මරණින් මතු ආත්මයක දී සැපවත් ජීවිතයක් ගත කිරීම උදෙසා සියදිවි නසාගැනීම්, මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගැනීම්
මෙන් ම, ආගමික හෝ දේශපාලනික විශ්වාසයක් වෙනුවෙන් එලෙස සියදිවි නසාගැනීම් හෝ අන් අය ඝාතනය කිරීමේ කණගාටුදායක සිදුවීම් ලෝක ඉතිහාසයට කළු පැල්ලම් එකතු කරමින් විවිධ කාලවල දී අසන්නට ලැබේ.
 
ලෝක ඉතිහාසයේ කළු පැල්ලම්
 
1974 Johnstown
දකුණු ඇමරිකානු මහද්වීපයේ ගයනාවේ ජෝන්ස්ටවුන්හි එක්සත් ජනපද පුරවැසියන් 900කට ආසන්න ප්‍රමාණයක් 1974 වසරේ දී මියයාමේ සිද්ධිය එලෙස ලෝකයට කළු පැල්ලමක් එක් කළ සිදුවීමක් ය.
 
දකුණු ඇමරිකානු මහද්වීපයේ ගයනාවේ ජෝන්ස්ටවුන්හි එක්සත් ජනපද පුරවැසියන් 900කට ආසන්න ප්‍රමාණයක් 1974 වසරේ දී මියයාමේ සිද්ධිය එලෙස ලෝකයට කළු පැල්ලමක් එක් කළ සිදුවීමක් ය.

මෑතක දී තවත් එවැනි සිදුවීමක් පසුගිය වසරේ වාර්තා වූයේ අප්‍රිකානු මහද්වීපයේ යි.

2023 අප්‍රේල් මාසයේ දි එක්තරා ආගමික විශ්වාසයක් විශ්වාස කරන අනුගාමිකයන් කණ්ඩායමක් ආහාර නොගෙන උපවාසයක යෙදී සිටිය දී කෙන්යා පොලිසිය විසින් සොයාගන්නා ලද අතර, එලෙස සොයාගන්නා විටත් හතරදෙනෙකු කුසගින්නේ සිට මියගොස් තිබුණි.

දරුණු ලෙස රෝගී වි සිටි අනෙකුත් 11 දෙනා ද රෝහල්ගත කිරීමෙන් පසුව ද ආහාර ප්‍රතික්ෂේප කර තිබුණේ එලෙස මියයාමෙන් ඔවුන්ට ස්වර්ගය වෙත පහසුවෙන් යා හැකි බව පවසමින් ය.

ඉහත ලෝක ඉතිහාසයේ සිදු වූ ආගමික ඇදහීම් හෝ විශ්වාස නාමයෙන් සියදිවි නසාගැනීමේ සිද්ධියකට සමානයැ යි සැක පළකෙරෙන කණගාටුදායක සිදුවීමක් කොට්ටාව, හෝමාගම ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.
 

දිවි නසාගැනීමට හේතුව ආගමික විශ්වාසයක් ද?
 
කොට්ටාව, මාකුඹුර මහල් නිවාස සංකීර්ණයක පුද්ගලයෙක් වස පානය කර සියදිවි නසාගෙන ඇති බවට පොලිසිය විසින් 2023 දෙසැම්බර් 28 දින සොයාගත් අතර, ඉන් දින දෙකකට පසු එම 46 හැවිරිදි පුද්ගලයාගේ අවමඟුල් අවසන් කටයුතු සිදුකර තිබුණි.

එදින රාත්‍රියේ, එනම් දෙසැම්බර් 30 වනදා, ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා ඔහුගේ ඥාතියෙකුගේ නිවසක් තුළ වස පානය කර සියදිවි නසාගෙන ඇති බවට සොයාගෙන තිබුණි.

පොලිසිය විසින් මුලින් සැක පළ කළේ යම්කිසි පවුල් ප්‍රශ්නයක් හේතුවෙන් ඔවුන් සියදිවි නසාගන්නට ඇති බව යි. කෙසේ නමුත්, මෙම අවස්ථා දෙකේදීම භාවිත කර තිබූ විෂ වර්ගවල සමානකමක් සහ ඒවා බහා තිබූ කවරයේ සමානකමක් පොලිසිය විසින් නිරීක්ෂණය කර තිබුණි.

මේ අතර යක්කල ප්‍රදේශයේ දී 21 හැවිරිදි තරුණියක ඉහත පිරිස ආකාරයටම වස වර්ගයක් පානය කර සියදිවි නසාගෙන තිබූ අතර, අම්බලන්ගොඩ පදිංචි 34 හැවිරිදි තරුණයෙකු ද ඊට සමාන ආකරයෙන් ම සියදිවි නසාගෙන තිබුණේ මහරගම ලැගුම්හලක් තුළ දී ය.

මෙම සිදුවීම් දාමයේ සම්බන්ධයක් ඇතැයි පොලිස් විමර්ශනවල දී හෙළි වී ඇත.
 
kjsdf
පළමුව සියදිවි නසාගත් පුද්ගලයා රටපුරා විවිධ ආගමික දේශනා පවත්වා ඇති අයෙකු වන අතර, නිවන හා මාර්ගඵල ලබාගැනීම සම්බන්ධයෙන් ඔහු සිදු කළ දේශනයක වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍යයන්හි හුවමාරු වෙමින් තිබේ.

පසුව සියදිවි නසාගත් තරුණයා සහ තරුණිය ඔහුගේ දේශනවලට සම්බන්ධ වී ඇති අතර, ඔවුන් දෙදෙනා ඔහුගේ අවමඟුලට ද සහභාගී වී තිබේ.

අම්බලන්ගොඩ පදිංචි තරුණයාගෙන් පොලිසිය විසින් අවමඟුල් දිනයේ දී ප්‍රකාශයක් ද සටහන් කරහෙන ඇති අතර, එහි දී ඔහු පවසා ඇත්තේ තමා මෙම පුද්ගලයාගේ දේශනවලට සහභාගී වූ පුද්ගලයෙකු බව යි.

මේ ඔස්සේ විමර්ශන සිදු කළ පොලිස් කණ්ඩායම් විසින් අනාවරණය කරගෙන ඇත්තේ, මෙම පුද්ගලයා විවිධ ස්ථානවල සහ සමාජ මාධ්‍ය හරහා යම් අන්තවාදී ආගමික ප්‍රචාරයන් සිදුකර ඇති බව ය.

ඔහු අවසන් වරට දේශනයක් පවත්වා ඇත්තේ 2023 දෙසැම්බර් 26, එනම් උඳුවප් පොහොය යෙදී තිබූ දින ගාල්ල, හබරාදූවේ දී ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව විසින් 2024 ජනවාරි 04 කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලින් අනාවරණය වූයේ මොහු විවිධ පන්සල් ද කේන්ද්‍ර කරගනිමින් දේශන පවත්වා ඇති බව යි.
 

'කාගේ හෝ ජීවිතයට හානි කරන විශ්වාස ඇදහීම වරදක්'
 
මේ වන විට සිදු වන පරීක්ෂණ සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් සිදු කළ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

එමෙන් ම මෙම මරණ හතේ දී ම භාවිතා කර ඇති විෂ වර්ගය මොනවාදැ යි හඳුනාගැනීමට සහ ඒවා සමානදැ යි හඳුනාගැනීමට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බව ද ඔහු පැවසුවේ ය.


"ඕනෑම කෙනෙක්ට තමන්ට අවශ්‍ය ආගමක් හෝ විශ්වාසයක් හෝ දැරීමේ නිදහස තියෙනවා. නමුත් කවුරුන් හෝ කෙනෙක් අනෙක් අයගේ ජීවිතයට හෝ තමාගේ ජීවිතයට හානියක් එමඟින් කරන්න උත්සහ කරනවා නම් අපි ඒ ගැන විමසිලිමත් වෙනවා. එවැනි දෙයක් සිදුවෙනවා නම් පොලිසිය දැනුවත් කිරීම ජනතාවගේ වගකීමක්," ඔහු පැවසුවේ ය.


මේ අතර මෙම දේශන පැවැත්වූ පුද්ගලයාගේ අනුගාමිකයන්යැ යි පැවසෙන කණ්ඩායමක් ජනවාරි 04 දින මාළඹේ පොලිසියට ද කැඳවා තිබුණි.

පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔහුගේ දේශනවලට සහභාගී වූ යම් අයෙක් හඳුනන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ය.


මෙවැනි සියදිවි නසාගැනීම් සිදුවන්නේ ඇයි?

ආගමික විශ්වාසයක් මත සිදුකරන ලදැ යි දැනට පොලිසිය විසින් සැක පළ කරනු ලබන මෙම සියදිවි නසාගැනීමේ සිදුවීම්වල මනෝ විද්‍යාත්මක පසුබිම පැහැදිලි කරගැනීමට බීබීසී සිංහල විසින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ මනෝවිද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අසංක බුලත්වත්තගෙන් විමසීමක් සිදු කරන ලදී.

එහි දී ආචාර්යවරයා ප්‍රකාශ කළේ මෙම හුදෙකලා සිදුවීමට අදාළව අධ්‍යයනයක් නොකර නිශ්චිත හේතු පැහැදිලි කිරීමක් සිදු කරන්නට නොහැකි නමුත්, මෙම සියදිවි නසාගත් පුද්ගලයන් විෂාදයට ගොදුරු වී සිටියේ නම් ඔවුන් සියදිවි නසාගැනීමට එය ද හේතුවක් වන්නට ඇති බව යි.

"යම් ආගමික හෝ විශ්වාසයක් සම්බන්ධයෙන් අනුගාමිකයන් අතර අන්ධ භක්තියක් තබාගන්න දේශන පවත්වන කෙනා යම් යම් ආකල්ප සහ කරුණු උගන්වලා තියෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක දි විෂාදයට ගොදුරු වුණ අය සිටියොත් ඒ අය මේ වගේ දෙයක් අහලා සියදිවි නසාගැනීමකට පෙළැඹෙන්න ඉඩක් තිබෙනවා."

කෙසේ නමුත් ආචාර්යවරයා පෙන්වා දුන්නේ, මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන්ගේ මනෝභාවයන් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්වීමෙන් ඒ සඳහා ආගමික විශ්වාසයක් බලපා තිබේ ද යන්න සොයාබැලීම සිදු කළ යුතු බව යි.


'මෙය විශේෂ පෞරුෂත්ව ප්‍රශ්නයක්'
 
මෙවැනි සිදුවීම් බොහෝවිට සිදුවන්නේ පෞරුෂත්ව ප්‍රශ්නයක් මත බව, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝචිකිත්සක වෛද්‍ය රූමි රූබන් බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ ය.
 
 
"ලෝකයේ හැමතැනකම වගේ මෙවැනි අන්තවාදී අදහස් දරණ කණ්ඩායම් සිටිය හැකියි. මෙවැනි සිදුවීම් දෙආකාරයකට සිදුවෙනවා. එකක්, පුද්ගලික මනෝභාවයන් මත මෙවැනි දේට යොමුවීම. අනෙක් කාරණය, සමාජයෙන් එල්ල වන පීඩනය නිසා මෙවැනි දේට යොමු වීම. මෙවැනි දේට යොමුවෙන හෝ ගොදුරු වෙන පුද්ගලයන් බොහෝ වෙලාවට විෂාදය වගේ විවිධ මානසික රෝගවලින් පෙළෙන, සමාජයට වෛර කරන, ළමා කාලයේ දි හෝ තමාගේ ජීවිත කාලය තුළ මුහුණදුන් යම් කම්පනසහගත අත්දැකීමක් නිසා පීඩාවෙන් ඉන්න අය," වෛද්‍යවරයා පැහැදිලි කළේ ය.

එවැනි පුද්ගලයන්ගේ පෞරුෂත්ව ලක්ෂණ සම්බන්ධයෙන් වෛද්‍යවරයා මෙසේ පැහැදිලි කළේ ය: "මේ විදිහට අන්තවාදී දේශන මඟින් සියදිවි නසාගැනීම්වලට අනුබල දෙන අයට තිබෙන පෞරුෂත්වය අපි හඳුන්වන්නේ 'පරපීඩා මායාකාරී පෞරුෂත්ව ලක්ෂණ' (Paranoid schizoid personality) හැටියට යි."

"මෙවැනි මානසික තත්ත්වයක සිටින පුද්ගලයන්ට තමාට සියදිවි නසාගන්න හෝ තමා සියදිවි නසාගන්න ගමන් අනෙකුත් අයගේත් දිවිතොර කරන්න අදහසක් එන්න පුළුවන්. නමුත් ඒ අදහස ඔවුන් පිළිගන්න සාරධර්මවලට හෝ ආගමික විශ්වාසවලට පටහැණියි. එතකොට මේ අයට තමාගෙ අදහස් සහ තමා විශ්වාස කරන දේවල් අතර පරස්පරයක් ඇතිවෙනවා. මනෝවිද්‍යාවේ දී එය 'සංජානන පරස්පරය' (Cognitive dissonance) කියා හඳුන්වනවා. එතැනදි මේ අය සියදිවි නසාගැනීම හෝ ඝාතනය හෝ සාධාරණීකරණය කරන නව මතවාදයක් ගොඩනගාගැනීම සිදුකරනවා."

සියදිවි නසාගතහොත් මීළඟ ආත්මය යහපත් වන්නේයැ යි හෝ එලෙස සිදුකිරීමෙන් මීළඟ ආත්මයේ දී සැපවත් ජීවිතයක් ගත කරන්නට ලැබේයැ යි විශ්වාස කරන මතවාදයන් එවැනි ඒවා බව වෛද්‍යවරයා පැහැදිලි කළේ ය.


"බොහෝවිට මේ අය ක්‍රියාත්මක වෙන්නේ කණ්ඩායම් විදිහට. එවැනි කණ්ඩායම්වල නායකයන්ට අනෙක් අය ආකර්ෂණය කරගන්න පුළුවන් විදිහට කතා කරන්න වගේ හැකියාවක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. විවිධ මානසික පීඩනයන්ගෙන් ඉන්න අයව එවැනි අය පහසුවෙන් පොළඹවා ගන්නවා. අවසානයෙ දී සිදුවෙන්නේ තමාගේ වගේම අනෙක් අයගෙත් ජීවිත නැතිවෙන එක. එවැනි සිදුවීම් තමයි ලෝකයේ විවිධ කාලවලදී සමූහ දිවිනසාගැනීම් විදිහට බොහෝවිට වාර්තා වෙන්නේ."


වෛද්‍යවරයා පවසන්නේ මෙවැනි කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු සම්බන්ධයෙන් දන්නේ නම් වහාම පොලිසියට දැනුම් දීම හා මානසික ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බවයි.

"මෙවැනි මතවාදයන්වලට ගොදුරු වුණ මුල් අදියරේ අයට අපි ප්‍රතිකාර කරලා තිබෙනවා. නමුත් කණගාටුවට කාරණය තමයි ඒවගේ දේවල් හෙළිවෙන්නෙත් මේ මෙවැනි ව්‍යයසනයක් වුණාට පස්සෙයි."

අර්බුදකාරී අවස්ථාවන්හිදී හෝ මානසික සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් හදිසි ආධාර අවශ්‍ය නම් මහජනතාවට ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය (1926) ඇමතීමට හැකිය.


දිවි නසා ගැනීම් වැළක්වීමේ සහ ඉන් වැළකී සිටීමට උපදේශන සේවා ලබා දෙන ශ්‍රී ලංකාවේ ආයතන:

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - දුරකථන අංකය: 011 2696666 හෝ +94 112 682 535

ධෛර්ය, දයානුකම්පාව, කැපවීම (CCC) පදනම - දුරකථන අංකය: 1333 හෝ +94 112 692 909


(BBC සිංහල සේවය )

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්