කඳුකර දෙමළ ජනතාවගේ වගතුග සොයා ගිය ගමනක් - 2 කොටස
ඉංග්‍රීසීන් විසින් අපේ රට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්කර ගත්තේ වසර 1815 දී උඩරට රාජධානිය යටත් කර ගැනීමත් සමඟ ය. ඉන්පසු අපේ රට පාලනය කළ ඔවුහු උඩරට සහ පහතරට වෙන් වෙන්ව පාලනය කරන්නට පටන් ගත්හ.
මේ රට පාලනය කළ ඉංග්‍රීසි නිලධාරීන්ගේ වැටුප් සහ පහසුකම් ඇතුළු රටේ තවත් බොහෝ වියදම් හේතුවෙන් 1828 වන විට රටේ ආදායමට වඩා වියදම් පක්ෂය ඉහළ ගියේය. මේ නිසා ලංකාවේ ආණ්ඩුවේ වියදම් පියවා ගැනීමට බ්‍රිතාන්‍යයේ මව් ආණ්ඩුවෙන් මුදල් ලබාගත යුතු තත්ත්වයක් උද්ගත විණි. නමුත් බ්‍රිතාන්‍ය රජය ප්‍රතිපත්තියක් ලෙසම යටත් විජිත සඳහා මව් ආණ්ඩුවෙන් මුදල් ලබා දීමක් සිදු නොකළ අතර තම තමන් ගේ යැපීම් තම තමන්ම සපුරා ගත යුතුය යන ප්‍රතිපත්තිය ඔවුහු අනුගමනය කළහ. එනිසා ලංකාවේ ආදායම් හා වියදම් තත්ත්වය සේම පාලන ක්‍රමයේ දුර්වල තත්ත්වයන් පිළිබඳව සොයා බැලීමට ද බ්‍රිතාන්‍යයේ යටත් විජිත භාර ලේකම්වරයා විසින් විශේෂ කොමිෂන් සභාවක් පත් කරනු ලැබීය. ඩබ්ලිව් . එම්. ජී. කෝල්බෲක් මහතාගේ නායකත්වයෙන් පත් කරන ලද එම කොමිසම කෝල්බෲක් කොමිසම නමින් හැඳින්වේ. මෙය 1833 සිට ක්‍රියාත්මක විය.
එකල අපේ රටේ රජ කාලයේ සිටම පැවත ආ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයක් තිබිණි. ඒ අනුව රටේ වැඩිහිටි පිරිමින් සියලු දෙනාම අවුරුද්දට නියමිත දින ගණනක් රජයට නොමිලේ සේවා සැපයීම කළ යුතු විය. මේ සේවාවන් වූයේ තම තමන් ජීවත් වූ ගම්මානවල වැව් අමුණු ඇල වේලි මෙන්ම පාරවල්ද ප්‍රතිසංස්කරණය කිරීම වැනි පොදු සමාජ සේවා කටයුතු ය. මේ සඳහා කිසිදු මුදල් ගෙවීමක් සිදු නොවිණි. එසේම රාජකාරී ක්‍රමයට අයත් තවත් අනිවාර්ය දෙයක් වූයේ තමන්ගේ ඉඩම්වල වගා කටයුතු කිරීම ය. මෙනිසා අපේ රටේ වැසියන්ට තමන් කැමති වෙනත් වෘත්තියක නිරතවීමෙහි අවස්ථාව ඇහිරිණි. ඉංග්‍රීසීහු මෙම අනිවාර්ය රාජකාරී ක්‍රමය වහල් සේවයක් ලෙස හැඳින්වූහ.
එසේම මෙම අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය නිසා තමන්ගේ වතුවලට ස්වදේශික කම්කරුවන් යොදවා ගැනීම ඉංග්‍රීසීන්ට බාධාවක් වී තිබිණි. මෙම නීතිය ඉවත් කරවා ගැනීමේ තදබල වුවමනාවක් මෙහි සිටි ඉංග්‍රීසි නිලධාරීන් තුළ පැවතියේය. කෝල්බෲක් ප්‍රතිසංස්කරණ යෝජනා අතර කැපී පෙනෙන ප්‍රධාන යෝජනා පහ අතරින් එකක් වූයේ මෙම අනිවාර්ය රාජකාරී ක්‍රමය අහෝසි කිරීමයි.
මින්පසු ස්වදේශිකයන් තමන්ගේ වතුවල රාජකාරී කටයුතු සඳහා පහසුවෙන් යොදවා ගැනීමට හැකි වේ යැයි ඉංග්‍රීසීන් කල්පනා කළද එවැනි අවශ්‍යතාවයක් අපේ සිංහලුන් තුළ පැවතියේ නැත. එකල ලංකාවේ ජීවත් වූයේ අඩු ජනගහනයක් වූයෙන් ඔවුනට වගා කටයුතු කළ හැකි ඉඩම් ඕනෑ තරම් තිබිණි. ගම තුළම ඔවුනට ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් තිබූ නිසා කෝපි වතුවල වැඩට යන්නට අවශ්‍යතාවක් ඇති වූයේ නැත.
මේ අතර ලංකාවේ කෝපි වගාව දවසින් දවස දියුණුවට පත්විය. එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයාද කෝපි වගාව දියුණු කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීම මීට බලපෑ තවත් හේතුවක් විය. කෝපි වගාව මෙලෙස සීග්‍රයෙන් ව්‍යාප්ත වන විට ස්වදේශිකයන්ද කෝපි වගාවට යොමුව තිබිණි. මෙරට මහා පරිමාණයෙන් කෝපි වගාව ආරම්භ කළ පළමු ස්වදේශිකයා වන්නේ ජෙරෝනිස් ද සොයිසා නම් ලාංකිකයා ය. කෝපි වගාව දියුණුවන විට මෙරට මාර්ග පද්ධතිය ද දියුණු විය.
මෙලෙස කෝපි වගාවෙන් විශාල වශයෙන් ආදායම් ලැබීම නිසා කෝපි වැවීමට ඉංග්‍රීසීන්ට තව තවත් ඉඩම් අවශ්‍ය විය. නමුත් ඒ සඳහා ඉඩම් සොයා ගැනීම ඔවුන්ට ගැටලුවක් ව පැවතියේය. එසේම විශාල ශ්‍රමික හිඟයක් ද තිබිණි. කෝපි වගාවට උඩරට කඳු කැපීමට ඉංග්‍රීසීන් කල්පනා කළේ නැත. ඒ නිසා ගැමියන්ගේ ඉඩම් ටික මොන ක්‍රමයකින් හෝ රජයට ලබා ගතහොත් ඒවායෙහි කෝපි වැවිය හැකි යැයි ඉංග්‍රීසීන්ගේ අදහස විය. අනෙක් අතට වවන්නට ඉඩම් නැතිවන විට තමන්ගේ වතුවගාවෙහි කම්කරුවන් ලෙස ස්වදේශිකයන් ඉබේම පැමිණේවි යැයි ඔවුහු අපේක්ෂා කළහ. මේ අතර දකුණු ඉන්දියාවේ සිට ශ්‍රමිකයන් පැමිණීමද සිදුවිණි. නමුත් කෝපි වගාවට පැමිණෙන ඔවුන් බොහෝ දෙනෙක් නිත්‍ය වශයෙන්ම මෙහි නොරැඳීම තුළ ස්වදේශික කම්කරුවන්ගේ අවශ්‍යතාවය සුද්දන්ට දැඩිව දැනෙන්නට ඇත.
ගැමියන්ගේ ඉඩම් රජයට පවරා ගැනීමට ක්‍රමයක් මේ අතර ඉංග්‍රීසිහු කල්පනා කරන්නට වූහ. ඒ කාලයේ අපේ මුතුන් මිත්තන්ට තමන් භුක්ති විඳිමින් සිටි ඉඩම්වල ඔප්පු තිබුණේ නැත. පැරැණි රාජාණ්ඩු ක්‍රමය යටතේ නින්දගම්, දේවාලගම් සහ විහාරගම් වශයෙන් ඉඩම් ප්‍රදානය කර තිබුණත්, විශේෂ අවස්ථාවකදී පමණක් සන්නස්, තුඩපත්, සීට්ටු වැනි ක්‍රමවලට ඉඩම් ප්‍රදානය කිරීම සිදුව තිබිණි. නමුත් මෙසේ ප්‍රදානය කළ බොහෝ ඉඩම්වල අයිතිය පෙන්වීමට ලියවිලි තිබුණේ නැත. රටේ ජනතාව වැඩි දෙනෙක් පාරම්පරිකව ඉඩම් වගා කරගෙන ආවා විනා ඒවා වෙනුවෙන් ඔවුනට නෛතික අයිතියක් පැවරී නොතිබිණි. එවැනි අවශ්‍යතාවයක් ඔවුනට දැනී තිබුණේද නැත. ගම්මු සැම දෙනාම තම ගම් ප්‍රදේශයේ එකිනෙකා පාරම්පරිකව භුක්ති විඳිමින් වගා කරගෙන යන ඉඩම් පිළිබඳව දැන සිටියහ. ඒවායේ භුක්තියට අභියෝග කරන්නට බාහිරින් කිසිවකු පැමිණියේ නැත. එවැනි අවශ්‍යතාවයක්ද නොතිබිණි. හැමදෙනාටම ඕනෑ තරම් ඉඩම් එකල රට තුළ පැවතියේය.
අපේ රටේ වැසියන්ට අයත් ඉඩම් කොල්ලකා ගන්නට කල්පනා කරමින් සිටි සුද්දෝ මේ සියල්ල දැන සිටියහ. අවසානයේ ඔවුහු සිංහලයන්ට "කටඋත්තර නැති වන්නටම" 1840 දී මුඩුබිම් පනත ඉදිරිපත් කළහ. එමගින් ගැමියන් විසින් භුක්ති විඳිමින් සිටි ඉඩම්වල අයිතිය තහවුරු කිරීම අනිවාර්ය කර තිබිණි. නමුත් සාමාන්‍ය ජනතාවට තමන් භුක්ති විඳිමින් සිටි ඉඩම්වල නෛතික අයිතිය තහවුරු කිරීම සඳහා කිසිදු ලියවිල්ලක් තිබුණේ නැත. අවසානයේ මෙම පනත මගින් අපේ රටේ සාමාන්‍ය ජනතාවට අයත් ව තිබූ ඉඩම් රාශියක් ඉංග්‍රීසීන්ට ඉබේම අයිති විය. මුඩුබිම් පනත මගින් මෙලෙස අපේ රටේ මිනිසුන්ගෙන් කොල්ල කා ගත් ඉඩම් ගැන අදටත් කතා කරන කෙනෙක් නැත. මේ නිසා ගැමියන්ට තමන් වගා කළ ඉඩම් සෑහෙන ප්‍රමාණයක් අහිමිව ගිය අතර එය කොතෙක් දැයි කිවහොත් තමන් ඇති කරන ලද ගවයින්ට තණකොළ කැවීමට තරම්වත් ඉඩම් නොමැති තත්ත්වයට බොහෝ දෙනෙක් පත්වූහ. සාමාන්‍ය ජනතාව මෙසේ අසරණ වෙද්දී ඉංග්‍රීසි ආණ්ඩුව එම ඉඩම් මෙහි වැවිලිකරුවන් වූ සුද්දන්ට අක්කරය සිලිං පහක් වැනි ඉතා සුළු මුදලකට විකිණූ අවස්ථා තිබිණි. එමගින් සුදු ආණ්ඩුව විශාල ආදායමක් ලැබීය.
තමන් මෙතෙක් වගා කළ ඉඩම් මෙලෙස අහිමි වීමෙන් පසුව හෝ ගැමියන් තම කෝපි වතුවල ශ්‍රමිකයන් ලෙස පැමිණේ යැයි සුද්දන් අපේක්ෂා කළද බලාපොරොත්තු වූ තරම් පිරිසක් නොපැමිණියහ.
ජීවත්වීම සඳහා කිසිදු පිළිසරණක් නැතිව අසරණ වූ සමහරු කෝපි වතුවල වැඩට නොයා ධනවතුන්ගේ ඉඩම් බද්දට ගෙන වගා කටයුතු කරන්නට පටන් ගත්හ. තවත් බොහෝ පිරිසක් සිය ජීවිකාව අහිමිවීම නිසා දුක සේ ජීවත් වන්නට වූහ. අවසානයේ දිගටම දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වීමට ඉංග්‍රීසීන්ට සිදු විය.
අපේ රටේ ජන ජීවිත බෙහෙවින්ම දුක්ඛිත තත්ත්වයට පත්වන්නට බලපෑ තවත් හේතුවක් වූයේ වතු වගාව ගැන ඉංග්‍රීසීන් දැක්වූ උනන්දුව දේශීය කෘෂිකර්මාන්තය ගැන නොදැක්වීමයි. ගොවීන්ට තමන්ගේ එදිනෙදා ජීවිකාව ගෙනියාම සඳහා තිබූ ඉඩම් ද සුද්දන් කොල්ලකා ගැනීම මෙම දේශීය කෘෂි කර්මාන්තයේ බිඳවැටීමට තවත් හේතුවක් විය. මේ අතර වතු වගාව වැඩි දියුණු වන විට රට පුරා විහිදගිය මාර්ග පද්ධතියක අවශ්‍යතාවය සුද්දන්ට දැඩිව දැනුණි. අවසානයේ ඔවුන් කළේ වැසියන් අනිවාර්ය රාජකාරියේ යෙදවීමය. නමුත් එය ඔවුන් කළ සාම්ප්‍රදායික අනිවාර්ය රාජකාරී ක්‍රමය නොවේ. මෙහිදී රාජකාරි කරන්නට සිදුවූයේ තම ගම්බිම්වල නොව පාරවල් තැනීමේ කටයුතු සිදු වූ දුරබැහැර ය. දකුණු ඉන්දීය කම්කරුවන්ද මේවායේ රාජකාරී කටයුතු කළත් එය ප්‍රමාණවත් නොවීය. මේ නිසා ගම්මුන්ගේ ගොවි බිම් පාළු විය. ඔවුන්ගේ පවුල් ජීවිත මෙන්ම ජීවිත පවා විනාශ වන තත්ත්වයටම පත්ව තිබිණි. ගම්මුලාදෑනිවරුන් එම රාජකාරිවල යෙදුණේ නැත. මේ නිසා ඔහුට හිතවත් අය සේම අල්ලස් ලබා දුන් අයද එම රාජකාරියෙන් නිදහස් කෙරිණි. මෙසේ කොටසක් රාජකාරිවලින් නිදහස් කිරීම නිසා සෙසු අයට නිතර නිතර මෙම රාජකාරී සඳහා පිටව යන්නට සිදුවිය. මෙය ඉතා ශෝචනීය වූ කතාවකි. වොජ්සන් නම් ඉංග්‍රීසි සිවිල් නිලධාරියකු එක්තරා අවස්ථාවක මේ සම්බන්ධව ප්‍රකම්පනීය සිද්ධියක් වාර්තා කර තිබිණි.
ඔහු වෙත පැමිණි එක්තරා අහිංසක ගැමියකු," මම මගේ අන්තිම ගවයාත් ආරච්චිලට අල්ලසක් ලෙස දුන්නා. මට දැන් වෙන දෙන්න දෙයක් නෑ.ඒ නිසා රාජකාරියට යන්නට සිදු වෙනවා" යැයි පවසා ඇත. එම සිවිල් නිලධාරියා වාර්තා කර ඇති අන්දමට මෙම ගොවියා එම දුෂ්කර රාජකාරියේ නියැලීමේ දී මිය ගොස් තිබේ. මෙවැනි සිදුවීම් හේතු කොටගෙන ඉංග්‍රීසීන් කෙරෙහි අපේ රටේ වැසියන්ගේ පැවති වෛරය දවසින් දවසම මුවහත් වන්නට විය.
ඉංග්‍රීසීන් කෙරෙහි වෛරය වැඩිවීමට කෝල්බෲක් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් පසු ගම්සභාවල්වලට එතෙක් පැවරී තිබූ අධිකරණ බලතල අහෝසි කිරීමද බලපෑවේය. සුළු කරුණක් නිරාකරණය කරගන්නටත් මෙරට ජනයාට ඈත පිටිසර ගම්වල සිට දුර බැහැර නගරවල තිබූ උසාවි වෙත යන්නට සිදු වී තිබිණි. ඒ සඳහා බොහෝ දුර ඔවුන් පයින් යා යුතු විය. උසාවිවල කටයුතුවලදී නීතිඥ ගාස්තු සහ උසාවි ගාස්තු ගෙවීම ද අනිවාර්ය වේ. නමුත් නීතිඥවරුන් මේ අහිංසක ගැමියන්ගේ නඩු ගැන එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැත.
1847 ටොරිංටන් සාමි මෙරට ආණ්ඩුකාරවරයා ලෙස පත්වී ආවේය. එතෙක් භුක්ති විඳි ඉඩම් පවා අහිමිව ඉතාමත් අසරණ ජීවිත ගත කළ අපේ රටේ ජනතාවගෙන් සුද්දන් අසාධාරණ ලෙස බදු අය කරන්නට පටන් ගත්තේ මේ කාලයේදී ය. මේ නිසා ලක් වැසියෝ තව තවත් අසරණ වූහ . අවසානයේ මුඩු බිම් පනත මගින් ඉඩම් කොල්ලකෑමත්, අසාධාරණ ලෙස බදු අය කිරීම ඇතුළු වසර ගණනාවක් තිස්සේ සිංහලයන් පෙළන ලද කරුණු ගණනාවක් හේතුකොට ගෙන ඔවුන්ගේ ඒ පීඩනය කල එළි බැස්සේ ඉංග්‍රීසින්ට එරෙහි කැරැල්ලක් ලෙසිනි. පුරන්අප්පු සහ ගොන්ගාලේගොඩ බණ්ඩා වැනි වීරයන් විසින් මෙහෙයවන ලද 1848 කැරැල්ල හෙවත් මාතලේ කැරැල්ල යනු මෙයයි. අවසානයේ සුද්දන් විසින් මෙම කැරැල්ල මැඩ පවත්වනු ලැබුවේ විශාල මිනිස් සංහාරයක් සහ දේපළ විනාශයක් ද සිදු කරමිනි. ගොන්ගාලේගොඩ බණ්ඩා, පුරන් අප්පු වැනි වීරයන් මෙන්ම මෙම කැරැල්ලට අනුශාසනා දුන් කුඩාපොළ හාමුදුරුවන් ද ඉංග්‍රීසීන් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබිණි. එලෙස කැරැල්ල පරාජය වුවද ඉංග්‍රීසීන්ට එරෙහිව මෙහෙයවන ලද මෙම කැරැල්ල ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇත.
දශක කිහිපයක කාලයක් අපේ රටේ කෝපි වගාව අංක එකේ බෝග වගාව බවට පත්ව තිබිණි. වසර 1837 - 1841 දක්වා මෙරට ආණ්ඩුකාරවරයාව සිටි ස්ටුවට් මැකන්සි ගේ කාලයේ කෝපි වගා කිරීම උන්මාදයක් සේ පැතිර ගිය බව සඳහන් ය. අපේ රටේ ආර්ථික සංවර්ධනයට විශාල දායකත්වයක් කෝපි මගින් ලැබී තිබිණි. වර්ෂ 1830 -1860 අතර කාලයේ ලෝකයට කෝපි අපනයනය කරන ප්‍රධාන රටවල් තුන අතරින් එකක් වූයේ ලංකාවයි. කෝපි වගාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකුණු ඒ කාලයේ විශේෂයෙන් එවකට කෝපි අපනයනයෙන් අපේ රට ලැබූ ආදායම වසරකට පවුම් මිලියන සියය ඉක්මවිය.
දාහත් වියැති තරුණයකු වූ ජේම්ස් ටේලර් එංගලන්තයේ සිට අපේ රටට පැමිණියේ1852 දීයි. වතු වගාව පිළිබඳව මහත් උනන්දුවක් දැක්වූ ඔහු ලංකාවට පැමිණීමේ අරමුණ වූයේ කෝපි වගාව ව්‍යාප්ත කිරීම ය. නමුත් නෝබල් නැමැති ඉංග්‍රීසි ජාතිකයා වෙතින් තේ වගාව පිළිබඳ මූලික දැනුමක් ලබා ගැනීමට අවස්ථාව ලැබීමෙන් පසු මේ තරුණයාගේ අවධානය කෝපි වෙතින් බැහැර වී තේ වෙත යොමු විය. තේ පිළිබඳව නොයෙකුත් පර්යේෂණ මෙන්ම අත්හදා බැලීම්ද කළ ටේලර් 1867 හේවාහැට ලූල්කඳුර වතුයායේ අංක 7 දරන කොටසේ මෙරට මුල්ම වාණිජ තේ වගාව ආරම්භ කළේය. ඊට පෙර ස්ටුවට් මැකන්සි ආණ්ඩුකාරවරයාගේ පාලන සමයේ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයෙන් මෙරටට ගෙන එන ලද තේ ඇට ස්වල්පයක් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ රෝපණය කරන ලද මුත් තේ වගාව මේ රට ව්‍යාප්ත කරන්නට මැකන්සි ආණ්ඩුකාරවරයාට හැකිවූයේ නැත. ඒ නිසා මෙරට තේ වගාවේ පියා ලෙස සලකන්නේ ජේම්ස් ටේලර් ය.
කෝපි මියයාමත්, තේ උපත ලැබීමත් සමග නොරට මුතුන් මිත්තන් රාශියකගේ පැමිණීමත් ගැන ඉදිරියේදී කතා කරමු.
තොරතුරු සහ ඡායාරූප ලබා ගැනීමේදී සහාය වූ Collective for historical dialogue and memory ආයතනයේ ජොහාන් පීරිස් මහතාටත්, මාරිමුත්තු සතිවේල් පියතුමාටත් ස්තූතිය හිමි වේ.
සටහන : ඉන්දු පෙරේරා