අපේ කතාවක් තියෙනව නෙ ‘එයා දකුණතින් කරන දේ වමත දන්නෙ නෑ. වමතින් කරන දේ දකුණත දන්නෙ නෑ.’ කියල.


මේ කතාව හුඟක් වෙලාවට කියවෙන්නෙ කිසියම් පුද්ගලයෙක් කරපු පරිත්‍යාගයක් පිළිබඳ ඔහු හෝ ඇය තනිවම තෘප්තිමත් වුනත් ඒ පිළිබඳ ලෝකයට නොහඟවා සිටීම.

නමුත් මම දැන් මේ ලියන්න යන්නෙ ඊට හාත්පසින් ම වෙනස් කතාවක්. ඒ තමයි රටේ ජනාධිපතිවරයාත් තමන්ගෙ දකුණතින් සහ වමතින් කරන වැඩ ගැන ඒ දෙඅත් පමණක් නොව ඔහුගේ සමස්ත ශරීරය ම ද නොදන්නාව ද යන්න පිළිබඳව කාරණා කිහිපයක්.

අපි මේක රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය ලබාගත්තු තැනින් ම පටන් ගනිමු.

ඔහු අගමැති ධුරය බාරගෙන ගංගාරාමෙට ගිහින් මල් පහන් පූජ කරල කිව්වෙ මොකක් ද...? ‘‘අපි අරගලයට පහසුකම් සපයනව’’ කියල.

හැබැයි එයා ජනාධිපතිවෙලා පැය 24ක් යන්න කලින් මොකද කළේ...? අරගලප්‍රජාව නිදාගන්න මොහාත බලල ඔවුන්ට ම්ලේච්ච ප්‍රහාරයක් එල්ල කළා.

එහෙම එල්ල කළේ ඇයි කියන එකට එක එක පුද්ගලයො සහ කණ්ඩායම් එක එක කතා කිව්ව තමයි. හැබැයි ඒ ප්‍රහාරය නින්දිතයි නෙ; තුච්චයි නෙ; ලජ්ජා සහගතයි නෙ...

Screenshot 20220722 060050 Twitter

ඊළඟට මොකද කරන්නෙ...? අරගලයට ඉතා කැපවීමෙන් සහභාගි වුණ වෘත්තීය සමිති නායකයෙක් වුණ ජෝසප් ස්ටාලින්ව අත්අඩංගුවට ගන්නව. ඒ අතර අරගලයට සහභාගි වුණ තවත් ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් අනීතික ලෙස පැහැරගෙන යනව. සමහර කෙනෙක් බස් එකට නගිද්දි පැහැරගන්නව; තවත් කෙනෙක් ගෙදරට ගිහින් පැහැර ගන්නව.

කවුරුහරි කියන්න පුළුවන් නෑ ඒ පැහැරගත්ත නෙවෙයි අත්අඩංගුවට ගත්ත කියල. නමුත් ලංකාවෙ පොලීසිය කෙනෙක් අත්අඩංගුවට ගන්න විදිය යි පැහැරගන්න විදිය යි පිළිබඳ දැන් ලංකාව විතරක් නෙවෙයි ලෝකෙ ම දන්නව. ඒ නිසා නීත්‍යනුකුලව අත්අඩංගුවට ගන්න විදිය යි බලහත්කාරයෙන් පැහැරගෙන යන ආකාරය යි පසුගිය මාසයක දෙකක ඇතුළත අපි හොඳින් ම අත් දුටුවා.

 

මෙහෙම විවිධ පුද්ගලයො නීත්‍යනුකූලව වගේ ම අනීතික විදියට අත් අඩංගුවට ගන්න අතර ම ලෝකෙට කියනව අපි ප්‍රජාතන්ත්‍රවාදියි කියල. ඒ අතර තුර ත්‍රෛනිකායික මහ නාහිමිවරු හමුවෙන්නත් යනව. ඒ ගිහිල්ල කියන්නෙත් ‘‘අපි ප්‍රජාතන්ත්‍රවාදය රකිනව’’ කියල.

 

එහෙම කියල එද්දි ජූලි නමවෙනිද ජනාධිපති මැදුරට පැනල ඒකෙ තිබුණ මුදල්වගයක් බොහොම අවංක චේතනාවෙන් ආරක්ෂක අංශයට බාර දුන්න කිහිප දෙනෙක් අත්අඩංගුවට ගන්නව. (එදා ජනාධිපති මැදුරට පැනපු වෙලාවෙ ඒ සමහර අය කරපු ගොන් වැඩ අනුමත කරන්නත් බැරි බවත් මෙහි සඳහන් කරන්න ඕන.)

හැබැයි ඒ සල්ලි මාසයකටත් වැඩි කාලයක් තමන් සන්තකයෙ තියාගෙන හිටපු කොටුව පොලිසියෙ ලොක්ක නිදහසේ අධිකරණයට ඇවිත්, නිදහසේ ම ආපහු යනව. එයාට නියෝග කරන්නෙ මෙච්චර කාලයක් ඒ මුදල් අධිකරණයට බාර නොදුන්නට හේතු දක්වන්න කියල විතරයි. හරිනම් ඒ වංචාකාරය නේද අත්අඩංගුවට ගන්න වුවමනා.

හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයට ඊට කලින් කරන්න වැඩක් තිබුණ. ඒ තමයි 2018 දි පාර්ලිමේන්තුවෙ පිස්සු කෙළපු මැති ඇමතිවරුන්ට එරෙහිව රාජ්‍ය දේපළ අවභාවිතා කළා කියන චෝදනා නඩු දාන්න. ඒක එහෙම කරන්න බෑ කියලත් දැන් ඉන්න ඇමති කෙනෙක් උම්බෑ කියල කිව්ව මතකයි.

නමුත් පසු දින පාර්ලිමේන්තුවෙදි විපක්ෂය ඒ ගැන ප්‍රශ්න කරපු වෙලාවෙ කතානායක නම් කිව්වෙ ඒ සම්බන්ධයෙන් නීත්‍යනුකූල පියවර ගන්න පුළුවන් කියල. කතානායක එහෙම කිව්වත් තවම ඒ මැරයො එකෙක්වත් අත්අඩංගුවට ගත්තෙ නෑ. එදා මහජන දේපළවලට හානි කරපු හරක් රැලට එරෙහිව කිසිම නීත්‍යනුකූල පියවරක් ගත්තෙ නෑ.

Deshabandu Tennakoon 2022.05.10 2

දැන් ආයත් එමුකො ජූලි නමවෙනිදට. පන්සල් ගානෙ ගිහින් මල් පහන් පුජා කරල, නායක ස්වාමින් වහන්සේල එක්ක සාකච්ඡා කරල ආපු ප්‍රවෘත්තියට පසුව පළ වෙන්නෙ ජනාධිපති මන්දිරයට පැනපු හතළිහකගෙ පනහකගෙ විතර පිංතූර. ඒ අය අත්අඩංගුවට ගන්න මහජන සහයෝගය ඕනලු.

හැබැයි මැයි නමවෙනිද රාජපක්ෂ මහ හූරගෙ අනුග්‍රහයෙන් ‘‘මේක තමයි වෙලාව ගෝල් පේස් බහින්න’’ කියපු කාලකණ්ණියයි, එතනම ඉඳගෙන සෙල්ෆි ගහපු, සෙල්ෆි ගහල ඉවර වෙලා ‘‘හා... හරි හරි... දැං යං අපි ගෝල් ෆේස්’’ කියල ජනතාව උසිගන්වපු නාමල් අම්බරුවයි තවම නිදහසේ කල් ගෙවනවා.

රාජපක්ෂ මහ හූරගෙ අනුග්‍රහයෙන් ගෝඨා ගෝ ගමේ අරගලකරුවන්ට පහර දුන්න, පහර දෙන්න අනුග්‍රහය දක්වපු සනත් නිශාන්ත කියන පුත්තලම් බූරුවයි, ඒ බූරුවට අනුග්‍රහය දීපු පොලිස් ලොක්කයි තවම නිදහසේ කාලය ගෙවනව.

ඒ අස්සෙ මට ඇහුණ දවසක් ඒ පුත්තලම් බූරුව කියනව ‘‘අපි පත් කරපු ජනාධිපති අපිට ඕන දේ කරන්න ඕන’’ කියල. එහෙම නම් බූරුවො උඹල පත්කරේ ජනතාව (උනුත් හරක් තමයි) නිසා උඹල වැඩ කරන්නෙ ජනතාවට වුවමනා විදියට ද... අන්න එහෙම නම් ටිකක් හරි චාන්ස් එකක් දෙන්න පුළුවන් කියමුකො. හැබැයි උඹල වැඩ කරේ ජනතාවට වුවමනා විදියට නෙවෙයි. ජනතාව කොටසක් (පුර වස්සොයා වැස්සියොයි) ඡන්දෙ දීල ජනාධිපති කරපු උම්මත්තකයට වුවමනා විදියට.

 

දැන් ආයෙ එමුකො රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයගෙ ක්‍රියාපිළිවෙතට. ඔහු ජනාධිපති විදියට දිවුරුම් දීල කිව්ව ‘‘මම ජනාධිපති කොඩිය ඉවත් කරනව’’ කියල. එහෙම කියපු ජනාධිපතිවරය ම (ඔහු යටතෙ ඉන්න ආරක්ෂක අංශ) ජුලි නව වෙනිද ජනාධිපති මන්දිරේ ජනාධිපති කොඩිය බිම දාපු, ඇඳේ එලාගෙන නිදාගත්තු, ඇඟේ දවටගෙන ගියපු අය (ඇත්තට ම ඒව ගොන්පාර්ට් තමයි) කියල කිහිප දෙනෙක් නම් කරල ඒ අය අත්අඩංගුවට ගන්නව.

 

''ජනාධිපතිවරයා රුකඩයක් වෙන්න ඕන නැ''


ඇත්තට ම මේව කරන්නෙ ජනාධිපතිගෙ දකුණු අත ද වම් අත ද? එහෙම නැතිනම් වෙනෙ කෙනෙකුගෙ අතක් ද...? බැලූ බැල්මට නම් පේන්නෙ වෙන කෙනෙකුගෙ අතක් ක්‍රියාත්මක වෙනව කියල. ඒකනෙ අර පුත්තලම් බුරුව කියන්නෙ ‘‘අපි පත් කරපු ජනාධිපති අපිට ඕන දේ කරන්න ඕන’’ කියල.

එහෙම නම් කවුද මේ ‘‘අපි’’ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයට ඡන්දෙ දීපු 134 දෙනා ද...? මට නම් හිතෙන්නෙ ඒ 134 දෙනාට ම වඩා බලවත් කෙනෙකුගෙ අත්වලින් තමයි මේ දේවල් සිද්ධ වෙන්නෙ කියල. ඒක තේරුම් නොගන්න තරම් අපි මෝඩ නැහැ කියල රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරය තේරුම් ගන්න ඕන; ඔහුට උපදෙස් දෙන න්‍යායාචාර්යවරුත් ඒ ගැන දැනගෙන ඉන්න ඕන.

සරලව ම කියනවා නම් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයේ ජනාධිපතිවරයා රුකඩයක් වෙන්න ඕන නැහැ කියල ඒ න්‍යායාචාර්යවරු පැහැදිලි කරල දෙන්න ඕන.

මේ වෙද්දිත් නාමල් අම්බරුව එක එක අමාත්‍යාංශවල වැඩකටයුතුවලට අත පොවනව කියල සාක්ෂි සහිතව ම ඔප්පු කරල තියෙනව. ඉන්ධන ආනයනයෙන් ගසාකෑව සහ දැනටත් ගසාකනව කියල ඔප්පු වෙලා තියෙනව. මල්ලව පොර තරගයෙන් ලෝකඩ පදකකමක් දිනපු අහිංසා දැරිය රැවැට්ටුවා කියල ඔප්පු වෙලා තියෙනව. ඒත් මේ ජනාධිපතිවරය ඒ ගැන කිසිම පියවරක් ගන්නෙ නෑ. දැනට තියෙන ආරංචිවල විදියට ඒ අම්බරුවට ඇමතිකමක් දෙන්න යනව කියලත් ආරංචියි. ඇත්තට ම එහෙම වුනොත් ඒක නවත්තන්නත් අපිට බැරිවේවි. මොකද මේ ජනාධිපති වැඩ කරන්නෙ අදිසි හස්තයකින් ක්‍රියාත්මක වෙන රූකඩයක් වගේ නෙ.

මැයි නව වෙනිද කතාවක් කලිනුත් ලිව්ව නෙ... ඒකට ම තව කෑල්ලක් මෙහෙම ලියන්නම්. එදා සිද්ධවුණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් (අරගලය අනුමත කළාට ගෙවල් ගිනිතැබීම මෙම ලියුම්කරු අනුමත කරන්නෙ නෑ) ගිනිගත්ත ගෙවල් හිමි මැති ඇමතිවරුන්ට වන්දි දෙන්න යනව කියලත් ආරංචියි.


ලියුම්කරුගෙ යෝජනාව නම් එහෙම වන්දි දෙනවා නම් ගෝඨා ගෝ ගමේ හිටපු අරගලකරුවන්ට සිද්ධ වෙච්ච අලාබවලටත් වන්දි ගෙවන්න. ඒ වගේ ම ඔය මැති ඇමතිලට වන්දි ගෙවන්න කලිං ඒ ඒ මැති ඇමතිවරුන්ට ඔය තරම් සුඛෝපභෝගී නිවාස හදන්න තරම් ආදායමක් ලැබුණෙ කොහොමද කියල හොයන්න. ගිනි තියපු නිවාසවල ඒ මොහොතෙ කිසිම පුද්ගලයෙක් නොසිටියෙ ඇයි කියලත් හොයන්න. එහෙම හොයල ඊට පස්සෙ සුදුසු අය තෝරල වන්දියක් නියම කරන්න. ඒ වගේ ම එදා එහෙම සිද්ධියක් ඇති කරපු මහ එවුන්ටත් දඬුවම් කරන්න. එහෙම නොකරනව නම් ඇත්තට ම වර්තමාන ජනාධිපති කියන්නෙ කාගෙ හරි රූකඩයක් ම තමයි.


PHOTO 2022 08 21 17 01 07

දැන් පොඩ්ඩක් බලමු මේ හදිසි නීතිය ගැන. ඔන්න එක දවසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියනව ‘‘හදිසි නීතිය දීර්ඝ කිරීමේ අදහසක් නෑ’’ කියල. එහෙම කියල පැය 24ක් යන්න කලින් වසන්ත මුදලිගේ ඇතුළු තුන්දෙනෙක් අත්අඩංගුවට අරගෙන ‘ත්‍රස්තවාදය මර්දනය කිරීමේ පනත යටතේ’ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කරන්න නියෝගයක් නිකුත් කරනවා.

එහෙම කරන්නෙ ඇත්තට ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයගෙ වුවමනාවට ද...? එහෙම වුවමනාවක් තියෙනවා නම් ‘‘හදිසි නිතිය දීර්ඝ කිරීමේ අදහසක් නෑ’’ කියල ප්‍රකාශයක් කරන්නෙ ඇයි...? කලින් කියපු විදියට රුකඩය මෙහෙයවන අදිසි හස්තය ක්‍රියාත්මක වුණා ද...?

 

ඔය අතරතුර පළවෙන විවිධ ප්‍රවෘත්තිවලට අනුව: ජනතාවට බියෙන් පලා ගිය (ඔහුට සහ පොහොට්ටු අම්බරුවන්ට අනුව ඉල්ලා අස්වුණ) ගෝඨාභභය රජපක්ෂ ආයෙත් ලංකාවට එනවලු; ඇවිත් ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රි ධරයක් ලබාගන්නවලු; ආයෙ අගමැතිකමටත් ඉල්ලනවලු.

 

ඇත්තට ම අරගල ප්‍රජාව ඉල්ලුවෙ එහෙම සිස්ටම් චෙන්ජ් එකක් ද...? 

 
අරගල ප්‍රජාව බලාපොරොත්තු නොවුණ ක්‍රියාදාමයක් සිද්ධ වුනත් තව දුරටත් රාජපක්ෂ සනුහරයට මේ රටේ දේශපාලනය කරන්න දෙන්න තරමට රටේ ජනතාව මෝඩ ද...? එ
 
හෙම නැතිනම් වහල් ද...? බය ද...?

ලියුම්කරු නම් හිතන්නෙ නැහැ දැන් ඉන්න නූතන පරම්පරාව ඒ තරමට ම මෝඩයි, බයයි හරි වහල් මානසිකත්වයක් ඇති පිරිසක් කියල.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයත් ඒක නොදන්න විදියක් නැහැ නෙ... එහෙම නම් ඇයි ඒ වගේ පුවත්වල සත්‍ය අසත්‍යතාව පිළිබඳ ජනතාවට කරුණු පැහැදිලි නොකරන්නෙ... ඒ වර්තමාන ජනාධිපති කාගෙ ම හරි රුකඩයක් නිසා ද...? ජනතාව බහුතරයක් දෙනා එහෙම හිතන එකේ වරදක් නෑ.

මොකද ඒක එහෙම නෙවෙයි කියල වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔප්පු කරල නැහැ; ඔප්පු වෙන විදියෙ තත්ත්වයක් ඔහුගෙ වැඩ පිළිවෙළ තුළ පෙන්නුම් කරලත් නැහැ.

ඒ කියන්නෙ ඇත්තට ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරය කුමන හෝ අදිසි හස්තයකට අනුව නැටවෙන රුකඩයක් ද...?

හොඳයි... අපි හිතමුකො එහෙම නෑ කියල. එහෙම නම් ජනාධිපතිවරයට කරන්න පුළුවන් වැඩ කිහිපයක් තියෙනව.



#  පළමුවෙන් ම අවංක අරගල ප්‍රජාව සහ ඔහු ම පවසන ත්‍රස්තවාදීන් හඳුනාගැනීම

# අවංකව ම අරගලය වෙනුවෙන් කැපවුණ අය සියලු චෝදනාවලින් නිදහස් කිරීම

# ත්‍රස්තවාදීන් යැයි ආණ්ඩුව පවසන පිරිස් සිටිනවා නම් ඔවුන් වෙනුවෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම

# මැයි නව වන දින රාජපක්ෂ මහ හුරාගේ අනුග්‍රහයෙන් අරගල ප්‍රජාව වෙත එල්ල කළ ප්‍රහාරයට වගවිය යුත්තන් සොයා ඔවුන් නීතිය ඉදිරියට කැඳවීම

# අරගල ප්‍රජාවට මුවා වී ප්‍රචණ්ඩත්වය වපුරවාලන්නට උත්සාහ කළ පිරිස් පිළිබඳව සොයා බැලීම

# අරගල ප්‍රජාව විසින් ඉල්ලා සිටින ලද මහජන සුබ සිද්ධියට අදාළ කටයුතු ක්‍රියාත්මක කරවීම සඳහා සුදුසු පියවර ගැනීම

# අනීතික ලෙස සිදු කරන පැහැර ගැනීම් සියල්ල නවතා දැමීම

# එය සිදුවන්නේ ඔහු නොදැනුවත්ව නම් (විහිළුවට නොවේ)  ඊට වගවිය යුත්තන් සොයා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම

# ඒ අතරතුර මේ මොහොතේ රටේ උග්‍ර තත්ත්වයට පත්ව ඇති ප්‍රශ්න කඩිනමින් නොහැකි නම් ක්‍රමානුකුලව විසඳීම

# ඒ සඳහා ඇමති ධුර හෝ වෙනත් වරදාන වරප්‍රසාදවලින් තොරව සහයට ඉදිරිපත්වන දේශපාලන කණ්ඩායම් සහභාගි කරවා ගැනීම

 

මේ ආකාරයට කටයුතු නොකර දිගින් දිගට ම රාජ්‍ය මර්දනය දියත් කරන්නේ නම්, එලෙස දියත් කර රාජපක්ෂ සනුහරය ශ්‍රී ලාංකීය දේශපාලන භූමියෙන් අතුගා දමන්නට කටයුතු කළ පිරිස් වෙත පළිගැනීමේ හස්තය දිගු කරන්නේ නම් ඔබ ද රාජපක්ෂ සනුහරයට අවැසි පරිදි නැටවෙන කොළඹ තුනේ රුකඩයක් ලෙස ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේ (නාමික සංවිධානවල නොව සැබෑ ජන ප්‍රජාවගේ) ද හාස්‍යයට, අවමානයට සහ වෛරයට ලක්වනු නොඅනුමාන ය.

රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණ මෙම ලිපියේ අන්තර්ගත කරුණු සමග පටලවා නොගන්නා ලෙස ලිපිය කියවන පාඨක ප්‍රජාවගෙන් මෙන් ම බලධාරින්ගෙන් ද ලියුම්කරු ඉල්ලා සිටී.


කළ යුත්තේ කුමක් ද...? - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2022/08/22   

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්