''බලහත්කාරයෙන් වසං කරගෙන සිටින යටිසිත නින්දේ දී ඇහැරෙමින් මුමුණන්නට පටන් ගනී''
ජාතික ජන බලවේගයේ ඉදිරි ගමනත් සමඟ අභියෝගයට මුහුණ දී සිටින ඔවුන්ගේ දේශපාලන ප්‍රතිවාදීන්ට අවශ්‍ය කර තිබුණ කදිම දේශපාලන ගැම්මක් ජනතා විමුක්ති පෙරමුණේ නායකයකු විසින්ම සම්පාදනය කරනු ලැබ ඇත. ඔහු මහජන වේදිකාවන්හි පෙනී සිටින්නේ නලින් හේවගේ යනුවෙනි. එතෙක් මහජන අපවාදයට ලක්ව සිටි තිසකුට්ටි ආරච්චි වැනි දේශපාලකයන් පවා හේවගේ විසින් ඉදිකරන ලද වේදිකාව ප්‍රයෝජනයට ගන්නා ආකාරය ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය තුළ යළිත් නැරඹිය හැකිය.
නලින් හේවගේ පසුගිය අවුරුදු කීපය පුරා බොහෝ රූපවාහිනී සංවාදයන්හි ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ජාතික ජනබලවේගය වෙනුවෙන් පෙනීසිටියේය. එවැනි භාරධූර වගකීමක් පවරනු ලැබ ඇති හෙයින් ඔහුගේ ප්‍රකාශ විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය ලෙස ගැනීමේ වරදක් නොපෙනේ.
මේවනවිට විවාදයකට තුඩු දී පවතින අදාළ දේශපාලන සංවාදයේ දී නලින් හේවගේ කරන ප්‍රකාශය කුමක්ද?
ඔහු උපහාසාත්මක සිනහවක්ද සහිතව මෙලෙස පවසයි.
''......ඇල්බර්ට් අයින්ස්ටයින් වරක් මෙහෙම කියා තිබුනා. ශ්‍රේෂ්ට අදහස්වලට සාමාන්‍ය මනසක් සහිත මුග්ධයන් ගෙන් ප්‍රබල ප්‍රහාරයක් එල්ලවනු ඇත..... ඒ කාලේ ගොඩාක් ගම්වල හිටිය ස්ත්‍රී දූෂකයන් කසිප්පුකාරයන් ටිකක් මැරුණා.....''
එම විවාදයේ දී නලින් හේවගේ පැටලෙන දේශපාලන චරිතදෙක සමඟ අපට කිසිදු දේශපාලන එකඟතාවක් නැත. එහෙත් ඔහු විසින් සඳහන් කරනු ලබන 1987-89 අතර කාලයෙහි රාජ්‍ය ත්‍රස්තවාදය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරන ලද සියළු පුරවැසියන් වෙනුවෙන් අපට ප්‍රබල සහකම්පනයක් ඇත.
නලින් හේවගේ විසින් කරන ලද ඉහත කී ප්‍රකාශයේ දී ඔහුගෙන් විමසිය යුතු කරුණු කීපයක් පොදුජන පෙරමුණේ දේශපාලනඥයන් දෙදෙනා විසින් මගහරින ලදී.
1) පළමු ප්‍රශ්නය; අදාළ වකවානුවේ දී කසිප්පුකාරයන්, ස්ත්‍රී දූෂකයන් හෝ වෙනත් සමාජ අපචාරවලට හවුල් යයි අඩුතරමින් සැකයට හෝ චෝදනාවට ලක්වෙන පුද්ගලයන්ට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු යයි එවකට ජනතා විමුක්ති පෙරමුණ සිය ශාඛා සංවිධානවලට දැනුම් දී තිබුනේද?
2) දෙවන ප්‍රශ්නය; එවැනි බලපත්‍රයක් දී තිබුනේනම්, එවැනි චෝදනාවලට ලක්වන පුද්ගලයන් එම චෝදනාවලට වරදිකරුද? නිවැරදිකරුද යන්න තීන්දු කෙරෙන අධිකරණ යාන්ත්‍රණයක් තිබුනේද?
(වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් ඔහුගේ බලය පැතිර පැවති ප්‍රදේශයන්හි එවැනි අධිකරණ ක්‍රමයක් සහ දණ්ඩ නීතියක් පවත්වාගෙන ගිය බව තහවුරු වී ඇත)
3) තෙවන ප්‍රශ්නය; නලින් හේවගේ සඳහන් කරන පරිදි මරණීය දණ්ඩනය පමණක් නොව කසිප්පුකාරයන් ගස් බැඳ තැබීම සහ කට කැපීම වැනි දඬුවම් ද ජනතා විමුක්ති පෙරමුණ විසින් අදාළ කාලවකවානුවේ ක්‍රියාවට නංවා ඇත. පැරණි රාජාණ්ඩු සමයේ ක්‍රියාවට නංවන ලද එවැනි දඬුවම් නලින් හේවගේ හෝ ජනතා විමුක්ති පෙරමුණ විසින් අදත් අනුමත කරනු ලබන්නේද?
4) සිව්වෙනි ප්‍රශ්නය ; 1987 -89 අතර කාලය ඇතුළත ජනතා විමුක්ති පෙරමුණ හෝ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් මරණ දඬුවමට යටත්කරන ලද සියළුදෙනා කසිප්පුකාරයන් හෝ ස්ත්‍රී දූෂකයන්ද?
ඉතාම බරපතළ කාරණය මෙයයි. ජනතා විමුක්ති පෙරමුණ විසින් එකල බෙදාහරින ලද පත්‍රිකා හෝ තාප්ප මත ලියනලද සටන්පාඨ අනුව කසිප්පුකාරයන්වීම හෝ ස්ත්‍රී දූෂකයන් වීමක් සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් නොලද පුද්ගලයන්ටත් මරණීය දණ්ඩනය පනවනු ලැබ තිබුණි. ඒවා අතරින් කීපයක් මතකයට ගනිමු.
'' ඉන්දු-ලංකා ගිවිසුමට පක්ෂපාතීවන්නන්ට මරණය''
''පළාත්සභාවලට සහභාගීවෙන සියළුදෙනාට මරණය''
''ඡන්දය දුන්නොත් මරණය''
එම කරුණු පසෙකින් තබමින්, එදා මරාදමන ලද දේශපාලන නායකයන්ගෙන් කිසිවකුට කසිප්පු චෝදනා හෝ ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වී තිබුනේනම් ඔවුන් කවුදැයි ප්‍රකාශයට පත්කරන ලෙස ''අයින්ස්ටයින් මග'' යන නලින් හේවගේගෙන් ඉල්ලා සිටිමු.
ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකරන ලද දේශපාලන ඝාතන රැසක් ඉතිහාසයට එක්ව ඇත. ඊට අමතරව බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ නම් කීපයක් ද එම ලැයිස්තුවට එකතුවෙයි. ජනතා විමුක්ති පෙරමුණ විසින්ම එකල ප්‍රකාශයට පත්කරන ලද පත්‍රිකා අනුව කීර්ති විජයබාහු නමින් පෙනීසිටි පුද්ගලයා සියලුම ඝාතන නිවේදනය කළේ දේශපාලන කරුණු පදනම් කර ගනිමිනි. ඊට අතිරේකව සිදුකෙරුන දයා පතිරණ ඝාතනය, සහ උපකුලපති ස්ටැන්ලි විජේසුන්දර ඝාතනය වැනි මරණ දඬුවම්වලට වෙනත් කාරනා බලපෑ බවක් අනාවරණය වී ඇත.
මෙම බරපතල ඝාතන රැල්ල පහසුවෙන් සාකච්ඡා කොට නිගමනයකට පැමිණිය හැකි කරුණක් නොවේ. එහෙත් එම සමාජ යුතුකම සහ වගකීම ඉටුනොකරන අතරවාරයේ අනිත් අතින් කසිප්පුකාරයන් හෝ ස්ත්‍රී දූෂකයන් ලෙස එම පුද්ගලයන්ට යළිත් අවමන් කරනු ලැබීම ඔවුන්ට හිමිවිය යුතු යුක්තිය ඉටුකිරීම පැහැර හරින අතරවාරයේ ඔවුන්ගේ ජීවිතවලට නැවතවරක් අවමන් කිරීමක් නොවන්නේ ද?
මෙහිදී මතුවෙන ඉතාම බැරෑරුම් කරුණ වන්නේ නලින් හේවගේ විසින් ඔහුගේ අදහස් දැක්වීමේ දී උපුටා දක්වනු ලබන ඇල්බර්ට් අයින්ස්ටයින් අයත්වූ ජර්මන් සමාජය මුහුණ දුන් බිහිසුණු උවදුරයි. එනම් හිට්ලර්ගේ ෆැසිස්ට්වාදී සාහසික ජන ඝාතනයයි. හිට්ලර් යුදෙව් ජනසංහාරයක නිරතවුනේ එම ජනයා සහ ඔවුන්ගෙන් පැවතෙන්නට විවිධ අමූලික චෝදනා නගමිනි.
කම්මැල්ලවීර සහ යසපාලිත
දැනට ජාතික ජනබලවේගයට සහයෝගය දක්වන පුරෝගාමී චරිත දෙකක් මෙහිදී සිහියට නැගෙයි. එන එක් තැනැත්තෙක් ප්‍රකට සාහිත්‍යධර සම්මානලාභී ලේඛක ජයතිලක කම්මල්ලවීරයි. එවකට නව සම සමාජ පක්ෂයේ ඉදිරිපෙළේ නායකයකු වූ කම්මැල්ලවීරයන් ජනතා විමුක්ති පෙරමුණේ ජීවිත තර්ජනය නිසා සැඟවී දිවි රැකගත් තැනැත්තෙකි. දෙවැන්නා නීතිඥ හර්ෂණ නානායක්කාරයි. ජාතික ජනබලවේගය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකරන නීතිඥ නානායක්කාරගේ පියා වූ ජනාදරය දිනු චිත්‍රපට අධ්‍යක්ෂ යසපාලිත නානායක්කාර දිවි බේරාගත්තේ විදේශගත වීමෙනි. අවාසනාවකට මෙන් එදා ඔවුන්ට ජීවිත බේරා ගැනීමට නොහැකිවීනම් ඔවුන් ඇතුළත් කෙරෙන්නේත් කසිප්පුකාරයන්ගේ හෝ ස්ත්‍රී දූෂකයන්ගේ ලැයිස්තුවටද?
මෙම කරුණුවලින් පෙන්නුම් කෙරෙන්නේ කුමක්ද? ඉන් පැහැදිලිවෙන්නේ ප්‍රචන්ඩ දේශපාලන අතීතයෙන් ඉවත්වූ බවක් ජනතා විමුක්ති පෙරමුණ ඇතැම් අවස්ථාවන්හි ප්‍රකාශ කළත් දේශපාලනමය වශයෙන් ඔවුන් තාමත් පෙළෙන ව්‍යාකූලතාවයි. 1987-89 අවධියේ සිදුකරන ලද සාහසික ඝාතන සම්බන්ධයෙන් මහජනයාගෙන් සමාව ඉල්ලා සිටීමක් ශ්‍රී ලාංකික සමාජය බලාපොරොත්තු වුනත්, එම වගකීම පැහැර හරිමින් ''ඒ ගැන කණගාටුවෙනවා'' වැනි ප්‍රකාශන ලාවට සිදුකරමින් ඇඟ බේරාගැනීමේ දේශපාලනයක ඔවුන් නිරතවන්නේ ඔවුන් ගිලීසිටින කෝවෙන් එළියට බැසීමේ දේශපාලන සූදානමක් නොමැති හෙයින් නොවේද?
මෙම කාරණය දේශපාලනික වශයෙන් ජාතික ජනබලවේගයට බරපතළ කාරණයක් වන්නේ නලින් හේවගේ වැනි පුද්ගලයන් විසින් කරනු ලබන ප්‍රකාශන මගින් හෙළිදරව් වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඇත්ත දේශපාලන මනසේ ඇත්ත ඇතුල් පැත්තද? යන ප්‍රශ්නය පැන නගින හෙයිනි.
(උපාලි ගජනායක)
බීබීසී සිංහල සේවයේ හිටපු මාධ්‍යවේදී