සර්වෝදේ' නම මගේ කනට වැකුණේ, මට අවුරුදු දහයක් දොළහක් කාලයේදී ය.

ඒ අප මොරටුවේ ද සොයිසා පාරේ පහළ පිහිටි නිවසක් ගන්නට යෑමේ දී ය. ගෙය විකිණීමට ඉදිරියට පැමිණි බ්‍රෝකර්, අපගේ අම්මාට කීවේ, "මේ පැත්තෙ දැන් ඉඩම් මිල ගොඩක් ඉහල යනවා; සර්වෝදේ කියලා තැනක් හතර වටේ ඉඩම් ගන්න නිසා" කියා ය. නිවස මිල දී ගැනීමෙන් පසු ව ටික කාලයක් යෑමේදී, බ්‍රෝකර්වරයා සඳහන් කළ සර්වෝදය පරණ මූලස්ථාන ගොඩනැගිල්ල පිහිටා තිබුණේ අපගේ නිවසත් ගාලු පාරත් අතර ය. එම ගොඩනැගිලි පරිශ්‍රයේ තාප්පයට අලලා කුඩා ව්‍යාපාරික කවුළුවක් විවෘත කර තිබුණේ, සහන මිලකට කොළ කැඳ විකිණීමට ය. මේ අවධියෙහි කොළ කැඳ ලංකාවේ ඒ හැටි ජනප්‍රිය පානයක් නොවී ය. මගේ ජීවිතයේ පළමු කොල කැඳ කෝප්පය මා බීවේ සර්වෝදයෙනි.

 

ඒ ටී ආරියරත්න ගැන මා සතු මතක සටහන්... - (ලයනල් බෝපගේ)

උසස් පෙළ කරන කාලයේදී සර්වෝදය දම්සක් මැඳුර නමින් විශාල ගොඩනැගිලි සංකීර්ණයක් සාදා, ඊට අනුබද්ධිත ව, විශ්ව සමාධි නමින් විශාල රැස්වීම් ශාලාවක් ද එහි උඩ තට්ටුවේ විශාල පුස්තකාලයක්ද තැණී ය. මේ කාලයේදී අප කීප දෙනෙකු පුස්තකාලයට ආවේ ගියේ පොත් කියවන්නට හෝ අධ්‍යාපන කටයුතු සඳහා නොව, එහි සිටි ගැහැණු ළමයින් ඇසුරු කිරීමටත්,  'පොදු මුළුතැන් ගෙය'  ලෙස එකල හැඳින්වූ ස්ථානයෙන් නොමිලේ බත් වේලක් කෑමට ය. පුස්තකාලයේ සිටින විට, උදේ දහයට හා හවස තුනට තේ කෝප්පයක්ද නොමිලේ ලැබෙන අතර, උත්සව කාලයේ දී කැවුමක් කොකිසක් ද අපට නොමසුරුව දුන්නී වාද්දුවේ සිට පැමිණි පුස්තකාලය භාරව සිටි කරුණාභරිත අක්කා කෙනෙකි. පුස්තකාලයේ කාර්ය බහුල ව සිටි බරපතළ පෙනුමක් ඇති කෙසඟ මහළු පුද්ගලයා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර බව මම පසු කලෙක තේරුම් ගතිමි. ඔහුට උදව් පදව් වීමට සිරුරට වඩා බොහෝ විශාල බතික් කමිසයක්ද හැඳ, හචා මල්ලක් කරේ හොවාගෙන, බර අඩි තබමින්, ලොකු කුඩයක් පොළොවේ කොටමින් පැමිණි තරුණ සිසුවා, දැන් අප හඳුන්වන්නේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති නමිනි !  

Handelingenkamerlengte

 

මීට දශක කිහිපයකට පසු ව, සර්වෝදය සමග මා නැවත වරක් අභිමුඛ වන්නේ, ඕලන්දයේ හේග් නුවර පිහිටි විශාල ආයතනයක යටි බිමක ස්ථානගතව තිබූ පැරණි ලේඛනාගාරයක ය. එම ස්ථානයේ ඕලන්ද රජයෙන් හා ඕලන්ද රාජ්‍ය නොවන ප්‍රධානක ආයතන විසින් සංවර්ධනය වන රටවලට ලබා දුන් ආධාර සම්බන්ධයෙන් සියලු ලිපි ලේඛන ඉතාමත් සංවිධිත ආකාරයෙන් සංරක්ෂණය කර තිබෙන අතර, මාගේ ආචාර්ය උපාධි පර්යේෂණ කටයුතු සඳහා මට ඒම ලේඛන පරිශීලනය කිරීමට අවස්ථාව ලැබිණ. ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සමාන්තර ඉතිහාසයක් හේග් නුවර ලේඛනාගාරවල සංරක්ෂිත ව ඇති බව මා විමතියට පත් කළේ ය. මෙම සමහර තොරතුරු හා දත්ත ලංකාවේ ඇති ද යන්න ද මට සැක සිතිණ (ඉතා කුඩා පරිමාණයක මෙහෙයුමක් වුව ද, දියැස සඟරාව කළ කණ්ඩායම විසින් ඒ සඳහා ඕලන්දයෙන් ආධාර ලබාගත් සියලු ලිපි ලේඛන ද එහි විය). 

එම ලේඛන වල සඳහන් වූ, සර්වෝදය සමඟ දශක කිහිපයක් සම්බන්ධීකරණ කටයුතු කළ ඕලන්ද ජාතික සංවර්ධන හා ආධාර නිලධාරීන් දහ දොළොස් දෙනෙක් පසුකාලයක හඹා ගොස් ලේඛනගත ව නොමැති ඉතිහාසයේ කොටස් වාචික ව සටහන් කර ගතිමි. මාගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ මූලික අවධානය යොමු වූයේ සර්වෝදයට නොවුනත්, මට මේ ලැබුණු මහඟු අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් මගේ කාලයෙන් සෑහෙන ප්‍රමාණයක් ඊට වැය කළේ එය ඉතාමත් ම ගවේෂණශීලී වැඩක හා නිධානයක් හෑරීම වැනි දෙයක වූ නිසාවෙනි.

 

ආචාර්ය ඒ.ටී. ආරියරත්න: ශ්‍රී ලංකාවේ ගම්මාන 15,000කට සහන සැලසූ සර්වෝදය  ව්‍යාපාරයේ නිර්මාතෘවරයාආචාර්ය ඒ.ටී. ආරියරත්න

පසු කලකදී ගෞරව ආචාර්ය උපාධි දෙකකින් ම පිදුම් ලැබූ, ඒ.ටී.ආරියරත්න මහතා විසින් සර්වෝදය අදහස රෝපණය කරන්නේ ලංකාවේ තීරණාත්මක ජාතික හා සංස්කෘතික රැල්ලක් හමන කාලයක දී ය. මේ රැල්ලේ දේශපාලන ප්‍රාග්ධනය බණ්ඩාරනායක මහතා විසින් ඒකරාශී කර ගත් අතර, ඒ රැල්ලේ සංස්කෘතික හා සමාජ තානාපතිවරු වූවෝ, පිළිවෙලින් එදිරිවීර සරච්චන්ද්‍ර හා ඒ.ටී.ආරියරත්න බව මාගේ කියැවීම යි. සර්වෝදය ඉතිහාසයේ  හැරවුම් ලක්ෂයක් වූ සුප්‍රසිද්ධ කනතොලුව ශ්‍රමදානයට සහභාගී වන ලෙස බණ්ඩාරනායක මහතාට ආරාධනය කෙරුණ අතර, එතුමාට එදින වෙනත් වැඩක යෙදී තිබුණ බැවින්, එහි නොපැමිණීම ගැන සමාව ඉල්ලන සහ ශ්‍රමදානයට සුබ පතන හසුනක් ද  රැගෙන කනතොලුවට පැමිණියේ බණ්ඩාරනායක මැතිණිය ය.

සර්වෝදය ආයතන ගත වීමට පෙර සමයේ එහි රැස්වීම් පැවැත් වූයේ බම්බලපිටියේ වජිරාරාමයේ බවත් එවකට තරුණ භික්ෂුවක ව සිටි පසුකාලීනව නායක නමක වූ මඩිහේ පඤ්ඤාසීහ හිමි මිය ඊට සහයෝගයක් දුන් බව කියැවේ. සර්වෝදය විදේශ ආයතනයකට මුදල් ආධාර ඉල්ලා යවන ලද මුල් කාලීන 'ප්‍රොජෙක්ට් ප්‍රොපෝසලය'  කෙටුම්පත් කරන ලද්දේ තමා බව, මට කීවේ ඒන්ස්ලි සමරජීව මහතා ය. ගුරුවරයෙකු, විදුහල්පතිවරයකු විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් වරයකු වූ සමරජීව මහතා, රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය පසු මිය යන තෙක් ම ස්වේච්ඡාවෙන් වැඩ කළ නීතිඥයෙක් විය. මා කටුනායක ඉපදෙන විට, එතුමා කටුනායක මෙතෝදිස්ත ද විදුහලේ විදුහල්පතිවරයාව සිටි නිසා, ඔහු අප පවුලේ සමීප හිතවතෙකු විය. සමරජීව මහතා සඳහන් කළ ප්‍රපෝසලයේ කාබන් පිටපතක් තමන් සතු ව ඇති බවත් එය මට පොටෝ කොපි කර ගැනීමට දීමට එකඟ වී සිටිය ද, ඒ කාලයේ ම ඔහු අකාලයේ මිය ගියේ ය (මහාචාර්ය රොහාන් සමරජීව එතුමාගේ පුත්‍රයායි). ආරියරත්න, සමරජීව මහත්වරුන් හා මඩිහේ පඤ්ඤාසීහ හිමි යන තිදෙනා ම දුරාව කුලයට අයත් වීම, වජිරාරාමය යට කී කුලයේ නොනිල මූලස්ථානය වීම ද හුදු අහම්බයක් යි මම නොසිතමි. කුලය ටැබුවක් ලෙස නොව සමාජ ස්ථරයක් ලෙස අප තේරුම් ගත යුතු අතර, සර්වෝදය ප්‍රපංචය තේරුම් ගැනීමේදී අප කුල සාධකය අමතක කළ නොයුතු බව මගේ හැඟීම යි.

 

රණසිංහ ප්‍රේමදාස අනභිභවනීය නායකයාරණසිංහ ප්‍රේමදාස

දේශපාලන පක්ෂ ව්‍යාපෘති කලින් කල ඉස්මතු වී අතුරුදහන් වූ වූ නමුදු, පසු කලෙක රාජ්‍ය නොවන ලෙස වර්ගීකරණය වූ කලාපයක ස්ථානගත වූ සර්වෝදය දශක දෙක තුනක් යනවිට ලාංකීය සමාජයේ, අප ඉංග්‍රීසියෙන් කියන ආකාරයට, 'පවර් ටු රෙකන් විත්' හෙවත් නොසලකා හැරිය නොහැකි බල සාධකයක් ලෙස ඉස්මතු ව තිබිණ. මෙහි එක්තරා තීරණාත්මක අවධියක වූයේ ප්‍රේමදාස ජනපති සමයේ ය. ආරියරත්න මහතාත් ප්‍රේමදාස ජනපතිතුමාත් තම ඉලක්කය කරගෙන තිබුණේ දුගී දුප්පත් ජනතාව හා ඔවුන් එම තත්වයෙන් මුදා ගැනීමේ ව්‍යාපෘති ය. ආරියරත්න මහතා ජනපති අපේක්ෂා පෙරදැරි ව සිටින බවට කළ සමපේක්ෂණ නිසා ප්‍රේමදාස මහතා යම් තර්ජනයකට හා අනාරක්ෂිත බවකට භාජනය වූ බව කියැවේ. මේ දෙදෙනා අතර යම් සීතල යුද්ධයක් ගොඩනැගුණු අතර, එක්තරා අවධියක දී ප්‍රේමදාස මහතා විසින් මෙම ගස්ටනය ගොඩින් බේරා ගැනීමට ආරියරත්න මහතාට අගමැති පදවිය පිරිනැමීමට සූදානමින් සිටි බව ද කියැවේ.

මේ යෝජනාවලිය ආරියරත්න මහතාට ඉදිරිපත් කිරීමට ග්‍රෙගරීස් පාරේ පිහිටි බෞද්ධයා චැනලය ඇති පන්සලට ප්‍රේමදාස ජනපති පැමිණ ඇත්තේ පස්සා දොරින් බව ද කියැවේ. කුමන හෝ හේතුවකට එම මගුල නොකෙරෙණු අතර, ප්‍රේමදාස ජනපති සර්වෝදය ඉලක්ක කරගෙන, නමුත් වෛද්‍ය හඩ්සන් සිල්වාගේ අක්ෂිදාන සංගමය හා වර්ල්ඩ් විශන් සංවිධානය ද පටලවාගෙන,  ජනාධිපති කොමිසමක් පත් කළේ රාජ්‍ය නොවන සංවිධාන ගැන විමර්ශනය කිරීමට ය.

සර්වෝදය ගැන බොහෝ දෙනා බොහෝ දේ ලියා කියා ඇත. එම ලිපි ලේඛන ඇතුලෙන් මා වඩාත් ම ප්‍රිය කරන්නේ,

ගණනාථ ඔබේසේකර හා රිචර්ඩ් ගෝම්බ්‍රිච් විසින් ලියන ලද ශාස්ත්‍රීය ලිපිය (බුඩිසම් ට්‍රාන්ස්ෆෝර්ම්ඩ් : රිලිජස් චේන්ජ් ඉන් ශ්‍රී ලංකා, 1988, ප්‍රින්ස්ටන් යුනිවසිටි ප්‍රෙස්) යි. සිංහල බෞද්ධ ජාතිකවාදයක් පුබුදුවාලු 1956 පරිවර්තන ක්‍රියාදාමයේ බෞද්ධාගම හා ඊට සබැඳි පන්සල නමැති ආයතනය යම් නවෝත්පාදනීය ප්‍රතිසංස්කරණයක් කළ සුවිශේෂ භූමිකාව ඉටු කරන ලද්දේ සර්වෝදය විසින් බව ඔවුන් දෙදෙනාගේ මතය යි. මේ පරිවර්තනයේ ස්වරූපය ඔවුන් හැඳින්වූයේ ප්‍රොතෙස්තන්ත බුදු දහමක් ලෙස යි.

ඒ ටී ආරියරත්න ගැන මා සතු මතක සටහන්... - (ලයනල් බෝපගේ)ආචාර්ය ඒ.ටී. ආරියරත්න

 

සර්වෝදය විසින් මුල් කාලයේ භික්ෂු පුහුණුවට විශේෂ ස්ථානයක් දුන් අතර රත්නපුර දිස්ත්‍රික්කයේ පාතකඩ, විශාල භික්ෂු පුහුණු මධ්‍යස්ථානයක් ද ඉදි කිරී ය. භික්ෂූන් ආගමික, අධ්‍යාත්මික හා වතාවත්වලින් පන්සලට කොටු වී සිටීම අභියෝගයට ලක් කළ අතර, බයිබලීය සංකල්පයක් වන එඬේර සේවය (පැස්ටොරලිස්ම්) පන්නයේ, එනම් සමාජ ගැටළු සමග මුසු වීමක්, සර්වෝදය විසින් ප්‍රචලිත කළ නව මාදිලිය යි. මෙවැන්නක් වර්තමානයේදී අපට මහා පුදුමයක් ලෙස නොපෙනෙනු ද, පනහ දශකයේ දී එය විප්ලවීය පරිවර්තනයක් විය.

තවත් මට්ටමකින්, ග්‍රාමීය කෘෂිකාර්මික ආර්ථිකය, හුදෙකලා ව සිට මිය යන්නට ඉඩ නොදී, ධනවාදී ප්‍රවාහය සමඟ අභිමුඛ වන්නට නව අර්ථ ක්‍රමයක් සර්වෝදය විසින් ප්‍රවර්ධනය කිරීම, ලාංකීය සමාජය නූතනවාදී ව්‍යාපෘතියට බද්ධ කිරීමක් ලෙස ද හඳුන්වා ගත හැක. මේ ක්‍රියාවලියේ සීමාවන් හා පරස්පරතා බොහොමයක් තිබූ නමුදු, ආරියරත්න මහතා විසින් ඉටුකළ මේ පුරෝගාමී කර්තව්‍ය ඉතිහාසයේ සනිටුහන් විය යුත්තේ හුදු සමාජ සේවයක් හෝ ප්‍රජා සංවර්ධන වැඩක් ලෙස ලඝු කිරීමෙන් නොවේ. පනස් හයෙන් අනුප්‍රාණය ලැබුව ද ඊට ම වහල් නොවී වෙනස් වන ලෝකය හමුවේ ලාංකීය සමාජය නිරන්තරයෙන් ම පරිවර්තනයකට භාජනය කරන ඕනෑකම ඔහු මිය යන තුරු ම අත් හළේ නැත.  

Udan(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්