ප්‍රථම සිංහල නවකතාව කුමක්දැයි කිසිවකු කිසිවකුගෙන් විමසුව හොත් බහුතරයකගෙන් එක පැහැර ලැබෙන පිළිතුර වන්නේ සයිමන් සිල්වා විසින් රචිත ‘‘මීනා’’ නවකතාව යන්න ය.

snaනමුදු මහාචාර්ය ආරිය රාජකරුනා විසින් රචිත, ප්‍රථමයෙන් ම 1972 වසරේ ප්‍රකාශිත ‘‘සිංහල නවකතාවේ ආරම්භය’’ නමැති පර්යේෂණ ග්‍රන්ථය ඉහත පැනයට බහුතරයක් දෙනා විසින් සපයනු ලබන පිළිතුර නිශේධනය කර ඇත. ඒ, ප්‍රථම සිංහල නවකතාව යනු සයිමන් සිල්වා විසින් රචිත ‘‘මීනා’’ නොව අයිසෙක් ද සිල්වා විසින් රචිත ‘‘වාසනාවන්ත සහ කාලකණ්ණි පවුල්’’ නමැති ප්‍රබන්ධය (මෙය ‘‘වාසනාවන්ත පවුල සහ කාලකණ්ණි පවුල යනුවෙන් ද විවිධ පොතපත්වල සඳහන් ය) යන්න ය.

 
‘‘වාසනාවන්ත සහ කාලකණ්ණි පවුල්’’ සහ ‘‘මීනා’
 
 
novella
 
 
දැන් අප අවධානය යොමු කළ යුතු වන්නේ මෙම ප්‍රකාශ දෙකෙහි ඇති පරස්පරතාව දෙසට ය. අයිසෙක් සිල්වා විසින් රචිත ‘‘වාසනාවන්ත සහ කාලකණ්ණි පවුල්’’ ප්‍රබන්ධය පාඨක ප්‍රජාව අතරට එන්නේ ‘‘රුවන් මල් දම’’ නමැති පුවත්පත තුළිණි ඒ, 1866 වසරේ දී ය. එම ප්‍රබන්ධ කතාව 1883 දක්වා ම අදාළ සඟරාවේ පළවී තිබේ. අනතුරුව මෙම ප්‍රබන්ධය 1988 වසරේ දී කෘතියක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. එමෙන් ම පියදාස සිරිසේන විසින් රචිත, 1906 වසරේ කෘතියක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණ ‘‘ජයතිස්ස සහ රොසලින්’’ නමැති ප්‍රබන්ධය ද කෘතියක් ලෙස ප්‍රකාශයට පත්වීමට පෙර 1904 වසරේ දෙසැම්බර් මස සිට ‘‘සඳරැස’’ පුවත්පතේ කොටස් වශයෙන් පළ වී තිබේ. සයිමන් සිල්වා විසින් රචිත ‘‘මීනා’’ කෘතිය ප්‍රකාශයට පත් කෙරෙන්නේ 1905 වසරේ දී වුව ද ඊට පෙර ‘‘සිංහල නවකතා’’ දෙකක් රචනා කර ඇති බව මෙයි පැහැදිලි කෙරේ.  නමුදු මෙහි විශේෂත්වය වන්නේ ‘‘නවකතා’’ හෙවත් ‘‘novel’’ යන නිර්නායකය යටතට ගත හැකි කෘතියක් ලෙස ‘‘මීනා’’ කෘතිය හැඳින්වීම ය. නමුදු එය ශ්‍රී ලංකාවේ පළමු නවකතාව’’ ලෙස හැඳින්වීම නිවැරැදි නොවන බව මහාචාර්ය ආරිය රාජකරුණා සඳහන් කරයි.
 
 
සිංහල නවකතාව පිළිබද ඉතිහාසය එසේ වුව ද මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ වන්නේ ප්‍රථම සිංහල නවකතාව කුමක් ද යන්න පිළිබඳ පවත්නා විවාදය පිළිබඳ පැහැදිලි කිරීම නොව ප්‍රථමයෙන් ම වාරණයට ලක් වූ සිංහල සාහිත්‍ය කෘතිය කුමක් ද යන මතය පිළිබඳව පවත්නා පරස්පරතාව පැහැදිලි කිරීම ය.


සිංහල කෘති වාරණ ඉතිහාසය


IMG 20230118 WA0000ප්‍රථම සිංහල නවකතාව කුමක් ද යන පැනය සහ ඊට විවිධ විද්වතුන් සපයා ඇති පිළිතුරු මෙන් ම මෙන් ම මෙම පැනය ද, ඊට සැපයිය හැකි පිළිතුර ද ඉතා වැදගත් ය. මෙම පැනය කිසිවකුගෙන් කිසිවකු විමසුවහොත් බහුතර පිරිසක් සපයන පිළිතුර වන්නේ: ටෙනිසන් පෙරේරා විසින් රචිත, 1967 වසරේ ප්‍රකාශිත ‘‘දැති රෝදෙන් උපන් බුදුන්’’ යන්න ය. එය වඩාත් ප්‍රචලිත වන්නේ අදාළ කෘතිය ශ්‍රී ලංකා රාජ්‍ය විසින් නීත්‍යනුකුලව ම තහනම් කරනු ලැබූ බැවිනි. නමුදු නීත්‍යනුකුලව ම තහනමට ලක්කිරීමට නොහැකි වුව ද ‘‘තහනම් කළයුතු යැයි’’ යෝජනා වූ, පාරලිමේන්තුවේ හැන්සාඩ් ගතවූ, තොග පිටින් පුළුස්සා දැමූ සිංහල සාහිත්‍ය කෘතියක් පවතී. ඒ 1960 වසරේ ප්‍රකාශයට පත් කළ, ගුණදාස අමරසේකර විසින් රචිත ‘‘යලි උපන්නෙමි’’ කෘතිය යි.

මෙම වාරණ ඉතිහාසය ඊටත් වඩා ඈතට දිවයන බව ද මෙහි දී සඳහන් කළ යුතු ය. ඒ, ගෝඨාභය නමැති රජතුමා ලංකා රාජ්‍ය පාලනය කරන සමයේ (ක්‍රි. ව. 249 - 262) දී ය. ඔහු රජ කරන සමයේ ‘‘වෛතුල්‍ය පිටකය’’ යන මැයෙන් කෘතියක් (පුස්කොළ පොතක්) නිකුත් කර ඇත. මෙය නිකුත් කර ඇත්තේ අභයගිරි පාර්ශ්වයෙනි. නමුත් එම කෘතිය සත්‍ය බුදු දහම නොවන බවට මහා විහාර පාර්ශ්වය විසින් ගෝඨාභය රජු වෙත පැමිණිලි කිරීමෙන් පසු මේ පිළිබඳව සොයා බැලීමට ‘කපිල’ නම් වූ ඇමතිවරයෙක් පත් කර ඇත. මොහු සර්ව ශාස්තෘවරයෙක් ලෙස හැඳින්වේ. අනතුරුව ගෝඨාභය රජතුමාගේ අණ පරිදි කපිල නමැති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්: ථූපාරාමය, මිරිසවැටිය, වෙස්සගිරිය, චේතියගිරිය සහ ඉස්සරසමණාරාමය යන පංච මහා විහාරවාසී නායක භික්ෂුන්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවා මෙහි ඇති තතු විමසා ඇත. එහි දී එම මහා මහාරවාසීවාසි භික්ෂුන්ගේ ඒකමතික තිරණය වී ඇත්තේ ‘‘වෛතුල්‍ය පිටකය’’ යනු සැබෑ බුදු දහම නොවන බවයි. ඒ අනුව ගෝඨාභය රජුගේ නියමයෙන් වෛතුල්‍ය පිටකයට අයත් සියලු ග්‍රන්ථ පුළුස්සා දමා ඇත. ඉන් නොනැවතුණු ගෝඨාභය එම ග්‍රන්ථයෙහි අන්තර්ගත ධර්මය ප්‍රචාරය කරන ලදැයි චොදනා ලද භික්ෂූහු හැටනමකගේ ශරීරවල හංවඩු ගසා  රටින් ද පිටුවහල් කර ඇත.


ප්‍රසිද්ධියේ ම සාහිත්‍ය කෘති පිළිස්සීම
 
 
yimg Yw2SWW 317x480

ගෝඨාභය රජුගේ අණින් මේ ආකාරයට ග්‍රන්ථ පුළුස්සා දැමීමෙන් ඉක්බිතිව සිංහල සාහිත්‍ය කෘතියක් ප්‍රසිද්ධියේ පිළිස්සුවේ නම් ඒ ගුණදාස අමරසේකර විසින් රචිත ‘‘යලි උපන්නෙමි’’ කෘතිය යි. එම කෘතියට කෙතරම් විරෝධයක් පැන නැගුණේ ද යත් කේ. ඇම්. පී. රාජරත්න නමැති මන්ත්‍රිවරයා  පාරිලිමේන්තුව තුළ දී මෙම කෘතිය පුළුස්සා දමන්නට පවා අවසර ඉල්ලා ඇත. ඔහු එසේ ඉල්ලා ඇත්තේ ඒ වන විටත් ගාල්ල පුරහල භූමියේ දී ‘‘යලි උපන්නෙමි’’ කෘතියේ පිටපත් ගණනාවක් පුළුස්සා විනාශ කර තිබූ බැවිනි.

යළි උපන්නෙමි කෘතියේ පළමු මුද්‍රණය නිකුත් වන්නේ 1960 වසරේ මාර්තු මාසයේ දී ය. සැප්තැම්බර් මාසය වන විට එහි දෙවන මුද්‍රණය ද නිකුත් විය. පොතට විරුද්ධව පැන නැගි විරෝධය හේතුවෙන් 1960 වසරේ දෙසැම්බර් මාසයේ දී එවකට රහස් පොලිසියේ උසස් නිලධාරියෙක් වූ අම්බලවානර් ‘‘යලි උපන්නෙමි’’ කෘතියේ පිටපතක් එවකට අලුත් කඩේ අධිකරණයේ සේවයේ නියුතුව සිටි ඉන්ද්‍රපාල විරසිංහ නමැති තෝල්කවරයාට ලබා දී ඇත්තේ එම කෘතියේ අසභ්‍ය කරුණු තිබේ දැයි සොයා බලා එම කොටස් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර දෙන ලෙස ය. එහි දී අම්බලවානර් පවසා ඇත්තේ ඒ වන විටත් යළි උපන්නෙමි කෘතියට විරුද්ධව නඩු පැවරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බවයි.

කෘතිය බාරගත් ඉන්ද්‍රපාල විරසිංහ තෝල්කවරයා සතියක් ඉක්ම යන විට ‘‘යලි උපන්නෙමි’’ කෘතියේ අන්තර්ගත ‘‘අසභ්‍ය’’ යැයි හැඳින්වෙන තැන් ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය කර අම්බලවානර් අතට පත් කර ඇත. එහෙත් කාලයක් ඉකුත් වී ගිය ද ‘‘යලි උපන්නෙමි’’ කෘතියට එරෙහිව නඩුවක් ගොනු කර නොමැත. එම කටයුත්ත අදිසි හස්තයක් විසින් වළකාලනු ලැබ ඇති බව පසු කලෙක දී අම්බලවානර් ඉන්ද්‍රපාල විරසිංහ තෝල්කවරයාට පවසා ඇත.
 
 
4689728දකුණේ අන්තවාදින් විසින් ප්‍රසිද්ධියේ පුළුස්සනු ලැබුව ද, උත්තරිතර යැයි කියාගන්නා පාර්ලිමේන්තු සභා ගර්භයේ දී පුළුස්සන්නට සුදානම් වුව ද 1962 අගෝස්තු මස වන විට ‘‘යළි උපන්නෙමි’’ කෘතියේ තෙවන මුද්‍රණය ද ප්‍රකාශයට පත්කෙරිණ. කෙසේ වෙතත් අවසන සිදුවුයේ කෘතිය පිළිස්සුවාටත් වඩා ඛේද ජනක තත්ත්වයකි. එනම් ‘‘යලි උපන්නෙමි’’ කෘතිය රචනා කළ ගුණදාස අමරසේකර ම එම කෘතිය ‘‘අධම නවකතාවක්’’ ලෙස නම් කිරීම ය. මේ වන විට එම කෘතිය මුද්‍රණය නොකරන්නට පවා කතුවරයා තිරණය කර ඇත. ඔහු එසේ තිරණය කළ ද මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර පවා එම කෘතිය අගනා කෘතියක් ලෙස හඳුන්වා ඇත.


නිල වාරණය සහ නොනිල වාරණය


කෙසේ වෙතත් ‘‘යලි උපන්නෙමි’’ කෘතිය රාජ්‍ය තන්ත්‍රෙය් නිල වාරණයකට ලක් නොවිණ. ඒ සඳහා අදිසි හස්තයක් බල පා ඇති බව මෙහි කලින් සඳහන් කර ඇත. එසේ නොවන්නට මෙරට ප්‍රථමවරට තහනමට ලක්වු සාහිත්‍ය කෘතිය ලෙස ‘‘යලි උපන්නෙමි’’ කෘතිය ඉතිහාසයට එක්වනු ඇත. එසේ වුව ද මෙම කෘතිය දැඩි ලෙස නොනිල වාරණයට ලක්වූ පළමු සිංහල සාහිත්‍ය කෘතිය බව අවිවාදිත ය. නොනිල වුව ද එය වාරණයකි; පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට බඳුන් වී, එකී විරෝධතාව හැන්සාඩ් ගතවූ පළමු සාහිත්‍ය කෘතිය ලෙස සැලකිය හැකි ය.
 
 
 
දෙවන වරට තහනමට ලක්වන්නේ 1967 වසරේ දී ප්‍රකාශයට පත් වූ, ටෙනිසන් පෙරේරා විසින් රචිත දැති රෝදෙන් උපන් කෘතිය යි. එය රාජ්‍ය තන්ත්‍රය විසින් නිල වශයෙන් ම තහනම් කරනු ලැබු හෙයින් ‘‘යලි උපන්නෙමි’’ කෘතියට එරෙහිව පැන නැගි සියලු විරෝධතා සහ ඊට එරෙහිව සිදු කළ නොනිල වාරණය ද සිංහල සාහිත්‍ය වංශයෙන් මැකී යන තත්ත්වයට පත්විය. නමුදු සිංහල සාහිත්‍යයේ වාරණ ඉතිහාසය නිවැරැදිව කියවාගන්නේ නම්, ක්‍රි. ව. 249 – 262 අතර කාලයේ දී වාරණයට ලක්වූ ‘‘වෛතුල්‍ය පිටකය’’ කෘතියෙන් ඉක්බිති ශ්‍රී ලංකාවේ වාරණයට ලක්වු පළමු සාහිත්‍ය කෘතිය ගුණදාස අමරසේකර විසින් රචිත ‘‘යලි උපන්නෙමි’’ කෘතිය බව සක් සුදක් සේ පැහැදිලි ය.
 
 
මීට අමතරව නිල සහ නොනිල වාරණයට ලක්වු තවත් සිංහල සාහිත්‍ය කෘති කිහිපයක් ම පවතී. ඒ පිළිබඳ බහුතර පාඨක පිරිසක් දැනුවත් බැවින් අවශ්‍ය නම් පමණක් ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් යමක් ලිවිය හැකි ය.


සේවිත පොත් සහ ලේඛන
 
* සිංහල නවකතාවේ ආරම්භය: මහාචාර්ය ආරිය රාජකරුණා: ගොඩගේ ප්‍රකාශන
* සිංහල නවකතාවේ ආදිතමයෝ: තොම්සන් ඒ වැන්දබෝනා: සරසවි ප්‍රකාශන
* මැති සබය රත් කළ පොත් හතරක්: ඒ. ඩී. රංජිත් කුමාර: 2020/ඔක්තෝබර් 03/සිළුමිණ
* අසභ්‍ය සාහිත්‍ය සහ සංස්කෘතික පොලිසිය: ගුණදාස ලියනගේ
* වාරණ පුරාණය: රංජිත් කීර්ති තෙන්නකෝන්: සමන් ප්‍රකාශකයෝ
 

නීතිය බල්ලට ගිය රටක ජනතාවගේ නීතිය සාධාරණ ද...? - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2023/01/18


JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්