ආලත්ති යනු දෙමළ වචනයකි.

``සුබ පැතීම`` යන්න එහි අර්ථයයි. මෙය හින්දු ආගමට හිමිකම් කියන්නකි. දෙවියන්ට, රජුන්ට හා පුද්ගලයන්ට ආශිර්වාද කරමින් සුබ පැතීම තුන් ආකාරයකි. දළදා මාලිගාවේ රාජකාරි පැවරී ඇති බහුතරය පිරිමින් අතරින්, ස්ත්‍රීන් දෙදෙනෙකු ආලත්ති අම්මාවරුන් ලෙස සේවය කරන්නේ පාරම්පරික සම්ප්‍රදායට අනුවයි. මේ ආලත්ති අම්මාවරු සොයා අපි දළදා මාලිගාවට ගියෙමු.

කවුද මේ ආලත්ති අම්මාවරු ?

 

දෙපස ඉඳන් චාමර සලමින් ආයුබෝවේවා කියලා ආශිර්වාද කිරීම තමයි ආලත්ති අම්මාවරුන්ට පැවරී තිබුණු රාජකාරිය.

``ආලත්ති අම්මාවරු කියන්නේ රාජ සභාවේ සේවය කරපු අය. නායක්කාර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේදී රජ්ජුරුවෝ ආහාර අනුභව කරන කොට දෙපස ඉඳන් චාමර සලමින් ආයුබෝවේවා කියලා ආශිර්වාද කිරීම තමයි ආලත්ති අම්මාවරුන්ට පැවරී තිබුණු රාජකාරිය.  පස්සේ රාජසිංහ රජ්ජුරුවෝ ඔවුන්ට පැවරුවා දළදා වහන්සේ ජීවමාන බුදුන් ලෙස සලකා බුදු ගුණ සිහිපත් කරමින් ආශිර්වාද, ප්‍රාර්ථනා කරන්න.`` යැයි ආලත්ති අම්මාවරුන් සොයා ගිය ගමනේදී අපට මුලින්ම මුණගැසුනු දළදා මාලිගාවේ දේශීය බෞද්ධ කටයුතු පිලිබඳ ලේකම් කේ. මිගහකුඹුර අපට පැහැදිලි කළේය.

 ``මාලිගාවේ ඇතුල් කට්ටලේ රාජකාරි කරන කාරියකරවන රාළ, හක්ගෙඩි අප්පු, කවිකාර මඩුවේ හය දෙනා, කත් තියන රාළල දෙන්නා, දොරේ ආරච්චි, ගෙප රාළ, වට්ටෝරු රාළ කියන පිරිමි සේවකයෝ එක්ක ආලත්ති අම්මාවරු දෙදෙනෙක් මාලිගාවේ තේවාවට ඉන්නවා.

 

දළදා මාලිගාවේ දේශීය බෞද්ධ කටයුතු පිලිබඳ ලේකම් කේ. මිගහකුඹුර
මාලිගාවේ දේශීය බෞද්ධ කටයුතු පිලිබඳ ලේකම්වරයාට අනුව බහුතරයක් පිරිමි සේවකයන් අතරින් ස්ත්‍රීන් නියෝජනය කරන්නේ මේ ආලත්ති අම්මාවරු දෙදෙනාය. මීට අමතරව දළදා මාලිගාවට අනුබද්ධ නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි නම් සිව් මහා දේවාල වලද මේ අනුසාරයෙන්  ආලත්ති අම්මාවරුන්ගේ සේවය ලබා ගනී. රුහුණු මහ කතරගම දේවාලයේ ආලත්ති අම්මාවරු 12 දෙනෙකි. 

කුමක් ද මේ `ආලත්ති බෑම` ?

20201025 031219රිදී පහන් දෙකක් දෝතින් ගෙන එය දෙපසට දෝලනය කරමින් , බුදු ගුණ සිහිකරමින් සුබ පැතීම ආලත්ති බෑම නම් වේ. ``දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්න ගන්ධ කුටියට ඇතුල් වීම ආලත්ති අම්මලාට තහංචියි. ඒ ගොල්ලෝ ආලත්ති බෑමේ රාජකාරිය ඉටුකරන්නේ දිග් ගේ, ගෙඩි ගේ, ලී තරප්පුව, හඳුන්කුල පහු කරාම තියෙන ආලත්ති බරාදිය නම් විශේෂ ස්ථානයේ ඉදන්.``යැයි මීගහකුඹුර ලේකම්වරයා අපට පැහැදිලි කරමින් කියා සිටියේ සාම්ප්‍රදයට අනුව ආලත්ති බෑම ප්‍රසිද්ධියේ නොපවත්වන බවයි.

``ආලත්ති බෑම කරන කොට තේවාව බාර ස්වාමින් වහන්සේත් ආලත්ති බරාදියෙන් එළියට වඩිනවා, කවිකාර මඩුව ඇතුළු අනෙක් පිරිමි සේවකයන්ටත් ඇතුලට යන්න අවසර නැහැ. රහස් කටයුත්තක් විදිහටයි කෙරෙන්නේ. ආරත්ති අම්මලා ආශිර්වාද කරනවා ඇරෙන්න කරන්නේ මොනාද කියලා කවුරුත් දන්නේ නැහැ`` මේ ඔස්සේ එකල, රජුගේ රහස් පණිවිඩ බෙදා හැරීමක් වූ බවට ජනප්‍රවාදයේ වුවත් එය සහතික කළ හැකි ප්‍රමාණවත් සාක්ෂියක් නොමැත.

බදාදා දිනයන් හි නානුමුර මංගල්ලයටත්, ඇසල පෙරහැර සමයේත්, විශේෂ මංගල්ලයන් වලදීත් මෙසේ ආලත්ති බෑම සිදුකෙරේ. දළදා මාලිගාවට අමතර ඊට අනුයුක්ත සතර මහ දේවාලයන් හි ආලත්ති අම්මාවරුන්ට ආශිර්වාදයට අමතරව තවත් රාජකාරි කිහිපයක් පැවරී තිබේ. එනම් ඇසල උත්සව සමය නිමා කරමින් පැවැත්වෙන රන්දෝලි පෙරහැරේ ගමන් කිරීම හා එම දේවාලයන් හි මුළුතැන් ගෙයි කටයුතු වලට දායක වීමවේ. 

ආලත්ති අම්මාවරුන්ගේ සේවයට සුදුසුකම් මොනවා ද ?

 

alaththi7මවගෙන් දියණියට දායාදයක් ලෙසින් පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන ආලත්ති අම්මාවරුන් ගේ රාජකාරියට හිමිකම් කියනුයේ නිතැතින්ම  උසස් යැයි සැලකෙන ගොවිගම කුලයට අයත් ස්ත්‍රීන්ය.
මවගෙන් දියණියට දායාදයක් ලෙසින් පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන ආලත්ති අම්මාවරුන් ගේ රාජකාරියට හිමිකම් කියනුයේ නිතැතින්ම  උසස් යැයි සැලකෙන ගොවිගම කුලයට අයත් ස්ත්‍රීන්ය. දළදා මාලිගාවේ ආලත්ති අම්මාවරුන් පැවැත එන්නේ ලේවැල්ල තල්පත්ත පරම්පරාවන්ගෙනී. නාථ,විෂ්ණු,කතරගම සහ පත්තිනි යන සිව් මහා දෙවොල් වල ආලත්ති අම්මාවරුන් බඳවා ගන්නේ ද දළදා මාලිගාවේ සිදුකෙරෙන පිළිවෙත් අනුසාරයෙන්ය. එහි දී ද උසස් කුලයේ යැයි සැලකෙන ගොවිගම කුලය හා පරම්පරා උරුමය ප්‍රමුඛ වේ. විවාහ වී දරුවන් වදා තිබීම හා ඔසප් චක්‍රය අවසන් වීමේ අදියරේ පසුවන මැදිවියේ ස්ත්‍රීන් ආලත්ති අම්මාවරුන් ලෙස බඳවා ගැනීමේ දී වඩාත් සැලකිල්ල ගැනේ.   

සුදු සාරියකින් හා හැට්ටයකින් සැරසී සිටි, රාජකාරිය අවසන්ව පැමිණි දළදා මාලිගාවේ ආලත්ති අම්මාවරුන් ගෙන් කෙනෙකු වූ  හැත්තෑ හතර හැවිරිදි දියණියකගේ සහ පුතෙකුගේ මවක්වූ ගමරාලලගේ ගෙදර ලොකු මැණිකේ අප හා කතා බහට එක්වුවාය. ``මගේ ගම රඹුක්කන, ලේවැල්ලට දිග ආවට පස්සේ තමයි මහත්තයාගේ පරම්පරාවට උරුමයක් තිබුන ආලත්ති කාරිය මට ලැබුනේ.`` ලොකු මැණිකේට අනුව ආලත්ති අම්මා කමට උරුමකම් කියන පරම්පරාවකට සම්බන්ධවීම ද ඊට සුදුසු කමක් වේ. ඇගේ සැමියා ලේවැල්ලේ තල්පත්ත පරම්පරාවට අයත් වූවෙකි.  අනෙක් ආලත්ති අම්මා පනස් පස් හැවිරිදි  එස්. එම්. කේ. කුමාරිහාමි යි.

 

රුහුණු මහ කතරගම දේවාලයේ ආලත්ති අම්මාවරුරුහුණු මහ කතරගම දේවාලයේ ආලත්ති අම්මාවරු
සුදු සාරියකින් හා හැට්ටයකින් සැරසීමට මාලිගාවේ ආලත්ති අම්මලා දෙදෙනා උරුමකම් කීවද, සතර දේවාලයන්හි ආලත්ති අම්මලා ආදිවාසී ස්ත්‍රීන්ගේ ඇඳුමට සමාන සාම්ප්‍රදායික උඩුකය ආවරණයකින් සැරසෙන්නාය.

මෙම සේවාවෙන් ඔවුන්ට ප්‍රතිලාභයක් ලැබෙනවාද ?

ආලත්ති අම්මාවරුන්  මේ රාජකාරිය සලකන්නේ ඔවුන්ට ලැබූ  ගෞරවක් මෙන්ම භාග්‍යක් ලෙසයි. ඒ ගැන හද පිරි සොම්නසින් කියා සිටියේ ලොකු මැණිකේ ආලත්ති අම්මයි.``1992 ඉඳන් මම මේ රාජකාරිය කරනවා. ඇත්තටම මට මේක මගේ පරණ පිනක්. මම මේක කරන්නේ සතුටින්``යැයි ඇය පවසන්නීය. දළදා මාලිගාවේ තේවාවන් වල යෙදෙන ආලත්ති අම්මාවරුන් දෙදෙනාට රාජකාරියට පැමිණෙන දිනයන් වෙනුවෙන්  එක් දිනකට රුපියල් 1500 ක දීමනාවක් ලැබේ. 

සෙසු දේවාල සතරේ ආලත්ති අම්මාවරුන්ට ද ඒ හා සමාන දීමනාවක් හිමිය. ඊට අමතරව දළදා මාලිගාවට අයත් නින්ද ගම් වලින් ලැබෙන ආදායමින් ද යමක් ආලත්ති අම්මලාටද ලැබේ. එහෙත් මේ පවසන්නීය. මාලිගාවේ පහල මහලේ තරප්පු පෙළ අසල ආලත්ති අම්මාවරුන්ට වෙන් කළ කාමරයකි.

ලොකු මැණිකේ ආලත්ති අම්මාලොකු මැණිකේ ආලත්ති අම්මා

 

``මම උදේ නවයට රාජකාරි කටයුතු වලට මාලිගාවට ඇවිත් අපේ කාමරය ළඟ ඉන්නකොට මාව දන්නා අය පිච්ච මල් එහෙම දීල යනවා. ඒ ගොල්ලෝ දන්නවා දළදා වහන්සේ ට පුජා වෙනවා කියල. මමත් බොහොම කැමැත්තෙන් ඒවා බාර ගන්නේ` යැයි ලොකු මැණිකේ කියන්නීය.  

ආලත්ති අම්මාවරුන් මුහුණ දෙන අභියෝග මොනවාද ?

20201025 025821ආලත්ති අම්මාවරුන්ට සිය සේවය පැමිණීමේදී ඔවුන් ගේ මාසික ඔසප් වීම ගැටළුවක්වේ. එවැනි දිනයන්හි දළදා මාලිගාවේ රාජකාරියට පැමිණීමෙන් එහි පාරිශුද්ධත්වයට හානිවන බවට පවතින සම්ප්‍රදායික පිරිමි සිතීමකි. මාලිගාවේ දේශීය බෞද්ධ කටයුතු පිලිබඳ ලේකම්වරයා අප සමග කියා සිටියේ ආලත්ති අම්මාවරුන් පත් කරගැනීමේ දී මැදිවියේ ස්ත්‍රීන් ගැන වැඩි යොමුවීමක් පවතින බවයි. ඒ අනුව රාජකාරියට පැමිණෙන ආලත්ති අම්මාවරු ඔසප් දිනයන් හි ස්වයංවාරණයක් පනවා ගෙන සිටින්නීය.   

``ඒ කිළිටි දවස් මග හැරලා තමයි අපි මාලිගාවේ රාජකාරියට එන්නේ,``යැයි පවසන ලොකු මැණිකේ එය නීතියක් නොවුණත් සාම්ප්‍රදායික රීතියක් ලෙස එය කඩ නොකරන්නට වගබලා ගන්නීය. 

සෑම ආගමික ආයතනයකම පාහේ ආලත්ති අම්මාවරුන්ට පමණක් නොව පොදුවේ ස්ත්‍රීන් කෙරෙහි මේ රීතිය ක්‍රියාත්මකය. තව ද දියවඩන නිළමේවරයෙක් තෝරා ගැනීමේ දී ප්‍රාදේශීය ලේකම්වරියන්ට ජන්දය අහිමි කිරීමත් දළදා මාලිගාවේ පාරිශුද්ධත්වය `කිළිටි නොවන` ලෙස පවත්වා ගෙන එන වැඩවසම් සම්ප්‍රදායකි.
  
ස්ත්‍රීත්වය ආගමික ස්ථානවල පාරිශුද්ධත්වයට හානියක්ද ?

 

ඔසප් වීම මුල් කර ගනිමින් කිළිටි යැයි ස්ත්‍රීන්ට එරෙහිව දළදා මාලිගාව ඇතුළු සෙසු ආගමික ආයතනයන් හි ක්‍රියාත්මක වෙනස් ලෙස සැලකීම ඉතාමත් විවාදාත්මක වන්නේ ඉතිහාසමය කරුණු අනුව දන්ත ධාතුව මෙරටට වැඩම කර ඇත්තේ ස්ත්‍රියක් වීමය. හේමමාලා නම් කුමරිය විසින් එය රැගෙන එද්දී ඇයට ඔසප් දින නොතිබිණි ද යන්න ප්‍රශ්නකාරී වේ.  

ස්ත්‍රීන්ගේ ඔසප් වීම බරපතල ලෙස බලපෑ එක් අවස්ථාවක් ලෙස මෑතක දී නවගමුව පත්තිනි දේවාලයේ දී වූ සිදුවීම දැක්විය හැක. වන්දනාමාන කිරීමට එහි පැමිණි තරුණ ස්ත්‍රියකට දේවාලය තුල දී හදිසියේ ඔසප් වීම දේවාලය මසක පමණ කාලයක් වසා දැමුනේ ශුද්ධ භූමියක් `කිළිටි වීම` නිසාය.

 

kumari 56a484093df78cf77282cc16නේපාලයේද දේවත්වයෙන් සලකන කුමාරිව තෝරා ගනු ලබන්නේ ඔසප් චක්‍රය අරම්භවීමට පෙරය
නේපාලයේද දේවත්වයෙන් සලකන කුමාරිව තෝරා ගනු ලබන්නේ ඔසප් චක්‍රය අරම්භවීමට පෙර වන අතර ලංකාවේ ආලත්ති අම්මාවරු පත්කර ගැනීමේ දී ඔසප් චක්‍රය අවසන් අදියරේ පසුවීම සුදුසුකමක් ලෙස සලකයි. 

විශේෂයෙන් දළාදා මාලිගාවේ  හා පෙරහැර කටයුතු වලදී ස්ත්‍රීට සිමා පැනවීම ඇරඹෙන්නේ මහනුවර රජ කළ නායක්කාර වංශික හින්දු රජවරුන්ගේ බලපෑම මත බවට ප්‍රවාදයක් පවතී. එහෙත් ඒ ගැන අධ්‍යනය කරන පේරාදෙණිය සරසවියේ විද්යාර්තයෙකු වන ඒ. සමරනායකගේ  Genderd Perfor[man]ce; A study of the position of women in Kandy esala procession නම් පර්යේෂණ ලියවිල්ල මගින් පෙන්වා දෙන්නේ ``හින්දු ධර්මය ලියා දක්වා ඇති තිරුක්කුරල් ග්‍රන්ථයේ භගවත් ගීතාවේ කිසිදු තැනක ස්ත්‍රීත්වය හෙළා දැකීමක් කර නොමැති බවය. කාලි, කන්නගි, සරස්වතී, ලක්ෂ්මී වගේ බොහොමයක්  ස්ත්‍රිත්වයට දේවත්වය දී තිබේ. ඒ අනුව හින්දු දහමේ ස්ත්‍රීත්වය ප්‍රතික්ෂේප කිරීමක් නොවේ.

IMG 20240519 074239නමුත් බමුණන්ගේ දර්ශණවාදයෙන් ස්ත්‍රිය ඈත් කරනුයේ `කිළි` වලිනි. ලේ හඳුනාගන්නේ කිළිටි, අපිරිසිදු දෙයක් ලෙසටය. බුදුන් විසින් බමුණු මතයන් ප්‍රතික්ෂේප කළේය.`` යනුවෙනි. ස්ත්‍රීන් සම්බන්ධයෙන් දුර්මත බොහොමයක් ගොඩ නැගී ඇත්තේ මේ බ්‍රාහ්මණවාදයේ බලපෑම මතයි. මහනුවර යුගයේදී බමුණු බලපෑම තිබු බවට රොබට් නොක්ස් ගේ සටහන්ද නිදසුන් ලෙස ගත හැකිය. ``ඔසප් වීම පවතින තුරු ස්ත්‍රීන් අශුද්ධ ලෙස සැලකු අතර එය කෙතරම් උග්‍ර වීද යත් ඇය වෙසෙන නිවස කිළිටි වුවක් ලෙස සලකා එහි යාමට ද බොහෝ දෙනා පසුබට වන බව`` නොක්ස් ලියා තිබේ. ස්ත්‍රීන් කෙරෙහි මෙවැනි අඩු තක්සේරුවක්, පිටමං කිරීමක් වූ බැවින්  දළදා මාලිගයේ වත් පිළිවෙත් හා පෙරහැර සඳහා එක් කර ගෙන නොමැත. 

ඇතැම් අවස්ථාවන් හිදී දේශපාලන හා ධන බලය හමුවේ මේ සම්ප්‍රදායන්, සිමා මායිම්, තහංචි  බිඳ දමනුයේ ඒවා ආරක්ෂා කරමින්, පවත්වාගෙන යන  පාර්ශවයන් වීම ඉතාමත් හාස්‍ය ජනකය.  

දළදා මාලිගාවත් ඊට අනුයුක්ත පෙරහැරත්  අතිශය පාරිශුද්ධ ලෙස පවත්වා ගෙන යාමට `කිළිටි` ස්ත්‍රීන් ඉන් පිටමං කළ යුතු බවට   බ්‍රාහ්මණවාදයෙන් ඔද වැඩුණු මුල් බැස ගත් පිරිමි චින්තනයකි. ඒ හමුවේ සීමිත රාජකාරියකට සීමා කොට ඇති ආලත්ති අම්මාවරුන්ට එළඹෙන සියවසේත් `කිළිටි` දින මග හරිමින් දළදා මාලිගයට ඇතුල්වන ලෙස ස්වයංවාරණ පනවා ගැනීමට බලකර තිබේ.   
 
සටහන සහ සේයාරූ 

(ඉෂංඛා සිංහආරච්චි)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්