මා, කිසියම් කාව්‍ය සංග්‍රහයක් කියවන අතර එහි ‘‘කවි’’ හමුවේ නම් ඒ එක් එක් කවිය මට දැනෙන ආකාරයට සලකුණු කරයි. ඒ, *, ** සහ *** වශයෙනි.

* යනු කවියට ආසන්න පදවැලක් ලෙසත්, ** යනු ඉහළ ම රස වින්දනයක් නැතත් යම් පමණකට හෝ කවියක් ලෙස රස විඳිය හැකි පදවැලක් ලෙසත්, *** යනු මට විඳිය හැකි හොඳ කවියක් ලෙසත් යනුවෙනි. කිසිදු ලකුණක් නොයොදන්නේ අදාළ නිර්මාණය කවියක් යැයි නොසිතෙන බැවිනි. මෙය ම’විසින් මා සඳහා පමණක් ම භාවිත කරනු ලබන ක්‍රමවේදයකි.



අදාළ කාව්‍ය සංග්‍රහය පිළිබඳ මගේ විඳීම හෝ කියවීම අකුරු කරන්නේ මෙලෙස සටහන් කිරීමෙන් අනතුරුව ය. මා මෙතෙක් කියවා ඇති බොහෝ කාව්‍ය සංග්‍රහවල *** ලකුණු තුන ද ඉක්මවිය හැකි නිර්මාණයක් දෙකක් විඳ තිබුණේ නම් ඒ ඉතා කලාතුරකිනි. එමෙන් ම සමස්ත කාව්‍ය සංග්‍රහයේ සියලුම කවි සඳහා අවම වශයෙන් එක * සලකුණක් හෝ යෙදුවේ නම් එය ද ඉතාමත් කලාතුරකිනි. නමුදු කාව්‍ය සංග්‍රහයක අන්තර්ගත සියලු ම නිර්මාණ සඳහා අවම වශයෙන් මෙම ලකුණු එකක් නොව දෙකක්, තුනක් මතු නොව එම ප්‍රමාණය ද ඉක්මවා සලකුණු කළ හැකි කාව්‍ය සංග්‍රහයක් රස විඳින්නට ලැබේ යැයි කිසිදු දිනක නොසිතුවෙමි. නමුදු ‘නොසිතූ දෙය ම සිදුවේ’යන කියමන සපථ කරමින් කාව්‍ය සංග්‍රහයක සියලු කවි මට රසවිඳිය හැකි ආකාරයේ කාව්‍ය සංග්‍රහයක් පසුගිය දිනෙක කියවා රස විඳින්නට ලැබිණ.


dhanushkaකාව්‍ය සංග්‍රහය ‘‘එම්බාම් විමලේ’’ ය; කවියා ධනුෂ්ක විමලසේන ය.


‘‘එම්බාම් විමලේ’’ ධනුෂ්ක විමලසේනගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය යි. එම නිර්මාණ මීට පෙර ඔහු සිය facebook පිටුවේ පළ කර ඇත. නමුදු ඔහු මෙතෙක් මගේ මිතුරු සංසදයේ නොසිටි බැවින් මා හට එම නිර්මාණ එකක් හෝ ඇස ගැටී නොතිබිණ.


‘‘එම්බාම් විමලේ’’ කාව්‍ය සංග්‍රහයේ කාව්‍ය නිර්මාණ 44ක් අන්තර්ගත ය. මගේ වින්දනීය වර්ග කිරීමට අනුව මෙම නිර්මාණ 44 අතුරෙන් ** සහිත නිර්මාණ 16ක්, *** සහිත නිර්මාණ 24ක් සහ **** සහිත නිර්මාණ 4ක් හමු විය. මෙම කාව්‍ය සංග්‍රහයේ සුවිශේෂත්වය වන්නේ *** ලකුණු තුන ඉක්මවන තරමේ නිර්මාණ ද 4ක් අන්තර්ගත වීම ය. මීට පෙර එවන් නිර්මාණ හමුවූයේ නම් ඒ ඉතාමත් කලාතුරකිනි. අනෙක් පසින් ගත් විට විඳිය නොහැකි මට්ටමේ කාව්‍ය නිර්මාණ එකක් හෝ අන්තර්ගත නොවී තිබීම ය.


307647950 610772207361165 8538043934425080682 n‘‘එම්බාම් විමලේ’’ කාව්‍ය සංග්‍රහය පිළිබඳ මගේ කියවීම මෙලෙස සටහන් කරන්නේ මගේ බින්න රුචිකත්වයට යටත්ව වන බැවින් වෙනත් ඕනෑම පාඨක පාඨකාවකට මෙම කාව්‍ය සංග්‍රහය තම තම බින්න රුචිකත්වයට අනුව විග්‍රහ කළ හැකි ය. එය ඔවුනොවුන්ගේ අයිතියකි. නමුදු මා යළි පවසන්නේ අදාළ කාව්‍ය සංග්‍රහය තුළ ඉවතලිය හැකි එකම නිර්මාණයක් හෝ මට මුණ නොගැසුණ බවයි.


මොහුගේ නිර්මාණ තුළ මහා දාර්ශනික, සම්භාව්‍ය හෝ ප්‍රබුද්ධ යැයි නාමකරණයට ලක් කළ හැකි නිර්මාණ ප්‍රමාණය අවම වුව ද එහි අන්තර්ගත සෑම නිර්මාණයක් ම එය කියවන පාඨකයා හෝ පාඨකාව තිගැස්මට ලක් කරන, හෘද සංවේදී භාවයට පත් කරන, කවිය කියවා රසවිඳීමෙන් ඉක්බිති තව දුරටත් කවිය තුළ ම රැඳීසිටීමට පාඨකයා හෝ පාඨකාව උනන්දු කරවන වර්ගයේ නිර්මාණ ය.

 

ඇතැම් නිර්මාණයක අනුභූතිය ඉතා සරල ය; සුලබ ය; ඒ අනුභූතිය පාදක කරගත්  නිර්මාණ මීට පෙර අපි කොතෙකුත් අත් විඳ ඇත. නමුදු අපි එක් වරක් නොව කිහිප වාරයක් කියවා ඇති අනුභූතියක් වුව ද කවියා එය ඉදිරිපත් කරන ස්වරූපය නැවුම් ය; සිත් ගන්නාසුලු ය; හද සසල කරනාසුලු ය; හෘද සංවේදිතාව ඇතිකරවනසුලු ය. කෘතියේ අන්තර්ගත එක නිර්මාණයක් හෝ අත් නොහැර රසවිඳීමට හැකි වූයේ එබැවිනි.

 

poets

රුවන් බන්දුජීව - නාගොල්ලාගම ධර්මසිරි බෙනඩික් - අනුසාර මාහිංගොඩ - මහින්ද ප්‍රසාද්


කවියා බොහෝ විට භාවිත කර ඇති භාෂා රටාව ද සරල ය; සුගම ය. ඇතැම් කවියක දෙකක තරමක් ගැඹුරු භාෂා භාවිතයක් දක්නට තිබේ. ඇතැම් නිර්මාණයක් දෙකක් කියවන විට, රස විඳින විට රුවන් බන්දුජීව කවියා, නාගොල්ලාගම ධර්මසිරි බෙනඩික් කවියා, අනුසාර මාහිංගොඩ කවියා, මහින්ද ප්‍රසාද් මස්ඉඹල කවියා යනාදි කවියන්ගේ ඇතැම් නිර්මාණ නිසඟයෙන් ම සිහියට නැගේ.


අනුභූති වෙත අවධානය යොමු කරන්නේ නම්: මැදපෙරදිග සේවයට ගිය කාන්තාවන් පිළිබඳ, වන අලි ප්‍රහාර පිළිබඳ, ලිංගික ශ්‍රමික ප්‍රජාව පිළිබඳ, උපැවිදි වී විවාහ දිවියට පිවිස ඉක්බිති තම බිරිඳ ඝාතනය කල සැමියකු පිළිබඳ, සැමියාට යටහත් පහත් නොවූ බිරිඳක පිළිබඳව, අම්මා පිළිබඳව, ඇතකු පිළිබඳව, සන්නාලියන්ගේ ජීවන පවත පිළිබඳව, තම කුසින් උපන් බිලිඳා ගඩොල් පෝරණුවක් තුළට විසි කළ මවක් පිළිබඳව මෙන් ම කිසිදු පිරිමියෙකු කෙරෙහි පැහැදීමක් නොමැති කාන්තාවක පිළිබඳව යනාදි බොහෝ සමාජ, ආර්ථික සහ දේශපාලන අනුභූති සිය නිර්මාණ සඳහා උපස්තම්භක කරගෙන ඇත.


මා යට සඳහන් කළ පරිදි මේ අනුභූති සියල්ල ම උපස්තම්භක කරගත් නිර්මාණ මා ඇතුළු ඔබ බොහෝ දෙනෙක් කියවා, රස විඳ ඇත. ඇතැම් නිර්මාණ සිද්ධිවාචක ය. ඇතැම් නිර්මාණ හතරැස් කවියේ එන කවි කතන්දර බඳු ය. නමුදු ඒ සියලු අනුභූති ධනුෂ්ක කවියා පාඨක ප්‍රජාව ඉදිරියේ තබන්නේ වෙනස් ම හැඩයකිනි; භාෂා භාවිතයකිනි. ඔහුගේ බොහෝ නිර්මාණ සඳහා ගැමි වහර උපස්තම්භක කරගෙන ඇති බවක් ද දක්නට තිබේ. එසේ වුව ද අදාළ නිර්මාණය රස පූර්ණ ය.


කවියා සිය නිර්මාණ කුසලතාව උපස්තම්භක කරගනිමින්: ආගමේ නාමයෙන් සිදුකෙරෙන අකටයුතුකම්, චීවරධාරින්ගේ නොපනත්කම්,  දේශපාළුවන්ගේ නොපනත්කම් යනාදිය ද ඉතා රසවත් අන්දමින් කවියට නගා ඇති අතර නව්‍ය රූපක සහ සංකේත භාවිතයෙන් රචිත ශෘංගාර රසය පිරි නිර්මාණ ද මෙම කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගත ය. යට කී ආකාරයේ විවිධත්ව ද කාව්‍ය සංග්‍රහයේ රසභාව වර්ධනය වීමට හේතු පාදක වී තිබේ.


කවියා සිය නිර්මාණ බොහොමයක් නිසඳැස් හෙවත් නිදහස් ආරෙන් රචනා කර තිබෙන අතර ඇතැම් නිර්මාණ සඳැස් ආරෙන් ද රචනා කර ඇත. නිසඳැස් ආරෙන් රචනා කර ඇති නිර්මාණවල වුව ද රිද්මයානුකූල භාවය සහ ධ්වනි රසය නොඅඩුව පවතී. විරිත පිළිබඳ සැලකිලිමත්වන කාව්‍ය රචක රචකාවන්ට නම් මෙය අසවල් විරිතට, අසවල් විරිතට අයත් යැයි නාමකරණය කළ හැකි ය. මන්ද එක් එක් කවියක පවතින ධ්වනිතාර්ථ එකිනෙකට වෙනස්කම් පවතී; රිද්මයානුකූල භාවය ද එකිනෙකට වෙනස් ය.

 


මෙවන් කාව්‍ය සංග්‍රහයක් පිළිබඳව පූර්ණ විමංසනයක නියැළෙන්නේ නම් නිර්මාණ 44 පිළිබඳව ම විමංසනයක නියැළිය යුතු ය; කවියෙන් කවිය මතු නොව පදයෙන් පදය විසංයෝජනය කර ඉදිරිපත් කළ යුතු ය. සරලව ම පවසන්නේ නම් ‘‘එම්බාම් විමලේ’’ පිළිබඳ වූ කෘතියක් රචනා කළ හැකි ය.

 

නමුදු මෙබඳු ලිපියක් ඊට ඉඩ-කඩ නොසපය යි. එබැවින් මා විඳි නිර්මාණ කිහිපයක් පිළිබඳව මගේ කියවීම හෙවත් විඳීම ඉතා කෙටියෙන් හෝ සටහන් කළ යුතු ය. මතු දැක්වෙන්නේ එම කියවීම යි; විමංසනය යි; විඳීම යි.  


මෙම නිර්මාණය නම් කර තිබෙන්නේ ‘‘පැසසුම’’ යනුවෙනි. නිර්මාණය ඉදිරිපත් කරන්නේ කථකයෙක් ද කථකාවක් ද යන්න අවිනිශ්චිත වුව ද මෙම නිර්මාණය පෙම්වතා හැර ගිය පෙම්වතිය වෙනුවෙන් හෝ පෙම්වතිය හැර ගිය පෙම්වතා වෙනුවෙන් පෙම්වතියක හෝ පෙම්වතෙකු විසින් කරනු ලබන පැසසුමක් බව පැහැදිලි ය.


Amaradeva1මෙම නිර්මාණය රස විඳ අවසන් වූ සැණින් මට සිහිපත් වූයේ: ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ රචනයක් වන, පණ්ඩිත් අමරදේව විසින් සංගීත සංයෝජනය කරමින් ගායනා කරන ලද ‘‘ජගන් මෝහිනී’’ ගීතය පිළිබඳ පණ්ඩිත් අමරදේව කළ ප්‍රකාශයකි.

 

ඔහු පැවසුවේ සරස්වතී අභින්දන ගීතයකට අවැසි සියලු ලක්ෂණ මෙම ගීය තුළ අන්තර්ගතව ඇති බැවින් යළි කිසිදු පුද්ගලයෙකුට මෙම ගීතය අභිභවා සරස්වතී ගීයක් රචනා කළ නොහැකි බවයි.


මගේ කියවීමට අනුව ‘‘පැසසුම’’ කාව්‍ය නිර්මාණය  ද එකිනෙකාගෙන් වෙන්වූ පෙම්වතියක පෙම්වතකුට හෝ පෙම්වතා පෙම්වතියකට හෝ කරන පැසසුමකට මෙන් ම විවේචනයකට අදාළ සියලු අංගවලින් සපිරි කාව්‍ය නිර්මාණයකි. අදාළ අනුභූතිය පාදක කරගනිමින් මෙබඳු කාව්‍යයක් නිර්මාණය කිරීම ද එක්තරා අන්දමක අභියෝගයක් යැයි සිතේ.    


නිර්මාණය තරමක් දීර්ඝ වුව ද එහි වටිනාකම වඩාත් උද්දීපනය කිරීමට නම් එය කියවිය යුතුම ය. දැන් පළමුව අදාළ නිර්මාණය රස විඳිමු.

 


නෙතු කඳුළු මුව සිනා
හදෙහී තිගැස්මත් නුඹයි
උණුසුමත් නුඹයි
උණුසුම නැසූ සීතලත් නුඹයි
සීතලත් උණුසුමත් අතරේ
සමකයත් නුඹයි
මානයක් තෙරක් නොදකින ක්ෂිතිජයත් නුඹම මයි


වී කරල් නැවි නැවී හිනහෙන
කිරි වැදුන කෙතයි
ගිම් විඩා නිවා සැනසූ
තුරු වදුලකට සමයි
රැය දහවලක් කරපු
කිරිවන් එළිය දුන් සදයි
හිත සැකැස්මෙන් *නැනූ සුන්දර තරවටුව නුඹයි


වාරකන් හා වෙරළ රිදවූ
සැඩ රළත් නුඹයි
මුදු හාදු දී යලිදු සැනසූ
දළ රළත් නුඹයි
පෑ වසත් සුව නියං සායෙත්
පුදුමයත් නුඹයි
ස්වර මාත්‍රා සුසැදි අභිමන් ගීතයත් නුඹයි


පාලුවත් මර මරා ළඟ හුන්
මී විතත් නුඹයි
රෑ තුදුස් තුන් පැයම හැඩ කළ
හීනයත් නුඹයි
මායිමක් කොනක් නැති
සංහිඳියාවෙ කෙම් බිමයි
මේ කවිය කවි කමට මට මා ළං කළේ නුඹයි


*නැනූ යනුවෙන් සඳහන් වී තිබෙන වදන ‘‘තැනූ’’ විය යුතු යැයි සිතේ. එය සෝදුපත් කියවීමේ දී සිදුවූ අතපසුවීමක් විය හැකි ය.


සමස්ත නිර්මාණය පුරා ම දක්නට ලැබෙන්නේ: අනෙකා වර්ණනා කළ හැකි, මඳ පමණින් හෝ විවේචනය කළ හැකි, අදාළ පුද්ගලයා පිළිබඳ කථකයාගේ හෝ කථකාවගේ හෘදභ්‍යන්තරයේ පවත්නා ගරුත්වය අනෙකා වෙතින් තමා ලද සුඛ දුක්ඛ යනාදි සියලු ලක්ෂණ ප්‍රකට කළ හැකි සංකේත පද්ධතියකි; රූපක පද්ධතියකි.


මෙහි දී කවියා සිය නිර්මාණය සඳහා උපස්තම්භක කරගන්නා කාව්‍යලංකාර සියල්ල ද ඉතා සරල සහ සුගම ය. නමුදු ඒ සියලු කාව්‍යලංකරණ නිර්මාණය අලංකාර කිරීම සඳහා උපස්තම්භක කරගෙන ඇත්තේ ස්ත්‍රියක හැඩ ගැන්වීම සඳහා පැලඳි නෙක නෙක ආභරණ ලෙසිනි. එබඳු ආකාරයෙන් සැරසී ගත් කතක දෙස කිසිවකු නෙත් යොමන විට (වෙසෙසින් ම පුරුෂ පාර්ශ්වය) ඍජුව ම එම කත දෙස නෙත් යොමු නොකර ඇය පැලඳි අභරණ වෙත අවධානය යොමු කරන්නේ කෙලෙස ද, කවිය කියවන, විඳින පාඨකයා හෝ පාඨකාව ද ඍජුව ම කවිය කියවීම හෝ රසවිඳීම වෙනුවට පළමුව අවධානය යොමු කරන්නේ කාව්‍යාලංකරණ වෙත ය. සමස්ත කවිය කෙරෙහි අවධානය යොමු වන්නේ ඉනික්බිතිව ය. මෙය පාඨකයා හෝ පාඨකාව සිතා මතා නොකරන, ස්වයංව ම සිදුවන ක්‍රියාදාමයකි. ඒ අන් කිසිදු හේතුවක් නිසා නොව කවියා අදාළ නිර්මාණය අලංකරණය කිරීම සඳහා උපස්තම්භක කරගන්නා කාව්‍යලංකරණවල ප්‍රබලත්වය යි; කවියාගේ කවිතාව යි.


මී ළඟට මා තෝරාගත්තේ සඳැස් ආරෙන් රචිත නිර්මාණයකි. ‘‘පැතුමක්’’ යන මැයෙන් නම් කර ඇති මෙම නිර්මාණය සිද්ධිවාචක කාව්‍යයකි; මීට පෙර මා කියවා ඇති අනුභූතියකි. එමතු නොව මෙම අනුභූතිය පාදක කරගනිමින් රචිත නිර්මාණ ඔබ ද කියවා ඇතිවාට සැක නැත. නමුදු මගේ විඳීමට අනුව නම් සඳැස් ආරෙන් වුව කවියා මෙය ඉදිරිපත් කරන ආකාරය නැවුම් ය; හෘද සංවේදී ය.


මැටි ගඩොල් පුච්චාපු පණ අදින                         පෝරණේ
කිරි සුවඳ දවනකොට ගින්දරත්                           හැඬුවණේ
කිරි කවඩි කඩමාළු වල ඔතපු                             කාරණේ
දැකගන්න දෙයියො නෑ යක්කු පෑවා                   සෙනේ


අතුරෙ අත් වාරුවයි විරසෙකෙයි                        පෑහිලා
තාත්තා පිංතූරයක හිඳී                                        හිරවෙලා
නීල කාසෙන් වැහුණ ඇස් කුහර                         හූරලා
කඳුලු ඉස කැකුළු රැකි ආත්තම්මත්                     මළා


කාන්තාරෙට උඩින් නුඹ ළඟට                           ඉගිලිලා
එන්නෙ කෝමෙයි දෑත් ලෙඩ ඇඳක                   පැටලිලා
වකුටු අත පය සමග එකම තැන              වැතිරිලා
බිත්තියේ හූනන්ට මල්ලි ඔච්චම්             කළා


ආබියෙ හිරගෙවල් වල කවුළු                             නැතිද
හීනයෙන්වත් නේන්නේ අම්මෙ                         බයද
සරාගික කිඹුලන්ට පදම් කළ                              මැටිද
රස මසක් අච්චුවට සින්නවුනු                             මමද


අරා දුක් ගිනි කන්ද නිංගිරා                                 නොතකාපු
නුරා මඩ ගොහොරුවේ පොඟ පොඟා                හෝදාපු
දිරා ගිය අතු පැලේ වරා මල ගිනි                        කාපු
දුවෙක් වෙමි මවක් වුණ පියවරුන්                      කෙලෙසාපු


ලෝකයෙන් වෙන් වෙච්ච පවුකාර කම              නිසා
තනි කමට හූනියන් යක්කු වැටුනා                      තොසා
පවුකාර ලෝකයෙන් නුඹව රහසේ                     වසා
වදා ගින්නේ ලෑවෙ අවීචිය මේ                           නිසා


නිවි නිවී දැල්වෙනා පෝරණේ ගිනි                    කඳට
මුහුන් වුන කිරි සුවඳ කැකෑරෙන හිනි                  ගඳට
විසක් වී පවුකාර උන් ගන්න                              හුස්මකට
විකල් ලෝකය නසන් විණ කටින බැරි               කමට


අත්‍යවශ්‍ය අවස්ථාවක දී හෝ ගබ්සාව නීති ගත කළ යුතුව තිබිය දී ඒ පිළිබඳ අවධානය යොමු නොකරන, යොමු කළ ද ඊනියා සදාචාරවාදින්ගේ බලහත්කාරයට නතු කරන, බුදුන්ගේ දේශයේ වෙසන ඇතැම් කාන්තාවෝ මෙම තත්ත්වයට මුහුණ පාති. සමස්ත නිර්මාණය එක මිටට ගත් විට මෙය කෙතරම් ඛේද ජනක තත්ත්වයක් ද යන්න වෙසෙසින් පැහැදිලි කර දිය යුතු නැත. අදාළ අනුභූතිය කවියට නගන කවියා සාමාන්‍ය කවි රසික රසිකාවන්ට වුව ද වටහාගත ආකාරයෙන් මෙම නිර්මාණය ඉදිරිපත් කර ඇත. එබැවින් මෙහි පදයෙන් පදය ගෙන විසංයෝජනය කිරීමට අනවැසි යැයි මම අදහස් කරමි. නමුදු මේ කවිය කියවූ ඕනැම කාව්‍ය රසික රසිකාවක දැඩි හෘද සංවේදී භාවයකට පත් වන බව සක් සුදක් සේ පැහැදිලි ය. ඒ, අනුභූතියේ ප්‍රබලත්වය මතු නොව කවියා සිය කවිත්වය උපස්තම්භක කරගනිමින් එය පාඨක ප්‍රජාව වෙත ඉදිරිපත් කර ඇති ආකාරය හේතුවෙනි. මෙම අනුභූතියට අදාළ සිද්ධිය එක් පසෙකින් දේශපාලන ඛේදවාචකයකි. අනෙක් පසින් සමාජ ඛේදවාචකයකි. ඒ සියලු පවු කරගැසීමට සිදුව ඇත්තේ කාන්තාවට වීම ඊටත් වඩා බරපතළ ඛේදවාචකයකි.


පුරුෂයකුගේ හෝ කාන්තාවකගේ මුවෙන් නික්මෙන ඇතැම් වදන් වැලක් සහිත වාක්‍යයක් හෝ ප්‍රකාශයක් අවස්ථා කිහිපයක දී අරුත් කිහිපයක් දනවන බව අපි කිසිවෙකුට සැණෙකින් නොවැටහේ. නමුදු එය එසේ සිදුවන අවස්ථා පවතී. ‘‘එම්බාම් විමලේ’’ කෘතියේ අන්තර්ගත ‘‘රත්තරං දැන් ඇති’’ යන මැයෙන් වූ කාව්‍ය නිර්මාණය යට කී දෑ ඉතා මැනවින් ප්‍රකට කෙරෙන නිර්මාණයකි.


මෙම නිර්මාණය: හෘද සංවේදී ය; නිර්මාණය රස විඳ අවසන් වනවාත් සමග ම එය කියවූ පාඨකයා හෝ පාඨකාව තිගැස්සෙනසුලු ය; ‘දෙවියනේ...! මෙහෙම දේවල් සිද්ධ වෙනවද...?’යැයි සිතෙනවා නොඅනුමාන ය. සැබැවින් ම එබඳු සිදුවීම් සිදු වී තිබිය හැකි ය; අනාගතයේ ද සිදුවිය හැකි ය.


නිර්මාණය ඉතා දිගු ය. එසේ වුව ද සමස්ත නිර්මාණය ම නොලියන්නේ නම් මගේ විඳීම නිසියාකාරයෙන් ඉදිරිපත් කළ නොහැකි වනවා සේම මෙම ලිපිය කියවන පාඨක ප්‍රජාවට ද මගේ විඳීම දැනවිය නොහැකි බව සහතික ය. එබැවින්, දිගු වුව ද පළමුව නිර්මාණය රස විඳිමු.


උසාවිය නිහඬවෙනු
චූදිත රැගෙන එනු
දෑස් ගිනි බට මාණනු
වරද මොකමුත් අච්චු නියමයි
වරදකරු මිස වරද කොතැනද අදාලම නෑ


විත්තියේ ප්‍රකාශය:


සුවාමීනි එදා පොද වැස්සක්
බීල හිටියෙ ඉස්සරින්දා
පුරුදු නෑ පාරෙ වැඩ මට
කෙසුත් අඩු හිස පුපුරු ගැහුවා
මාසයක් ඇති සිවුරු හැරලා
කියන්නද මං ඉතුරු ටික
තීන්දුනෙ එල්ලන්ඩ එපා යලි හකුලන්ඩ


වයස එතකොට හයයි
දෙකේ පංතියේ ගමේ ඉස්කෝලේ
ඇට්ටරයි හොඳටෝම
අක්කටත් පැන්සලෙන් ඇන්නා
ග්‍රහයො හරි නිචයිලු
කොටු හතර පාළුයිලු
ගෙදරටම හොඳ නැතිලු
නැකැත් බලලා මහණ කෙරුවා
දොළොස් අවුරුද්දක් චීවරේ උන්නා
මගේ සිල් මහ එවුන් බින්දා මං රහස් රුක්කා


(චූදිත කඳුළු පිස හොටු සුරයි)


පන්සලේ තනියමයි
මට මංම විතරමයි
නිස්සාර වග නොතක
හැම එකම රැක්කා


රැක්ක ඔවු රැක්කා
බණට, පිරිතට, දනට, පාංසකූලෙට
අඩු නොකොට නමක්වත් යුතුකම් කළා සුවාමීනි
උපසම්පදාව පෙනි පෙනී


බණ මඩුව ඉදිකළා
අම්ම එතකොට මළා
මළගමට අඩු නැතුව මුළු ගමම ආවා
දුකට මට ඇඬුණා


මං අඬනු දැකලා රූපිකත් ඉකි ගගහ ඇඬුවා
පොඩි සාදු ඉවසන්න මං ඉන්නවා ළඟම
‘රත්තරං දැං ඇතී’ කිව්වා


(චූදිත වහලෙ දෙස බලා හිස අතගායි)


ගිනි කඳක් සියොලඟෙහි බුර බුරා ඇවිලී
පපුව මෝලක් වාගෙ ගැහුනා
තුන්මසක් ඇවෑමෙන් වස්සාන කාලෝ
පන්සලේ බණ මඩුවෙ තිත්ත පට්ටපල් රෑ
මම නැතුව බෑ කියල ඇඬුවා
නොලැබුනොත් වහ කනව කිව්වා


හෙණ ගහපු මහ වැස්සෙ
සර්පයෙක් හා සටනෙ
පැරදුනා සිවුර බිම වැටුණා...
‘රත්තරං දැං ඇතී’ ඇහුණා
ඒ වැටුන චීවරේ මං ආයෙ ඇන්දෙ නෑ
එළි බැස්ස වැස්සේම මහ රෑ
‘රත්තරං දැං ඇතී’
ඇහුණේම එපමණයි
යනතක් නැතුව මඟට වැදුනා


එකම එක හීනයයි රූපිකා විතරමයි
ඒ හීනෙ හරි හැඩට තිබුණා
පාරෙ වැඩ කරනකොට
ඈ තවත් අයෙක් හා
යනු පෙනී ඉර කඩා වැටුණා


තාර ලිප පහුකරන් ඇය වෙතට ලංවෙද්දි
මගෙ අතේ උදැල්ලත් තිබුණා
රූපිකා මම කිව්ව, හීරළුව මට කීව
අම්මපල් වෙසමුණිය වැහුණා
උස්සාපු උදලු කඳබිම තියන්නත් කලින්
රූපිකා බිම ඇදන් වැටුණා
ගැහි ගැහී ආයෙමත් සුවාමීනි
‘‘රත්තරං දැං ඇතී’’ කිව්වා


මා මෙම නිර්මාණය ද පදයෙන් පදය ගෙන විසංයෝජනය කිරීමට අදහස් නොකරන්නේ ය. මන්ද මෙම නිර්මාණය බොහෝ කාව්‍ය පාඨක පාඨකාවන් හට වටහා ගැනීම එතරම් අපහසු නොවන බැවිනි. එසේ වුව ද මෙම නිර්මාණය කියවා විඳින ඔබට මේ පිළිබඳව විවිධ මත පැවසිය හැකි ය. ‘වැරැද්ද අසවලාගේ නොව අසවලාගේ ය’ යනුවෙන් වාද විවාද ද කළ හැකි ය. නිර්මාණයට පාදක වන අනුභූතිය තුළ සැඟව පවත්නා, බුද්ධ පුත්‍රයන්ගේ නොමනා කටයුතු පිළිබඳව ද අදහස් දැක්විය හැකි ය. මිථ්‍යා විශ්වාස හිසින් දරාගෙන සිටින සමාජය මීට වගවිය යුතු යැයි ද පැවසිය හැකි ය. ඒ සියල්ල සත්‍ය ද විය හැකි ය. නමුදු මෙම නිර්මාණය කියවා, විඳි මට හැඟුණේ එක් වදන් වැලකින්, පදයකින් හෝ වාක්‍යකින් මිනිස් ජීවිතය තුළ සිදුවූ, සිදුවෙමින් පවතින හෝ සිදුවිය හැකි බොහෝ දෑ අරුත් ගැන්විය හැකි බවයි. කවියා ද මෙම අදහස මැනවින් වටහාගෙන ම අදාළ වදන් ත්‍රිත්වය යොදා ඇති බව සක් සුදක් සේ පැහැදිලි ය. මන්ද ඔහු එම වදන් ත්‍රිත්වය යොදා ඇති හැම අවස්ථාවක ම අදාළ වදන් ත්‍රිත්වය තනි උඩු කොමා තුළ බහා තිබීම ය; නිර්මාණය අවසන එම වදන් ත්‍රිත්වය ම යුගල උඩු කොමා තුළ බහා තිබීම ය. කාව්‍ය නිර්මාණය තුළ අන්තර්ගත ‘රත්තරං දැං ඇතී’ නමැති වදන් ත්‍රිත්වය තුළින් ඒ ඒ අවස්ථාව පිළිබඳ සිතුවම් කිහිපයක් ම පාඨක ප්‍රජාවගේ මනසේ සිත්තම් කරන්නට කවියා සමත්ව ඇත. මෙය කවියාගේ කවිත්වය මැනවින් ප්‍රකට කෙරෙන අවස්ථාවකි.


කවියා මෙම නිර්මාණය සඳහා සරල, සුගම භාෂා විලාසයක් භාවිත කර තිබුණ ද ඇතැම් ස්ථානවල දි එම සරලත්වය ඉක්මවන්නට බෙහෙවින් ඉඩ-කඩ පැවත තිබිණ. තව දුරටත් නිර්මාණය පිළිබඳ අවධානය යොමු කළේ නම් ඇතැම් සරල ම සරල වදන් වෙනුවට ඊට වඩා සුදුසු වදන් යෙදිය හැකිව තිබිණ. මා මෙම විඳීම ප්‍රකාශ කරන්නේ සමස්සත නිර්මාණය ම එකට කැටිර දක්වමිනි.


එක කවියක් හෝ අත්හැර දැමිය නොහැකි (මගේ බින්න රුචිකත්වයට අනුව) මෙම කාව්‍ය සංග්‍රහය තුළ වුව ද විවිධ දොස් පවතී. පළමුවෙන් ම මෙම කාව්‍ය සංග්‍රහය සඳහා යොදා ඇති නාමය යි. එම නාමය දුටු සැණින් ද සිහිපත් වන්නේ නාගොල්ලාගොඩ බෙනඩික් ධර්මසිරි කවියා ඔහුගේ කාව්‍ය සංග්‍රහ සියල්ලට ම පාහේ යොදා ඇති මාතෘකා ය. මගේ පුද්ගලික අදහස නම් මෙම කාව්‍ය සංග්‍රහය නම් කළ යුතුව පැවතියේ ‘‘රත්තරං දැං ඇතී’’ යනුවෙනි. මන් ද මගේ කියවීම සහ විඳීමට අනුව මෙම නිර්මාණය මෙම කාව්‍ය සංග්‍රහයේ එන ප්‍රබල නිර්මාණයකි.


තවත් පසෙකින් ගත්විට ඇතැම් කවි එක් පදයකින් තවත් පදයක් වෙන් කිරීමේ දී දක්නට ඇති දුර්වලතාව යි. ‘‘රත්තරං දැං ඇතී’’ නිර්මාණයේ ද එම දුර්වලතාව පවතී. මේ ඊට නිදසුනකි.


‘‘නිස්සාර වග නොතක
හැම එකම රැක්කා


රැක්ක ඔවු රැක්කා’’


කෘතියේ දී කව් පද මෙසේ වෙන් කර ඇත. මගේ හැඟීම නම් මෙහි එන ‘‘රැක්ක ඔව් රැක්කා’’ යන වදන් ඇතුළත් පෙළ ද පෙර පද පෙළට ම එකතු විය යුතු ය යන්නය. අනතුරුව දක්නට ලැබෙන මෙම පද පේළි කිහිපය වෙත අවධානය යොමු කරමු.


‘‘රැක්ක ඔවු රැක්කා
බණට, පිරිතට, දනට, පාංසකූලෙට
අඩු නොකොට නමක්වත් යුතුකම් කළා සුවාමීනි
උපසම්පදාව පෙනි පෙනී


බණ මඩුව ඉදිකළා
අම්ම එතකොට මළා
මළගමට අඩු නැතුව මුළු ගමම ආවා
දුකට මට ඇඬුණා’’


මගේ කියවීමට අනුව නම් මෙහි එන ‘‘රැක්ක ඔවු රැක්කා’’ යන වදන් ත්‍රිත්වය සහිත පේළිය ඉහත කවියට එකතු කර ‘‘බණට, පිරිතට, දනට, පාංසකූලෙට’’ යන පද පේළියේ සිට එයින් පසු යෙදෙන ‘‘දුකට මට ඇඬුණා’’ යන පදය දක්වා පද එක් කවියකට ගොනු කළා නම් කවිය ඉතා පහසුවෙන් කියවා අරුත් ගන්වාගත හැකි ය.


මීට අමතරව ඇතැම් පද බෙදීම් ද සදොස් සහිත ය. සරල ම උදාහරණයක් ගෙන හැර දක්වන්නේ නම් ‘‘දෙයියම්ප මාස්ටර්’’ නමැති නිර්මාණයේ පළමු පදය කෘතියේ සටහන්ව ඇත්තේ ‘‘රේස් බයි තිප්පොල වල’’ ලෙසිනි. ‘‘තිප්පොල වල’’ යන්න වදන් දෙකක් නොව එකකි. ඒ අනුව එය ‘‘තිප්පොලවල’’ විය යුතු ය. අක්ෂර වින්‍යාස දෝෂ ද බහුල ය. ඒ සඳහා ද ‘‘තිප්පොල’’ යන වදන ගෙනහැර දැක්විය හැකි ය. අක්ෂර වින්‍යාස පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් මෙම වදන ‘‘තිප්පොල’’ නොව ‘‘තිප්පොළ’’ විය යුතු ය. සමස්ත කෘතිය පුරා ම මෙවන් සදොස් තැන් ඉතා බහුලව පවතී. ඉදිරි නිර්මාණකරණයක දී මෙම කරුණු කෙරෙහි ද අවධානය යොමු කරන්නේ නම් වඩාත් අගනේ ය.


(සියලු උපුටාගැනීම්වල පද බෙදීම්, අක්ෂර වින්‍යාස යනාදිය කෘතියේ සඳහන් පරිදි ම ය)


කළ යුත්තේ කුමක් ද...? - (ජයසිරි අලවත්ත)ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/10/16

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්