වෛද්‍ය නිර්දේශවලින් තොරව ඖෂධ නිකුත් කරන ෆාමසිවලට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියි.


මේ වන විට පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ ජනතාවගෙන් බහුතරයක් වෛද්‍යවරුන් වෙත නොගොස් පෞද්ගලික ඔසුසල් හිමිකරුවන්ගෙන් විවිධ රෝග තත්ත්වයන්ට ඖෂධ ලබා ගැනීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇතැයි සංගමයේ සාමාජික වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පෙන්වා දෙයි .

ඇතැම් පෞද්ගලික ඔසුසල්වල නිසි සුදුසුකම් සපුරා නොමැති ඖෂධවේදීන් සිටින බැවින් ඔවුන් ලබා දෙන ඖෂධ හරහා රෝගීන්ට  විවිධ සංකූලතාවන් මතුවීම හෝ රෝගී තත්ත්වය උත්සන්න වීමක් හෝ ඇතැම් විට මරණය පවා සිදුවිය හැකි බව හෙතෙම පෙන්වා දෙයි.

වසරක් පමණ පැරණි බෙහෙත් තුන්ඩු යොමු කරමින් ඇතැම් රෝගීන් විවිධ රෝගාබාධ සඳහා පෞද්ගලික ඔසුසල්වලින් ඖෂධ ලබාගැනීමට කටයුතු කරන අතර මෙය ඉතා භයානක තත්ත්වයක් වන බවත් ඒ වන විට රෝගියාට නොපවතින රෝගයක් වෙනුවෙන් හෝ වෙනත් රෝගයක් වෙනුවෙන් ඖෂධ භාවිතා කිරීමට සිදුවිය හැකි බවද වෛද්‍ය සුගතදාස පෙන්වා දෙයි.

විශේෂයෙන් පුද්ගලික ඔසුසල් හරහා රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ  විශාල වශයෙන් නිකුත් කිරීම හා ඒවාට ප්‍රතිරෝධීතාවක් ඇතිවීම අද වන විට විශාල තර්ජනයක් වී ඇති බවත් මෙය අනාගතයේදී සමාජ ව්‍යසනයක් දක්වා වර්ධනය වන ලකුණු පහළ වී ඇති බවද ඔහු අවධාරණය කරයි.

අනෙක් විශේෂ කරුණ වන්නේ පෞද්ගලික ඔසුසල් හරහා මේ වන විට පාසල් ළමුන් ඉලක්කකර ගනිමින් මත්ද්‍රව්‍ය පෙති හා කරල් ලෙස අලෙවි කිරීමේ ජාලයක් රට පුරා ගොඩ නැගෙමින් පවතින බවත් මෙය මර්දනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නීතිය වහා ක්‍රියාත්මක නොකළහොත් බරපතල තත්ත්වයන්ට රටක් ලෙස අපට මුහුණ දීමට සිදුවනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

(lankasara.com - ශ්‍රියානි විජේසිංහ)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්