මට යසේ ගැන විශේෂ කැමැත්තක් ඇති වුණේ එදා අර ගෑනු හතර දෙනා යසේ හොයාගෙන ආපු දවසෙ.
එදා හවස කුස්සියෙ වැඩ ඉවර වෙලා බාස්උන්නැහෙත් ගියාට පස්සෙ මම යසෙත් එක්ක කතා කළා. ඇත්තට ම මට දැනගන්න වුවමනා වෙලා තිබුණෙ ඒ ගෑනුත් එක්ක යසේට තියෙන සම්බන්ධය මොකක් ද කියල; ඇයි ඒ ගෑනු යසේට ඒ තරම් කිට්ටු කියල. මොකද එවුන් සල්ලි නැතුව හිනාවෙන්නෙවත් නැති ගෑනු නෙ.
* * *
‘‘ඇත්තට ම එහෙම විශේෂත්වයක් නෑ සුසන්ත. ඉස්සෙල්ලම එයැයිල මාව දැක්ක දොහේ මට කොලොප්පං කරන්න වගේ ආව. සමහර විට ඒ මාවත් දැලේ දාගන්න වෙන්නැති. ඒත් මේ...’’
‘‘බතික් අංකල් මැද්දට පැනල උන්ට සත්තම දැම්ම... එහෙම නෙ...?’’
මම සිද්ධිය කියල ඉවර වෙන්නත් කලින් සුසන්ත මැදට පැනල කිව්වෙ ඇත්ත ම විස්තරේ මිනිහ දන්නව කියල පෙන්වන්න වගේ.
‘‘ඔවු නෙ... ඔහේ කොහොමෙයි ඒ වග දන්නෙ...?’’
‘‘මටත් ඔය කනිං කොනං ටික ටික ආරංචි උණා.’’
සුසන්ත කිව්වෙ කට කොනකින් සමච්චල් විදියට හිනා වෙන ගමන්.
‘‘එහෙනං ඉතිං ආයෙ මගෙං ඇහැව්වෙ...?’’
සුසන්ත ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නෙත් හිනාවකින්. ඒත් ටිකකින් සුසන්ත කතා කරා.
‘‘ඒක විතරක් නෙවෙයි... අර ගිෆ්ට් අයිටම් කෑල්ලෙ ඉන්න පාලිතයත් එක්ක වෙච්ච අරෝව ගැනත් කොල්ලො කතා උණා.’’
සුසන්ත කිව්වෙ මම කවදාවත් බලාපොරොත්තු නොවුණ කතාවක්.
‘‘ආ... එහෙමෙයි...’’ කියල උත්තර දුන්නු මම කුස්සි අතුගාන්න ඇතුළට ගියේ ඉක්මනට වැඩ ටික ඉවර කරන්න ඕන නිසා. ඒත් සුසන්ත කුස්සිය ඇතුළට ඇවිත් අනිත් පැත්ත හරවලා තිබුණ වංගෙඩිය උඩින් වාඩි වුණේ තවත් මොනව හරි කියන්න තියෙනව වගේ. මම ඒක එච්චර මායිම් නොකර ම මගේ වැඩේ කරගෙන ගියා.
‘‘ඔහේ සෑහෙන්න පිචර් බලනව නෙහ්...?’’
සුසන්ත ආයෙත් කතාව පටන් ගත්තා.
‘‘ඇයි එහෙම ඇහුව්වෙ...?’’
මම සුසන්තගෙන් එහෙම අහද්දි කුස්සිය අතුගාන එක නතර වුණේ මමත් නොදැනුවත්ව ම යි.
‘‘නෑ... මාත් ආසයි... ඒත් කෝ වෙලාවක් නෑ නෙ...’’
සුසන්තට වැඩ කරන කාලය ඇතුළත නිවාඩුවක් තියෙන්නෙ පැය දෙකයි. නාල රෙදි හෝදල අනිත් පැත්ත හැරෙද්දි ඒ පැය දෙක ගෙවිල ඉවරයි. එයාට නමයයි තිහ බලන්නවත් යන්න විදියක් නෑ. මොකද කඩේ වහන්නෙ නමයට නෙ... එතන් ඉඳලත් පැයක් විතර මිනිහ වැඩ.
‘‘හම්ම්ම්... ඔවු නෙහ්... ඔයැයිට ඕෆ් එක තියෙන්නෙ පැය දෙකයි නෙ නේද...?’’
මම ආයෙත් අතුගාන ගමන් ම සුසන්තට උත්තර දුන්නෙ එයා ගැන ටිකක් අනුකම්පාවෙන්.
‘‘ඒ කියන්නෙ ඔයැයි මෙහෙට්ට ආවට පස්සෙ පිචර් එකක් බැලුවෙ නැතෙයි...?’’
ඇත්තට ම මම එහෙම ඇහුවෙ හිතල නෙවෙයි. අර අනුකම්පාවත් එක්ක ම ඒ වචන ටික මගේ කටින් පිට වුණා.
‘‘බලල තියනෝ... හැබැයි ඉතිං මැනේජර් මහත්තයට කනිපිංදං කියල නිවාඩුවක් ඉල්ලගත්තු දවසට තමයි. එදාට දවසෙම කරන්නෙ පිචර් බලනෙක. දහයයි තිය බලල ඇවිත් දවල්ට කාල එහෙම ගිහිං අනිත් හෝල් එකේ දෙකයි තිහ බලනව. ඊට පස්සෙ ආපහු ඇවිත් නාගෙන තේ එහෙම බීල ගිහින් හයයි තිහ බලනව.’’
සුසන්ත එක දිගට ම කියවගෙන ගියේ මහා ලොකු වීරකමක් කරනව වගේ. ඇත්ත ඉතිං... පිචර් එකක් බලනව කියන්නෙ වීරකමකටත් වැඩිය ජොලියක්. ඒ ජොලිය විඳින්න අපි කරන වැඩ අපිට වීරකමක් තමයි. ඒ හිංද නෙ මම නමයයි තිහ බලල ඇවිත්, පත්තර කෑල්ලක් බිම එළාගෙන එළි වෙන තුරු ම පේමන්ට් එකේ නිදාගන්නෙ.
* * *
සුසන්ත ඕෆ් වුණ වෙලාවටයි, එයා නිවාඩු ගත්තු දවසටයි පිඟන් හෝදන්නෙ පොඩියන්; පොඩියන් කිව්වට ඒ කොල්ලගෙ නම ශිවාජි. හැබැයි කවුරුවත් එයාට ‘ශිවාජි’ කියල කතා කරන්නෙ නෑ. කොල්ලො විහිළුවට කියන්නෙ ‘ඌට ශිවාජි කිව්වම ශිවාජි ගනේෂන්ට හරි නැහැනෙ’ කියල. ඇත්තට ම ඒකෙන් කියවෙන්නෙ ශිවාජිට අපහාස වෙන එකක් නෙවෙයි. අර කොල්ල ශිවාජි තරම් වටින්නෙ නෑ. ඒ නිසා ශිවාජි කියන නම ඒ කොල්ලට ගැළපෙන්නෙ නෑ කියල. ඒ නිසා කොහොම හරි මිනිහට කතා කරන්නෙ පොඩියන් කියල. එයා මුරුගේසුගෙ ගෝලයෙක්; පොඩියන්ට නිශ්චිත වැඩක් පළක් නෑ. කඩේ අතුගානවා, දර ගේන මනුස්සයා දර ගෙනාවම ඒවා කිරල ගන්නවා, අරගෙන දර මඩුවෙ ලස්සනට අඩුක් කරනවා. ඊට අමතරව මුරුගේසුත් එක්ක පොළේ යනවා. එයා තමයි සුසන්ත නැති වෙලාවට පිඟන් හෝදන්නෙ. සුසන්ත නිවාඩු ගත්ත දවසට පිඟන් හෝදන්නෙත් එයා ම යි.
* * *
ටික දවසක් යද්දි සුසන්තගෙයි මගෙයි යාළුකම වැඩි වුණා. මටත් හිතුණ සුසන්තත් එක්ක පිචර් එකක් බලන්න යන්න. මං ඒකට පොඩි සැලසුමක් හැදුවා. හදල ඒ සැලසුම සුසන්තට යෝජනා කළා.
‘‘පොඩියන් වැඩේට කැමති වෙයි ද...? මොකෝ දන්නවයි... රෑ වැඩ ඉවර වුනාම මේ ඔක්කොම හෝදන්නෙපැයි. පොඩියන් එව්ව කරන්න බැහැ කියයි.’’
සුසන්ත යෝජනාවට කැමති වුනත් වැඩේ නොකෙරෙන්නෙ මෙන්න මේ හේතු නිසා කියල යම් යම් කාරණා ටිකක් මතු කළා. ඒ කාරණ බොරුත් නෙවෙයි. පොඩියන් බැහැ කිව්වොත් අපිට එයාට බල කරන්න බෑ. කරන දෙයක් කරගන්න වුවමනා යාප්පුවෙන් ම යි.
* * *
මගේ සැලසුම ගැන කතා වෙලා සතියක් යන්න කලින් මට ආයෙත් කුස්සියෙ වැඩට යන්න වුණා. ඒ, විජේසිංහ අයියට මනමාලියෙක් බලන්න යන්න එයා නිවාඩු ගත්ත නිසා. ඒක හරියට පනින රිලවුන්ට ඉණි මං තිබ්බ වගේ වැඩක්. විජේසිංහ අයිය ආයෙ දවස් දහයකින්වත් වැඩට එන්නෙ නෑ. ඒක ෂුවර්. ඒ නිසා මම හිතාගෙන හිටපු වැඩේ කරන්න දැන් තවත් පහසුයි.
මගේ සැලසුම වුණේ මේකයි. සුසන්තට එයාගෙ ඕෆ් එක රෑ හතට ගන්න කියනවා. ඒ වෙනුවට වැඩ කරන්න පොඩියන්ට කියනවා. මොකද පොඩියන් ඒ වෙලාවට කරන්නෙ උඩ තට්ටුවට වෙලා පාර බලාගෙන ඉන්න එක. හැබැයි මේ වැඩේ කරවා ගන්න ලොකු අයට කිව්වට වැඩක් නෑ. ඒ කියන්නෙ මැනේජර් මහත්තයට කිව්වට වැඩක් නෑ. ඒකට හේතුව තමයි පොඩියන් බෑ කිව්වොත් මැනේජර් මහත්තය වුනත් පොඩියන්ට බල කරන්නෙ නෑ. කොහොම වුනත් මේ යෝජනාව එක පාරට ම පොඩියන්ට කියන්නත් බෑ. එහෙම වුනොත් කොල්ලා ගත් කටට ම ‘අනේ මට බෑ’ කියනවා. මං ඒකට සැලසුමක් හැදුවා. වැඩේ ටිකක් දීර්ඝ කාලීන එකක්. එදා මම ඒ වැඩේ ආම්භ කරේ පොඩියන් මුරුගේසුත් එක්ක පොළේ ගිහින් ආවට පස්සෙ. ඒ කියන්නෙ හවස තුන විතර වෙද්දි පොළේ ගිහින් එනවා. ඒ වෙලාවට කොල්ල එන්නෙ හොඳට ම මහන්සි වෙලා.
‘‘පොඩියන්... ඔහේ සුප් බීල තියනවයි...?’’
මම පොඩියන්ගෙන් ඇහුවෙ නිකමට අහනව වගේ.
‘‘සුප්...! මොන සුප් ද අයියා...’’
වැඩේ හරි... ඒ කියන්නෙ පොඩියන් සුප් බීල ම නෑ.
‘‘ඇයි පොඩියන්... අපි මේ ලොකු හැළියක් හදන්නෙ... හවසට මිනිස්සු රෝස් පාන් කකා බොන්නෙ... ඒ කියන්නෙ ඔහේ සුප් බීල ම නෑ...?’’
‘‘නේ අයියා නේ... ඇයි අයියා ඒම ආනවා...?’’
පොඩියන් කතා කරන්නෙත් කැඩුණු බිඳුණු සිංහල වචනවලින්. ගනේෂ් පොඩියන්ට වඩා හොඳට සිංහල කතා කරනවා. මුරුගේස් ඊටත් වඩා හොඳට කතා කරනවා. මේ වෙලාවෙ මට කමලනිත් මතක් වුණා. එයත් තවම කතා කරන්නෙ කැඩුණු බිඳුණු සිංහලෙන්.
‘‘හරි පොඩියන්... එහෙනං අපි සුප් එකක් බොමු ද...’’
මේ වෙද්දි සුප් එක හොඳට පැහිලා. මට මතක විදියට වේටර්ල සුප් කීපයක් ම අරගෙනත් ගියා. කවුරු හරි සුප් ඉල්ලුවාම වේටර්ලා කුස්සියට ම ඇවිත් සුප් එක දාගෙන යන්න ඕනෙ. මොකද සුප් එක ඉවර වෙනකන් ම තියෙන්නෙ ලිප උඩ; නිතර ම ගින්දරත් ටිකකුත් තියෙනවා. ඒ, සුප් එක නිවෙන නිසා.
‘‘සුප් බොන්න... මේ මම... අපෝ අපෝ බේ... මෙනෙජර් මාත්තියාගෙන් බෙණුම් තමා ආන්න වෙනවා. අන්තිමට පඩියෙනුත් කපයි.’’
පොඩියන් උත්තර දුන්නෙ එහෙම. එයත් හොටලේ වැඩ කෙරෙන විදිය හොඳට ම දන්න බව ඒ උත්තරේ හැංගිලා තිබුණා. පස්සෙ මං මිනිහට වැඩේ තේරුම් කරලා දුන්නා.
‘‘නෑ නෑ පොඩියන්... ඔයැයිට සුප් එක දෙන්නෙ මං. ඔයැයි අර දර මඩුවට වෙලා බොන්න. මං හොඳ මස් කට්ටකුත් දාල දෙන්නං හරිය. කවුරු හරි ඇවිල්ල ඔයැයිට කතා කරත් සද් නැතුව ඉන්නව හරිද... මං මොකක් හරි බොරුවක් දොඩන්නං හරිය.’’
‘‘සුප් බොන්න නං ආසයි තමයි...’’
සුප් බොන්න කොල්ලගෙ තියෙන ආශාව ඇස් දෙකෙන් හොඳට ම පෙනුණා. කොල්ලව අපේ වැඩේට කැමති කරවා ගන්න පුළුවන් මේ විදියට විතරක් ම නිසා මම කුස්සියෙ වැඩවලට පාවිච්චි කරන ලොකු බෙලෙක් කෝප්පෙකට හොඳ මස් කටු කැල්ලකුත් එක්ක ම සුප් එකක් දාලා දුන්නා. ඒක දුන්නා විතරයි කොල්ලා ඉක්මනට ම දර මඩුවෙ අයිනක වාඩිවෙලා බොන්න පටන් ගත්තෙ පුදුම ආශාවකින්. මට දුකත් හිතුණා. මොකද අපි කොල්ලට සුප් දුන්නෙ ඇත්තට ම ඌට තියෙන ආදරයකටවත්, අනුකම්පාවකටවත් නෙවෙයි නෙ... අපිට උගෙන් වැඩක් ගන්න වුවමනා නිසා නෙ...
* * *
දෙවෙනි දවසෙ මම කොල්ලට බැදපු මාළු පෙත්තක් දුන්නා. කොල්ලා ඒකත් කෑවෙ පුදුම ආශාවකින්. මගේ යෝජනාව කොල්ලට කිව්වෙ තුන්වෙනි දවසෙ.
‘‘මට නං බෙරි කමක් නේ අයියා. ඒත්...’’
කොල්ල කියන්න හදන්නෙ මොකක්ද කියල මට දැනුණා.
‘‘මැනේජර් මහත්තය බණියි කියල බයයි ද...?’’
‘‘ඔවු අයියා... තව මුරුගයියා... එයැයි මොනවා කියයිද අප්පා...’’
දැන් වැඩේ පැහැදිලියි. ඒ කියන්නෙ කොල්ල කැමතියි. නමුත් බයයි.
‘‘හරි හරි පොඩියන්... ඔයැයි බයවෙන්නෙපා. මං මැනේජර් මහත්තෙයටයි මුරුගයියටයි දෙන්නට ම කියන්නං. ඔයැයිට වැඩි වැඩක් කියල තියෙන්නෙ රෑට මේ ටික ඔක්කොම හෝදල දානෙක විතරයි... හැමදාමත් නෙවෙයි හරිය... ඉඳල හිටල... ’’
‘‘හරි අයියා... අයියා කියනවානං මට කමක් නේ... මං ඉන්නං...’’
* * *
පස්වෙනි දවස වෙද්දි කොල්ලා වැඩේ කරන්න කැමති වුණා; සුසන්ත රෑ හතට ඕෆ් වුණා. එදා මමයි සුසන්තයි බැලුවෙ ක්වින්ස් හෝල් එකේ තිබුණ ‘හරි පුදුමයි’ කියන චිත්‍රපටිය. මම ඒ චිත්‍රපටිය මීට කලින් තුන් වතාවක් ම බලලයි තිබුණෙ. ඒ නිසාම තමයි මම ඒක බලමු කියල සුසන්තට යෝජනා කරේ.
චිත්‍රපටිය බලල ඇවිත් වෙනද වගේ ම කඩේ ඉස්සරහ පේමන්ට් එකේ පත්තර කොළ එළාගෙන නිදාගන්න සුදානම් වෙද්දි ම...
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/02/23
අපලෝකන - පසුගිය කොටස්