ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කලක් තිස්සේ වර්ධනය වෙමින් පවතින අර්බුදකාරී තත්ත්වය තවත් උග්‍ර අතට පත් කරමින් පසුගිය දා, එහි වැඩබලන සභාපති ධූරයට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කෙරිණි.


මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය විසින් ඔහු එම ධූරයට පත් කරනු ලැබුවේ, පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් විසින් වැඩබලන සභාපති ධූරයට නිමල් සිරිපාල ද සිල්වා පත් කරනු ලැබ ඇති පසුබිමක ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම ද වළක්වාලමින් ඊයේ (අප්‍රේල් 24 වැනිදා) කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේ, පක්ෂය තුළ පැවති අභ්‍යන්තර අර්බුදකාරී තත්ත්වය තවත් උග්‍ර අතට පත් කරවමිනි.

විජයදාස රාජපක්ෂ සභාපති වූ හැටි

 

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය පසුගිය 20 වන දා රැස්වූ අවස්ථාවේ ගත් තීරණයට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක රැස්වීමක් අප්‍රේල් 21 වන දා පෙරවරුවේ පැවැත්විණි.

ඒ, ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ හෝටලයකදී ය.

මෙම විධායක සභා රැස්වීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ද සහභාගී වී සිටි අතර, එහිදී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරයට පත් කර ගැනිණි.

මෛත්‍රී පාර්ශවය පවසන්නේ, විධායක සභිකයින් 116 දෙනෙකුගේ කැමැත්ත මත විජයදාස රාජපක්ෂ වැඩබලන සභාපති ධූරයට පත්වූ බව ය.

 

wije 1

මෙම විධායක සභා රැස්වීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ද සහභාගී වී සිටි අතර, එහිදී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරයට පත් කර ගැනිණි

 

'නඩුවලින් බේරෙන්න පක්ෂය වික්කා දැයි සැකයි'

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසන්නේ, නඩු විශාල සංඛ්‍යාවකට මුහුණ දී සිටින මෛත්‍රීපාල සිරිසේන, එම "නඩුවලින් බේරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට පක්ෂය විකුණා දැමුවා දැයි ඇති වූ සැකය මේ වන විට තහවුරු වී ඇති," බව ය.

පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව විජයදාස රාජපක්ෂ පක්ෂයේ වැඩබලන සභාපති ධූරයට පත් කිරීම සිය පාර්ශවය පිළිනොගන්නා බවත්, එය නීතිවිරෝධී බවත් දුමින්ද දිසානායක පවසයි.

“විජයදාස රාජපක්ෂ පක්ෂයේ වැඩබලන සභාපති ධූරයට පත් කරන්න කලින් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමක ආරාධිත දේශනයක් සඳහා ඔහු කැඳවූ අවස්ථාවේ අපට සැකයක් ඇති වුණා පක්ෂය ඔහුට විකුණුවා කියලා. වැඩබලන සභාපති ධූරයට පත් කිරීමත් එක්ක ඒ සැකය දැන් ඔවුන් ම තහවුරු කරලා තියෙනවා.”

 



ඔහු ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රුපියල් මිලියන 100ක වන්දි ගෙවීමටත්, තවත් නඩු 400කට අධික සංඛ්‍යාවකට මුහුණ දීමටත් සිදුව ඇති බව ය.

දුමින්ද දිසානායක පවසන්නේ, නඩු විශාල සංඛ්‍යාවකට මුහුණ දී සිටින මෛත්‍රීපාල සිරිසේන, එම "නඩුවලින් බේරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට පක්ෂය විකුණා දැමුවා දැයි ඇති වූ සැකය මේ වන විට තහවුරු වී ඇති," බව ය.

 

wije 2

දුමින්ද දිසානායක පවසන්නේ, නඩු විශාල සංඛ්‍යාවකට මුහුණ දී සිටින මෛත්‍රීපාල සිරිසේන, එම "නඩුවලින් බේරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට පක්ෂය විකුණා දැමුවා දැයි ඇති වූ සැකය මේ වන විට තහවුරු වී ඇති," බව ය

 

'පක්ෂය එජාපයට දෙන්න යන අය බොරු චෝදනා කරනවා' - ශ්‍රී ලනිප වැඩබලන මහ ලේකම්

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් පාර්ශවයකට එම පක්ෂය එක්සත් ජාතික පක්ෂයට එකතු කිරීමේ අවශ්‍යතාවක් මතු වී ඇතැයි පක්ෂයේ වැඩබලන මහ ලේකම් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, අධිකරණයෙන් ලැබුණු වාරණ නියෝග හේතුවෙන් පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු සඳහා වැඩබලන සභාපතිවරයෙකු පත් කර ගැනීමට අවශ්‍ය වූ හෙයින් ඒ සඳහා විජයදාස රාජපක්ෂ පත් කළ බව ය.

“අපි මේ පක්ෂය එක්සත් ජාතික පක්ෂයට මූට්ටු කරන්න ඉඩ දෙන්නෙ නෑ. ඒ වෙනුවෙන් තමයි අපි මේ පියවර ගත්තේ. විජයදාස රාජපක්ෂ පත් කිරීම නීත්‍යනුකූලයි.”

'දෙන්නා ම පත්වුණ හැටි නීතිවිරෝධීයි' - දයාසිරි ජයසේකර

මේ අතර, බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ, නිමල් සිරිපාල ද සිල්වා සහ විජයදාස රාජපක්ෂ යන දෙදෙනා ම වැඩබලන සභාපතිවරුන් ලෙස පත් කළ ආකාරය නීතිවිරෝධී බව ය.

"දෙන්නා ම පත්වුණ හැටි නීති විරෝධීයි. ඒත්, නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීතුමා පත්වීම සම්බන්ධයෙන් කිසි ම අධිකරණයක වාරණයක් නෑ. විජයදාස රාජපක්ෂ පත් කරපු විදිහත් සම්පූර්ණයෙන් ම වැරදියි. එයාව හරි නම් පත් කරන්න තියෙන්නෙ මධ්‍යම කාරක සභාවෙන් තමයි. විධායක සභාවට සභාපති පත් කරන්න බැහැ. මධ්‍යම කාරක සභාවේ එයාලට ඡන්ද නැතුව ගියා. ඒ නිසා ඒගොල්ලො අනික් පැත්තට කරකව ගත්තා. පක්ෂ ව්‍යවස්ථාවේ 23 වන වගන්තිය අනුව කියනවා, පක්ෂයේ අපේක්ෂිත සාමාජිකත්වය දීලා මාස හයක් යනවා සාමාජිකයෙක් විදිහට පිළිගන්න. මාස හයක් යනකම් අදාළ තැනැත්තා සාමාජිකයෙක් වෙන්නෙ නෑ. මේ විජයදාස රාජපක්ෂ මහත්තයාට දීලා තියෙන්නේ මාසයයි. මාසයකදී ඔහුට ඡන්දයක් ඉල්ලන්නත් බෑ. කිසි ම තනතුරක් ගන්නත් බෑ," පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර බීබීසී සිංහල සේවයට පැවසීය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේ, පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයාගේ සහය විජයදාස රාජපක්ෂ පත් කිරීම සදහා ලැබී ඇති හෙයින් ඔහුගේ පත්කිරීම පිළිගත හැකි බව ය.

මෛත්‍රීපාලට සිරිසේනට එරෙහි වාරණ නියෝග

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඊයේ (අප්‍රේල් 24) තවත් ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබ තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වූ මොන්ටේගු සරත්චන්ද්‍ර ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

මෙම ස්ථිර අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවට විනිසුරු එහිදී සඳහන් කර ඇත.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබූ වාරණ නියෝගය මැයි මස 09 වන දා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අප්‍රේල් 18 වන දා නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත් අප්‍රේල් 04 වන දා එම වාරණ නියෝගය නිකුත් කර තිබිණි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමේ සඳහන් කර තිබුණේ, මෛත්‍රීපාල සිරිසේන, පක්ෂයේ සභාපතිවරයා වශයෙන් වගකීම් විරහිත ආකාරයෙන් කටයුතු කිරීම නිසා පක්ෂයට විශාල හානියක් සිදුවූ බව ය.

පක්ෂයේ සභාපතිවරයා මෙන් ම රටේ සේනාධිනායකයා වශයෙන් ද කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන, වගකීම් විරහිත ආකාරයට කටයුතු කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම නිසා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය ඇති වූ බව පෙත්සමේ සඳහන් වෙයි.

එසේ ම මෛත්‍රීපාල සිරිසේන තමන්ට ලැබුණු ජනවරමට පිටුපාමින් යහපාලන රජයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම තනතුරින් නීති විරෝධී ලෙස ඉවත් කර, පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති පාර්ශවයකට අග්‍රාමාත්‍ය ධුරය ලබා දීමට කටයුතු කළ බවත් එම ක්‍රියාව තුළින් මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවට අධිකරණය විසින් ද තීන්දු කරනු ලැබූ බවත් පෙත්සමේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා සහ වැඩ බලන ලේකම්වරයාගේ කටයුතු වළක්වාලමින් වාරණ නියෝග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ  (අප්‍රේල් 24 වැනිදා) වාරණ නියෝගයක් නිකුත් කළේය.

එසේම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස දුෂ්මන්ත මිත්‍රපාල කටයුතු කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක් ද නිකුත් කෙරුණි.

එසේම වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා විසින් ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක්ද විනිසුරුවරයා විසින් නිකුත් කරනු ලැබීය.

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම වාරණ නියෝග නිකුත් කළේය.

මෙම වාරණ නියෝගය මැයි මස 08 දක්වා බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් ය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත් දා වාරණ නියෝගයක් නිකුත් කළ බව පැවසීය.

ඉන් අනතුරුව පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් එහි ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා වශයෙන් කටයුතු කළ අමාත්‍ය නිමල් සිරිපාල ද පත් කෙරුණු බවත් ඔහු සඳහන් කළේය.

ඉන් අනතුරුව වගඋත්තරකාර දුෂ්මන්ත මිත්‍රපාල විසින් පක්ෂයේ විධායක සභාව නැමැති රැස්වීමක් ඉකුත් 21 වනදා කැඳවා පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත්කර ගැනීමට කටයුතු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

'නීතියට පටහැනියි'

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව වැඩ බලන සභාපති ධුරය සඳහා දුෂ්‍යන්ත මිත්‍රපාල විසින් පත්කිරීමක් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එවැනි විධායක සභා රැස්වීමක් කැඳවීමට වැඩ බලන මහලේකම්වරයාට බලයක් නොමැති බවත් සඳහන් කළේය.

වැඩ බලන සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබූ විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු නොවන අතර ඔහු මේ වන විටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරණ පුද්ගලයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දැරිය නොහැකි බව සඳහන් කර ඇතැයි කියා සිටි ජනාධිපති නීතිඥවරයා විජයදාස රාජපක්ෂ මේ වන විටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය දරන අයෙකු බැවින් ඔහුට නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත නොහැකි බවත් සඳහන් කර සිටියේය.

විජයදාස රාජපක්ෂ මාසයකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් බව සඳහන් කර තිබුණද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව යම් පුද්ගලයකුගේ පක්ෂ සාමාජිකත්වය ස්ථිර වන්නේ එය ලබා ගත් දින සිට මාස 06 ක් ගතවීමෙන් පසුව බවත් ඒ අනුව විජයදාස රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයක් නොමැති බව පෙනී යන බවත් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා විසින් අනතුරුව මෙම නියෝග නිකුත් කරනු ලැබීය.

(BBC සිංහල සේවය)

සබැඳි ලිපි :

අධිකරණය මෛත්‍රීට දුන් ස්ථිර අතුරු තහනම් නියෝගය කුමක් ද?


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ ක්‍රියාත්මක වන්නේ කුමන්ත්‍රණයක් ද?


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්