leader s

කුමාරතුංග මුනිදාස 138 වන උපත් සමරුව වෙනුවෙන් 'මව්බිම' පුවත්පත මා හා කළ සම්මුඛ සාකච්ඡාවක්. මේ ඉරිදා (ජුලි 27) මව්බිම පුවත්පතේ එය පළ වී තිබෙනවා.


පොඩි පොඩි අඩු-පාඩු:

• පොත් කවර - මම 'සිරිමත්', 'හා හා හරි හාවා', 'මලෙක මලෙකි' කවර 3 එවුවේ ඒ තුනේ අලුත් මුද්‍රණ නිකුත් වන නිසා. අනික් කවර සඳහා 'පියසමර', 'ප්‍රබන්ධෝපදේශය' වැනි වැඩිහිටි පොත් යෙදිය හැකි ව තිබුණා.

• ගිරා සංදේශය - රාහුල හාමුදුරුවන් ගේ නෙවේ.

• මරණ දැන්වීම මුද්‍රණය කරන්නේ ලිත් හතරට කපා පසුපිට. 'පසුපිට' යන්න සඳහන් වී නෑ.

• මාර්ටින් වික්‍රමසිංහ මහතා උපන්නේ කුමාරතුංගයන්ට වසර 3කට පසු බව සඳහන් වෙනවා.  ඒත් කුමාරතුංග හතළිහ දශකයේ මිය යද්දී වික්‍රමසිංහ හැත්තෑව දශකය තෙක් ජීවත් වූ බව කියැ වී නෑ.

• ග්‍රන්ථ සංස්කරණයේ දී "සැම පළාතක ම පුස්කොල පොත් පරීක්ෂා කළා" යන්න, "සෑම පුස්කොල පොතක් ම පරීක්ෂා කළා" ලෙස වැරැදියට සටහන් වි ඇත.


කුමාරතුංග මුනිදාස ග්‍රන්ථ සංස්කරණය ගැන, භාෂාවට සම්මතයක් අවශ්‍යය බව, ඒ සේ සම්මතයක් නොවීම නිසා සිදු ව ඇති පසුබෑම ආදි කරුණු ප්‍රබල ලෙස සටහන් වී තිබෙනවා.

''මගේ සීයා ජීවත්ව සිටියදී කිරීමට ගිය ඇතැම් දේ ඔහුගේ අභාවයෙන් පසු යටගියා'' - ගෙවිඳු කුමාරතුංග
 
නායකයන් සිතුවේ ඇමරිකාවෙන් ලැබෙන ආරක්ෂාව පිළිබඳව ද...? - ගෙවිඳු කුමාරතුංගගෙවිඳු කුමාරතුංග
මෙරට පුරෝගාමී භාෂාවේදියකු, සාහිත්‍යධරයකු හා විචාරකයකු වූ කුමාරතුංග මුනිදාසයන්ගේ 138 වන උපත් සමරුව පෙරේදාට (ජුලි 25) යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් එම සමරු උත්සවය හා 'කුමාරතුංග මුනිදාස සිසුවරම' අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානය එදින කොළඹ 7, හොර්ටන් පෙදෙසේ ලක්ෂ්මන් කදිරගාමර් ආයතන පරිශ්‍රයේ පැවැත්විණි. එහිදී කුමාරතුංගයන්ගේ පැරණි කෘති තුනක්ද නව මුද්‍රණ ලෙස විසිදුනු ප්‍රකාශයන්ගෙන් දොරට වැඩිණි. ඒ, ‘සිරිමත්’, ‘හා හා හරි හාවා’ හා ‘මලෙක මලෙකි’ ය. මේ, කුමරතුඟු සැමරුම නිමිති කර එතුමන්ගේ මුනුබුරකු වන ගෙවිඳු කුමාරතුංග මහතා සමඟ අප පැවැත්වූ සංවාදයකි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ගෙවිඳු කුමාරතුංග මහතා සමාජ දේශපාලන විචාරකයකු මෙන්ම විසිදුනු පොත් ප්‍රකාශන සමාගමේ අධිපතිවරයාද වේ.
 


•  කුමාරතුංග මුනිදාසයන් 1887 වසරේ ඉපිද 1944 වසරේ අභාවප්‍රාප්ත වෙනවා. ඒ අනුව ඔබ ඔහු දෑසින් දකින්නේ නැහැ. ඒත් ඔබ ඔහු ගැන අවබෝධයකට පත් වන සමයක් තිබෙනවා. ඒ ගැන සඳහන් කළොත්?
 
මම උපදින්නේ 1964 වසරේ. ඒ නිසා මා එතුමන් ඇස් දෙකෙන් දකින්නෙ නැහැ. ඒත් මට මතකයි මා කුඩා කාලයේ හෙළ හවුල් භාෂා ව්‍යාපාරය එතුමන් ජීවිතයෙන් සමුගත් මාර්තු 2 වෙනිදාට කුමරතුඟු සැමරුම් උලෙළක් සංවිධානය කළා. එහිදී මට හොඳින් මතක සැමරුම් උලෙළ දෙකක් තිබුණා. එකක් තිබුණේ පානදුරේ පල්ලියමුල්ලේ අපේ ගෙදරට සමීප ගොරකාන නම් පෙදෙසේ කුමාරතුංගයන්ගේ සොහොන තිබූ තැන. එය පොදු සුසාන භූමියක්. එහි එදා එතුමන්ගේ කවි කියා විවිධ දේශන පැවැත්වූවා. ඒ එක් දේශනයක් කළේ අලව් ඉසි සැබි හෙළ මහතා. එතුමා ගුරුවරයකු ලෙස සේවය කළේත් ගොරකාන ප්‍රදේශයේ. එදා ඒ සමරු උලෙළ උදේ වරුවේ සුසාන භූමියේ පැවැත්වෙද්දි එදාම සවස් වරුවේ කොළඹ ආනන්ද විද්‍යාල ශ්‍රවණාගාරය වැනි තැනක තවත් සමරු උලෙළක් පැවැත්වුණා. ඒ සෑම උලෙළකටම අපේ පවුල්වල ඥාතීන් එකතු වුණා. කුමරතුඟුවන්ගේ සිසුන් වගේම අනුගාමීනුත් එකතු වුණා. විශේෂයෙන් අරිසෙන් අහුබුදු, දො.දු. මොහොට්ටි වැනි අයගෙන් මා ඉගෙනගත් දේ විශාලයි. ඉතින් මේ විධියට මාත් නොදැනීම මට එතුමන් ගැනත් එතුමන් කර ඇති සේවය ගැනත් අවබෝධ වෙන්න පටන්ගත්තා.
 
• ඔබ රැයිපියෙල් තෙන්නකෝන්, ජයන්ත වීරසේකර, අමරසිරි ගුණවර්ධන වැනි හෙළ හවුලේ දැවැන්තයන් ඇසුරු කර තිබෙනවාද?

නෑ. ඒ කවුරුවත් මට දෑසින් දකින්නවත් ලැබෙන්නෙ නෑ. ඔවුන් මා කුඩා කාලයේ හෝ ඊට පෙර ජීවිතයෙන් සමුගෙන ඉන්න ඇති.

• සුනිල් ශාන්ත සංගීතඥයා කුමාරතුංග අනුගාමිකයෙක්. ඔබට ඔහුගේ ඇසුරක් තිබෙනවාද?
 
013සුනිල් ශාන්ත
නෑ. ඔහුත් මා ඇසුරු කරලා නෑ. මා මගේ පියාගෙන්, ඒ කිව්වෙ මගේ සීයාගේ පස්වෙනි පුතා වූ පුනු කුමාරතුංගයන්ගෙන් ඇසූ කරුණු අනුව සුනිල් ශාන්ත මහතා ඉන්දියාවේ ශාන්ති නිකේතනයට ගිහින් සංගීතය ඉගෙනගෙන ආපසු ඇවිත් මුලින්ම ගීතයක් ගායනා කරලා තියෙන්නෙ 1945 වසරේ පළවෙනි කුමාරතුංග සමරු උලෙළෙදී. එය රැපියෙල් තෙන්නකෝන් මහතා ලියූ සමරු ගීයක්. ඉන් පසු පැවති සෑම කුමාරතුංග සමරු උලෙළකටම එතුමා සහභාගි වෙලා තිබෙනවා. ඉන් පැහැදිලි වෙනවා ඔහු කුමාරතුංග අනුගාමිකයකු බව. මගේ පියා කී විධියට සුනිල් ශාන්ත යනු දැකීමට ප්‍රිය ඉපදවූ පුද්ගලයෙක්. එතුමා කෙසේ වෙතත් අයිවෝ ඩෙනිස් මහතා නම් මම ඇසුරු කර තිබෙනවා. ඔහු ජීවතුන් අතර සිටියදී අපගේ බොහෝ සැමරුම් උලෙළවලට පැමිණ කුමරතුඟු අනුස්මරණ ගීතය ගායනා කළා.

•  කුමාරතුංග භාෂා සංස්කරණ ව්‍යාපාරය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

ඔබ දන්නවා අපේ රටේ අතීතයේ පැවති යුද්ධ, කැරලි කෝලාහල නිසාත් ස්වාභාවික උපද්‍රව හා කාලයට යටවීම නිසාත් බොහෝ පැරණි පුස්කොළ පොත් විනාශ වුණා. ඒ අතර කොටසක් පෘතුගීසීන් පුළුස්සා දැමුවා. ඒ අනුව එවැනි පුස්කොළ පොත් සංරක්ෂණය කර ගත හැකි වුණේ ඒවා පිටපත් කිරීමෙනුයි. ඒත් ඒ ආකාරයට පිටපත් කිරීමට යම්කිසි භාෂා ඥානයක් අවශ්‍ය වුණා. ඒ භාෂා ඥානය නොතිබූ අය අතින් ඒ මුල් කෘති පිටපත් වූ විට සිදු වුණේ ඒ මුල් කෘති නැති වූ දා පටන් අර භාෂා වැරදි සහිත ඔවුන්ගේ පුස්කොළ පොත් ඉන් පසු පිටපත් කිරීම්වලට වීමයි.
 
KumarathungaMunidasa zpsb204f239
ඒ අනුව අපේ සාහිත්‍ය ග්‍රන්ථවල නොයෙක් දෝෂ ගහන වෙන්න පටන්ගත්තා. ඉතින් කුමාරතුංගයන් කළේ මේ දොස් දුරු කිරීමයි. එය එසේ මෙසේ කාර්යයක් නොවේ. ඔහු සාහිත්‍ය කෘතියකට අදාළව සොයාගත හැකිව තිබූ පුළුවන් තරම් පුස්කොළ පොත් සොයාගත්තා. පසුව ඒවා එකිනෙක සන්සන්දනය කරමින් මුල් සාහිත්‍ය ග්‍රන්ථයේ භාවිත වන්නට ඇති නිවැරදිම වචන හා වහර සොයාගත්තා. සොයාගෙන ප්‍රකාශයට පත් කරමින් නූතන පාඨකයාට ඉදිරිපත් කළා. එය එක්තරා දුරකට රහස් පරීක්ෂක කාර්යයක්. මොකද පොතක මුල් කතුවරයා භාවිත කරන්නට ඇති වචන සොයා ගැනීම එවැනි ගවේෂණයක්.
 
•  මහාචාර්ය ඒ.වී. සුරවීර වරක් කීවේ කුමාරතුංග සංස්කරණ ශාස්ත්‍රීය සංස්කරණයන් නොවන බවයි. සාමාන්‍යයෙන් සංස්කරණයේදී සිදු වන්නේ යම් කෘතියකට අදාළව සොයාගත හැකි උපරිම පුස්කොළ පොත් සොයා ඒ පුස්කොළ පොත්වලින් වැඩිම ගණනක ඇති වචනය තමාගේ සංස්කරණ ග්‍රන්ථයට ගැනීමයි. එහෙත් කුමාරතුංගයන් කර ඇත්තේ එවැනි පිටපත් වැඩි ගණනක ඇති වචනය හෝ වහර ගැනීම නොව මුල් කෘතියට වඩාත් ගැළපීමට ඇති වචනය, බස සොයා ගැනීමයි. සුරවීර මහචාර්යවරයා කීවේ එයයි.
 
457263105 3019921204843538 8649739402138277822 nමහාචාර්ය ඒ.වී. සුරවීර
ඔහු කීවේ එසේ තමයි. ඒත් ඔය කියන ශාස්ත්‍රීය සංස්කරණය බොළඳ සංස්කරණයක් නොවේද? මොකද පිටපත් වැඩි ගණනක වැරදි වචනයක් තිබෙන්න බැරිද? කවුද දන්නෙ මුල් පොතට හරියටම ගැළපෙන පිටපත් වැඩි ගණනක් විනාශ වෙලා වැරදි ගහන පිටපත් වැඩි ගණනක් ඉතුරු වෙලාද කියල. මා දකින විධියට එතුමාගේ සංස්කරණ කාර්යය හරිම නිවැරදියි. ඒවගේම වඩා අමාරුයි.

•  එය හිතුවක්කාරී සංස්කරණයක් ලෙසයි ඔවුන් සලකන්නේ?

ඔබ දන්නවා ඇති කුමාරතුංගයන් සැලළිහිණි සංදේශයට අදාළව පුළුවන් තරම් පුස්කොළ පොත් එකතු කළා. එතුමන්ගේ පියා ළඟත් එහි පිටපත් එකතුවක් තිබිලා තියෙනවා. හියු නෙවිල් නම් බ්‍රිතාන්‍ය සිවිල් සේවකයා ලංකාවෙන් මෙවැනි පැරණි පුස්කොළ පොත් සොයාගෙන එකතු කරලා ලංකාවෙන් පිට වෙද්දි අරගෙන ගිහින් තිබෙනවා. ඔහුගේ ඒ එකතුව තමයි අද එංගලන්තයේ බ්‍රිතාන්‍ය කෞතුකාරයේ තියෙන්නෙ. එය මා දකින්නෙ අනර්ඝ මෙහෙවරක් විධියට. මොකද ඉන් පසු කාලයක මහාචාර්ය තෙන්නකොන් විමලානන්ද වැනි විද්වතුන් ඉන් යම් යම් කෘති පිටපත් කරගෙන ශාස්ත්‍රීය විවරණ ඉදිරිපත් කරලා තිබෙනවා.

ඒ හියු නෙවිල් මැතිතුමා ලියූ සටහනක තිබෙනවා ඔහු කුමාරතුංගයන්ගේ පියා ළඟ එවැනි දුර්ලභ පිටපත් දෙකක් තිබෙන බව දැනගෙන ඔහුගෙන් ඒවා ඉල්ලාගෙන ගිහින් තිබෙන බව. ඒ සටහන තියෙන්නෙ එතුමා සීයාගේ තාත්තාට ස්තූති කර එවූ ලිපියක. ඔය කාරණය කුමාරතුංග මහතා ඔහුගේ ‘පිය සමර’ කෘතියේත් සඳහන් කරනවා.
 
kmihbdf
ඉතින් කුමාරතුංගයන් සිය ග්‍රන්ථ සංස්කරණ ව්‍යාපාරයේදී ලංකාව පැතිරී තිබූ සෑම පුස්කොළ පොතක්ම කියවා පරීක්ෂා කරලා තිබෙනවා. ඒ බවට දිය හැකි තවත් සාක්ෂියක් තියෙනවා. ඒ තමයි නුවරඑළියේ වැඩ සිටි විදුරුපොළ පියතිස්ස නායක හාමුදුරුවන්ට කුමාරතුංග ලියූ ලිපිය. එහි ඔහු සඳහන් කරනවා මට අසවල් ග්‍රන්ථයට අදාළව ලංකාවේ අනෙක් හැම තැනින්ම පුස්කොළ පොත් සොයාගත හැකි වුණා, මට සොයාගත නොහැකි වුණේ උඩරට පළාතේ විතරයි, ඒ නිසා සමා වෙලා හාමුදුරුවනේ මට හැකි නම් මේ පොතේ උඩරට ඇති පුස්කොළ පොතක් ලබාදෙන්න කියල. කුමාරතුංගයන් විදුරුපොළ හාමුදුරුවන් සලකා තිබෙන්නෙ ගුරු හාමුදුරුවන් වහන්සේ නමක් විධියට. ඉතින් ඉන් පැහැදිලි වෙනවා එතුමා ග්‍රන්ථ සංස්කරණයේදී කෙතරම් සියුම් ලෙස, කෙතරම් පරිශ්‍රමයකින් ඒ දේ කළාද කියල.
අනෙක එතුමා හිතුවක්කාරී විධියට සංස්කරණ කළා නම් ඔහු ඒ පොත්වල විවරණයේදී සඳහන් කරන්නෙ ඇයි මේක මුල් කතුවරයා අතින් සිදු වූ වරදක්ය, මෙහි නිවැරදි යෙදුම මෙය නොවේය කියල.

•  එතුමා මුල් කෘතිවල නොමැති ඇ කාරයක් සංස්කරණවලට එකතු කළ බව සඳහන් වෙනවා.

කුමාරතුංගයන් සියලු සංස්කරණවලට ඇ කාරයක් එකතු කළේ නෑ. දැන් නුවර යුගයේ කෘතිවලට එතුමා ඇ කාරයක් එකතු කළේ නෑ. එතුමා තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියූ පොත් තුනම - සැලළිහිණි සංදේශය, ගිරා සංදේශය සහ කාව්‍ය ශේකරය - සසඳා ලියූ පුවත්පත් විචාර තිබෙනවා. ඔහු හිතුවක්කාරී දේ කළා නම් එවැනි සියුම් සන්සන්දනයන් කරන්නෙ නෑ. අනෙක ඔහු ජීවත් වූ යුගය, ඔවුන් ගොඩනැඟුණු පරිසරය බැලුවාම ඒ ග්‍රන්ථ සංස්කරණ ව්‍යාපාරය කෙසේවත් අවප්‍රමාණ කරන්න බැහැ. මොකද එතුමාට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක්වත් හෝ විශ්වවිද්‍යාලයේ අනුග්‍රහයක්වත් ලැබුණෙ නෑ.

ඔය ඇ කාරය ගැන ප්‍රශ්න කරන අය දන්නෙ නැහැ සිංහල භාෂාවේ ආවේණිකත්වයත් ඇ කාරය කියල. සිංහල බසේ ඇ කාරයක් නැතිව කිසිවක් ප්‍රකාශ කරන්න බැහැ. දැන් දෙමළ හෝඩියේ ඇ කාරය නැහැ. වෙනත් හෝඩිවලත් ඇ යන්නක් නැති තරම්. ඉංග්‍රීසි හෝඩියේ ඇ යනු ශබ්දය තිබෙනවා. ඒත් ඊට වෙනම රූපයක් නැහැ. දෙමළ වගේ භාෂාවල ඇ යනු ශබ්දයත් නැහැ. එහෙම වුණාම ඔවුන්ට එය උච්චාරණය කරන්නත් බැහැ.
 
අපේ සමාජයේ සැබෑ බයියන් ගේ තතු සොයා ගිය ගමනක් - (තිලක් සේනාසිංහ)
නුවර යුගයේ අපට ඔය ප්‍රශ්නය ආවානෙ. නුවර යුගයේ නායක්කාර වංශික රජවරුන් රජ වුණාම ඇ යන්න භාවිතයෙන් බැහැර වෙනවා. බලන්න, උඩරට ගිවිසුම අත්සන් කළ අපේ අධිකාරම්ලා බහුතරය මොන භාෂාවෙන්ද එහි අත්සන් කරන්නෙ? දෙමළ භාෂාවෙන්. එහි තියෙන්නෙ දෙමළ අකුරු. එසේ කරන්න ඇත්තේ රජතුමාට කරන ගෞරවයක් හැටියටනෙ. ඉතින් කුමාරතුංගයන්ට පේන්න ඇති අපේ මේ මේ වචනවල ඇ කාරය තිබිලා තියෙනවා, ඒත් නුවර යුගයේ එය ඉවත් කරලා කියල. ඉතින් ඔහු එය නිවැරදි කිරීමට එතුමාට වරද පටවන්න බැහැ.

•  ඔබත් ලේඛනකරණයේ නියුතු වෙනවා. ඒත් ඔබ ඇ කාරය භාවිත කරන්නෙ නැහැ. ඔබ හිතනවාද නූතන ලේඛන වහරට ඇ කාරයක් අවශ්‍ය නැහැ කියල?

නැහැ. මම එහෙම හිතන්නෙ නැහැ. මම ඇ කාරය බැහැර කරන්නෙ නැහැ. මම ඒ දිහා ඒ විධියට බලන්නෙ නැහැ.

•  කුමාරතුංග භාෂා සාහිත්‍ය සේවය ඔහු ජීවත් වූ යුගය හා සැසඳිය යුතු බව ඔබ නිතර කියනවා.

කුමාරතුංගයන් උපදින්නේ 1887 වසරේ. මාර්ටින් වික්‍රමසිංහ මහතා ඔහුට වඩා අවුරුදු තුනක් බාලයි. ඊළඟට එතුමා මියයන්නේ 1944 වසරේ. ඒ කියන්නෙ අපි නිදහස ලබන්න අවුරුදු හතරකට කලින්. 1956 සිංහල රාජ්‍ය භාෂාව වෙන්න අවුරුදු 12 කට කලින්. ලංකාව ජන රජයක් වෙන්න අවුරුදු 28 කට කලින්. එතුමා ජීවතුන් අතර සිටියදී කරමින් සිටි වැඩ කොටස බැලුවාම මට හිතෙනවා එතුමා තව අවුරුදු විසිපහක් තිහක් ජීවත් වුණා නම් ලංකාව සෑහෙන වෙනස් වෙන්න තිබුණා කියල.
 
ඇත්තටම කුමාරතුංගයන්ගේ අවසාන කාලයේ දෙවන ලෝක මහා යුද්ධය එනවා. ඒ කාලයේ රට තුළට කඩදාසි ගෙන්වීම නවතිනවා. මොකද ජර්මානු සෙබළුන් කඩදාසි රැගත් නැව් විනාශ කරනවා. ඒ මගින් රටේ පොතපත පළ වීම අඩු වෙනවා. එය කුමාරතුංග මුනිදාසයන්ගේ භාෂා සාහිත්‍ය සේවයටත් බලපානවා. එතුමන් අවසානයට කළ ග්‍රන්ථය තමයි කව්සිළුමිණි විවරණය. ඒත් ඒ පොත ලියා අවසන් වුණාම එය පළ කිරීමේ ගැටලුවකට මුහුණ පානවා. ඒ, අර කඩදාසි ප්‍රශ්නය නිසා. ඒ අවස්ථාවේ පොත පළ කිරීම සඳහා කළ යුතු වුණේ එය යම්කිසි මණ්ඩලයකට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමයි. බලපත් ලබාදීමේ ක්‍රමයකට කඩදාසි නිකුත් කළ නිසා.
bhnmyukyu45634dfbc534534zz
 
එහිදී කුමාරතුංගයන් ජීවතුන් අතර සිටියදීම පොත පළ කර ගැනීම සඳහා ජයන්ත වීරසේකරයන් සීයා ලියු මුල් අත්පිටපතෙන් වෙනම පිටපතක් අතින් ලියා, බොරු පිටපතක් ලියා අර මණ්ඩලයට යොමු කරනවා. එහෙම කරලා තියෙන්නෙ ඒ මණ්ඩලයේ අය අතට මුල් පිටපතේ ඇති සමහර කොටස් නොයා යුතුය කියන අදහසකින්. මොකද යම් හෙයකින් පොත පළ කරන්න අනුමැතිය නොලැබුණොත් ඒ දැනුම ඔවුන් අතට යනවා. එමගින් ඔවුනට ඒ දැනුම සොරකම් කරන්න ඉඩ ලැබෙනවා. ඉන් එදා යුගයේ සාහිත්‍ය, ශාස්ත්‍රීය මණ්ඩලවල සිටි අයගේ ස්වභාවයත් අපට පැහැදිලි වෙනවා. කෙසේ හෝ ඊට මණ්ඩලයෙන් අනුමැතිය ලැබෙනවා. හැබැයි පොත පළ වෙද්දි අර මුල් පොත ප්‍රකාශයට පත් වෙනවා.

ඒ විතරක් නෙවෙයි, කුමාරතුංගයන් මියගිය අවස්ථාවේ අවමංගල්‍ය සමිතියට ඕන වෙලා තියෙනවා මරණ දැන්වීමක් මුද්‍රණය කරන්න. ඒත් කඩදාසි ප්‍රශ්නය නිසා එයත් කරගන්න බැරි වෙන්න යනවා. ඒ අවස්ථාවේ ඔවුන් කරන්නෙ පන්සල්වල බිත්තිවල ගැසූ ලිත් එකතු කරලා ඒවා හතරට නවලා එය මුද්‍රණය කිරීම. ඇත්තටම එදා කඩදාසි නොමැති වූ පරිසරය තුළ කුමාරතුංගයන් හා ඔහු සමඟ සිටි පිරිසට ඔවුන්ගේ ශාස්ත්‍රීය සේවය කරන්න අමාරු වෙනවා. අනෙක් පසින් පොත්පත් පළ කිරීම දුෂ්කර වීමෙන් ජීවත් වීමට මඟක් නැති වෙනවා. ඉතින් වැදගත්ම කාරණය එවැනි පරිසරයක් තුළත් ඔවුන් ඒ කටයුතු පවත්වා ගැනීම.

ඔබ දන්නවා එතුමාගේ අභාවයෙන් වසර විස්සක් තිහක් ඇතුළත මෙරට ඉතා වැදගත් සංසිද්ධීන් කිහිපයක් සිදු වෙනවා. මුලින්ම අපට නිදහස ලැබෙනවා. ඒවගේම මෙරට විශ්වවිද්‍යාල පටන්ගන්නවා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වෙනවා. විශ්වවිද්‍යාලය ඇරඹීම නම් එතුමා ජීවතුන් අතර සිටියදීමයි සිදු වෙන්නෙ. ඒත් එහිදීත් එතුමා විරෝධය පෑ කාරණයක් තිබුණා.

ඔබ දන්නවා (වෛද්‍ය විද්‍යාලය හැරුණු විට) අපේ විශ්වවිද්‍යාලයේ මුලින්ම පටන්ගන්නෙ පෙරදිග භාෂා අංශය. ඊට කුමාරතුංගයන් විරෝධය පානවා. ඔහු ප්‍රශ්න කරනවා ලංකාවට සිංහල භාෂා අධ්‍යයනාංශයක් නොවෙයිද ඕන කියල. දෙවනුව ශබ්දකෝෂය සම්බන්ධයෙනුත් ඔහු හඬ නඟනවා.

අපේ ශබ්දකෝෂ කාර්යාලයක් හදනවා. ඒත් කවුරුවත් සිංහල භාෂාව වෙනුවෙන් ශබ්දකෝෂයක් පිළියෙළ කරන්නෙ නෑ. ඒත් එතුමා තනිවම සිංහල භාෂා ශබ්දකෝෂයක් හදන්න උත්සාහ ගනිමින් ඉන්නවා. ඔහු ඊට රජයෙන් ඉතාම සුළු ආධාර මුදලක් ඉල්ලා සිටිනවා. ඒ, ඊට අදාළ පර්යේෂණ පැවැත්වීමටත් එය ප්‍රකාශයට පත් කිරීමටත්. ඒත් ඒ මූල්‍යාධාරය ඔහුට ලැබෙන්නෙ නැහැ. ඒ වෙනුවට රජය කරන්නෙ ගයිගර්ව ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ කරගෙන ශබ්දකෝෂයක් පිළියෙළ කරන්න ගැනීම. අවසානයේ එය පළ වෙන්නත් අඩසියවසකට වැඩි කාලයක් ගත වෙනවා.
 
අද මලලසේකර ශබ්දකෝෂ හුඟක් නිවෙස්වල තිබෙනවා. ඒත් තමන්ගෙ ගෙදරට සිංහල - සිංහල ශබ්දකෝෂයක් අරගත යුතුය කියල කවුරුවත් හිතන්නෙ නෑ. අපි ඉංග්‍රීසි භාෂාවේ අකුරක් වැරදුණත් ලොකුවට සලකනවා. ඊට ශබ්දකෝෂ පෙරළා බලනවා. ඒත් සිංහල භාෂාවේ වැරදි ගැන අපි බලන්නෙ නෑ. ඊට ශබ්දකෝෂ බලන්නෙ නෑ. ඇත්තටම මගේ සීයා තමන්ගේ කෙටි ජීවිත කාලය තුළ ඉටු කරගන්න බැලූ සමහර දේවල් ඔහුගෙන් පසු කාටවත් ඉෂ්ට සිද්ධ කරන්න බැරි වුණා. ඒ ගැන අපි කනගාටු වෙනවා.

•  සම්මත සිංහලය ගැන නැවතත් කතිකාවක් ඇති වුණා. කුමාරතුංගයන් ජීවතුන් අතර සිටියා නම් අද කියන සම්මත සිංහලය පිළිගන්නවාද?
969 0
අනිවාර්යෙන් පිළිගන්නවා. ඔහු තමයි ඇත්තෙන්ම ඊට අදාළ මුලින්ම අදහස් ප්‍රකාශ කරන්නෙ. වියරණය ගැන, අක්ෂර වින්‍යාසය ගැන, සිංහල රීතිය ගැන, එහි ප්‍රමිතිය ගැන පුරෝගාමීව හඬ නඟන්නෙ ඔහුයි. ඒ වෙනුවෙන් විශාලම බලපෑම කරන්නෙ ඔහුයි. ඔහු භාෂා රීති මාලාවක් හඳුන්වා දෙනවා. ‘ක්‍රියා විවරණය’, ‘ව්‍යාකරණ විවරණය’ එතුමා පවා ලියන්නෙ භාෂාව ගැන දැවැන්ත පර්යේෂණයකින්. ‘ව්‍යාකරණ වියරණයේ’ ආරම්භයේදී එතුමා කියනවා ‘නීතියක්, රීතියක් නැති ජන සමාජය මෙන්ම භාෂාවද පිරිහේ’ කියල. ඇත්තටම එදා සම්මත සිංහලය ගෙනැවිත් ආණ්ඩුව ඒ ප්‍රමිතිය සකස් කළා නම් අද අපි මේ පීඩාව අත්විඳින්නෙ නෑ.

සම්මත සිංහලය ගේන්නෙ අපේ පාසල් දරුවනට හරි රීතිය ඉගැන්වීමට. එය අධ්‍යාපනය සම්බන්ධයෙනුයි වුවමනා වෙන්නෙ. සම්මත සිංහලය නිසා කවියකුට සීමා පැනවෙන්නෙ නෑ. මෙහි වරදවා ගැනීම එතැනයි. ඒත් කවිය වුණත් කවියක් වෙන්නෙ නම් එහි සම්මතයක් තිබුණොත්.

•  මහාචාර්ය ජේ.බී. දිසානායක සඳහන් කරන්නෙ සම්මත සිංහලය නිසා සිංහල බසේ නිසග වැඩීමට බාධා එල්ල වෙනවා කියල.
 
ඇයි එහෙම නම් ඉංග්‍රීසි භාෂාවට ඔය කියන රීති ගාව ගන්නෙ? ඉංග්‍රීසි භාෂාවේ ඒකවචන හා බහුවචන වෙන් කරන්න වෙනම රීති අනුගමනය කරනවා. සිංහලයේදී බෑ. ලොව ඕනෑම බසකට රීති තිබෙනවා. අපට විතරක් බෑ.
• කුමාරතුංග පවුලේ ඔබ හැරුණු විට සෙස්සන් ගැන කියවෙන්නේ අඩුවෙන්.

මගේ සීයාට දරුවන් හය දෙනෙක්. දියණියන් දෙදෙනෙක් සහ පුතුන් හතර දෙනෙක්. වැඩිමහල් දියණියන් දෙදෙනා කුමාරතුංගයන් නැති වී වසරක් තුළ ජීවිතයෙන් සමු ගන්නවා. මගේ පියා පවුලේ පස්වෙනියා. ඔහු මියයන්නේ 2004 වසරේ. ඒ, රිය අනතුරක් නිසා. කොහොම වුණත් සීයාගේ දරු දැරියන් වසර පහෙන් පහට වගේ නැති වෙනවා.

සීයා මගේ පියාට අවුරුදු 10 වගේ වෙනකොට සිංහල බස කියාදෙන්න පටන්ගන්නෙ. හැබැයි එහෙම සිංහල බස උගන්වන්න පටන්ගෙන වසරකින් පමණ එතුමා ජීවිතයෙන් සමු ගන්නෙ. එතකොට මගේ පියා - පුනු කුමාරතුංග - සාමාන්‍ය පෙළ ලියලාවත් නැහැ. ඇත්තෙන්ම සීයාගෙන් යම් හෝ ආභාසයක් ලැබූ පවුලේ වැඩිමහල් දරුවෝ දෙදෙනා - දියණියන් දෙදෙනා - සීයා නැති වී වසරක් තුළ මියයෑම හරිම කනගාටුවක්. මට වුණත් සීයා ගැන බොහෝ දේ දැනගැනීමේ මඟ එයින් වැළකුණා.

සීයා මියයද්දි ඔහුගේ දරුවන් කුඩා නිසා පවුලට විශාල ආර්ථික අපහසුතාවලට මුහුණ පාන්න සිදු වෙනවා. එනිසා ඔවුන්ට වැඩි කල් නොයා රැකියා සොයාගන්න සිදු වෙනවා. ඒ හේතුවෙන් පවුලේ කාටවත් කුමාරතුංගයන් ඉටු කළ සේවය කරන්න බැරි වෙනවා. ඔවුනට පොතපතින් බැහැර වෙන්න සිදු වෙනවා.

•  ඔබ පොත් ප්‍රකාශකයකු ලෙස දිගු කාලයක් තිස්සේ කටයුතු කරනවා. කුමාරතුංගයන් පිළිබඳ චරිතාපදානයක් පිළියෙළ කරන්න ඔබ කල්පනා කළේ නැද්ද?
 
ඇත්තටම එතුමන්ගේ පොත්වලින් සියයට 50 ක්වත් අපි විසිදුනු ප්‍රකාශකයන් ලෙස පළ කරලා නෑ. පොත් ප්‍රකාශකයකු ලෙස මට ළඟා කරගන්න වුවමනා වූ අරමුණු හුඟක් තිබෙනවා. ඒ දේවල් මට තවම කරගන්න ලැබිලා නෑ. ඒත් කුමාරතුංගයන් ගැන යම් යම් චරිත සටහන් පොත් ලෙස අපි පළ කරලා තිබෙනවා. කොහොම වුණත් කුමාරතුංගයන්ගේ පොත් අදාළ පද බෙදීම්, අක්ෂර වින්‍යාස සමඟ පළ කරද්දි වෙනත් පොත්වලට වඩා මහන්සි වෙන්න සිදු වෙනවා. අභාග්‍යයකට එවැනි පරිගණක අක්ෂර සංයෝජනය කළ හැකි පිරිසක්, සෝදුපත් බැලිය හැකි පිරිසක් අද සොයාගන්න අමාරු වැඩක්. 
මුල් පොත තිබුණත් ඒ දෙස අවධානයෙන් කළ හැකි පිරිස් අද හරිම අඩුයි. අපේ අද පොදු මානසිකත්වයක් ඇති කරලා තිබෙනවා පද බෙදීම්, අක්ෂර වින්‍යාස, ව්‍යාකරණ එච්චර වැදගත් නැහැ කියල. මේ තත්ත්වය තුළ කොහොමද අපි පොත් පළ කරන්නෙ? ඒත් අපි සෙමෙන් සෙමෙන් හෝ ඒ කටයුතු කරනවා. මෙවරත් අපි අලුතින් කුමාරතුංග මුනිදාසයන්ගේ පොත් තුනක් එළිදැක්වූයේ ඒ අරමුණින්.
523148194 122138883380691314 4483720358075502440 n
(සාකච්ඡා කළේ - රවීන්ද්‍ර විජේවර්ධන)

උපුටා ගැනීම - Gevindu Cumaratunga  ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්