සෑම වසරකම ඔක්තෝබර් 18 වැනි දා ලෝක ආර්තවහරණ දිනය ලෙස නම්කර ඇත.

මෙහි අරමුණ වන්නේ ඒ ගැන දැනුවත්භාවය වැඩි කිරීම හා, එම තත්ත්වය අත්විඳින මිලියන සංඛ්‍යාත කාන්තාවන් වටා ඇතිවී තිබෙන අපකීර්තිය බිඳ දැමීම යි.

කාන්තාවන් දැන් වැඩි කලක් ජීවත්වන නිසා, ගෝලීයව, පශ්චාත්-ආර්තවහරණ අවධියේ පසුවන කාන්තාවන්ගේ ජනගහනය ඉහළගොස් තිබේ.

2021 දී, ලොව පුරා කාන්තාවන් හා ගැහැණු ළමුන්ගෙන් 26%ක් සැදුම් ගත්තේ වයස අවු. 50 හෝ ඊට වැඩි කාන්තාවන්ගෙනි. එක්සත් ජාතීන්ගේ දත්තවලට අනුව, මෙය මින් වසර 10කට පෙර පැවති 22% සිට වැඩිවීමකි.

ආර්තවහරණය කාන්තාවකගේ දිවියේ සාමාන්‍ය අවධියක්වුව ද, එය බොහෝවිට වැරදි වැටහීම්වලට බඳුන්වන දෙයකි.

ආර්තවහරණය පිළිබඳ මිත්‍යා මත ලොව පුරා පවතියි. ඒ හා සබැඳි සුලබ වැරදි වැටහීම් හතක් සහ ඒවා පිළිබඳ සත්‍යය මෙන්න:

1- සියලුම කාන්තාවන්ට ආර්තවහරණය එක හා සමාන වේ

කාන්තාවක අත්දකින හෝමෝනමය වෙනස්කම්, සමාජ-සංස්කෘතික, ජීවවිද්‍යාත්මක හා ජීවන රටාව සමග සබැඳි කරුණු මත රඳා පවතියි. මේ වෙනස්කම්හි වර්ගය සහ එය සිදුවන වේලාව එක් එක් පුද්ගලයා සහ ඔවුන්ගේ ජීවන රටාව අනුව වෙනස්විය හැකි ය.

2- ආර්තවහරණය සිදුවන්නේ වයස පනස් ගණන්වල දී ය.

ආර්තවහරණය සිදුවන සාමාන්‍ය වයස අවුරුදු 51ක් වන නමුදු, විවිධ කලාපයන් සහ ජනවාර්ගික කණ්ඩායම් මත පදනම්ව මෙය වයස අවුරුදු 40ත් 60ත් අතර ඕනෑම සමයක දී ආරම්භ විය හැකි ය.

3- ආර්තවහරණයේ දී බර වැඩිවීම නොවැළැක්විය හැකි ය.

ආර්තවහරණයේ බලපෑම් සිදුවූවත්, නොවූවත්, පුද්ගලයෙකු වයස්ගතවීමත් සමග ශරීරයේ පරිවෘත්තිය මන්දගාමී වෙයි. වෛද්‍යවරුන්, සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වාගැනීම සඳහා නිතිපතා ව්‍යායාම කිරීමත්, සමබල ආහාරවේලක් ගැනීමත් නිර්දේශ කරයි.

4- උඩුකයට උණ ගැනුණු විට මෙන් උණුසුම්බව දැනීම ආර්තවහරණයේ සුලබ හෝ එකම රෝග ලක්ෂණය යි.

උණ ගැනුණු විට මෙන් උණුසුම්බවක් උඩුකයට දැනීම තරමක් පොදු ලක්ෂණයක් නමුත්, මෙය සියලුම කාන්තාවන්ට බලපාන්නක් නොවේ. ආර්තවහරණයේ පළමු වසර දෙක තුළ එය වැඩි වැඩියෙන් සිදුවන අතර, සාමාන්‍යයෙන් ආර්තවහරණයට ලක්වූ කාන්තාවන්ගෙන් 60%කට වසර හතකට පසු මෙය නොදැනී යයි.

5- ආර්තවහරණය ඔබේ ලිංගික ආශාව නැතිකර දමයි.

ලිංගික ආශාව සඳහා යෝනි මාර්ගයේ වියළිබව, අඩු ලිංගික ආශාව සහ විෂාදය දායකවිය හැකි ය. කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවා සපයන්නෙකුගේ ද, සහයෝගීමත් සහකරුගේ ද සහාය ඇතිව කාන්තාවකට තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කළ හැකි ය.

6- ආර්තවහරණය විසින් විෂාදය, කාංසාව සහ නිතර සිදුවන මනෝභාවයේ වෙනස්කම් ඇතිකෙරෙයි.

ආර්තවහරණය විසින් විෂාදය ඇති නොකරන නමුත්, ආර්තවහරණයට ලක්වන කාන්තාවන් අතර සුලබ නින්ද පිළිබඳ ආබාධ, කයට උණුසුම් ගතියක් දැනීම ආදිය ඔවුන් තුළ නොරිස්සුම්සහගත ස්වභාවයක් හා නිතර හැඟීම්බර ස්වභාවයක් ඇතිවීමට දායක විය හැකි ය.

7- හෝමෝන චිකිත්සාවේ බොහෝ සෞඛ්‍යමය අවදානම් තිබේ.

හෝමෝන භාවිතා කිරීම නිසා පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ යා හැකිවුව ද, එය හෘදරෝග ඇතිවීමේ අවදානම අඩුකරයි. කයට මධ්‍යස්ථ හෝ දැඩි උණුසුම් ගතියක් දැනෙන, වයස අවුරුදු 60ට අඩු නිරෝගී කාන්තාවන් සම්බන්ධයෙන් ගත්කල, මෙහි අවදානමට සාපේක්ෂව ප්‍රතිලාභ ඉහළ විය හැකිබව අධ්‍යයනවලින් පෙනීයයි.

ar 3
ආර්තවහරණය යනු කුමක් ද?

ඔසප්වන කාන්තාවක වයස්ගතවීමේ දී ලිංග හෝමෝනවල සිදුවන වෙනස්කම් නිසා ආර්තවහරණය ඇතිවෙයි. ඩිම්බ කෝෂ විසින් මසකට වරක් ඩිම්බයක් නිකුත් කිරීම නවතා දමන අතර ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම පහත වැටෙයි. ආර්තවහරණය සාමාන්‍යයෙන් සිදුවන්නේ වයස අවු. 45 - 55 අතර ය. නමුත් ඇතැමුන්ට එය මීට පෙර ද සිදුවිය හැකි ය.

වෙනත් ජීවවිද්‍යාත්මක හෝ ශාරීරික හේතුවකට බැර කළ නොහැකි වන ලෙස අඛණ්ඩව මාස 12ක් ඔසප්වීමෙන් තොරවීම සාමාන්‍යයෙන් ආර්තවහරණය සලකුණු කරයි. එය කාන්තාවකගේ සරු හා ප්‍රජනක වසරවල අවසානය සනිටුහන් කරයි.

නමුත් ආර්තවහරණය එක රැයකින් සිදුවන්නක් නොවේ. මෙම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් ක්‍රම ක්‍රමයෙන් සිදුවන, සාමාන්‍යයෙන් වසර හතක කාලයක් පුරා පවතින සංක්‍රාන්ති සමයක් ද සමග සිදුවන්නකි. කෙසේ වෙතත්, ඇතැම් කාන්තාවන්ට එය අවුරුදු 14 දක්වා දිගුවිය හැකි ය.

ආර්තවහරණය මූලික අදියර තුනක් යටතේ සිදුවෙයි:

පළමුව පැමිණෙන පූර්ව-ආර්තවහරණ අවධිය බොහෝ කාන්තාවන්ට ඔවුන්ගේ වයස අවු. 30 ගණන්වල අගභාගයේ දී හා 40 ගණන්වල මුල්භාගයේ දී බලපෑම් කරයි. මේ වකවානුව අතරතුර මෙම කාන්තාවන්ගේ ඔසප් චක්‍රය සාමාන්‍ය පරිදි සිදුවුව ද, ඔවුන්ගේ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් මට්ටම් වෙනස්වීම ඇරඹිය හැකි ය.

දෙවනුව පැමිණෙන පරි-ආර්තවහරණ අවධිය කාන්තාවකගේ දිවියේ සරුභාවය අවසන්වීම පෙන්නුම් කරන අතර, ඊස්ට්‍රජන් මට්ටම සැලකිය යුතු අන්දමින් පහළ වැටෙයි. මේ අවධියේ දී ඔසප් චක්‍රය අක්‍රමවත් වන අතර, කාන්තාවන් ඉඳහිට ඔසප් සිදු නොවීම, කෙටි ඔසප් චක්‍රයන් හා දිගු ඔසප් චක්‍රයන් ඇතිවීම අත්විඳිය හැකි ය. එසේම මේ කාන්තාවන් උඩුකයට දැනෙන උණුසුම්බව, කාංසාව හා අනිද්‍රාවෙන් පීඩා විඳිය හැකි ය.

අවසානයට පශ්චාත්-ආර්තවහරණ අවධිය - එනම්, කාන්තාවකගේ ඔසප්වීම අඛණ්ඩව මාස 12ක් සිදුනොවී තිබි සමය - පැමිණෙයි. මේ අවධියේ දී, පරි-ආර්තවහරණ අවධියේ මතුවූ රෝග ලක්ෂණ රැසක් ක්‍රමයෙන් අඩුවී යයි.

ar 43
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ආර්තවහරණය විවිධ රෝග ලක්ෂණ 48ක් දක්වා සංඛ්‍යාවක් පෙන්වයි.

මෙහි සුලබ රෝග ලක්ෂණවලට මේවා ඇතුළත් ය:

* උඩුකයට දැනෙන උණුසුම් ස්වභාවය හා නින්දේ දී අධික ලෙස දහදිය දැමීම

* ඔසප් චක්‍රයේ ක්‍රමවත්භාවයේ සහ රුධිරය පිටවීමේ වෙනස්වීම් ඇතිවීම හා අවසානයේ දී ඔසප් අවසන්වීම

* යෝනියේ වියළිබව, ලිංගික සංසර්ගයේ දී වේදනාවක් ඇතිවීම හා පාලනයකින් තොරව මුත්‍රා පහවීම

* නින්දට යෑමේ අපහසුව හෝ අනිද්‍රාව

* සිතේ ස්වභාවය වෙනස්වීම, විෂාදය, සහ/හෝ කාංසාව

* ශ්‍රෝණි ආධාරක ව්‍යුහයන් දුර්වලවීම නිසා ශ්‍රෝණි ඉන්ද්‍රිය පහතට පැමිණීමේ අවදානම වැඩිවීම

* අස්ථි ඝනත්වය අහිමිවීම නිසා ඔස්ටියෝපොරෝසිස් සහ අස්ථි බිඳීම් වැඩිවීමට හැකි ය

* කාන්තාවන් බොහෝවිට අවධානය යොමු කිරීමේ අපහසුව සහ මතකය අඩුවීම ගැන මෙන්ම සන්ධිවල වේදනාකාරීබව සහ වියළි සම ගැන සඳහන් කරයි


(BBC සිංහල සේවය)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්