සිතු සේ රිසි තැන බස් රථයක, දුම්රියක හෝ කුලී රථයක නැග බොහෝ දෙනෙකුට ගමන් කළ හැකි වුව ද, තමා සිටින ස්ථානයෙන් ඉවතට

පැමිණීම පිළිබඳව එක් වරක් නොව, සිය දහස් වාරයක් සිතිය යුතු පුද්ගලයින් පිරිසක් ඔබ අතර ම සිටින බව ඔබ දැන සිටියා ද?
"හුදු වචන වෙනස් කරා කියල විතරක් ආකල්ප වෙනසක් ඇති කරන්න බැහැ. මොක ද ඒ වචන වෙනස් කරා කියලා මිනිස්සුන්ට ඒක දැනේනෙත් නැහැ," යන්න ඉසුරු මහේෂ් පණ්ඩිතගේ ගේ අදහසයි.

 

ඉසුරු යනු, මෙම ලිපිය සඳහා අප වෙත හේතු කාරණා සැපයූ ආබාධ සහිත තැනැත්තන් දෙදෙනාගෙන් කෙනෙකි.

 

දෘශ්‍යාබාධිත තත්ත්වයකින් පෙළෙන ඔහු වෘත්තීයෙන් නීතිඥවරයෙකි. ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන ක්‍රියාකාරිකයෙකු මෙන් ම රාජ්‍ය නොවන සංවිධාන සමග ස්වාධීන පර්යේෂකයෙකු ලෙස සහ නීතිය පිළිබඳ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන්නෙකු ලෙස ඔහු කටයුතු කරයි. ඉසුරු උපන්නේ ගාල්ලේදී ය.

 

උපතින් අබාධ සහිත තැනැත්තෙකු වීම හේතුවෙන් පූර්ණකාලීනව රෝද පුටු භාවිත කරන ටිකිරි කුමාර ජයවර්ධන බිබිලේ උපන්න ද ඔහු ද මේ වන විට ඉසුරු මෙන් කොළඹට පැමිණ ඇත්තේ, තම වෘත්තීය නිසා ය.

 

isuru 1

 

ටිකිරි රාජ්‍ය සේවකයෙකි. ඔහු ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ උපසභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ සාමාජිකයෙකු ද වෙයි. තව ද ඔහු මැතිවරණ කොමිෂන් සභාවේ සංවර්ධන නිලධාරියෙකු ලෙස ද රාජකාරි කරයි. ඊට පෙර ආබාධ සහිත පුද්ගලයන්ගේ වෙල්ලස්ස සංවිධානයේ සභාපතිවරයා ලෙස ද ටිකිරි කටයුතු කළේ ය.

 

වෘත්තීමය ස්වභාවයෙන් ඉසුරුගේ සහ ටිකිරිගේ ස්වභාවය වෙනස් වුව ද ඔවුන් දෙදෙනා ම ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කරති.


ඉසුරු සහ ටිකිරි බීබීසී සිංහල සමග සංවාදයට එක්වන්නේ, ආබාධ සහිත පුද්ගලයින් මෙරට තුළ පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව සාකච්ඡා කිරීමට ය.

 

තම ගමන් බිමන් යාම සඳහා ඇතැම් අවස්ථාවලදී ඉසුරු පොදු ප්‍රවාහනය මත යැපෙයි. ඒ, බොහෝ විට තම ගම් පළාත වෙත යාමට ය. නමුත් කොළඹ අවට තම ගමනාගමන කටයුතු සිදු කර ගැනීමට කුලී රථ මත යැපීමට ඉසුරුට සිදුව තිබේ.

 

tikiri

'ලොකු ම ප්‍රශ්නය තමයි දරිද්‍රතාව'

 

"අපි පෞද්ගලික ප්‍රවාහන මාධ්‍ය පාවිච්චි කරද්දී, නැත්නම් පෞද්ගලික වාහනයක් පාවිච්චි කරද්දී එන ප්‍රශ්නය තමයි, ඒක හැමෝට ම කරන්න බැහැ. අපි දන්නවා ආබාධ සහිත පුද්ගලයින්ට තියෙන ලොකු ම ප්‍රශ්නය තමයි දරිද්‍රතාව. ඒ දරිද්‍රතාවය නිසා ගොඩක් වෙලාවට පොදු ප්‍රවාහනය තමයි පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ," ඉසුරු සංවාදයට මුල පිරුවේ ය.

 

දෘශ්‍යාබාධිත පුද්ගලයෙකුට සුදු සැරයටියක් භාවිත කර තනිව මහමග ගමන් කළ හැකි වුව ද ඉසුරු පෙන්වා දුන්නේ, මෙරට මහාමාර්ගවල ඇති තත්ත්වය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් කල ඔවුන්ට තම ගමන් බිමන් යාම සඳහා සහයකයෙකුගේ උපකාරය පැතීමට සිදුව ඇති බව ය.

 

"ගොඩක් වෙලාවට දෘශ්‍යාබාධිත පුද්ගලයින් පවා පුරුදු වෙලා තියෙනවා සහයකයෙක් එක්ක ගමනක් යන්න. එතකොට ගමන් වියදම දෙගුණ වීමේ තත්ත්වයක් ඇතිවෙනවා." ඔහු පෙන්වා දුන්නේ, දෘශ්‍යාබාධිත පුද්ගලයෙකුට බස් රථයකට ඇතුළු වීමට හැකියාවක් තිබුණ ද රෝද පුටුවක් භාවිත කරන පුද්ගලයෙකුට ඇතුළු විය හැකි ලෙස මෙරට තුළ බස් රථ සකස් කර නොමැති බව ය.

 Elections Blind 2020දෘශ්‍යාබාධිත පුද්ගලයෙකුට සුදු සැරයටියක් භාවිත කර තනිව ගමන් කළ හැකි වුව ද මෙරට මහාමාර්ගවල තත්ත්වය සහ ආරක්ෂාව ගත් කල ගමන් බිමන් යාම සඳහා සහයකයෙකුගේ උපකාරය පැතීමට සිදුව ඇත

 

දුම්රිය භාවිතයේදී ද බොහෝ අවස්ථාවලදී ආබාධ සහිත පුද්ගලයින් අපහසුතාවට පත්වන බව ඉසුරු පැවසීය.

 

"සමස්ත රෝද පුටු භාවිත කරන්නන්ගෙන් අතිබහුතරයකට ප්‍රවාහනය කියන එක, යාමේ ඒමේ අයිතිවාසිකම කඩවෙලා තියෙනවා, මේ පොදු ප්‍රවාහනයේ තියෙන දුර්වලතා නිසා."

1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත වෙනස් විය යුතු බව ත් ඒ හරහා ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ සම්මුතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මග සැලසිය යුතු බව ත් ඉසුරුගේ මතය යි.

ටිකිරි කුමාර ජයවර්ධන පෙන්වා දුන්නේ, එම පනත හරහා ආබාධ සහිත පුද්ගලයින්ගේ ප්‍රවේශය, අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු හා රැකියා යන අයිතිවාසිකම් ත්‍රිත්වය පිළිබඳව අවධාරණය කෙරෙන බව ය.

 

"මේ පනත ක්‍රියාත්මක වෙලා අවුරුදු 25ක් 30ක් වෙනවා, තවමත් ඒ අයිතිවාසිකම් තුන අපිට ලැබිලා නැහැ," ඔහු පැවසුවේ බලධාරීන් විසින් ගනු ලබන තීන්දු තීරණ "වචනවලට පමණක් සීමා වීම" පිළිබඳව ඇති කලකිරීම ද ඇතිව ය.

 

'පොදු ප්‍රවාහනය කියන්නේ අපිට එහා මෙහා යන්න තියෙන ප්‍රධාන බාධාව'

 wmrzuxWPWWHqExTE image4පොදු ප්‍රවාහනය කියන්නේ අපේ එහා මෙහා යන්න තියෙන ප්‍රධාන බාධාව

 

පොදු ප්‍රවාහනය සැමට එක සේ භාවිත කළ හැකි ලෙස පැවතිය යුතු බව ත් සැමට ගැළපෙන ලෙස සකස් කළ යුතු බව ත් ටිකිරිගේ මතය යි.

 

"පොදු ප්‍රවාහනය කියන්නේ අපේ එහා මෙහා යන්න තියෙන ප්‍රධාන බාධාව. කියමනක් තියෙනවා සංවර්ධිත රටක් නම්, බහුතරයක් පොදු ප්‍රවාහන සේවාව භාවිත කරන්න ඕනේ කියලා. පොදු ප්‍රවාහන පද්ධතිය හැමෝට ම භාවිත කරන්න පුළුවන් පරිදි ආකාරයට පැවතිය යුතු යි," ඔහු පැවසීය.

 

මසකට වරක් තම උපන් ගම වන බිබිල බලා යාමට බස් රථය තම ප්‍රවාහන මාධ්‍ය ලෙස භාවිත කරන ටිකිරි එහිදී තමන්ට අත්විඳින්නට සිදුවන අපහසුතා පිළිබඳව මෙසේ පැවසීය.

"මගේ ගම බිබිල. වැඩ කරන්නේ කොළඹ. මාසෙකට එක වතාවක් ගමේ යනවා. එතකොට භාවිත කරන්නේ පොදු ප්‍රවාහනය. බස් එකක රෝද පුටුවක ගමන් කරන කෙනෙක්ට යන්න පුළුවන් කිසි ම ආකාරයක පහසුකමක් නැහැ. අපි රෝද පුටුව දාගන්නේ පිටිපස්සේ ඩිකියේ. අපිට තනියෙන් නගින්න බැහැ, උස්සලා තියන්න ඕනේ. ඒ ක්‍රියාවලිය හරි සංකීර්ණයි. නවත්තලා තියෙන තැන්වලදී ඒක පහසුයි. නමුත් මග බහිනවා නම්, මගදී නගිනවා නම්, ඒක කිසිසේත් ම පහසු නැහැ."

දුර ගමන් සේවා බස් රථ ටිකිරි නංවා ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇතැම් දිනවලදී ඔහුට පැය 3-4ක කාලයක් වෙනත් බස් රථයක් පැමිණෙන තුරු මහමග කාලය ගත කිරීමට සිදු වූ ආකාරය ඔහු සිහිපත් කළේ ය.

 

දුම්රිය ගමන්වලදී ද තමන් දැඩි ලෙස අපහසුතාවට පත් වුණු අත්දැකීම් ටිකිරි බීබීසී සිංහල සමග බෙදා ගත්තේ ය.

 

"මම දවසක් මානව හිමිකම් එකේ වැඩකට පොළොන්නරුවේ යන්න ගියා කෝච්චියේ. ටිකට් ගන්න ගියා ම අත් වැට අතර පරතරය හරි අඩු යි. ගේට්ටුවෙන් එහාට යන්නත් බැහැ රෝද පුටුවකින්. පටුයි. ඒ වෙලාවේ පොලිසියේ හිටපු මහත්තුරු තමයි වැටෙන් උඩින් උස්සල්ල ගිහින් තිබ්බේ. අපිට කෝච්ච පෙට්ටියට නගින්න බැහැ. ප්ලැට්ෆෝම් එකයි දොරයි අතර උස වැඩියි. බස් එකකදී නම් කොන්දොස්තර මහත්තුරු උදව් කරනවා. ගොඩක් හොඳ අය ඉන්නවා. මේකේ ප්‍රශ්නේ එහෙම කවුරුවත් අපිට නැහැ. යන මගියෙක්ගෙන් තමයි අපිට උදව් ගන්න වෙන්නේ. නමුත් දුර යන්න යන්න දුම්රිය මැදිරිවල කට්ටිය අඩු වෙනවනේ.

 

'කාන්තාවක් වුවණොත් තත්ත්වය සංකීර්ණයි'

 

eELdtycpohCpq5tv image2ටිකිරි පෙන්වා දුන්නේ, ආබාධ සහිත කාන්තාවන් පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී දැඩි ලෙස දුෂ්කරතාවලට මුහුණ දෙන බව ය


මැතිවරණ ක්‍රියාවලියේදී ආබාධිත ප්‍රජාව ඊට අන්තර්ග්‍රහණය කර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමග එක්ව ජාතික මට්ටමින් කටයුතු කරන ටිකිරි පෙන්වා දුන්නේ, ආබාධ සහිත කාන්තාවන් පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී දැඩි ලෙස දුෂ්කරතාවලට මුහුණ දෙන බව ය.

 

ඇතැම් අවස්ථාවලදී පුද්ගලයින් උපකාර කරන මුවාවෙන් එම කාන්තාවන් අයුතු ලෙස ස්පර්ශ කරන බව ඔහු සඳහන් කළේ ය.

 

"ආබාධ සහිත පිරිමි කෙනෙක් නම් උස්සලා තියන්න ගැටලුවක් නැහැනේ. උස්සන මුවාවෙන් අතන මෙතන අල්ලන්න, වෙන අරමුණුවලින් ඒ ගෑනු කට්ටියව ස්පර්ශ කරන්න පෙළඹෙනවා. පැහැදලිව ම අතවරයට ලක් වෙනවා. එහෙම ගොදුරු වුණු අවස්ථා ත් අපිට ගොඩක් හම්බ වෙලා තියෙනවා. ඉතින් හරි ම දුෂ්කරයි," ටිකිරි පැවසුවේ දැඩි කණගාටුවෙනි.

 

'අතරමගදී නතර කළාට අපිට එහෙම ටොයිලට් එකට යන්න බැහැ'

 

බස් රථයකට ඇතුළු වීම සඳහා එය අදාළ ස්ථානයට පැමිණෙන මොහොතේ ම යා යුතු බව ටිකිරි පවසයි.

 

"බිබිලේ යද්දී බස් එක ගහද්දි ම යන්න ඕනේ. මොක ද කට්ටිය නගින්න කලින් නගින්න ඕනේ. එහෙම නැති වුණොත් සීට් එකේ වාඩිවෙන්න බැහැ."

 

කෙසේ හෝ බස් රථයට ගොඩ වී ගමන් ඇරඹුව ද එක ම ඉරියව්වකින් බොහෝ වේලාවක් ගමන් කිරීමට සිදූවීම ඉතා අපහසු බව ඔහු පැවසීය.

 

තමන් මුහුණ දෙන අපහසුතා ගැන ටිකිරි සඳහන් කළේ මෙලෙස ය: "හවස 5.45 ගියොත්, බහින්නේ පාන්දර 1ට. ඔය අතරතුරේ ආහාරයක්වත් වතුර උගුරක්වත් නැහැ. මොක ද අතරමගදී නතර කළාට අපිට එහෙම ටොයිලට් එකට යන්න බැහැ."


ඇතැම් දුම්රිය තුළ අබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් දුම්රිය මැදිරි වෙන් කර තිබුණ ද ඒවා තුළට ප්‍රවේශ වීමට නොහැකි බව ඉසුරු සහ ටිකිරි යන දෙදෙනා ම පෙන්වා දුන්හ.

 

14පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී බොහෝ අවස්ථාවලදී තම රෝද පුටුව හකුලා තමන් සිටින ස්ථානයේ ම තබා ගන්නේ ඊට හානි වීම වළක්වා ගැනීමට බව ටිකිරි පැවසීය.


දුම්රිය වේදිකාව සහ දුම්රිය මැදිරිය අතර ඇති පරතරය වැඩි වීම ඊට හේතුව බව ඔවුහු පැවසූහ.

 

පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී බොහෝ අවස්ථාවලදී තම රෝද පුටුව හකුලා තමන් සිටින ස්ථානයේ ම තබා ගන්නේ ඊට හානි වීම වළක්වා ගැනීමට බව ටිකිරි පැවසීය.


"මේක අපේ ඇඟේ කොටසක් නේ. එළියට දැම්ම ගමන් ඒක එහෙට මෙහෙට පෙරළිලා කැඩෙනවා. අපිව බස්සලා ඒ අය යනවනේ. රෝදයක් ගැලවුණොත් සම්පූර්ණයෙන් ම අසරණ වෙනවා. ඒ නිසා මම මගේ ළඟ ම තමයි රෝද පුටුව තියා ගන්න බලන්නේ."


ඇතැම් විට, රෝද පුටුව සඳහා බස් රථ ගමන් ගාස්තු අය කරන බව ඔහු සඳහන් කළේ ය.

 

ටිකිරි පෙන්වා දුන්නේ, උත්සව සමයේ විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කළද ඉන් තම ප්‍රජාවට සිදුවන්නේ දැඩි අසාධාරණයක් බව ය.

 

ආබධ සහිත පුද්ගලයින් සඳහා නම් කෙරුණු ආසන එම කාලයේදී ක්‍රියාත්මක නොවන බව ඔහු පැවසීය. ආසනවල ඇති අනාරක්ෂිත බව සහ ගුණාත්මකභාවයෙන් තොරවීම පිළිබඳව ද ඔහු චෝදනා කළේ ය.

 

"අපේ ඇඟට බැලන්ස් නැහැ. තියෙන සීට් එකත් ගැටලුසහගතයි. සීට් අතර පරතරය, සීට් බෙල්ට් එක. ඊට පස්සේ අයිනේ තියෙන ආරක්‍ෂිත ආවරණය. ඒවා මුකුත් නැහැනේ මේ බස්වල," ටිකිරි පැවසීය.

 

ඉන්ටර්නෙට් හරහා ආසන වෙන් කරවා ගැනීමේදී ද ආබාධ සහිත පුද්ගලයින් සඳහා නම් කෙරුණු ආසන ලබා නොදෙන බව ඔහු පෙන්වා දුන්නේ ය.

 

"හයිවේ බස්වල ආබාධිත සීට් එකක් නැහැ නම් කරලා. එක දොරයි තියෙන්නේ."

 

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ආසන නම් කිරීමේ වැදගත්කම

 

ටිකිරි පැවසූ පරිදි ආබාධ සහිත පුද්ගලයින් සඳහා ආසන නම් කිරීමේ වැදගත්කම් ත්‍රිත්වයකි.

 

ඉන් එකක් ලෙස ඔහු පෙන්වා දුන්නේ, යම් හෙයකින් ආබාධ සහිත පුද්ගලයෙකු අතරමගදී බස් රථයට හෝ දුම්රියට ඇතුළු වුවහොත් ඔහු හෝ ඇයට ප්‍රමුඛතාව දිය යුතු යි යන්න ඉන් සන්නිවේදනය වන බව ය.

 

එමෙන් ම, යම් හෙයකින් අනතුරක් සිදුවුවහොත් එම ආසනයේ අසුන් ගෙන සිටින්නේ ඉක්මනින් මුදාගත යුතු පුද්ගලයෙකු බව ගලවාගැනීමේ කණ්ඩායම් වෙත පහසුවෙන් අවබෝධ කර ගත හැකි වීම අනෙක් වැදගත්කම ලෙස ඔහු පෙන්වා දුන්නේ ය. තුන්වැන්න ලෙස ඔහු පැවසුවේ, "එතන ඉන්න කෙනාට අනිත් සීට්වලට වඩා යම් සුවපසුවක් දෙන්න ඕනේ," යන්න ය.

"තරගයක් තියෙනවා වාඩි වෙන්න. පොඩි ආබාධයක් තියෙන කෙනෙක් ටක් ගාලා ගිහින් වාඩි වෙනවා. මොක ද අපේ රටේ හඳුනා ගැනීමක් නැහැනේ. අපි කියන්නේ ආසනය ඉස්සරහ ම නෙවෙයි දෙවන සීට් එක දෙන්න. සමහර විට තුන්වෙනි හතරවෙනි සීට් එක තමයි දීලා තියෙන්නේ. අපිට ඇවිදන් යන්න බැහැනේ ඇත්තට ම. මම උස්සල තියන්න ඕනේ. මාව උස්සන කෙනාට බස් එකේ ඉස්සරහා හැරෙන්නවත් බැහැනේ. ඒ වගේ තියෙනවා ප්‍රමිතියෙන් තොර දේවල්. මම NTC එකට පැමිණිලි ගොඩක් දාලා තියෙනවා. නමුත් අද වෙනකම් කිසි ම පැමිණිල්ලක් කැඳවලා නැහැ. පිළිගන්නේ නැහැ, මේක එච්චර බරපතළ වැරද්දක් නෙවෙයි වගේ," ටිකිරි තවදුරටත් පැවසීය.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළ ආබාධ සහිත පුද්ගලයින් සඳහා සලසා ඇති පහසුකම් පිළිබඳව ටිකිරි තුළ ඇත්තේ ප්‍රසාදයකි.

 

'ලංකාවේ ඉස්සරහට එන්නේ වැඩිහිටි ජනගහනක්'

 ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වැඩිහිටි ප්‍රජාව රැකගැනීමට ක්‍රමවේදයක් තිබේද?අපි දකින දෙයක් තමයි ලංකාවේ ඉස්සරහට එන්නේ වැඩිහිටි ජනගහනක්

 

ඉසුරු මහේෂ් පණ්ඩිත පෙන්වා දුන්නේ, පොදු ප්‍රවාහන සේවා ක්‍රමවත් කිරීම ආබාධ සහිත පුද්ගලයින්ට පමණක් නොව ඉදිරියේදී මෙරට තුළ වැඩිහිටියන් බවට පත් වන ප්‍රජාවට පවා වැදගත් වනු ඇති බව ය.

 

"අපි දකින දෙයක් තමයි ලංකාවේ ඉස්සරහට එන්නේ වැඩිහිටි ජනගහනක්. මේක හුදු ආබාධ සහිත පුද්ගලයින්ට පමණක් සීමා වෙන එකක් නෙවෙයි. අනාගතයේදී අපි දන්නවා, වැඩිහිටියන් වුණත් අපිට සිද්ධ වෙනවා වැඩ කළ යුතු ජනගහනය කියන එක වැඩි කරන්න. විශ්‍රාම වයස සමහර විට 60 ඉඳලා 70-75 වෙනකම් වැඩි කරන්න වේවි. ඒ කාරණාවේදී සංචරණ අපහසුතා ඇති වීම ස්වාභාවිකයි. එතකොට එවැනි පුද්ගලයින්ට, දීර්ඝකාලීනව කරන ආයෝජනයක් මේක," ඔහු පැහැදිලි කළේ ය.

 

'රජය අරගෙන තියෙන ප්‍රවේශයේ වරදක් තමයි මම දකින්නේ'

 

රජය විසින් ආබාධ සහිත පුද්ගලයින් වෙත ප්‍රවේශ වීම දකිනු ලබන්නේ පුණ්‍ය කටයුත්තක් ලෙස බව ඉසුරු පැවසීය. ඒ ඔස්සේ විවිධ දීමනා ලබා දීමට රජය උත්සහ කරන බව ඔහු පෙන්වා දුන්නේ ය.

 

නමුත් ඊට වඩා වැදගත් වන්නේ අබාධ සහිත පුද්ගලයින් පුරවැසියන් ලෙස රජයට අන්තර්ග්‍රහණය කර ගැනීම බව ඔහු පැවසීය.

 

"එහෙම නැත්නම් වෙන්නේ ඔවුන්ව යැපෙන්නන් බවට පත් කරනවා. ක්‍රියාකාරිකයෙක් විදිහට මම දකින්නේ, අබාධ සහිත පුද්ගලයින්ගේත් යැපුම් මානසිකත්වය වැඩි වෙලා තියෙනවා," ඔහු සඳහන් කළේ ය.

 

ඉසුරු අවධාරණය කළේ, දීමනා ලබා දීම හරහා මෙම ගැටලුවට විසඳුම් සෙවිය නොහැකි බව ය.

 

"පොදු ප්‍රවාහනය නිසි ආකාරයෙන් නැති වීම නිසා, රෝද පුටු භාවිත කරන කෙනෙකුට රස්සාවක් කරන්න යන්න බැහැ. එතකොට ඒ මනුස්සයට ආණ්ඩුවෙන් දෙනවා රු. 5000ක දීමනාවක් මාසෙකට. හැබැයි මම කියන්නේ අපි 5000 ගාණේ ඒ මනුස්සය අවුරුදු 50ක් ජීවත් වුණොත් ඒ දෙන ගාණ, ලෝ-ෆ්ලෝ බස් වගේ ගෙන්නන්න යොදවන්න පුළුවන් නම්, අර මනුස්සය රස්සාවකුත් කරලා, රටට ජාතික ආදායමකුත් උත්පාදනය කරනවා," ඔහු තවදුරටත් පැවසීය.

 

ඇයි මේ ලෝ-ෆ්ලෝ (low-floor) බස් ?

 

low floor busආබාධ සහිත පුද්ගලයින් ප්‍රවාහනය සඳහා තට්ටුව පහත් බස් රථ, එනම් ලෝ-ෆ්ලෝ බස් (low-floor) රථ යොදා ගැනීම යෝග්‍ය ය. 

ඉසුරු සහ ටිකිරි යන දෙදෙනා ම පෙන්වා දුන්නේ, ආබාධ සහිත පුද්ගලයින් ප්‍රවාහනය සඳහා තට්ටුව පහත් බස් රථ, එනම් ලෝ-ෆ්ලෝ බස් (low-floor) රථ යොදා ගැනීම යෝග්‍ය බව ය.

 

අවම වශයෙන් දිස්ත්‍රික්කයකට එවැනි බස් රථ එකක් හෝ යෙදවිය යුතු බව ටිකිරිගේ මතය විය.

"ක්‍රමිකව ලෝ-ෆ්ලෝ බස් ටිකක් ගෙන්න ඕනේ. ඒවා දාන්න ඕනේ. අඩු ම ගාණේ දිස්ත්‍රික්කයට එක ගාණේ දාන්න. කැම්පස් යන ළමයි ඉන්නවා රෝද පුටුවේ. ඒ ළමයි නිවාඩුවට ගෙදර යද්දී රු. 80,000ක් 90,000ක් වියදම් කරන්න වෙනවා. එක බස් එකක් හරි තිබුණා නම් අපි ඒකට හුරු වෙනවා නේ," ඔහු පැවසීය.

බස් රථ ආනනයනය කිරීමේදී සීමා පනවා නව බස් රථ තට්ටුව පහත් බස් රථ විය යුතු බවට නියාමනය කළ යුතු බව ඉසුරු පවසයි.

 

"රජය නියාමකයාගේ කාර්යභාරය හරියට කරලා නැති එකක් තමයි මෙතන පේන්නේ. කැබිනට් අමාත්‍යවරයාත් මේ සමාජ සවිබල ගැන්වීම සම්බන්ධයෙන් ඉන්නේ ජනාධිපතිවරයා. එතකොට මුදල් අමාත්‍යවරයා වෙන්නෙත් ජනාධිපතිවරයා. ඒ නිසා ඉතා පැහැදිලිව ජනාධිපතිවරයාට හැකියාවක් තියෙනවා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න."

 

එපමණක් නොව දැනට ඇති බස් රථ ආබාධ සහිත පුද්ගලයින්ට උචිත ලෙස සකස් කිරීමට නීතියක් පනවා ඊට යම් කාල සීමාවක් ලබා දිය යුතු බව ද ඔහු පැවසීය.


ටිකිරි සඳහන් කළේ, තමන් ඇතුළු කණ්ඩායමක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමග මෙම බස් රථ ගෙන්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ය.

 

එහිදී ඔවුන් ලද පිළිතුර මෙය බව ඔහු පැවසීය: "ඒගොල්ලෝ කියන්නේ, ඒක ලංකා රජයෙන් ඉල්ලන්නේ නැහැ. නැත්නම් අපි දෙන්න සූදානම් කියලා කියනවා."

 

'දුම්රිය දෙපාර්තමේන්තුවට අධික ලෙස මහා භාණ්ඩාගාරය මුදල් වියදම් කරනවා'


ඉසුරු පෙන්වා දුන්නේ, දුම්රිය ස්ථාන විගණනය කර ආබාධ සහිත පුද්ගලයින් සඳහා නිසි ප්‍රවේශ පහසුකම් නොමැති දුම්රිය ස්ථාන හඳුනා ගෙන ඒවා අවශ්‍යතාවට ගැළපෙන පරිදි නිර්මාණය කළ යුතු බව ය.

 

ඒ සඳහා අයවැයෙන් යම් මුදලක් වෙන් කළ යුතු බව ද ඔහු පැවසීය. "දුම්රිය දෙපාර්තමේන්තුවට අධික ලෙස මහා භාණ්ඩාගාරය මුදල් වියදම් කරනවා," යැයි ඉසුරු අවධාරණයෙන් යුතුව සඳහන් කළේ ය.

 

ටිකිරි පවසන්නේ, නිසි සන්නිවේදන විධික්‍රම ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ශ්‍රවණාබාධ සහිත පුද්ගලයින් දුම්රිය ස්ථාන තුළදී අපහසුතාවට පත්වන බව ය.

 

"බිහිරි කෙනෙක් වුණොත්, සමහර වෙලාවට හදිසියේ වේදිකාව වෙනස් වෙනවා. භාෂා තුනෙන් ම කියනවා. නමුත් බිහිරි කෙනෙක් ඉන්නකොට එයාට 'අහවල් වේදිකාවට දුම්රිය ධාවනය වෙනවා,' කිව්වට ඇහෙන්නේ නැහැනේ. ඉතින් අරයා බලන් ඉන්නවා, දුම්රිය තාම නෑ කියලා. අපේ අය එහෙම වෙලාව පහු වෙලා රෑට අසරණ වෙච්ච කට්ටිය අනන්තවත් ඉන්නවා," ඔහු පෙන්වා දුන්නේ ය.

 

isuru 6

යෝජනා සහ චෝදනා

 

ඉසුරු පවසන පරිදි, සමාජයේ සැබෑ ආකල්පමය වෙනස ඇති වන්නේ, රජය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලින් මිස "වචන වෙනස් කරන්න ගහන ගැසට්වලින්," නොවන බව ය.

"කිසියම් වැඩපිළිවෙළක් හදලා, නිශ්චිත කාල සීමාවක් තුළ පොදු ප්‍රවාහන සේවා අපි හැදුවොත්, අන්න එතකොට පැහැදිලිව බලන් ඉන්න මනුස්සයටත් තේරෙනවා, 'ආ මේක හදලා තියෙන්නේ, මේ රෝද පුටු භාවිත කරන අය වෙනුවෙන්, ඒ නිසා අපි ආබාධ සහිත පුද්ගලයින්ට මේ විදිහටයි සලකන්න ඕනේ. ඒ මිනිස්සුත් ලංකාවේ සමාජයට අන්තර්ග්‍රහණය කර ගත යුතුයි' කියන පණිවිඩයත් දෙනවා," ඔහු පෙන්වා දුන්නේ ය.

තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම හරහා යම් ආබාධයක් සහිත පුද්ගලයකු පොදු ප්‍රවාහන සේවාවකට ප්‍රවේශ වුවහොත් ඔහුගේ ගමනාන්තය පිළිබඳව මෙන් ම ඔහුගේ අවශ්‍යතා පිළිබඳව රියැදුරු සහ ඔහු ගමන නිමා කරන නැවතුම වෙත දැනුවත් කළ හැකි බව ටිකිරි පැවසීය.

 

"මෙහෙම කෙනෙක් එනවා. එයාව බලන්න. එයාට උදව් කරන්න, කියන්න පුළුවන්."


රියැදුරුට සහ කොන්දොස්තරට තම බස් රථයේ ගමන් ගන්නා පුද්ගලයින් පිළිබඳව දැනුවත්භාවයක් තිබිය යුතු බව ද ඔහු පැවසීය. ඒ හරහා ආබාධ සහිත පුද්ගලයින්ට අවශ්‍ය ප්‍රමුඛතාව සැපයිය හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.

 

"බස් නැවතුම්පොළවල් ආබාධ සහිත පුද්ගලයින්ට ප්‍රවේශ විය හැකි ලෙස හදන්න. මාකුඹුර හදන්න පුළුවන් නම්, ඇයි අනිත් ඒවා බැරි? අලුතින් හදන ඒවා වත්?," ටිකිරි ප්‍රශ්න කළේ ය.

"කොල්ලුපිටිය පාරේ දැකලා ඇති ටැක්ටයිල් එක උඩ බස් හෝල්ට් එකක් හදලා තියෙනවා. එතකොට දෘශ්‍යාබාධිත කෙනා අමාරුවේ වැටෙනවනේ. ඒ ටැක්ටයිල් එක එතනින් වැහිලානේ. එයා හැප්පෙනවා. ඕකට රෝද පුටුවක ඉන්න කෙනෙකුට ගොඩ වෙන්න බැහැනේ. වැස්සකටවත්. උස නිසා. කොළඹ වටේ හදන ඔක්කොම හදන්නේ ඒ විදිහට. අපිට පේමන්ට් එකේවත් අදාළ තැනට යන්න බැහැ."

ඔහු පෙන්වා දුන්නේ, බස් රථ සහ දුම්රිය තුළ තමන් ඒ වන විට සිටින ස්ථානය තිරයක් හරහා ප්‍රදර්ශනය කිරීම යෝග්‍ය බව ය.

 

"බස්වල ටීවී එකේ පුළුවන් නම් මැප් එක දාන්න. අපිට සිස්ටම් එකක් හදන්න පුළුවන්නේ නගරයෙන් නගරයට යද්දී දැන් ඉන්නේ මෙතන කියලා. ඕක රෑට යද්දී ගොඩක් වැදගත් වෙනවා තමන් ඉන්නේ කොහේ ද කියලා දැනගන්න. අනිත් යටත් ගොඩක් වැදගත්," ටිකිරි යෝජනා කළේ ය.

 

'ප්‍රවාහන අමාත්‍යංශය දැනට කිසි ම පියවරක් අරගෙන නැහැ' - සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්

 Anupa Pasqualරාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්

ඉසුරු සහ ටිකිරි යොමු කරන මෙම ගැටලුව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් වෙත බීබීසී සිංහල යොමු කළේ ය.

 

එහිදී ඔහු චෝදනා කළේ, "පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශය කිසි ම පියවරක් අරගෙන නැහැ. ආබාධිත අය වෙනුවෙන්, බස් සේවාවලදී," යනුවෙනි.

 

කෙසේ වෙතත්, දුම්රිය සේවාවලදී යම් සහන ලබා දී ඇති බව ඔහු පැවසීය. නමුත් එය ප්‍රමාණවත් යැයි තමන් නොසිතන බව ඔහු සඳහන් කළේ ය.

 

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඊට අවශ්‍ය මැදිහත්වීම තම පාර්ශවය විසින් සිදු කරනු ලැබ ඇති බව ය.

"ජාත්‍යන්තර ආබාධිත සමුළුව නිව් යෝක්වල තිබුණ එකේ, එතනට සහභාගී වෙලා, එතැනදී ප්‍රකාශනයක් කළා ලංකාවේ වැඩකටයුතු කරන්න ඕනේ කොහොම ද කියන එක ගිය අවුරුද්දේ, ජූලි මාසයේදී. ඒ අනුව, අපිට ස්ටේටස් රිපෝට් එකක් හදන්න එවලා තියෙනවා ඩොලර් 70,000ක්. ඒක ආවම අපි ස්ටේටස් රිපෝට් එක හදනවා සංචාරක මණ්ඩලයත්, ප්‍රවාහන අමාත්‍යංශයත් කැපවෙලා ඒ අයගේ තොරතුරු අරගෙන, දත්ත අරගෙන හැදුවට පස්සේ, එකට අනුව ලැබෙනවා තව අරමුදලක් අවශ්‍ය කටයුතු කරගෙන යන්න. ප්‍රවේශයට තමයි අංක එකේ ප්‍රමුඛතාව දෙන්නේ."

ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික සභාව හරහා මීට වසරකට පමණ පෙර ආබාධ සහිත පිරිස් වෙත ප්‍රවේශ විය හැකි ලෙස ප්‍රවාහන සේවා සකස් කරන ලෙස ප්‍රවාහන අමාත්‍යංශය වෙත දැනුම් දුන් බව ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා ජයමාලි සී. වික්‍රමාරච්චි බීබීසී සිංහල සමග පැවසුවා ය.


මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාරක සභාවක ද අවධානයට ලක් කෙරුණු බව ඇය පෙන්වා දුන්නා ය. එම කාරක සභාව සඳහා ප්‍රවාහන අමාත්‍යංශයේ නිලධාරීන් ද සම්බන්ධ වූ බව ඇය පැවසුවා ය.

 

ඇය පෙන්වා දුන්නේ, "ඉදිරියේදී ආබාධ සහිත තැනැත්තන්ට ද ප්‍රදේශ විය හැකි බස් රථ ගෙන්වීමට" කැබිනට් තීරණයක් ගෙන තිබුණු බව ය.

 

2006 වසරේදී ප්‍රවේශ නියෝග ඇතුළත් කර ගැසට් පත්‍රයක් ද පළ කර ඇති බව ඇය සඳහන් කළා ය.

 

"මේ ගැසට් පත්‍රයේ කොහොම ද ආබාධ සහිත අයට ප්‍රවේශය, බස් හෝල්ට් එක කොහොම වෙන්න ඕනේ ද, බස් එකේ දොර කොච්චරක් පළල වෙන්න ඕනේ ද, වීල්චෙයාර් එක කොයි විදිහට දාන්න තියෙන්න ඕනේ ද, දුම්රියට ගොඩ වෙන්න රෑම්ප් එක කොහොම ද, ඒ වගේ හැම එක ගැන ම ඒ ගැසට් එකේ තියෙනවා. "

 

එම ගැසට් පත්‍රය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන ලෙස මේ වන විට සංශෝධනය කරමින් පවතින බව ඇය තවදුරටත් පැවසුවා ය.

 

"ඒක දැන් අවසන් අදියරේ තියෙන්නේ. ආබාධ සහිත අය වගේ ම සියලු පාර්ශව සම්බන්ධ කරගෙන මේක කරන්නේ."

 

ආබාධ සහිත පුද්ගලයින් ද තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී සම්බන්ධ කර ගන්නා බව ඇය වැඩිදුරටත් පැවසුවා ය.

"මගේ පඩියෙන් වැඩි ප්‍රමාණයක් යන්නේ ඒකට [ප්‍රවාහනයට]. ආබාධිත අයගේ ජීවිතවල ගොඩක් අයගේ වැඩිපුර ම විදයම වැටෙන්නේ ප්‍රවාහනයට. ගෙවල්වල ඉන්න ආබාධ සහිත අයට එළියට එන්න තියෙන ප්‍රධාන අභියෝගය තමයි මේ පොදු ප්‍රවාහන පද්ධතියට ප්‍රවේශය නොමැති වීම. ඒක තමයි ලොකු ම අභියෝගය," ටිකිරි බීබීසී සිංහල සමග කළ සංවාදය අවසන් කළේ එලෙසිනි.


(BBC සිංහල සේවය)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image