරිස් තම වීසා වලංගු  කාලය තුල නිදහසේ ඉපැයීමට හුරුව සිටීති. ඔවුන් වටා තැරවුකරුවන් ජාලයක්ද දැකගත හැකිය. ගණිකාවන්ට පොහොසත් ගනුදෙනුකරුවන් මුණගස්වා කීයක්  හෝ කඩා වඩා ගන්නා මෙම  තැරවු කරුවන් බහුතරය චීනුන් සහ  බංගලිදේශ ජාතිකයන්ය.
 
       
මිනිස් ජාවාරමෙ ප්‍රධාන ප්‍රවණතාවයකි ලිංගික වෙළෙඳාම අරමුණු කරගෙන  පුද්ගලයන් රටකින් වෙනත් රටකට බලහත් කාරයෙන් හෝ රවටා රැගෙන යාම.
 
African prostitutes
 
හාමනි ඉන්න් හි මා ගතකල මුල් දින දෙක තුළ එහිම නවාතැන් ගෙන සිටි “ ටූනා” නම් කලු ජාතික  තරුණිය සමග කතා බහ කරන්නට මට හැකි විය. ඇය නැගෙනහිර අප්‍රිකානු රටක් වන උගන්ඩාවෙ (Uganda) සිට සිංගපූරුවට පැමිණ තිබිණි. දිළිඳු කමින් සහ නූගත් කමින් පිරි උගන්ඩාවෙ අගනුවර වූ කම්පාලා (Campala) නගරයෙන් බොහෝ ඈත පිහිටි පිටිසර ගමක තරුණියක් වූ ඇය පවුලෙ ආර්ථික අපහසුතා හේතුවෙන් පාසල් අධ්‍යපනය අතරමග නවතා දමයි. තම ජීවිතය ගව පාලනයට කැප කරන ඇය අවුරුදු ගණනාවක්ම ගත කරන්නෙ ගොපලු ජීවිතයකි. ඒ ලැබෙන සුළු ආදායමෙන් තම බාල සහොදරයාට ප්‍රමාණවත් අධ්‍යපනයක් ලබා දීමට ඇය තීරණය කරයි.  ඒ අතරවාරයේයි ඇයට සිංගපූරුවෙ රැකියා අවස්ථා පිළිබඳව මිතුරියකගේ මාර්ගයෙන් දැන ගන්නට ලැබෙන්නේ. ඒ තොරතුර ඔස්සෙ යන ටූනා තම දිළිඳු පවුලේ එකම ආදායම් මාර්ගය වූ ගවයන් සියල්ලම විකුණා දමා ඒ ලැබුණ මුදල් රැකියා ඒජන්තවරයෙකුට ලබා දී සිංගපූරුවට පැමිණෙන්නට තරම් වාසනාවන්ත වෙයි. නමුත් ඒ සංචාරක වීසා සමඟ මිස රැකියා වීසා සමඟ නම් නොවේ. මට මුණ ගැසීමට මාස හයකට ප්‍රථම ඇය පළමු වතාවට සිංගපූරුවට පිවිස තිබිණි.  
 
         
මුල් ගමනේ සිට පැමිණි සෑම අවස්ථාවකම ඇය ඇතළු තරුණියන් පිරිසගේ නවාතන්පොළ වී තිබුනේ හාමනි ඉන් නවාතන්පොළයි. පළමු ගමනින්ම ඇය තේරුම් ගෙන තිබුණේ රැකියා ඒජන්තවරු ඔවුන්ට උගන්ඩාවේදී පොරොන්දු වූ ගෘහසේවක රැකියා සිංගප්පූරුවේ දී ඔවුන්ට නොලැබෙන බවයි. අවසානයේ තැරවුකරුවන් හරහා ටූනා ඇතුළු තරුණියන් පිරිස සූක්ෂම ලෙස ගණිකා වෘතියට තල්ලු කර දමන්නට තරම් ව්‍යාඡ රැකියා නියෝජිතයා් උපක්‍රමශීලී වෙති.
 
ඇයට අනුව සිය කුඩා සහෝදරයා දැන් හොදින් අධ්‍යාපනය  ලබමින් සිටී. සංචාරක වීසා කල් ඉකුතවන්නට දිනකට දෙකකට කලියෙන් සිංගපූරුවෙන් පිටවන ඔවුහු සති කීපයක ඇවෑමෙන් නැවතත් සංචාරකයන් ලෙස එරටට ඇතුළු වී සුපුරුදු රැකියාවේ නිරත වෙති. ඔවුන්ගේ දෛනික ආදායමෙන් යම් ප්‍රතිශතයක් ඔවුන්ගේ හම්පුතා වෙත ගෙවිය යුතුය. එම ගෙවීම් මගහැරිය නොහැක්කේ බොහොමයක් කෙල්ලන්ගේ ගුවන් ගමන් බලපත්‍ර හා වීසා වැනි සංචාරක ලියකියවිලිවල මුල් පිටපත් ඇත්තේ හාම්පුතා භාරයේ වීමයි. කෙල්ලන්ට ලබා දී ඇත්තේ ජායා පිටපත් පමණි. මේ ආකාරයෙන් සිංගපූරුව තුළ ගණිකා වෘතියේ යෙදෙන බොහොමයක් විදේශීය කාන්තාවෝ කිසියම් හෝ බලවේගයක පාලනයට යටත්ව සිටිති. එය සංවිධානාත්මක ජාවාරමකි. සිංගපූරු රජය ගණිකා ව්‍යාපාරය කෙරෙහි දක්වන්නෙ ඉතා නම්‍යශීලී ප්‍රතිපත්තියකි. ටූනා වැනි ගැහැණුන්ට දැන් එය ඔවුන්ගේ සාමාන්‍ය ජීවන රටාව බවට පත්ව තිබේ. මේ නූතන මිනිස් ජාවාරමේ එක්තරා අඳුරු පැතිකඩකි.

අපායේ කතාව  ලබන සතියටත්.... ලබන සතියේ ශ්‍රීමත් ස්ටැෆෝඩ් රෆල්ස් තැනූ සිංගපූරුව හෙවත් සිංහ නගරය
 
FB IMG 1660744664414
රසික එස් චන්ද්‍රසේකර
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...