මගේ රියදුරා මැලේ ජාතිකයෙක් විය. ඉපෝ නගරය අසළ පිහිටි ගම්මානයක් වන “තමන් සොන් චුන් ”(Thaman Son Chon)  වෙත මා රැගෙන යන්නට ඔහු

ඉදිරිපත් විය. සමන්ගේ පවුලේ උදවිය පදිංචිව සිටියේ එම ගම්මානයේය. අපි අමන්ජයා වෙතින් පිටත්ව තමන් සොන් චුන් ගම්මානය බලා පිටත් වුනෙමු. ගමන ඇරැඹි මඳ දුරක් ගමන් ගත් පසු රියදුරා මගෙන් ප්‍රශ්නයක් ඇසීය,

 ipoh amanjaya bus terminal

 

“මහත්තයා! ඔබට වලංගු වීසා තිබෙනවාද ?”

 

මම සංචාරකයෙකු බවත් එදින මධ්‍යහනයේ මැලේසියාවට පැමිණි බවත් පැවසීමෙන් පසු ඔහු ඉතා විනෝද ජනක ලෙස ගී ගයමින් රිය පදවන්නට විය. ඔහු මහ හයියෙන් හඬ නගා ගී ගයමින් වාහනයේ සුක්කානමට තඩි බෑවේය. මම එවැනි කූලී රථ  රියදුරන් මින් පෙර දැක තිබුනේ බටහිර සිනමාපට තුළ පමණි. මම සිනමා පටයක චරිතක්ව සිටියෙමි. වංගු බහුල අඳුරු මාර්ගයක අපි වඩා වැඩිත් නොවූ, අඩුත් නොවූ වේගයකින් ගමන් ගනිමින් සිටියෙමු.

 

එක් වරම අපට ඉදිරියෙන්, තරමක් දුරට වන්නට මාර්ගය හරහා විශාල ප්‍රමාණයෙ විදුලි බුබුළු දල්වා ඇති සැටි මට දැක ගත හැකි විය.  ඒ සමඟම  කූලී රථයේ වේගය ක්‍රමයෙන් අඩාල විය.

 

“ මහත්තයා .... ඔබේ වීසා .... පාස්පෝට් අතට ගන්න .... පොලිසියෙන් වාහන චෙක් කරනවා ....වීසා නැත්නම් දැන්ම වාහනයෙන් බැහැල යන්න ....! ”

රියදුරාගේ දැනුම් දීමෙන් මම මදක් තැති ගත්තෙම්. නමුත් මම මැලේසියාවට පය තැබුවා පමණි. මගෙ වීසා මාසයක් යනතුරු වලංගුය. ඒ පිළිබඳව කිසිඳු ගැටලුවක් නොවීය. මම සංචාරකයෙකි. බියවීමට, තැති ගැනීමට කිසිදු හේතුවක් මා වෙත නොවීය.
 

 “ අපි ඉස්සරහට යමු .....! ”
 
 
රියදුරා වාහනය තුළ වාදනය වූ සංගීතයේ හඬ බාල කොට දැමුවේය. අපට ඉදිරියෙන් දිගු වාහන පෝලිමකි. ඒවා එකා පසු පස එකා බැගින් සෙමින් ඉදිරියට ඇදුනි. මට පෙනෙන දුරින් පොලිස් නිළධාරීන් දැක ගත  හැකි වන පමණට අපි ඔවුන්ට සමීපව සිටියෙමු. රියදුරා නැවත වරක් වඩා උවමනාවෙන් පිටු පසට හැරී මා වෙත නැඹුරු විය.
 
 
“ ඔබට විශ්වාසයි නෙ ! ”
 
 
මම හිස වැනුවෙම් .
 
 
ඔහු සිනා මුසු මුහුණින් ඉදිරියට පැදවීය.

       
cantas pdrm police 5
 
 
අපේ වාරය එළඹ තිබුණි. විදුලි පන්දමක් රැගත් පොලිස් නිළධාරියෙකු අපේ වාහනය වෙත එය ඉලක්ක කරමින් රියදුරා අසලට පැමිණියේය. රියදුරු තැන ජනේල වීදුරුව පහත් කොට පොලිස් නිළධාරියා සමග මැලේසියානු භාෂාවෙන් වචන කිහිපයක් කතා බහ කළේය. ඒ අතර පොලිස් නිළධාරියා විදුලි පන්දම වාහනයේ හඳගෙන් සිටි මගේ මුහුණටත් එල්ල කළ නමුත්, ඔහු මා පිළිබඳව එතරම් සැලකිල්ලක් යොමු කළ බවක් දක්නට නොවීය. මොහොතකට පසු ඔහු අපට ඉදිරියට ඇදෙන ලෙස විදුලි පන්දම වනා සන් කලේය. අපි නිදහසේ ඉදිරියෙට ඇදුනෙමු. රියදුරු තැන සුපුරුදු ලෙස වාහනයෙ තිබූ රේඩියෝවේ සංගීත හඬ ඉහළ දමා ගී ගයන්නටත් ඒ අනුව සුක්කානමට තඩි බාන්නටත් විය. මම දිහ සුසුමක් හෙලා, තමන් සොන් චුන් වෙත ලඟාවනතුරු නො ඉවසිල්ලෙන් පසුවුනෙමි.
 

රාත්‍රී 8.45 ට පමණ අපි ගමනාන්තය කරා ලඟා වුනෙමු. මම රියදුරු තැනගෙන් “සෙවන් ඉලවන් ”(7-11 ) ලෙස හැඳින් වූ වෙළෙඳ සැළ ඉදිරිපිටට මා රැගෙන යන ලෙස ඉල්ලා සිටියෙමි. ඔහු ඉතා සුළු මොහොතකින් එ තැනට මා රැගෙන ගියේය. ඔහුගේ කුලී මුදල ගෙවා රථයෙන් බැසගත් මා තවමත් විවෘතව තිබූ 7-11 නම් වූ වෙළඳ සැළේ දොරකඩට වී සමන් ලබා දුන් දුරකතන අංකයට ඇමතුමක් ලබා ගත්තෙම් .  
 
 
“ ආ ඔයා ආවද මල්ලී .... ඔතනම විනාඩියක් ඉන්න .... මම පුතා එවන්නම් ඔතෙන්ට ....”
 
මට පිලිතුරු දුන්නෙ කාන්තාවකි.
 
මම, මා කැටුව යන්නට කිසිවෙකු හෝ පැමිණෙනතුරු අසල වූ බංකුවකට බර දී හිඳ ගත්තෙමි.
 
 
7 Eleven
 
 
මිනිත්තු  කිහිපයකට පසුව වයස අවුරුදු පහළොවක් පමණ වූ ලාංකික පෙනුමැති කොලු ගැටයෙකු විමසිල්ලෙන් යුතුව වෙළඳසැළ ඉදිරිපිට සිටගෙන සිටිනු මම දුටුවෙමි. ඒ මම බලාපොරොත්තු වූ සමන්ගේ පුත්‍රයා බවට සැකයක් නොවීය. මම ඔහු වෙත ගියෙමි.
 
 
“ මල්ලී මාවද බැලුවෙ ? ”
 
“ආ ඒ ඔයාද ....එන්න අපි යමු ....! ”
 
 
ඉක්බිතිව අපි ඔවුන්ගෙ නිවස බලා පිටත්වුනෙමු.
           
 
ඔහු මා වෙත මිත්‍රශීලී බවක් දැක්වූයේ නැත. ඔහුගේ ගමන වේගවත් විය. නිවස වෙත ඇවිද යන අතරමඟ අපි අතර සුළු දෙබස් කීපයක් හුවමාරු වුවද ඒවා වැදගත් කමක් නැති ඒවා විය. ඉතා කෙටි ගමනකින් පසු අපි එකිනෙකට යාබදව පිහිටි නිවෙස් පේලියක් ඉදිරියෙන් දිවෙන මාවතකට පිවිසියෙමු. අපි ඒ මග ඔස්සෙ ඇවිද ගොස් එම නිවාස පේලියේ හය වන නිවසේ වූ ගේට්ටුවෙන් ඇතුලු වුනෙමු.
 
 
“ මේ අපේ ගෙදර ! ”        
 
 
නිවසෙ ඉදිපස දොර වසා තිබිණි. නිවසට පිටතින්  කිසිදු විදුලි බුබුලක් දල්වා නොතිබූ බැවින්, වීදි ලාම්පු එළියෙන් ගලා ආ මඳ ආලොකය හැරෙන්නට ඒ නිවස ඉදිරිපිට අඳුරු ස්වභාවයක් ඉසිලීය. අඟුළු දමා වසා තිබූ ඉදිරිපස දොරට කොලු ගැටයා මිට මොලවා ටොකු කීපයක් ඇන්නේය. ඒ සමඟම ක්ෂණිකව අප සඳහා දොර විවෘත විය. පෙරගමන් විත් මම ඒ නිවසට පිළිගත්තේ තරුණ ගැහැනියක විසිනි. තවත් බොහෝ පිරිසක් වූ ගැහැනු හා පිරිම් පුදගලයන් මා දැක ගන්නට මෙන් නිවසේ විසිත්ත කාමරය තුළ රැඳී සිටියහ. නමුත්  මා නිවසට පිවිස  මොහොතකට පසු ඔවුහු නිවස තුළ නොපෙනී ගියහ. තරුණයන් කිහිපදෙනෙකු පමණක් තව දුරටත් විසිත්ත කාමරය තුළ විය. 
 
 
 
“මම මේ අයියට කෝල් කරා විතරයි මල්ලි ආව කියල .... ”
         
 
නිවැසියන්ගේ පිළිගැනීම යම් තරමක සුහද බවක් ඉසිලූ නමුත් එය උණුසුම් එකක් නොවීය. ඒ මම ඔවුන්ට ආගන්තුකයෙක් වූ බැවිනුත්, මා පිළිබඳව ඔවුන් කිසිවක් නො දැන සිටි බැවිනුත් විය යුතුය. එහි ලැගුම් ගෙන සිටි සියළුදෙනාටම මා අහසින් පාත් වූ එකෙකු වැනි විය.
 

සමන්ගේ පවුලේ සාමාජිකයන් සහ සෙසු ලාංකිකයන් පිරිස ලැඟුම් ගෙන සිටි නිවස දෙමහල් නිවසක් විය. එක පෙළට එකින්නෙකට යාබදව පිටිහි නිවාස විස්සකින් පමණ වූ නිවාස පේළියක, අංක 10 වන නිවස එය විය. වම් පසින් වූයේ චීන ජාතික පවුලක් වාසය කළ නිවසකි. දකුණු පසින් වූයේ ඉන්දියානු පවුලක් වාසය කළ නිවසකි. එම නිවාස පේළියෙහි විදේශිකයන් රැදී සිටි එකම නිවස සමන්ගේ නිවස පමණක් විය. යාබද නිවාස සෑම එකකම චීන හෝ ද්‍රවිඩ ස්වදේශිකයෝ වාසය කළහ. එම ගම්මානයේ මැලේවරුන් වාසය කළානම් ඒ ඉතා අල්ප දෙනෙකි.
         
 
එම නිවසේ රැදී සිටි ශ්‍රී ලාංකිකයෝ පිරිස මා අනුමාන කළ සංඛ්‍යාවට වඩා වැඩි ගණනක් වූහ. එම පිරිස ගණනින්  දහ හතර දෙනෙකු විය. විවාහක යුවල ගණනින් තුනකි. සමන්ගේ බිරිඳ, ඔවුන්ගේ දරුවා හා තවත් තනිකඩ ගැහැනියක්, විවාහකයන් සමඟ රැදී සිටියේ නිවසේ උඩු මහලෙහිය. පහත මහලේ තනිකඩ පිරිමි පුද්ගලයින් සය දෙනෙක් වාසය කළහ. එයින් දෙදෙනෙක් එකම පවුලේ නිවුන් සොහොයුරෝ වූහ. ඔවුහු කිසිවෙක් වැඩි මහලු එවුන් නොවූහ. එකෙකු පමණක් වයස විසි පහක් වූ හිටපු හමුදා සෙබළෙක් වූ අතර අන් සියලු දෙනා වයස විසි දෙකට අඩු නව යොවුන් තරුණයෝ වූහ. කුඩාම එකාගේ වයස යන්තම් අවුරුදු දහ නවයක් වූ එකෙකි. මගේ පැමිණීමත් සමග එම නිවසේ ලැගුම් ගෙන සිටි පිරිස ගනනින් පහළොවක් දක්වා ඉහළ ගොස් තිබුණේය.
         
 
මම පසු දින අවදි වූයේ තරමක් ප්‍රමාදවය. මා අවදි වන විට නිවසේ රැදී සිටියේ සමන්ගෙ දරුවා වූ පිරිමි ළමයා පමණි. සෙසු පිරිස රැකියාවන් සඳහා පිටත්ව ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.  ඔහු ද මොහොතකට පසුව මට කෑම කන ලෙස පවසා කොහේදෝ පිටත්ව ගියේය. ඔහුද නික්ම ගිය පසු නොදන්නා රටක, ආගන්තුක නිවසක් තුළට වී සන්ධ්‍යාව වන තුරුම මම තනිව ගතකළෙමි. සවස පහ පමණ වන විට නිවැසියන් එකා දෙන්නා බැගින් නැවත නිවස වෙත පැමිණෙන්නට විය. ඔවුන් වැඩිපුර කතා බහ කලේ නැත. නිවසට ඇතුළු වූ වහාම ගේට්ටුව වසාදමන්නට සියල්ලෝම සැළකිලිමත් මත් වූහ. නිවසේ ඉදිරිපස දොර ද නිරන්තරයෙන්ම පාහෙ වසා තිබිණි. නිවස වෙත පැමිණි අවසන් පුද්ගලයන් වූයේ සමන්ගේ බිරිඳ සහ ඔවුන්ගේ නව යොවුන් දරුවාය. සමන්ගේ බිරිඳ ඉවීම සඳහා උවමනා එළවළු, ලූනූ , තුන පහ ආදිය රැගෙන පැමිණියාය.
         
 
ඉන්පසු සියල්ලන් සඳහා තේ පිළියෙළ කොට දුන්නෙ සමන්ගෙ බිරිඳ විසිනි. උඩු මහලේ වූ විවාහක යුවල තුනෙන් අයෙකු පහළ  මාලයට පැමිණියේනම් ඒ ඉතාම කලාතුරකිනි. එසේ පැමිණියද ඔවුහු  කිසිවෙකු සමඟ කතා බහේ යෙදෙන්නට උනන්දු නොවූහ. නිවස පුරා වූයේ ගැඹුරු නිශ්ශබ්ද  තාවයකි. සමන්ගේ බිරිඳගෙ ඉවුම් පිහිම් කටයුතු සඳහා පහත මාලයේ සිටි කොල්ලන්ගෙන් එකෙකු දෙන්නෙකු  ඉඳ හිට උදවු වූහ.
         
 
එහි විසූ නිවැසියන් අතරින් පළමුව මා සමඟ මිතුරු වූයේ වයස අවුරුදු දහ නවයක් වූ මීගමුවේ සිට පැමිණ සිටි කොල්ලාය. නමින් තාලුක නම් වූ ඔහු වෙතින් මට සමන්ගේ නිවසේ රැඳී සිටි පිරිස පිළිබඳව තොරතුරු කිහිපයක් දැන කියා ගත හැකි විය.
         
 
නිවසේ සිටි පිරිසගෙන් තාලුක සහ විවාහක යුවල තුනෙන් එක යුවලක්  හැරෙන්නට  අන් සියලු දෙනාම සමන්ගේ පවුලේ විවිධ නෑකම් සහිත් උදවිය වූහ. ඒ සියළුදෙනා තමන් සොන්ග් චුන් ගම්මානයේහී කෙළවරක පිහිටි “තොකුතොමී” නම් වූ කර්මාන්ත ශලාවක සේවකයෝ වූහ. සමන්ගෙ දරුවා රැකියාවක් කන්නට තරම් වූ වයසක පසු වූයේ නැත. ඔහු දිවා කාලයම පාහෙ කෝහේ හෝ මම නොදන්නා තැනක පිහිටි පරිගණක ආයතනයකට වී පරිගණක ක්‍රීඩා කිරීමට ඇබ්බැහිව සිටියේය. සමන් තවත් සතියකින් පමණ ලංකාවෙ සිට මෙම නිවසට පැමිණීමට නියමිතව තිබිණි.
           
 
සමන් පැමිණෙන තුරු මම දිවා කාලයේ නිදා ගනිමින්ද, රාත්‍රී කලයේ බොහෝ විට අවදියෙන් ද, තමන් සොන් චුන් හී නිවසට වී ගත කළෙමි. ඉතා හොඳ මට්ටමේ මිතුරෙකු සතියක් යන තුරුත් මට ඒ නිවස තුලින් මුණ නොගැසිණි. මීගමුවේ කොල්ලා වුවද යම් තරමක සීමවක් තුල මා සමග කතා බහ කිරීමට වගබලා ගත්තේය. ඔහු කතා බහ කළේ ද මට වැඩකට නැති ඕපා දූප විය. බොහෝ විට ඔහු සේවය කළ තොකුතොමී නම් වූ කර්මාන්ත ශාලාවෙ විස්තරය. එහි පරිගණක පරිපථ නිමවන්නෙ ජනප්‍රිය කොරියානු පරිගණක ආයතනයකට බවත්, ඒවා නිපදවන ආකාරය ගැනත් ඔහු රස කර විස්තර කළෙය. ඔහු අනුමාන කළේ සමන්ගෙ ආගමනයෙන් පසුව බොහෝ විට මට ද එම ආයතනයේම රැකියාවක් ලබා ගැනීමට සමන් උපකාර කරනු ඇති බවය. ඔවූහු මසකට මැලේසියානු රින්ගිට් 950ක් බැගින් එහි වැටුප් ලැබූහ. දින තුනක දිවා සේවා මුරයකුත්, දිනක නිවාඩුවකින් පසුව නැවත දින තුනක රාත්‍රී සේවා මුරයකුත් වශයෙනුත් ඔවුහු එහි සේවය කරමින් සිටියහ.      
 
 
අවසානයේ මා බලාපොරොත්තුවෙන් සිටි දිනය උදා විය. වර්ෂ 2013 අගෝස්තු මස 28 වැනි බදාදා දින සමන් ලංකාවෙන් ගුවන් ගත වූ බව නිවසේ සිටි පිරිස අතර කසු කසුවක් පැතිර ගියේය. මා බලාපොරොත්තු වූවාට කලියෙන් සමන් ශ්‍රී ලංකාවේ සිට මැලීසියාව වෙත පැමිණෙන පුවත මා වෙත සතුටු දායක එකක් විය. සති දෙකක් ශ්‍රී ලංකාවේ ගත ගරන්නට ඔහු කර තිබූ සැළසුම කුමන හෝ හේතුවකට වෙනස් කොට තිබූ සැටියකි. සමන්ගේ පැමිණීම බොහෝ දෙනා විශේෂිත කොට සැලකූ බව පෙනෙන්නට තිබිණි.      
 
 
එදින සන්ධ්‍යා කාලයේ මම නිවසේ ඉදිරිපස දොර අසළ පුටුවක් දමාගෙන හිඳගෙන සිටියෙමි. නිවසේ පිරිස සිටි විට නොලද නිදහස, නිවසේ කිසිවෙකුත් නොමැති විට මම එළිපහළියට වී අත් වින්දෙමි. පාරෙ යන එන වාහනත්, ඉඳහිට එහා මෙහා යන මිනිස්සුත් නරඹමින් සිටි මට එකවරම නිවසේ ගේට්ටුව තිබියදී, එය මග හැර, ඉදිරිපස වූ උස බැම්මෙන් වත්තට පනින කෙසඟ, වඩා උස නැති, අපිළිවෙළ බොකුටු කොන්ඩයක් සහිත සමන් ප්‍රථම වරට දැකගත හැකිවිය. ඔහු සතුව තිබුනේ රටකින් රටකට යන පුද්ගලයකුගේ පෙනුම නොවේ. කුඩා අත් බෑගයක් ඔහුගේ අතේ තිබූ අතර ඇඳුම් ඉතා අපිළිවෙළ විය.
 
 
“ කොහොමද මල්ලී ...? ”
       
 
ඔහුගේ මුවින් වෑහුන ඇල්කොහොල් දුර්ගන්ධය මට සියල්ලට ප්‍රථමව ඉව වැටිණ. සමන් නිවස තුළට ගොස් පුටුවක් ගෙන පැමිණ මා අසලින් තබා හිඳ ගත්තේය.
 
 
“ කට්ටිය තවම ආවෙ නෑනෙ මල්ලී ! ”
 
 
මම කිසිවෙකු නිවසේ නොමැති බව හිසෙන් ඉඟි කළෙමි.
 
“ ඒක හොදයි ....! ” කියමින් ඔහු ඇඟ මැලි කැඩීය.
 
 
“ මල්ලිට එපා වෙන්න ඇති නෙ .... ගෙදරටම වෙලා ඉඳල ....”
         
 
ඔහු මගෙන් වචනයක් බලා පොරොත්තුවෙන් පසු විය.
 
 
“ අවුලක් නෑ අයියා ..... මම ටිකක් නිදහසේ හිටියා ..... අයියා එනකම් වෙන කරන්න දෙයකුත් නෑනෙ .....”
 
 
මම පිළිතුරු දුන්නෙමි.
 
 
“ හරි ඒක අවුලක් නෑ..... අපි හෙට නිද්දම  වැඩේට බහිමු.....මගෙ ලොක්ක එයි ලඟදිම .....මම ලොක්කට කියල තියෙන්නෙ ඔයා ගැන .....  ”
       
 
ඔහු සිය අත රැඳී කුඩා ගමන් මල්ලට අත දමා බියර් බෝතලයක් ඉවතට ගත්තේය.
 
 
“ මල්ලි බොනවද ? ”
 
 
මම හිස වැනුවෙමි .
 
iStock 990273906
 
ඔහු ඉවතට ගත් බියර් බෝතලය මා අතට දී තවත් බියර් බෝතලයක් බෑගයෙන්  ඉවතට ගත්තේය. එය ඔහුටය.
 
 
“ ඉන්නකං කාල බීල ඉන්නෝන මල්ලී .....! ”
         
 
ඔහුගෙ සිනහව මවා ගත් එකක් බව මගේ හැඟීමයි.
 
 
“ මල්ලිගෙ යාලුවා මට වෙඩින් එකකින් සෙට් වුනේ .... අපි එක ටේබල් එකට සෙට් වුනේ මල්ලිගෙ වෙලාවට .....”
 
 
ඔහු බියර් රස බලමින් කතාවට වැටුනේය.
 
 
“ තව පොඩ්ඩක් එහා මෙහා වුනා නම් මල්ලි ලොකු අමාරුවක වැටෙන්නෙ ..... ඔය දෙමල්ලු ලංකාවෙ අපට හෙන විරුද්ධයි..... ඕකුන් සතේකට විශ්වාස කරන්න බෑ මල්ලි .....!”
 
 
“  මෙහෙමයි ..... මගෙ ලොක්කා තමා මගෙ අය ජොබ් වලට දාල දෙන්නෙ .....  මටත් ඒකෙන් පොඩි සම්තින්ග් එකක් ලැබෙනව .....  බොරු කියන්න ඕනෙ නෑනෙ මල්ලී .....  බිස්නස් නෙ ! ”
 
 
ඔහු යම් පැහැදිලි කිරීමකට සුදානම් වන බව මට වැටහිණ.
 
 
“ මිනිහ බංගලියෙක්......මැලේ ගෑනු කෙනෙක් තමා මැරි කරල ඉන්නෙ .... ඉතින් මිනිහට දැන් මෙහෙ පුරවැසි භාවය තියෙනවා .... මිනිහගෙ බිස්නස් එක මෑන් පවර් සප්ලයි .... මේ පලාතෙම තියෙන ෆැක්ටරි, හෝටල් වලට ලේබර් සප්ලයි කරන්නෙ මිනිහා .... කෙලින්ම ජොබ් වීසා මල්ලි .... වෙන කවුරුත් කරන්නෙ නෑ .... ලොක්කට කන්ටැක්ට්ස් තියෙනවා ! ”
     
 
සමන් තවත් බියර් උගුරක් උඩ බලා උගුරට හලා ගත්තේය.
 
 
“ යාලුවා කිවුවා ඔයාට හොදට කඩ්ඩ පුලුවන් කියල .... තොකූතොමී එකට නම් මට හෙට උනත් ඔයාව දාල දෙන්න පුලුවන් .... ඒත් කඩ්ඩත් පුලුවන් එකේ අපි ට්‍රයි කරමු හොටෙල් එකකට .... මල්ලිට එහෙම එකක් තමා හරියන්නෙ ....! ”
 
 
මම නිහඬව ඔහුට ඇහුම් කන් දී සිටියෙමි.
 
 
“  ඔක්කොම වැඩේට රින්ගිට් 3000 ක් විතර යනව .... ජොබ් වීසා ගහල ඩොකුයුමට් ටික හදා ගන්න .... මුලින් 1500 ක් විතර  දුන්නම ඇති .... අපි අපි දන්න මිනිස්සුනෙ .... වැඩේ කෙරුනට පස්සෙ අපි බලමු ....! ”
 
 
ඔහු බියර්  පානයට කෑදර මිනිසෙකු බව කියා පාමින් හනි හනිකට බියර් වලින් උගුර තෙමා ගත්තේය.
 
 
“ මේ ගෙදර අපි ඉන්නෙ කුලියට .... කට්ටියම සල්ලි එකතු කරල තමා මාසෙ කුලිය ගෙවන්නෙ .... හරි අමාරුයි මල්ලි මෙහෙම ගෙයක් හොයාගන්න .... ලොක්කගෙ කන්ටැක්ට් එකකින් තමා ගෙදර සෙට්කරගත්තෙ .... කෑම බීමත් අපෙ ගෑනී උයල පිහල දෙනවනෙ .... හැමෝගෙන්ම මාසෙට රින්ගිට් 250 ගානෙ එකතු කරනව .... ඔය ඔක්කොටොම ඒ ගාන .... කෑමටයි ....ගෙවල් කුලී වලටයි  .... පාඩු නෑනෙ මල්ලි .... තමන්ගෙ තැන වගෙ ඉන්න පුලුවන්නෙ ....! ”
       
 
සමන් අය වැය විස්තර කළේ මගේ දැන ගැනීමටය. ඒ අනුව මම ඔහුගේ නිවසේ නවාතැන් ගැනීම හා ආහාර වෙනුවෙන්  රින්ගිට් 250 ක් ද, රැකියා සඳහා යොමුකිරීම වෙනුවෙන් අත්තිකාරම් ලෙස රින්ගිට් 1500 ක ද නුදුරේදීම ඔහු වෙත ලබා දිය යුතු බව ඔහු මට සන්නිවේදන කළ පණිවුඩයයි.      
 
 
මට සිංගපූරුවේ දී මුණ ගැසුන ප්‍රදීප් සඳහන් කල පරිදි මැලේසියවේදී ජොබ් වීසා ලබා ගැනීමට නොහැකිය. එසේ වීසා ලබාගන්නේ නම් ඒ සඳහා මැලේසියාවට ඇතුලු වීමට ප්‍රථම අවශ්‍ය කටයුතු සිදු කළ යුතුය. ප්‍රදීප්ට එවැනි කරුණක් සම්බන්ධයෙන් මුසාවක් පවසා මා වෙතින් ලබා ගත හැකි දෙයක් නොවීය. ඒ අනුව සමන් ගෙ “ජොබ් වීසා” කතාව බොරුවක් බව මම අනුමාන කලෙමි. නමුත් ඔහු සමග තර්ක කරන්නට හෝ, හාරා අවුසන්නට මට උවමනා නොවීය. කරුණු කරණා සිදුවන අයුරු දෙස මම නිහඩව බලා සිටීමට සිතා ගත්තෙමි.
 
 
“ මල්ලිගෙ පාස්පෝට් සයිස් පොටෝ හයකුයි ...... පාස්පෝට් එකේ කොපියකුයි ලෑස්ති කරල තියා ගන්න .... ලොක්කා කොයි වෙලාවෙ හරි එයි .... ආව ගමන් ඔයා හොද ප්ලේස් එකකට සෙට් කරන එක තමා මගෙ ඔලුවේ වැඩ කරන්නෙ දැන් ....! ”
       
 
මේ ආකාර  වූ සැළසුම් රැසක් ගැන කතා කරමින්, නිවැසියන් වැඩ මුරය අහවර වී නිවසට පැමිණෙන තුරු අපි ගෙ මිදුලට වී  ගත කලෙමු. සේවය නිමකොට නිවසට පැමිණි පිරිස් සමන් සමඟ වුවද වැඩි පුර කතා බහකට ගියේ නැත. ආගිය තොරතුරු කෙටියෙන් කතා කොට උඩුමහලේ වුන් පිරිස සුපුරුදු පරිදි උඩුමහලට වැද අතුරුදන් විය. පහත මහලේ වුන් ඒ තුළට වැදී නිහඬ විය. සුපුරුදු පරිදි අවසාන වශයෙන් සමන්ගෙ බිරිඳ, ඔවුන්ගේ දරුවාද සමග, ආහාර ද්‍රව්‍යය ද රැගෙන පැමිණියාය. ඉක්බිති සමන් ද ඔවුන් සමග උඩු මහලට වැදී අතුරු දන් විය. එ දිනට මම නැවතත් සමන්ව නොදුටුවෙමි. එදින රාත්‍රී ආහාර පිළියෙළ කරමින් සිටි මොහොතේ මම සමන්ගේ බිරිඳ වෙත ගොස්, නවාතැන් සහ ආහාර සඳහා ගෙවිය යුතුව තිබූ මාසික කුලිය වූ රින්ගිට් 250 ගෙවා දැමුවෙමි. මට ප්‍රථම වරට ඇගේ සිනහව දැක ගත හැකි වූයේ එම මොහොතේය.
 
 
Rasika Apaye kathawa
 
රසික එස් චන්ද්‍රසේකර
This email address is being protected from spambots. You need JavaScript enabled to view it."
 
 
 
 
 
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්