මේ මාතෘකාව දැකපු ගමන් ඕන ම කෙනෙකුට හිතෙන දෙයක් තමයි ‘‘අපෝ ඔය ගැන ඕන තරම් කියවල තියෙනව, දැකල තියෙනව’’ කියල.

ඒ කියන්නෙ මේ ලියන්න හදන්නෙ SPA හෙවත් සම්බාහන මධ්‍යස්ථානවල සේවයේ නිරත වෙලා ඉන්න කාන්තා පාර්ශ්වයේ දුක් ගැනවිලි කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔවු... ඒ ගැනත් කතා කරන්න ඕනෙ තමයි. ඒ ගැන කතා කරන අය වුවමනාවටත් වඩා කතා කරලත් ඇති. කියවන අය කියවලත් ඇති. ඒක ඛේදවාචකයක් තමයි.


තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් SPA හෙවත් සම්බාහන මධ්‍යස්ථාන නමින් ගණිකා මඩම් පවත්වාගෙන යනවා; ඒ ගැනත් අපි ඕන තරම් කියවලා තියෙනව කියල. ඔවු... ඒකත් ඇත්ත. ඒ ගැනත් වුමනාවටත් වඩා ලියවිලා තියෙනවා. කියවන අය කියවලත් ඇති. නමුත් මම ලියන්නෙ මේ ක්ෂේත්‍රයේ පවතින වෙනස් ගැටලුවක් සම්බන්ධයෙන්. මම මේ ලිපිය ලියන්න කලින් අන්තර්ජාලයේ සැරිසරල මම මේ ලියන්න සුදානම් වෙන දේ ගැන ලියවිලා තියෙනව ද කියල ටිකක් හොයල බැලුව. නමුත් මට එහෙම ලිපියක් හරි වීඩියෝවක් හරි කියවන්න හෝ දකින්න ලැබුණෙ නැහැ.

 

කියවන තරමක් කියවන්න ලැබුණෙ SPA හෙවත් සම්බාහන ආයතන නාමයෙන් ගණිකා මඩම් පවතිවාගෙන ගියපු තොරතුරු සහ මේ තැන්වල සේවයේ නිරතවෙලා ඉන්න අය කිව්වා යැයි කියන කතා. ඒ කතා රසවත් සහ සංවේදියි තමයි. හැබැයි ඒ කතා කොච්චර ලිව්වත්, මේ තැන්වල සේවයේ නිරතවෙන කාන්තාවන්ට කොපමණ අපහාස කරත් ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න වැඩ පිළිවෙළක් මේ කිසිම කෙනෙක් ගාව නැහැ. අවම වශයෙන් මේ දවස්වල වේදිකා උඩට නැගල බෙරිහන් දෙන එකම පක්ෂයක නායකයෙක් හෝ මේ ගැන කටක් අරිනනෙ නෑ. ඒ කිසිම පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශනවල මේ සම්බන්ධයෙන් වචනයක් හෝ ලියවිලා නෑ. ඒ නිසා එයාල මේ ප්‍රශ්නවලට දෙන විසඳුම මොකක් ද කියල එයාලවත් දන්නෙ නෑ.

 

මම දැන් ලියන්නෙ SPA හෙවත් සම්බාහන පවත්වාගෙන යන, එහෙමත් නැතිනම් ඒවායේ හිමිකරුවන්ගේ ගැටලු කිහිපයක් ගැන. මේ ගැටලු කිහිපය ලියද්දි අදාළ ආයතනවල සේවයේ නිරත වී ඉන්න කාන්තා පාර්ශ්වය ගැනත් ලියවෙනවා. හැබැයි ඒ ඔයාල මෙච්චර කාලයක් කියවපු කතා නෙවෙයි. වෙනස් කතාවක් කියල මම විශ්වාස කරනවා.


SPA හෙවත් සම්බාහන මධ්‍යස්ථානයක් යනු කුමක් ද?


අපි පළමුවෙන් ම බලමු SPA හෙවත් සම්බාහන මධ්‍යස්ථානයක් කියන්නෙ මොකක් ද සහ එබඳු ආයතනයක (ව්‍යාපාරයක්) පවත්වාගෙන යන්න තියෙන නීත්‍යනුකුල පදනම මොකක් ද කියල. මම මෙහි ඈත අතියට යන්නෙ නැහැ. මොකද මට වුවමනා වෙන්නෙ වෙනත් කාරණයක් සාකච්චා කරන්න නිසා.
 
 
561 e1513074343647
 

SPA හෙවත් සම්බාහන මධ්‍යස්ථානයක් ලියාපදිංචි කරන්න ඕනෙ 1961 අංක 31 දරන ආයුර්වේද පනත යටතෙ. මේ පනත යටතෙ පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථානයක ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සහතික ලත් වෛද්‍යවරයෙක් සහ පුහුණු සම්බාහිකාවො හෝ සම්බාහකයො සිටිය යුතුයි. පුද්ගලයෙක් සම්බාහනය සඳහා සුදානම් කරපු කාමරයේ තිබෙන ඇඳක උස අවම පොළොව මට්ටමේ සිට අඩි තුනක් උස විය යුතුයි. ඒ ඇඳ ආවරණය කරපු තිර රෙද්ද පොළොව මට්ටමේ සිට උපරිම අඩි දෙකක් නිරාවරණය විය යුතුයි. සම්බාහනය ලබන පුද්ගලයා සහ සම්බාහනය කරන පුද්ගලයා හැර වෙන කිසිවෙකුට මේ කාමරයට ඇතුළු වෙන්න බෑ. ආයුර්වේද පනතට අනුව ම මේ ඇතුළු වීම තහනම්. ආයුර්වේද නීතියට අනුව මේ සැම කාමරයක ම සම්බාහනයට අදාළ තෙල්වර්ග සහ ආලේපන (ක්‍රීම්) වර්ග ද තිබිය යුතුයි. රජයේ ලියාපදිංචි කර මෙය පවත්වාගෙන යන පුද්ගලයා රජයට යම් බද්දක් ගෙවිය යුතුයි. ඒ බද්ද කියන්නෙ සාමාන්‍ය ව්‍යාපාරයකට අදාළ බද්දක්.
 

මේක තමයි ලංකාවෙ SPA හෙවත් සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යා හැකි නීතිමය තත්ත්වය. නමුත් දැනට ලංකාවෙ පවතින SPA හෙවත් සම්බාහන මධ්‍යස්ථාන බොහොමයක් මේ නීති රීති නිසියාකාරයෙන් අනුගමනය කරන්නෙ නැහැ. ඒක ඒ ආයතන හිමිකරුවො පවා පිළිගන්නවා. ඒකටත් විවිධ හේතු තියෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නියමයට අනුව වෛද්‍යවරයෙක් හෝ සහකාර වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක් තබාගන්නවා නම් ඔහුට හෝ ඇයට දිනකට අවම රුපියල් තුන්දහසක් ගෙවිය යුතුයි. ඒ වගේ ම නිරන්තර සෝදිසියට එන ආයුර්වේද සංස්ථාවේ නිලධාරින්ට විවිධ දීමනා ගෙවිය යුතුයි. මෙන්න මේ හේතුව නිසා ඇතැම් අය ආයුර්වේද සහතිකය නොමැතිව හුදු ව්‍යාපාරික ස්ථානයක් ලෙස මෙබඳු ස්ථාන පවත්වාගෙන යනවා.


ව්‍යාපාරික සහ සේවක සේවිකා ගැටලු

දැන් අපි බලමු මේ SPA හෙවත් සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන හිමිකරුවන් සහ එහි සේවයේ නිරතවන අයට බලපාන ගැටලු මොනව ද කියල. මම මෙතනදි කතා කරන්නේ සේවය ලබාගන්න එන පාරිභෝගික ප්‍රජාව වෙතින් බලපාන ගැටලු නෙවෙයි; ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සිට කොස්තාපල්වරයා දක්වා වූ පිරිස වෙතින් බලපාන ගැටලු.

මම කලින් සඳහන් කරානෙ හුඟක් SPA හෙවත් සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නෙ ආයුර්වේද දෙපාර්තමේන්තුවෙ සහතිකය නැතුව කියල. එහෙම නම් කවුද මේකට අවසර දෙන්නෙ...? ඇත්තට ම අවසර දෙන්නෙ සමාගම් ලියාපදිංචි කාර්යාලයෙන්. දැන් ගැටලුවක් එන්න පුළුවන් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙ සහතිකය නැතුව සමාගම් ලියාපදිංචි කාර්යාලයෙන් සහතිකයක් ගන්නෙ කොහොමද කියල. පළමු වතාවෙ ආයුර්වේද දෙපාර්තමේන්තුවෙ ලියාපදිංචි වෙනව. හැබැයි එතනින් එහාට අවුරුද්දෙන් අවුරුද්දට ඒක අලුත් කරන්නෙ නැහැ. මොකද එහෙම කරද්දි ආයුර්වේද දෙපාර්තමේන්තුවට ගෙවන්නත් ඕන. එයාල අනුමත කරන වෛද්‍යවරයෙකුට ගෙවන්නත් ඕන, වැටලීම් කරන්න එන එයාලගෙ නිලධාරින්ට ගෙවන්නත් ඕන. මෙන්න මේ නිසා පළමු වසරෙන් පස්සෙ සහතිකය අලුත් කරන්නෙ නෑ. නමුත් වැඩේ දිගටම කරගෙන යනව. මෙන්න මෙතනදි තමයි මම අර කලින් කියපු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සිට කොස්තාපල්වරයා දක්වා වූ පිරිස මේ වැඩේට මැදිහත් වෙන්නෙ. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහතිකය නැත්නම් ඒ SPA හෙවත් සම්බාහන මධ්‍යස්ථානය කියන්නෙ අනවසර ව්‍යාපාරයක්. ඉතිං එහෙම ව්‍යාපාරයක් අනවසරයෙන් වුනත් පවත්වාගෙන යන්න පුළුවන් කොහොමද කියල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සිට කොස්තාපල්වරයා දක්වා වූ පිරිස කියල දෙනව. එයාලගෙ පැත්තෙන් ඒක හරි ම පහසුයි. කරන්න තියෙන්නෙ මෙච්චරයි.
 
cover 48


# සැම මසක ම නිශ්චිත දිනයක සම්බාහන ආයතනය පිහිටි ප්‍රදේශයේ පොලිස් ලොක්කා ලබාදී තිබෙන ගිණුම් අංකයකට අවම රු.25,000.00ක් (මෙය ඇතැම් ආයතනවලට සාපේක්ෂව රු.50,000.00ක් දක්වා ඉහළ අගයක් ගනී) තැන්පත් කිරීම.

# විටින් විට අදාළ සම්බාහන මධ්‍යස්ථානයට පැමිණෙන පහළ නිලධාරින්ට (මේ නිලධාරීන් අදාළ පොලිස් කොට්ඨාසයෙන් පරිබාහිර අයද විය හැකි ය)  රුපිල් දහසේ, දෙදහසේ සිට පන් දහස දක්වා වූ මුදලක් ගෙවීම.

# ඇතැම් නිලධාරින්ගේ නිවෙස්වල පවත්වන ප්‍රිය සාද සඳහා: මත් පැන්, මස්, මාළු සහ කටගැස්ම යනාදිය සැපයීම

# විටින් විට සම්බාහන ආයතන වෙත පැමිනෙන පොලිස් නිලධාරින් නොමිලේ සම්බාහනය කිරීම. මෙහි දී ඇතැම් නිලධාරින් ඇතුළු විමේ ගාස්තුව නොගෙවනවා පමණක් නොව සම්බාහනය කරන කාන්තාවට සන්තෝසම් මුදලක් ගෙවීම පවා ප්‍රතික්ෂේප කරයි. ඇතැම් අය රුපියල් පන්සියයක් දාහක් ඇය වෙත ලබාදෙන අවස්ථාද තිබේ. ඇතැම් නිලධාරින් මෙම කාන්තාවන්ට බාහිර ස්ථානයක දී හමු වෙන ලෙස ද බලපැම් කරයි. එසේ නොකළ හොත්... (එය පසුවට ලියන්නම්)

# මේ සියල්ලට අමතරව සෑම මසකට ම එක් වතාවක් හෝ වැටලීමක් (Police Raid) සඳහා කැමැත්ත පළ කළ යුතුයි. මෙවන් අවස්ථාවල දී අදාළ වැටලීමට පැමිණෙන්නේ නොමිලේ සම්බාහනය ද කරගෙන, අදාළ කාන්තාවට බාහිර ස්ථානයක දී හමුවන්නැයි කියු නිලධාරියා නම්. ඔහු අනිවාර්යයෙන් ම අදාළ කාන්තාව පොලිසියට රැගෙන යයි.

# වැටලීම් කළ පසු ගරු අධිකරණයට ඉදිරිපත් කර ‘‘අයාලේ යාමේ පනත’’ යටතේ හෝ ‘‘ගණිකා සේවනයේ යෙදීම’’ යන චෝදනා එල්ල කර, වැරැද්ද බාරගන්නැයි බල කර, දඩ මුදලකට යටත් කිරීමට කටයුතු කරයි. මෙය අවම වශයෙන් මසකට එක් වතාවක් හෝ කළ යුතු ම ය.
 

SPA හෙවත් සම්බාහන මධ්‍යස්ථාන වැටලිය (Police Raid)  හැකි ද...?
 
 
spa.jpg sdf
 
කිසිවකු විසින් SPA හෙවත් සම්බාහන මධ්‍යස්ථානයක් නිදහසේ පවත්වාගෙ යනු ලබන්නේ නම් ඔහු හෝ ඇය යට කී කොන්දේසි අනිවාර්යයෙන් සපුරා ලිය යුතු ය. මෙහි දී පැන නැගෙන ගැටලුව වන්නේ එබඳු ව්‍යාපාරික ස්ථාන වැටලීම කළ හැකි ද, වැටලීමෙන් ඉක්බිති ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග මොනවා ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම ය.
 
 
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව පවත්වාගෙන යන SPA හෙවත් සම්බාහන මධ්‍යස්ථානයක් වැටලීමට පොලිසියට කිසිදු අවසරයක් නොමැත. සරලව ම පවසන්නේ නම් එබඳු ස්ථානයකට ඇතුළු විය හැකිවන්නේ ආයුර්වේද පනතේ 04වන වගන්තිය යටතේ බලය පවරන ලද නිලධාරියකුට පමණි. අදාළ ස්ථානයේ ගණිකා වෘත්තිය කෙරෙන්නේ යැයි තොරතුරු ලැබි තිබේ නම් එම ස්ථානය වැටලීම සඳහා පොලිසිය ගරු අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගත යුතු ය. එමෙන් ම අදාළ ස්ථානය වටලන අවස්ථාවේ එහි සිටි කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදුණා යැයි ඔප්පු කළ යුතු ය. නමුත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පොලිස් නිලධාරින්ට එය අදාළ නොවේ. ඔවුන් විසින් කරනු ලබන්නේ ඍජුව ම චෝදනා එල්ල කර නඩු පැවරීම ය. පොලිසිය සමග උරෙනුර ගැටීම සිය කැමැත්තෙන් ම මහා ගිනි ජාලාවකට පැනීම හා සමාන වන බැවින් මෙහි දී සිදුවන්නේ වරද බාර ගෙන නීතිඥයාට අවම රුපියල් තුන්දහසේ සිට පන්දහසක මුදලක් ද, දඩ මුදල් ලෙස රුපියල් සියයේ සිට තුන්සියය දක්වා මුදලක් ද ගෙවා නැවත පසු දින සිට සුපුරුදු රාජකාරියේ යෙදීම ය.
 
 
අධිකරණ පද්ධතියේ වෙනස්කම්


SPA හෙවත් සම්බාහන මධ්‍යස්ථාන හිමිකරුවන් පවසන පරිදි අධිකරණ පද්ධතියේ ද වෙනස්කම් බහුල ය. උදාහරණයක් ලෙස ගතහොත් එක් අධිකරණයක දී චෝදනා ලත් කාන්තාවට දඩ මුදලක් නියම කරන අතර තවත් අධිකරණයක දී ඇය දින 14ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරයි. ඒ, සමාජ රෝග පවතින්නේදැයි පරීක්ෂා කිරීම සඳහා ය. නමුත් අදාළ කාන්තාවන්නේ රුධිර සාම්පල් ලබාගෙන එහි වාර්තා ලැබීමට ඇතැම් විට සමසක් පමණ ගතවන අවස්ථා පවතී. එවිට සිදුවන්නේ දින දාහතරකට පසු ඇප පිට එළියට විත් රුධිර සාම්පල වාර්තාව පැමිණෙන තෙක් දින දාහතරෙන් දාහතරට අධිකරණයේ පෙනි සිටීම ය. මෙය නීතිඥවරුන්ගේ බැංකු ගිණුම් තර කෙරෙන කටයුත්තකි. මෙම කාල සීමාව අතර තුර හදිසියේ හෝ යළි පොලිස් වැටලීමකට හසුව අධිකරණයට ඉදිරිපත් කළ හොත් රුධිර සාම්පල වාර්තාව ලැබෙන තෙක් අදාළ කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.


නිශ්චිත ප්‍රදේශ කිහිපයක SPA බහුල වීමේ රහස
 
 
chrome 2020 08 05 08 50 57
මේ වන විට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල SPA හෙවත් සම්බාහන මධ්‍යස්ථාන වඩාත් බහුලව පවතින ප්‍රදේශ ලෙස කිසියම් නගර කිහිපයක් ප්‍රසිද්ධියට පත්ව තිබේ. මේ පිළිබඳව සොයා බැලීමේ දී දැනගන්නට ලැබුණේ අදාළ ප්‍රදේශවලට අයත් අධිකරණවලින් වින්දියන්ට ලැබෙන දඬුවම අවම මට්ටමක පවතින බවයි. එනම් SPA හෙවත් සම්බාහන මධ්‍යස්ථානයක සේවයේ නිරතව සිටිය ද, අයාලේ යාමේ චෝදනාවට හෝ ගණිකා සේවනයේ යෙදුණාය යන චෝදනාවට ලක්වන කාන්තාවන් අවම දඬුවමකට යටත් කරන බවයි. මෙය ද එක්තරා අන්දමක ගැටලුවකි. එකම චෝදනාව යටගේ වැරැදිකරුවකු හෝ වැරැදිකාරියක වන පුද්ගලයෙකුට එකිනෙකට වෙනස් ආකාරයේ දඬුවම් ලබා දිය හැකි ද යන්න ය.
 

යට සඳහන් සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කරන විට SPA හෙවත් සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම පහසු කටයුත්තක් නොවන බව ඔබට වැටහෙනු ඇත. එසේ නම් ඔවුන් එම ආයතන පවත්වාගෙන යන්නේ ඇයි දැයි කිසිවනකු විමසිය හැකි ය. ඊට දිය හැකි සරල ම සහ එකම පිළිතුර එම පිරිසට අදාළ ව්‍යාපාරය හෝ වෘත්තිය හැර වෙනත් ව්‍යාපාරයක් හෝ වෘත්තියක් කිරීම සඳහා සුදුසුකම් නොමැති බවයි. මෙම SPA හෙවත් සම්බාහන මධ්‍යස්ථාන හිමිකරුවාගේ සිට එහි සේවයේ නියුතු කාන්තාවන් පමණක් නොව අදාළ මධ්‍යස්ථාන පාලනය කරන පුද්ගලයා දක්වා වූ ව්‍යාපාරික සහ වෘත්තිකයන් වෙතින් තවත් කී දෙනෙක් රක්ෂා කෙරෙනු ඇති ද...? ඒ සඳහා පවතින ක්‍රමය යටතේ කුමක් හෝ විසඳුමක් පවති ද?
 
 
මස්, මාළු, එළවළු, සහල්, පිටි කිරි සහ වෙනත් ආහාරපාන මෙන් ම ඖෂධ, ඇදුම් පැලඳුම් මතු නොව ඕනැම භාණ්ඩයක් අලෙවි කරන්නේ ඒ සඳහා වෙළඳ පොළක් පවතින බැවිනි. ඒ ආකාරයෙන් ම මෙම ව්‍යාපාරිකයන් අදාළ ව්‍යාපාරයේ නිරතවන්නේ ඒ සඳහා කිසියම් ඉල්ලුමක් ඇති බැවිනි. ඒ හැර මහා මාර්ගයේ ගමන්ගන්නා පුද්ගලයන් බලහත්කාරයෙන් මෙවන් ස්ථාන කරා කැඳවාගෙන යන්නේ නැත. එබැවින් රටේ පාලක පෙළැන්තිය මේ සදහා නිසි වැඩ පිළිවෙළක් හඳුන්වා දිය යුතු ය. එවිට මෙය ව්‍යාපාරයක් ලෙස ද වෘත්තියක් ලෙස ද නිදහසේ පවත්වාගෙන යා හැකි ය. නමුත් සිදුවෙමින් පවතින්නේ ඊට හාත්පසින් ම වෙනස් කටයුත්තකි. අවසන සිදුවන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද, නීතිඥ ප්‍රජාව ද තම තමන්ට රිසි පරිදි ඔවුනොවුන්ගේ බැංකු ගිණුම් තරකර ගැනීම පමණි. රටට සිස්ටම් චේන්ජ් (System Change) එකක් අවශ්‍ය නම් මෙවන් ව්‍යාපාරවල නිරතවන පිරිසගේ ද අදාළ ව්‍යාපාරික ස්ථානවල සේවයේ නියුතු ප්‍රජාවගේ ද ජීවන තත්ත්වය උසස් මට්ටමක පවත්වාගැනීම සඳහා සුදුසු සිස්ටම් ද ක්‍රියාත්මක කළ යුතු ය.
 


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

2023/02/15


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image