'යුද අපරාධ කියල දෙයක් නෑ, යුද්ධය කියන්නෙම මහා අපරාධයක්' - කපිතාන් රනිෂ් හේවගේ

 

කපිතාන් රනිෂ් හේවගේ එක්ක මම මුලින්ම කතා කළේ මේ අවුරුද්දේ මාර්තු මාසේ. 

සූම් ජාලය ඔස්සේ අපි කතා කරන කොට රනිෂ් හිටියේ යුක්‍රේනයේ හර්කිෆ් (හර්කොෆ්) කියන පළාතේ යුද බිමේ ඉන්න වෙලාවේ. ආක්‍රමණික රුසියානු හමුදාවට විරුද්ධව ඒ වෙනකොටත් ඔහු අවුරුද්දකට ආසන්න කාලයක් යුක්රේන හමුදාව එක්ක එකතුවෙලා සටන් වැදිලා හිටිය. 

අවුරුද්දක් ඇතුළත තුන් පාරක් වත් තුවාල ලබල හිටියත් යුද්ධය දාල යන්න රනිෂ් ගේ මනාපයක් තිබුණේ නෑ.

"යුද අපරාධ කියල දෙයක් නෑ, යුද්ධය කියන්නෙම මහා අපරාධයක්," යුද බිමේ සටන් වැදිලා ඉන්න ගමන්ම රනිෂ් මා එක්ක කීව.

ඒ වෙනකොට අමෙරිකානු, කැනේඩියානු ඇතුළු සෙබළුන් පිරිසක් ඉන්න භට කණ්ඩායමක අණ දෙන නිලධාරියෙක්. යුද බිමේ දක්වපු නිර්භීතකම නිසා ජනාධිපති වොලොදිමීර් සෙලෙන්සි ගෙන් විශේෂ සම්මාන ලබපු දක්ෂ සෙබලෙක්. යුක්රේන යුද බිමේ ඔහු හැඳින්නුවේ 'කැප්ටන් ඩෙන්ටිස්ට්' කියන අන්වර්ථ නාමයෙන්.   

"යුද්ධෙ පටන් ගත්තේ පූටින් (පූතින්), ඉවර කරන්නත් ඕන පූතින්." - 'කැප්ටන් ඩෙන්ටිස්ට් මට කිවුව. 

ඒත් පලස්තීන භූමියේ කුරිරු ඊශ්‍රායල ආක්‍රමණයට ආයුධ පොම්ප කරන බටහිර රටවලට අමතක වුණ යුක්රේනයේ යුද්ධය අවසානයක් දකින්න කලින් රනිෂ් යන්න ගිහින්.  

Screenshot 2023 12 06 at 15.04.27
ශ්‍රී ලංකා පාබල හමුදාවේත්, කමාන්ඩෝ බලකායේත් පුහුණුව ලබල, යුද්ධයෙන් පස්සේ නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත්වෙලා ඩුබායි රාජ්‍යයේ රැකියාවක් කරමින් හිටපු රනිෂ් මට කීවේ යුක්‍රේන ආක්‍රමණයට එරෙහි වුණේ රැකියාවකට වඩා අසාධාරණය දරාගන්න බැරි නිසා කියල. 

එදා ඔහු මා එක්ක කී දේ හදවතින්ම මතුවුණු අදහස් බවට හොඳම සාක්ෂිය එදා, මෙදා තුර රනිෂ් ගේ හැසිරීම.

දිගින් දිගටම තුවාල ලැබීමත්, යුද උපාය ගැන දක්ෂකමත් නිසා යුද පෙරමුණට අඩිය නොතබාම තමන්ගේ කණ්ඩායම මෙහෙයවන්න හැකියාව තිබුණත් රනිෂ් දෙසැම්බර් 04 වෙනිදා යුද පෙරමුණේ දී මිය ගිහින්. ඒ නැගෙනහිර යුක්‍රේනයේ බක්මුත් (Bakhmut ) කියන පළාතෙ දී. 

408111819 24362742986706309 8155063882753470372 nඅරුණ පුවත්පත කියන විදියට රනිෂ් මියගිහින් තියෙන්නේ සටන් පෙරමුණේ දී මියගිය ශ්‍රී ලාංකික සෙබලෙකුගේ සිරුර අරගෙන එන්න ගියපු වෙලාවේ රුසියානු කාලතුවක්කු ප්‍රහාරයකට ලක්වෙලා. 

එදා මා එක්ක සාකච්ඡාව කරන වෙලාවේ ඔහු කීවේ "මම මැරෙන්න ඕන කියල දෛවයේ තාම ලියවිල නැහැ," කියල. ඒත් අද ඒ දෛවයම ඔහුට හරස් වෙලා.  

මිතුරු සෙබලාගේ සිරුර අරගෙන එන්න රනිෂ් එක්ක ගියපු සෙබලෙක්, ලහිරු කාවින්ද 'සරෝජ් සමග සංදේශය' (Sandeshaya by Saroj) නාලිකාවේ රනිෂ් ගේ සාකච්ඡාව යට මෙහෙම සටහනක් තියල තිබුණ. 

"මගේ කරේ ඩෙන්ටිස්ට් ඔයා අවසාන හුස්ම හෙලුවේ...ඔයා  වීරයෙක්..මම ඔයාව පුලුවන් තරම් දුර ගෙනාවා..ඔයාට කරන්න පුලුවන් හැමදේම කරා...ඩෙන්ටිස්ට් ඔයා නමක් හැදුවා ඒ නම මුලු යුක්‍රේනෙම වැජබෙනවා..ඔයාට ගෞරවාන්විත අවසානයක් දෙනවා...."

තුවාල ලබපු 'කැප්ටන් ඩෙන්ටිස්ට්' උස්සගෙන කිලෝ මීටර් 15ක් විතර ආවත්, ඔහුගේ ජීවිතය බේරගන්න බැරිවුණ බව මේ  සටහන තියන ලහිරු කාවින්ද හතුරුසිංහ සෙබලා කියනවා. 

"අපි දෙන්නා තමා එකට තුවාල  උනේ...බක්මුත් වලදි උනේ," කියලත් ඔහු සටහන් කරලා තිබුණ.

408367899 257819770641726 7753493649780992725 nDon's World නමින් සටහනක් තබමින් තව කෙනෙක් කියල තිබුණේ රනිෂ් සැබෑ වීරයෙක් බව. 

සටනේදී මියගිය ප්‍රියන්ත කියන සෙබලාගේ සිරුර ගේන්න ලහිරු සහ රනිෂ් එක්ක සටන් පෙරමුණට ගිය තවත් ශ්‍රී ලාංකික සෙබලුකුත් රුසියානු ප්‍රහාරවලින් මිය ගිහින්. 

මේ අවුරුද්දේ මාර්තු මාසේ මම මේ සාකච්ඡාව කරන කොට යුක්රේනයේ හිටපු එකම ශ්‍රී ලාංකික සෙබලා රනිෂ් විතරයි. 

අද වෙනකොට, තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් යුක්රේන හමුදාවත් එක්ක එකතුවෙලා. ඒ වගේම අරුණ පුවත්පත වාර්තා කරන විදියට තවත් ශ්‍රී ලාංකිකයින් 70ක් පමණ රනිෂ් ගේ භට කණ්ඩායමට එක්වෙන බලාපොරොත්තුවෙන් අසර්බයිජාන්, ඩුබායි සහ ඉන්දියාවට ගිහිල්ල ඉන්නවා. 

සටන් බිමේදී මියගිය සගයාගේ සිරුර ගේන්න ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණ රනිෂ් සමුගන්නේ ඒ හැමදෙනාගෙමත් බලාපොරොත්තු සුන් කරමින්.

යුක්‍රේන යුද පිටියට ගිය කපිතාන් රනිෂ් ඇතුළු ලාංකිකයන් 3ක් මරුට 
සාමාන්‍යයෙන් රටක හමුදා එක්ක එකතුවෙන වෙනත් රටවල සෙබළුන් නිල නොවන භටයින් හඳුන්වන්නේ 'කුලී හේවායින්' කියල. ඔවුන්ගේ එකම අරමුණ මුදල් සෙවීම. ඒ වගේම බොහෝ අවස්ථාවල අදාළ රටේ සෙබළුන්ටත් වඩා අතිශය දරුණු, අමානුෂික අපරාධ කරන්නේ කුලී හේවායින්. ඒ ගැන මෑතදී තියෙන හොඳම උදාහරණය රුසියාවේ 'වාග්නර්' කුලී හේවායෝ. 

ඒත් රනිෂ් යුක්රේන යුද බිමට එකතුවුණේ මුදල් ඉපයීමේ බලාපොරොත්තුවෙන් නොවන බව මේ සාකච්ඡාව හොඳම උදාහරණයක්. 

ඒ වගේම බුදුන්ගේ අනුගාමිකයින් කියන බෞද්ධ යතිවරුන් පාස්කු මිනිස් ඝාතනයේ චෝදනා ලැබූවන්ට ආශිර්වාද කරද්දී, දශක ගණනක යුද්ධයට ආවඩද්දී, ජාතිවාදය පතුරවද්දී, රනිෂ් කියන්නේ කොයිතරම් මානව හිතවාදියෙක්ද කියල ඔහු දිවි දුන් ආකාරයම සාක්ෂියක් නේද කියල මට හිතුන. 

යුද බිමේ රනිෂ් එක්ක හිටපු සගයින් තබපු ඉහත අනුවේදනීය සටහන් මගේ ඒ සිතුවිල්ල සනාථ කරනවා.  



ඇමතිකමක් කරන්න උපාධියක් ඕනෙද? - (සරෝජ් පතිරණ)(සරෝජ් පතිරණ)
BBC හිටපු මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

දෙසැම්බර් 06, 2023


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image