ගාල්ල මහජන පොළේ එළවළු වෙළෙන්ඳා
මට හොඳට මතකයි... එදා සිකුරාද දවසක්. වෙලාව හතරහමාරට පහට විතර ඇති. එළවළු ගන්න සෙනඟ පිරිල. ඒ අතරෙ මං දැක්ක කොට කලිසමක් ඇඳපු, අළු පාටයි රතු පාටයි රෙක්සින් පටිවලින් මහපු බෑග් එකක් අතේ තියාගත්තු, අවුරුදු දාහතක දහඅටක විතර කොල්ලෙක් ටිකක් මට පේන දුරින් මගේ දිහාම බලාගෙන ඉන්නව. මගේ ළඟ සෙනඟ අඩුවෙන්න අඩුවෙන්න කොල්ල මගේ ළගට කිට්ටු වෙනවත් දැක්ක. ඒ වගේ ම විනාඩි දයහක් විතර යද්දි කොල්ල මගේ ළගට ම ආව. ඇවිත් මගේ ළගින් ම වාඩි වෙලා ‘‘මාමෙ... මගේ ළඟ පිත්තල තරාදි කඳක් තියෙනව. ඒක අරගෙන මට රුපියල් එකසිය පනහක් දෙන්න පුළුවංද...?’’ කියල ඇහුව. කොල්ල ‘පිත්තල තරාදි කඳක්’ කියල කිව්වෙ ම ඌ ඒකෙ වටිනාකම දන්න නිසා කියල මට තේරුණා. හැබැයි ඒක ඇත්තට ම පිත්තල තරාදි කඳක් නං ඊටත් වඩා වටිනව කියල ඌ දැනගෙන ඉන්න නැතුව ඇති.
‘‘වැඩක් නෑ පුතේ... පිත්තල කඳ නිකමට හරි බිම වැටුණ ගමං කැඩෙනව.’’ කියල මං කිව්වෙ තරාදි කඳ පුළුවං තරං අඩුවට ගන්න බලාගෙන.
‘‘ආ... එහෙම ද මාමෙ... කමක් නෑ මාමෙ... එහෙනං මං යන්නං’’ කියල කොල්ල යන්න නැගිට්ට. ඒත් මේ චාන්ස් එක අතඇරගන්න බැරි නිසා මං කොල්ලගෙං විස්තර ඇහුව ම ඌ කිව්වෙ ඉස්කෝලෙ ට්‍රිප් එකක් යන්න සල්ලි නැති නිසා විකුණනව කියල. ඇත්තට ම මට ඒ මොනවත් ම වැඩක් නෑ. මට ඕනෙකම තිබුණෙ ඒක ගන්න.
‘‘කෝ... ගන්න බලන්න පුතා... මටනං මේකෙං ඇති පොරෝජනයක්න නෑ... ඒත් ඔහේට ට්‍රිප් එකක් යන්න කිව්වනෙ නේද...?’’
‘‘ඔවු මාමෙ... තාත්ත කිව්ව පුළුවං නං මේක විකුණගෙන යන්න කියල. ඒකයි මං මේ පොළට ම අරගෙන ආවෙ,’’ කියල කියන අතරතුර ම කොල්ල අතේ තියාගෙන හිටපු රෙක්සින් බෑග් එකෙන් තරාදි කඳ එළියට ගත්ත. මට ඒක අතට ගන්න කොච්චර කලබලයක් තිබුණත් ඒක අඟවන්නෙ නැතුව මං ටිකක් වෙලා තරාදි කඳ දිහා බලාගෙන හිටිය; කොල්ල ඒක මගේ දිහාට දික් කරා. මගේ අත නිකම්ම තරාදි කඳ දිහාට ඇදුණ.
‘අම්මට සිරි... තනිකර ම පිත්තල..’ ඒ වචන හිත යටිං මුමුණපු මං ‘‘අනේ පුතේ... මේක තනි පිත්තල නෙවෙයි... කලවං එකක් නෙ... එකසිය පනහක් නං වටින්නෑ...’’ කිව්වෙ කොල්ල කීයක් කියයිද කියල දැනගන්න.
‘‘රුපියල් සීයක්කත් වටින්නැද්ද මාමෙ...?’’ කියල කොල්ල ඇහුවෙ ඌට සල්ලි ඕන ම වෙලා තිබුණු නිසා.
‘‘මං කියන්නද පුතේ... ඔහේ ඉතුරු සල්ලි ටික වෙන විදියකට හොයාගන්න... මං මේකට රුපියල් පනහක් දෙන්නං...’’ කිව්ව.
‘‘අපෝ බෑ මාමෙ. ඒ ගාණ අරගෙන මදි. කමක් නෑ මාමෙ. මං වෙන තැනක බලන්නං...’’ කියල කොල්ල මගේ අතේ තිබුණ තරාදි කඳ උදුරල වගේ ආපහු ගත්ත.
‘‘මං කියන්නද පුතේ... මං ඔහේට රුපියල් හැටක් දෙන්නං...’’ කියල මං කියපු ගමං ‘‘බෑ බෑ මාමෙ... මං වෙන තැනක් බලන්නං,’’ කියල කොල්ල තරාදි කඳ ආයෙත් බෑග් එකට දාගන්න ගමන් ම නැගිට්ට.
මං කොල්ලගෙ අතිං අල්ලල නැවැත්තුව. නවත්තල ‘‘මං කියන්න ද පුතේ... මං ඔහේට රුපියල් අසූවක් දෙන්නං... ඊට වැඩිය නං කීයක්කත් බෑ. වෙන කාගෙහරි ගාවට ගියත් ඔහේට එච්ර ගාණක් හම්බෙන්නෙ නෑ. මොකද කියන්නෙ පුතා...? අසූවක් දෙන්න ද...?’’
කොල්ල කිසිම කතාවක් නැතුව බෑග් එකට දාගන්න හදපු තරාදි කඳ ආයෙත් එළියට ගත්ත. උගේ හිත වෙනස් වෙන්න කලිං මං ටක් ගාල තරාදි කඳ මගේ අතට අරගෙන රුපියල් අසුවක් ගණං කරල උගේ අතේ තිබ්බ. ඒක අතට ගත්තු ගමං කොල්ල ඉගිළුණා කිව්වොත් ඒක බොරුවක් නෙවයි.
* * *
ඒ වෙද්දිමං හිටියෙ පුදුම බඩගින්නකින්. ඒත් මොනව හරි කන්නත් කලිං මට ඕන වුණේ පිචර් හෝල් එක තියෙන තැන හොයාගන්න. මට යාන්තමට වගේ මතකයක් තිබුණ පිට්ටනිය ඉස්සරහ තියෙන රවුන්ද බවුට් එකෙන් හැරිල ටික දුරක් යද්දි හෝල් එකක් තිබුණ කියල. මීට අවුරුදු පහකට හයකට විතර කලිං ‘අපරාධය සහ දඬුවම’ කියන පිච්චර් එක බලන්න තාත්ත අපි එක්කරගෙන ආවෙ ඒ පාරෙ තිබුණ හෝල් එකකට. ඊට පස්සෙ දවස් කීපයක් ම තාත්තත් එක්ක එක එක වැඩවලට ගාලු ආපු වෙලාවකත් තාත්ත ඒ හෝල් එකයි, ඒ ළඟ ම තිබුණ තවත් හෝල් එකකුයි පෙන්නපු බවත් මට මතක තිබුණා.
මං හිතුව හරි... රවුන්දබවුට් එක ගාවට ආවට පස්සෙ මට මතක් වුණා. එතන ඉඳං කෙළිං ම බලද්දිත් හෝල් එකක් පේන්න තිබුණ. හැබැයි ඒ අපි අපරාධය සහ දඬුවම බලපු හෝල් එක නෙවෙයි කියල මට මතකයි. ඒ හෝල් එකේ හයි කරල තිබුණ මහ විශාල බෝඩ් එකේ ලොකුවට ලියල තිබුණ ‘‘මුවන්පැලැස්ස’’ කියන අකුරුටික ඇතට වුනත් පැහැදිලියට පෙනුණා. රෙක්ස් කොඩිප්පිලි: සරම කොටට කොටේ ඇඳගෙන, ඔළුව වටේ කළු පටියකුත් බැඳගෙන තුවක්කුවක් මානගෙන හිටියෙ හරියට හෝල් එකට එන අයට වෙඩි තියන්න වගේ. ඒකටත් එක්ක මාලනී ෆොන්සේකා... රෙක්ස් කොඩිප්පිලිගෙ මරුමුස් පෙනුම එහෙම්පිටින්ම අමතක වුණා මාලනීගෙ හිනාව දැක්කම.
ඒ මහ විශාල බෝඩ් එක දිහා බලාගෙන ඉස්සරහට ම ගියාම තමයි හෝල් එකේ නම දැක්කෙ. හෝල් එකේ උඩින්ම නම ගහල තිබුණෙ ‘‘සරසවි’’ කියල. මං කෝකටත් කියල ඒ පැත්තට ඇවිදගෙන ගියා. මෙන්න ඒ යද්දි වම් පැත්තෙ තියෙනව මං හොයපු හෝල් එක. ඒකෙ නමත් හෝල් එකේ උඩම ගහල තිබුණ. ඒ, QUEENS හෝල් එක. ඒකෙත් අර වගේ ම ලොකු බෝඩ් එකක් තිබුණ. ඒකෙ ලියල තිබුණෙ ‘‘හිඟන කොල්ලා’’ කියල. වැඩේ කියන්නෙ ඒ බෝඩ් එකෙත් මාලනි ෆොන්සේකා දරුවෙකුත් වඩාගෙන ඉන්නව ලොකුවට ඇඳල තිබුණ. විජේ කුමාරතුංග හිටියෙ සරම එක කොනකින් උස්සගෙන. හරියට අපේ ගමේ චණ්ඩි බිව්වම පාරෙ ඇවිදින විදියට වගේ.
මං කෝකටත් කියල ඉස්සර වෙලාම QUEENS හෝල් එකේ ගේට්ටුව ගාවට ගියා; ගේට්ටුව වහල. ඇතුළෙ බොඩ් එකක් ගහල තිබුණ ‘‘දිනපතා 02.30, 06.30, 09.30 සෙනසුරාදා ඉරිදා 10.30’’ කියල. හයයි තිහට තව වෙලාව තියෙන බව මට ෂුවර්. ඒ නිසා මං ඉක්මනට ම ඉස්සර තිබුණු සරසවි හෝල් එක ගාවට ගියාම ඒකෙත් යකඩ දොර වහල. ඒකෙ ඇතුළෙත් අර වගේ ම බෝඩ් එකක් ගහල තිබුණ. ආපස්සට හැරුණ මං පාරෙ යන මාමා කෙනෙකුගෙන් වෙලාව ඇහුව. ‘‘පහයි විස්සයි...’’ එයා අතේ බැඳල තිබුණ ඔරලෝසුව දිහා බලල එකපාරට ම කියල ආපු වේගෙන් ම යන්න ගියා.
‘හම්ම්ම්... පහයි විස්සයි... ඒ කියන්නෙ තව පැයක් විතර තියෙනව,’ කියල හිතපු මං වටපිට බැලුවට හෝටලයක් පේන්න තිබුණෙ නෑ. මං ආපහු ආපු පාර දිගේ ම ඉස්සරහට ගියාම දකුණු පැත්තට පාරක් තිබුණ. ඒ පාරෙ චුට්ටක් ඉස්සරහට යද්දි දකුණු පැත්තෙ SOUTH CEYLON HOTEL & BAKERY කියන බෝඩ් එක ගහපු හෝටලේ දැක්ක. ඒ හෝටලේ වීදුරු කබඩ්වල එක එක ජාතියෙ කෑම වර්ග පුරවලා තිබුණෙ පාරෙ යන එන අයට පේන්නමයි. ඒ කෑම අතර මම නමින් දැනගෙන හිටියෙ: පාන්, රෝස් පාන්, කේක්, බනිස්, ජෑම් පාන්, කිඹුල බනිස්, ගල් බනිස්, ස්පන්චි වගේ දේවල් විතරයි. ඒත් මට ඕනෙ වුණේ කවදාවත් කාපු නැති කෑමක් කන්න. මම කවදාවත් ඒ වගේ හෝටලේකට තනියෙන් ගිහින් තිබුණෙ නෑ. ඒත් ඕන එකක් වෙන්න කියල මං හෝටලේ ඇතුළට ගිහින් වට පිට බලද්දි දැක්ක මිනිස්සු මේස වටේ තියපු පුටුවල ඉඳගෙන එක එක ජාතියෙ කෑම කනව. හැබැයි මට මතක තිබුණ තාත්තත් එක්ක ආපු වෙලාවට අපි දෙන්න මේස වටේ තියපු පුටුවලින් දෙකක වාඩි වුණාම කවුරු හරි ඇවිත් ‘‘මහත්තෙයලට මක්කයි ගේන්නෙ...?’’ කියල අහනව. එතකොට තාත්ත එයාට මොන මොනව ද කියනව. ඊට පස්සෙ එයා ගිහින් අර මං කලින් කියපු ජාතියෙ ජාති පුරවපු බන්දේසියක් ගෙනල්ල තියනව. ඊට පස්සෙ තාත්ත කියනව ‘‘පුතා කැමති දෙයක් කන්න,’’ කියල. ඒ මතකය නිසා මමත් ගිහින් ලොකු මිනිහෙක් වගේ මුල්ලක තිබුණ මේසයක් වටේ තිබුණ පුටු අතරින් එකක වාඩි වුණා.
* * *
SOUTH CEYLON හෝටලයේ වේටර්
කොල්ල ඇවිත් වට පිට බලල වාඩි වෙච්ච විදියෙන් ම මං දැනගත්ත මිනිහ කෝඩුකාරයෙක් කියල. එහෙම එවුන්ගෙන් ටිප් එකක්කත් හම්බෙන්නෙ නෑ. ඒත් ඉතිං මගේ රස්සාව කරන්න එපාය. ඒ නිසා මං සාමාන්‍ය විදියට ම ළඟට ගිහින් ‘‘මක්කයි මල්ලි ගේන්නෙ...?’’ කියල ඇහුව ම ‘‘අයියෙ මට අර... අර.. අරව ගේනවද...?’’ කියල ෂෝ කේස් එක දිහාට අත දික් කරා. ‘‘අරව’’ කිව්වට ඉතිං ෂෝ කේස් එකේ කොච්චර නම් කෑම තියෙනව ද...? ඒ නිසා මං ඇහුව ‘‘අරව කිව්වෙ මල්ලි බනිස් ද...?’’ කියල. එතකොට කොල්ල කියපි ‘‘නෑ නෑ අයියෙ... අර බනිස්වලට මෙහා පැත්තෙ තියෙන්නෙ,’’ කියල. කොල්ල ඉල්ලන්නෙ: මාළු රොටි, මස් රොටි, කට්ලට්, පැටිස්, රෝල්ස් වගේ දෙයක් කියල මට තේරුණ නිසා මං ඒ කෑම වර්ග ගෙනල්ල තියල ‘‘මේවයි තියෙන්නෙ මාළු, මේවයි තියෙන්නෙ මස්, මේවයි තියෙන්නෙ එළවළු,’’ කියල ඒ ඒ කැම වර්ගවලට අත තියල පෙන්නල ‘‘මක්කයි මල්ලි බොන්නෙ... ටී ද... ප්ලේන්ටි ද...?’’ කියල ඇහුව. කොල්ල මගේ මූණ දිහා බලාගෙන ඉඳල ‘‘අයියෙ මට කිරි එකක් දෙන්න ඇහැකිය...’’ කියල කිව්ව. ඒ ඉල්ලන්නෙ ටී එකක් කියල මට ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ නෙ.
මං ටී එක අරං එන ටිකට කොල්ල මස් රොටි දෙකක් ම කාල. ඊට පස්සෙ අතට ගත්තෙ බිත්තර කට්ලට් එකක්. මං ඉක්මනට ම ගිහින් වතුර එකක් ගෙනාව. ඒ එද්දි කට්ලට් එකත් කාල ඉවරයි. වතුර එක මේසෙ උඩින් තියපු ගමන් ම අරගෙන ගුඩු ගුඩු ගාල බීගෙන බීගෙන ගියා. ඒ එක්ක ම ටී එකත් බොන්න පටන් ගත්ත.
‘මේක නං ඉඳල තියෙන්නෙ හෙණ බඩගින්නෙ. මුගේ අතේ සල්ලි තියෙනවද දන්නෙත් නෑ. කෝකටත් කල්පනාවෙන් ඉන්න ඕන,’ කියල හිතපු මං කෝකටත් කියල ‘‘මල්ලි මක්කයි කෑවෙ...?’’ කියල ඇහුව. කොල්ලා කාපු දේවල්වල නම් දන්නෙත් නෑ. ඒ නිසා ‘‘මේ... මෙතන තිබුණෙ... අයිය කිව්වෙ මස් දාපුව කියල... ඒකෙං දෙකයි... මේකෙං එකයි’’ කියල ආයෙත් ටී එක බොන්න පටන් ගත්ත. උණු උණුවෙ ටී එක එච්චර ඉක්මනට කොහොම බොනවද කියල මට හිතාගන්නවත් බැරි වුණා. කෝකටත් කියල මං ඉක්මනට ම සාමාන්‍ය විදියට බිල පීරිසි තට්ටුවක තියල අරගෙන ඇවිත් කොල්ල ඉස්සරහින් තිබ්බ. මෙන්න යකෝ ඒකා ‘‘මේ මක්කටෙයි අයියෙ...?’’ කියල අහපි. මං කිව්ව ‘‘මල්ලි... මේ ඔහේ ගෙවන්න ඕන ගාණ,’’ කියල. කොල්ල මගේ මූණ දිහා බලල අහිංසක හිනාවක් දාල ‘‘හරි අයියෙ,’’ කියල බිල අතට අරගෙන ‘‘හතරයි පනහයි නේ අයියෙ...?’’ කියල අහන ගමන් ම නැගිට්ට. මං හිතුවෙ කොල්ල දුවන්න හදන්නෙ කියල. ඒ නිසා මං කොල්ලට කැෂියර් එක පෙන්නල ‘‘ඔය හතරයි පනහක් එනවා,’’ කියල කෑ ගැහුව. කොල්ල කැෂියර් එක ගාවට යන අතරතුර ම කලිසම් සාක්කුවට අත දාල සල්ලි අරගෙන කැෂියර් එකට ගෙවල යන්න ගියා.
* * *
ඊට පස්සෙ මං කෙළින්ම ගියේ පිචර් හෝල් තියන දිහාට. ඒ යන ගමං පාරෙ යන මාම කෙනෙක්ගෙන් වෙලාව ඇහුව. ඒ මාමත් අත උස්සල බලල ‘‘හයට දහයයි,’’ කියාගෙන ම යන්න ගියා. මට ඊළඟට තිබුණ ප්‍රශ්නෙ තමයි කොයි පිචර් එක ද බලන්නෙ කියල.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2023/09/22